දුක් කම්කටොළු මැදින් ජීවිතය ජයගත් රජිනිකාන්ත් මේ දවස්වල ජීවිත කතාව ලියනව ලු!

දෙමළ සිනමාවේ සුපිරි නළු රජිනිකාන්ත් මේ දිනවල රඟපෑමට අමතරව තවත් අපූරු කටයුත්තක නිරත වී සිටින බව වාර්තා වෙනවා. මේ ආරංචිවලින් පැවසෙන්නේ ඔහු දැන් ලේඛන කලාවටත් යොමු වී ඇති බව යි. 74 වැනි වියෙ හි පසුවන රජිනි මේ දිනවල සිය ජීවිත කතාව ලියමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ බව මුලින්ම මාධ්‍යයට අනාවරණය කරන ලද්දේ දෙමළ සිනමාවේ ප්‍රකට අධ්‍යක්ෂවරයකු වන ලෝකේශ් කනගරාජ් විසිනු යි. මේ වනවිට අති සාර්ථක ලෙස ප්‍රදර්ශණය වෙමින් ඇති රජිනිකාන්ත් ගේ අලුත්ම චිත්‍රපටය වන Coolie චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාත් ඔහු යි.

රජිනිගේ ජීවිත කතාව ජනප්‍රිය චිත්‍රපටයක කතාවක් තරම්ම නාටකීය සිදුවීම්වලින් පිරුණක් බව රහසක් නොවෙයි. ලෝකේශ් පවසන්නේ මෙම සුපිරි නළුවා ගේ ජීවිතයේ මෙතෙක් බොහෝ දෙනෙකු නොදන්නා තොරතුරු රැසක් ද මෙම අලුත් පොතට ඇතුළත් වනු ඇති බව යි. පොත ලියන අතර එවැනි ඇතැම් සිදුවීම් ගැන රජිනි තමා සමග විස්තර කළ බව ද ලෝකේශ් පවසා තිබුණා.

රජිනි ඔහුගේ ජීවිත කතාව ලියමින් සිටින බව ලෝකේශ් හෙලිදරව් කළේ පසුගිය ජුලි මාසයේ යි. රජිනි ඉතා උනන්දුවෙන් මේ ලේඛන කටයුත්තෙහි නිරතව සිටින බවත් ඔහු පැවසුවා. කොටින්ම Coolie සිනමාපටයේ රූ ගත කිරීම් අතර ලැබෙන විවේකයන්හි පවා රජිනි ලිවීමෙ හි නිරත වන බව ලෝකේශ් ප්‍රකාශ කළා. එක් දිනක්වත් මග නොහැර ඔහු පොත ලියන බවත්, දිනකට අවම වශයෙන් පැය දෙකක්වත් ඒ සඳහා යොදවන බවත් සඳහන්.

රජිනිගේ ජීවිත කතාව ජනප්‍රිය චිත්‍රපටයක කතාවක් තරම්ම නාටකීය සිදුවීම්වලින් පිරුණක් බව රහසක් නොවෙයි. ලෝකේශ් පවසන්නේ මෙම සුපිරි නළුවා ගේ ජීවිතයේ මෙතෙක් බොහෝ දෙනෙකු නොදන්නා තොරතුරු රැසක් ද මෙම අලුත් පොතට ඇතුළත් වනු ඇති බව යි. පොත ලියන අතර එවැනි ඇතැම් සිදුවීම් ගැන රජිනි තමා සමග විස්තර කළ බව ද ලෝකේශ් පවසා තිබුණා.

 කළ්‍යාණ මිත්‍ර රාජ් සමග රජිනිකාන්ත්

“ඔහු ලියමින් ඉන්නේ මොන පරිච්ඡේදය ද කියා මම සමහර වෙලාවට ඔහුගෙන් අහනවා. එවැනි අවස්ථාවල ඔහු ඔහුගේ ජීවිතයේ ඇතැම් සිදුවීම් ගැන මා සමග විස්තර කරනවා” ලෝකේශ් සඳහන් කර තිබුණා. තමා පමණක් නොව තමිල්නාඩුවේ බොහෝ දෙනා රජිනි සමග හදවතින් බැඳෙන්නට හේතුවන එක් පොදු සාධකයක් ඇති බවත්, එනම් රජිනි ජීවිතයේ මුහුණ දී ඇති බාධක සහ අභියෝග බවත් ලෝකේශ් පවසනවා.

සිනමා ලෝකය තුළ රජිනිකාන්ත් නමින් ප්‍රසිද්ධියට පත්ව සිටියත් ඔහුගේ මුල් නම වූයේ ෂිවාජි රාඕ ගයික්වාඩ් යන්න යි. රජිනිකාන්ත් යන නම ඔහුට දී තිබුණේ ඔහුගේ සිනමා ජීවිතයට විශාල බලපෑමක් කළ සුප්‍රකට අධ්‍යක්ෂවරයකු වූ කේ. බාලචන්දර්. තවත් සුපිරි නළුවකු වූ ෂිවාජි ගනේෂන් ගේ නම සමග පටලැවිල්ලක් ඇති වීම වැලැක්වීමටයි එසේ කර තිබුණේ.

1950 වසරේ රජිනි උපත ලැබුවේ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝරයේ යි. ඔහුගේ පියා රාමෝජි රාඕ ගයික්වාඩ් පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස රැකියාව කළ කෙනෙක්. ඔහු ලොකු ආදායමක් ලැබූ කෙනෙකු නොවූ නිසා පවුල තුළ ආර්ථික අමාරුකම් තිබූ බව පැවසෙනවා.

රජිනිට වයස අවුරුදු 9 ක් තරම් කාලයේ ඔහුට මව් සෙනෙහස අහිමි වුණා. ඒ ඔහුගේ මව මරණයට පත් වීම නිසා යි. මෙම සිදුවීම තමා තුළ විශාල ශෝකයක් සහ කම්පනයක් ඇති කළ බව රජිනි බොහෝ අවස්ථාවල සඳහන් කර තිබෙනවා. පවුලේ ආර්ථික අමාරුකම් සහ මවගේ වියෝව වැනි අත්දැකීම් නිසා තමා ඉක්මනින් පරිණත වූ බවත් රජිනි පවසා තිබුණා.

පවුලේ තිබූ ආර්ථික අගහිඟකම් නිසාම රජිනිට විවිධ සුළු සුළු රැකියාවලත් නිරත වීමට සිදු වුණා. ඔහු කලක් කුලියට බඩු ඔසවාගෙන යන පෝටර් කෙනෙකු හැටියටත් කටයුතු කළ බව පැවසෙනවා. එයින් පසු බැංගලෝර ප්‍රවාහන සේවයේ බස් කොන්දොස්තරවරයෙකු හැටියටත් රැකියාව කළා.

බස් කොන්දොස්තරවරයකු ලෙස රැකියාව කරද්දී ඔහු අතින් පයින් විවිධ “ඇක්ෂන්” පාමින් රැකියාව කළ බවත්, ඔහුගේ නළුකම පිළිබඳ ඉඟි ඒ තුළ ගැබ් වූ බවත් පැවසෙනවා.

අවසානයේ රජිනිට සිනමාවට පිවිසෙන්න උදව් කළේත් ඔහු සමග එකට වැඩ කළ බස් රියදුරෙක්. ඔහුගේ නම රාජ් බහදූර්.

බැංගලෝර ප්‍රවාහන සේවයේ බස් කොන්දොස්තර කෙනෙකු ලෙස වැඩකරමින් සිටි කාලයේ රජිනිට මදුරාසි සිනමා ආයතනය නැමැති ආයතනයට බැඳී රංගනය ඉගෙන ගන්නට අවශ්‍ය වී තිබුණා. නමුත් ඔහුගේ පවුලේ අය ඊට වැඩි සහයෝගයක් දක්වා තිබුණේ නැහැ. එම අවස්ථාවේ ඔහුගේ මිතුරු රාජ් බහදූර් තමයි රජිනිව ඒ සඳහා උනන්දු කර මුදල් හදල්වලින් පවා උදව් කර තිබුණේ.

රජිනිට සිනමාවට පිවිසෙන්නට මග විවර වුණේ මෙම ආයතනයට බැඳුණු පසුවයි. එහි දී ඔහුගේ හැකියාවන් දුටු චිත්‍රපට අධ්‍යක්ෂ කේ. බාලචන්දර් ඔහුගේ “අපූර්ව රාගන්ගල්” නැමැති චිත්‍රපටයේ චරිතයක් සඳහා රජිනිව තෝරා ගත්තා. ඔහුගේ දීර්ඝ සහ අති සාර්ථක සිනමා දිවිය ආරම්භ වූයේ ඒ ආකාරයෙනු යි.

මේ වනවිට 74 වැනි වියේ පසුවුවත් ඔහුගේ ජනප්‍රියත්වය දිනෙන් දින වැඩිවෙමින් ඇති ආකාරයකුයි පෙනෙන්නට තිබෙන්නේ. තවමත් ඔහු ඉතාම කාර්යබහුල යි. ඔහුගේ අලුත්ම චිත්‍රපටය Coolie මෙයට ටික දිනකට පෙර ප්‍රදර්ශණය ආරම්භ කළ අතර මේ වනවිට ආදායම් වාර්තා තබමින් තිරගත වෙනවා. මේ වසරේ මෙතෙක් තිරගත වූ දෙමළ සිනමාපට අතරින් වැඩිම ආදායම් උපයා ඇත්තේ එය යි. ලොව පුරා ප්‍රදර්ශණයෙන් එය මේ වනවිට උපයා ඇති ආදායම ඉන්දියානු රුපියල් කෝටි 500 (ලංකා රුපියල් කෝටි 1,700) ඉක්මවා ඇති බව සඳහන්.

රජිනි සහ රාජ් අතර මිත්‍රත්වය තවමත් ඒ ආකාරයෙන්ම පවතින බව සඳහන් . මොන තරම් කාර්යබහුල වුවත් රජිනි නිතර තම මිතුරාගේ සුවදුක් බැලීමට බැංගලෝරයේ පිහිටි රාජ් ගේ නිවසට යනවා ලු! රජිනි පැමිණි විට නතර වීමට රාජ් ගේ නිවසේ වෙනම කාමරයක් පවා වෙන් කර තිබෙන බව පැවසෙනවා.

වරක් ඉන්දියාවේ ඉහළම පෙලේ සම්මානයක් රජිනිට ප්‍රදානය කළ අවස්ථාවේ ඔහු එය රාජ් වෙනුවෙන් පුද කර තිබුණා.

පසුගිය සතියේ රජිනි සිය රංගන දිවියේ 50 වැනි වසර පසු කිරීමත් විශේෂ සිද්ධියක් වුණා. කලින් සඳහන් කළ ඔහුගේ අපූර්ව රාගන්ගල් චිත්‍රපටය තිරගත වුණේ 1975 වසරේ අගෝස්තු මාසයේ යි.

මේ වනවිට 74 වැනි වියේ පසුවුවත් ඔහුගේ ජනප්‍රියත්වය දිනෙන් දින වැඩිවෙමින් ඇති ආකාරයකුයි පෙනෙන්නට තිබෙන්නේ. තවමත් ඔහු ඉතාම කාර්යබහුල යි. ඔහුගේ අලුත්ම චිත්‍රපටය Coolie මෙයට ටික දිනකට පෙර ප්‍රදර්ශණය ආරම්භ කළ අතර මේ වනවිට ආදායම් වාර්තා තබමින් තිරගත වෙනවා. මේ වසරේ මෙතෙක් තිරගත වූ දෙමළ සිනමාපට අතරින් වැඩිම ආදායම් උපයා ඇත්තේ එය යි. ලොව පුරා ප්‍රදර්ශණයෙන් එය මේ වනවිට උපයා ඇති ආදායම ඉන්දියානු රුපියල් කෝටි 500 (ලංකා රුපියල් කෝටි 1,700) ඉක්මවා ඇති බව සඳහන්. රජිනි මෙයට කලින් රඟ පෑ Jailer චිත්‍රපටය 2023 වසරේ වැඩිම ආදායම් ඉපැයූ දෙමළ චිත්‍රපටය ලෙස වාර්තා පොතට එක් වුණා.

රජිනි ලියමින් සිටින ජීවිත කතාව පොතක් ලෙස පළ වූ විට ඔහුගේ ජීවිතයේ තවත් බොහෝ අප්‍රකට තොරතුරු රසික රසිකාවියන්ට දැන ගැනීමට ලැබේවි.

නිහාල් පීරිස්

රසගඟුල