එළඹෙන දීර්ඝ සති අන්තය ආරම්භ කෙරෙන අද (17) සිට ලබන 20 වැනි දිනට යෙදී ඇති දීපාවලී උත්සවය වෙනුවෙන් විශේෂ බස් සේවාවක් යොදවා ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. මේ බස් සේවාව පිටකොටුව බැස්ටියන් මාවත කේන්ද්‍ර කරගෙන මගීන්ට ප්‍රවාහන පහසුකම් සැලසීමට සූදානම් කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගමනාගමන කොමිසම පවසයි.
ඒ අනුව හැටන් – බදුල්ල, වවුනියාව – යාපනය යන ගමනාන්තවලට වැඩිම මගී ඉල්ලුමක් අපේක්ෂාවෙන් බස් ඇණියක් සූදානම් කර ඇති අතර මේ මාර්ග සඳහා අවසර පත්‍ර නිකුත් කර ඇති බස් රථ උපරිම ධාරිතාවයෙන් යුක්තව ධාවනය කරවීමට සැලසුම් යොදා ඇති බවත් නිවේදනයේ දක්වා ඇත.
බස්නාහිර පළාතේ ප්‍රවාහන අධිකාරියේ බලපත්‍රලාභී බස් රථද මේ වැඩිවන මගී ඉල්ලුම සපුරාලීම සඳහා යොදා ගැනීමට අපේක්ෂා කරන අතර එම බස් රථ සඳහා තාවකාලික අවසර පත්‍ර නිකුත් කිරීම ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ බැස්ටියන් මාවත කාර්යාලය මඟින් සිදු කරනු ලබන බවත් ඒ සඳහා සාමාන්‍ය දිනවල කාර්ය චක්‍රයේ නිලධාරීන්ට වඩා වැඩි ප්‍රමාණයක් අනුයුක්ත කර ඇති බවත් කොමිසම කියයි.
මේ කාලසීමාවෙන් පසු නැවත කොළඹ දක්වා පැමිණෙන මගීන්ට ප්‍රවාහන පහසුකම් සලසා ඇති බව පවසන කොමිසම වැඩි මගී ඉල්ලුමක් පැවති ප්‍රදේශ අයත් වන පළාත් ප්‍රවාහන අධිකාරි වෙත තාවකාලික අවසර පත්‍ර යටතේ බස් රථ යොදවන ලෙස උපදෙස් ලබා දී ඇති බව කියා සිටියි.
ඒ සඳහා අවශ්‍ය තාවකාලික අවසර පත්‍ර ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් මේ වන විටත් පළාත් ප්‍රවාහන අධිකාරි වෙත යොමු කර ඇති අතර තවද මේ දීර්ඝ සති අන්තයෙන් පසු කොළඹ ප්‍රදේශයට වැඩි මගී ඉල්ලුමක් පවතීයැයි පුරෝකථනය කර ඇති බස් රථ නැවතුම්පොළවල අධීක්ෂණයට ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් ද යෙදවීමට සැලසුම් කර තිබේ. 1955 ක්ෂණික දුරකතන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක වන බවත්, ජංගම පරීක්ෂණ අංශය මඟින් මේ කාලසීමාවේ නිරන්තරයෙන් මාර්ගගත පරීක්ෂා කිරීම සිදු කරන බවත් පවසන කොමිෂන් සභාව වැඩිපුර ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් කොමිසම කියා සිටී.