
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ දිනවල ලෝක දේශපාලන කරළියේ ප්‍රධානම නළුවා බවට පත්ව සිටියි. කවදත් ආන්දෝලනාත්මක චරිතයක් වූ ඔහු දැන් ටික දිනක සිට වඩ වඩාත් ආන්දෝලනයන් ඇති කරමින් සිටියි.
ඔහුගේ නියෝග යටතේ මීට ටික දිනකට පෙර ඇමරිකානු හමුදා වෙනිසියුලාවට කඩා වැදී එරට ජනාධිපති නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අල්ලාගෙන බලහත්කාරයෙන්ම ඇමරිකාවට රැගෙන ආවේය. දැන් මදුරෝ එහි රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා ඇති අතර ඔහුට එරෙහිව විවිධ චෝදනා යටතේ නඩු පවරා තිබේ.
ට්‍රම්ප් උත්තර ධ්‍රැවය ආසන්නයේ ඇති ග්‍රීන්ලන්තය ඇමරිකාවට අත්පත් කර ගැනීමටත් උත්සාහ ගනිමින් සිටියි. සමහර විට ග්‍රීන්ලන්තයටත් ඇමරිකානු හමුදා ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බවට අදහස් පළ වේ. ඇමරිකාව ග්‍රීන්ලන්තය මිල දී ගැනීම පිලිබඳ අදහසක් ද ඇති බව වාර්තා වේ. මේ වනවිට ග්‍රීන්ලන්තය අයත් වන්නේ ඩෙන්මාර්කයට යි.
ඒ අතර ට්‍රම්ප් උත්තර ධ්‍රැවය ආසන්නයේ ඇති ග්‍රීන්ලන්තය ඇමරිකාවට අත්පත් කර ගැනීමටත් උත්සාහ ගනිමින් සිටියි. සමහර විට ග්‍රීන්ලන්තයටත් ඇමරිකානු හමුදා ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බවට අදහස් පළ වේ. ඇමරිකාව ග්‍රීන්ලන්තය මිල දී ගැනීම පිලිබඳ අදහසක් ද ඇති බව වාර්තා වේ. මේ වනවිට ග්‍රීන්ලන්තය අයත් වන්නේ ඩෙන්මාර්කයට යි.
ඉරානය, කියුබාව වැනි, ඇමරිකාවේ විරුද්ධවාදීන් ලෙස සැලකෙන රටවලටත් ඉදිරියේදී ඇමරිකානු හමුදා කඩා පනිනු ඇත්ද යන සැකසංකා මේ වනවිට බොහෝ පාර්ශ්ව තුළ හොල්මන් කරමින් තිබේ.
කෙසේ හෝ වේවා, මේ සටහන ට්‍රම්ප්ගේ මෙම දේශපාලන මෙහෙයුම් ගැන නොවේ. ඔහුගේ සෞඛ්‍ය තත්වය ගැන ය. ඉහත කී දේශපාලන නාටක සියල්ල රඟ දැක්වෙද්දී වයස අවුරුදු 80 ට ආසන්න වෙමින් සිටින මේ පෙරළිකාරයාගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් ද මේ දිනවල ලොකු අවධානයක් යොමුවෙයි. ඇමරිකාවේ ජනාධිපති පදවියට පත් වියපත්ම පුද්ගලයා ද ඔහු බව බොහෝ දෙනා නොදන්නා කාරණයක් නොවේ.
ට්‍රම්ප්ගේ පාද ඉදිමී තිබීම, අත්වල කළු පැහැති පැල්ලම් දක්නට ලැබීම පසුගිය කාලයේ මාධ්‍ය තුළ ද ප්‍රධාන මාතෘකා වී තිබිණි . මේ ගැන බොහෝ දෙනා තුළ කුතුහලයක් ඇති වෙද්දී මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කිරීමට ධවල මන්දිරයේ වෛද්‍යවරු ඉදිරිපත් වූහ.
ඔවුන් පැවසුවේ ට්‍රම්ප්ගේ පාද ඉදිමීමට හේතුව chronic venous insufficiency නමින් හැඳින්වෙන තත්වයක් බව යි. මෙය ඇති වන්නේ හෘදය වස්තුවේ සිට පාදවලට ගමන් කරන රුධිරය ආපසු හෘදය වස්තුව කරා පැමිණීමේ ක්‍රියාවලියට බාධාවක් ඇති වූ විට ය.
හෘදය වස්තුවේ සිට පිරිසිදු රුධිරය ධමණි ඔස්සේ විවිධ අවයව වෙත ගමන් කරන අතර අපිරිසිදු වන රුධිරය ශිරා ඔස්සේ ආපසු පැමිණෙයි.
ට්‍රම්ප් මුහුණදී සිටින chronic venous insufficiency නැමැති තත්වය වයස අවුරුදු 70 ඉක්මවන බොහෝ දෙනා තුළ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන තත්වයක් ලෙස සැලකේ. පාදවලට ගමන් කරන රුධිරය ආපසු හෘදය වස්තුව කරා පැමිණීමේ දී ගුරුත්වාකර්ණයට එරෙහිව ගමන් කිරීමට සිදු වේ. කෙනෙකු වියපත් වීමත් සමග මෙය තරමක් අසීරු කටයුත්තක් බවට පත් වේ. නහර දුර්වල වීම වැනි කාරණා මීට බලපායි. එවිට රුධිරය ශරීරයේ පහළ කොටස්වලම සිරවීමක් සිදු වෙයි.
පාද ඉදිමීම Chronic venous insufficiency තත්වයේ ප්‍රධාන ලක්ෂණයකි. ට්‍රම්ප් ද මුහුණ දී සිටින්නේ එවැනි ප්‍රශ්නයකට ය.
මෙම තත්වය පාලනය කරගැනීම සඳහා විශේෂ මේස් වර්ගයක් පාවිච්චි කරන මෙන් වෛද්‍යවරුන් ඔහුට උපදෙස් දී තිබේ.
නමුත් ඔහු ඒ අනුව කටයුතු නොකරන බව ද සඳහන් ය.
“මම ඒවට කැමති නැහැ” යයි ඔහු පවසා තිබිණි. නමුත් දැන් තමා එක දිගට දිගු වේලාවක් එක තැන වාඩි වී නොසිටින බවත්, නිතර නැගිට ඇවිදින බවත්, මේ නිසා පාදවල ඉදිමුම අඩු වී ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.

ඔහුගේ අත්වල පිටිඅල්ල පැත්තේ පැල්ලම් දක්නට ලැබීම ද විශාල අවධානයක් දිනාගත් තවත් කාරණයක් විය. මෙයට හේතු දෙකක් ගැන වෛද්‍යවරුන් පවසා තිබිණි. එකක් නම් නිතර අතට අත දීම නිසා සමේ පටකවලට හානි සිදු වීම යි. අනෙක් හේතුව නම් ට්‍රම්ප් ඇස්ප්‍රින් නැමැති ඖෂධය බහුලව පාවිච්චි කිරීම යි.
ඇස්ප්‍රින් යනු හෘදයාබාධ වලක්වා ගැනීම සඳහා ද ලබා දෙන ඖෂධයකි. එයින් රුධිරය තුනී කෙරෙන අතර ලේ කැටි ඇති වීමට තිබෙන ඉඩ අඩු කරයි.
මේ ආකාරයෙන් රුධිරය තුනී වූ විට දුර්වල නහරවලින් පහසුවෙන් රුධිරය කාන්දු වීමට ද පිලිවන. සම ආසන්නයේ ඇති සිහින් ලේ නහරවලින් මෙසේ රුධිරය කාන්දු වූ විට සම මත කළු පැහැති පැල්ලම් සේ දිස් වේ.
ට්‍රම්ප් ගේ අත්වල දක්නට ලැබුණු පැල්ලම්වලට ද මෙය හේතුවක් බව සඳහන් වේ. සමහර අවස්ථාවල ඔහු මෙම පැල්ලම් make-up මගින් වසා ගන්නා බව ද සඳහන් ය.
හෘදයාබාධ වලක්වා ගැනීමේ අරමුණෙන් ට්‍රම්ප් දිගු කලෙක සිටම ඇස්ප්‍රින් භාවිතයට ගන්නා බව වාර්තා වේ.
මෑතක මාධ්‍ය සමග සාකච්ඡවක දී ඔහු පවසා තිබුණේ තම වෛද්‍යවරුන් නිර්දේශ කරඇති ප්‍රමාණයටත් වඩා තමා ඇස්ප්‍රින් ගන්නා බව යි. වසර 25 ක පමණ සිට තමා මේ ආකාරයෙන් ඇස්ප්‍රින් භාවිත කරන බව ද ඔහු ප්‍රකාශ කර තිබිණි.
ට්‍රම්ප් පවසන්නේ තමා දිනකට ඇස්ප්‍රින් මි.ග්රෑ. 325 ක් ගන්නා බව යි. සාමාන්‍යයෙන් වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ මි.ග්රෑ. 80 ක පමණ ප්රමාණයකි.
තමා ඇස්ප්‍රින් මීට වඩා අඩුවෙන් පාවිචිචි කරනවා නම් වෛද්‍යවරුන් කැමැති බවක් ද ට්‍රම්ප් සඳහන් කරයි. නමුත් ඔහු ඊට සූදානම් බවක් පෙනෙන්නේ නැත. හෘදයාබාධ වලක්වා ගැනීම ගැන ඔහු ලොකු උනන්දුවක් දක්වන බව පෙනේ.
ඉහත සඳහන් කළ සම්මුඛ සාකච්ඡාවේදී ට්‍රම්ප් ඔහුගේ සෞඛ්‍යයට අදාළ තවත් දේ ගැන තොරතුරු සඳහන් කර තිබිණි. නිතර ව්‍යායාම කිරීම තමාට කම්මැලි හිතෙන වැඩක් බව ද ඔහු පවසයි.
“මම ඒකට කැමති නැහැ. ඒක මහ කම්මැලි වැඩක්” ට්‍රම්ප් සඳහන් කර තිබේ. “සමහරු කරනව වගේ පැය ගණන් ට්‍රෙඩ්මිල්වල ඇවිදින එක හරි දුවන එක හරි මට නං හරියන්නෙ නැහැ”.
ඔහු පවසන්නේ තමා කරන එකම ව්‍යායාමය ගොල්ෆ් ක්‍රීඩා කිරීම බව යි.
ජනාධිපතිවරයා ගේ කන් ඇසීම අඩු බවටත්, මෑත කාලයේ ධවල මන්දිරයේ පැවති සමහර කටයුතු අතර ඔහු නිදිකිරා වැටෙනු දක්නට ලැබුණු බවටත් කතන්දර පැතිරෙමින් තිබිණි. ඔහු නිදිකිරා වැටෙන සැටි දැක්වෙන්නේ යයි පැවසුණු විඩියෝ පවා පසුගිය කාලයේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ අතර ඒවා පසුබිම් කරගෙන විහිළු කතා පවා නිර්මාණය විය.
කෙසේ නමුත්, තමාගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් පැතිරෙන මේ කතා ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි.
මනස සන්සුන් කරගන්නට වුවමනා වූ විට සමහර අවස්ථාවල තමා දෑස් පියාගෙන සිටින බව ඔහු පවසා තිබිණි. ඉහත කී විඩියෝ සහ ඡායාරූප එවැනි අවස්ථාවල ගත් ඒවා හෝ තමා ඇසිපිය හෙලන අවස්ථා සටහන් වූ ඒවා හෝ විය හැකි බව ඔහු කියා තිබේ.
මනස සන්සුන් කරගන්නට වුවමනා වූ විට සමහර අවස්ථාවල තමා දෑස් පියාගෙන සිටින බව ඔහු පවසා තිබිණි. ඉහත කී විඩියෝ සහ ඡායාරූප එවැනි අවස්ථාවල ගත් ඒවා හෝ තමා ඇසිපිය හෙලන අවස්ථා සටහන් වූ ඒවා හෝ විය හැකි බව ඔහු කියා තිබේ.
කෙසේ හෝ වේවා පසුගිය දිනෙක ට්‍රම්ප් සීටී ස්කෑන් පරීක්ෂණයකට මුහුණ දී තිබිණි. ඒ ඔහුගේ හෘදයවස්තුවේ ක්‍රියාකාරිත්වය සහ නහර සම්බන්ධ තත්වය පරීක්ෂා කිරීම සඳහා ය. මේවාට අදාලව ට්‍රම්ප්ට කිසිදු රෝගී තත්වයක් නොමැති බව එම පරීක්ෂණයේදී හෙළි වූයේ යයි ඔහුගේ වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබිණ.
ට්‍රම්ප් ඉතා යහපත් සෞඛ්‍ය තත්වයක පසුවන බවත්, ජනාධිපති ධුරයේ කටයුතු කිරීම සඳහා ඉතා සුදුසු තත්වයක සිටින බවත් වෛද්‍ය ෂෝන් බාර්බබෙලා පවසයි.
නිහාල් පීරිස්