
මගේ මතකය නිවැරදි නම් ඒ 1992 වසරයි. ඒ වසරේ මුල් භාගයේ දිනයෙක කිසියම් ලේඛන කිහිපයක් සපයා ගනු පිණිස මට මගේ බිරිඳගේ මහගෙදරට ගොස් එන්නට සිදු විය. එය පිහිටා ඇත්තේ බෙලිඅත්ත, කුඩාහීල්ලේය. එම පෙරවරුවේ මා එහි යන විට, කුඩාහීල්ල ‘හතේ කණුව’ හන්දිය අවට තරුණයන් හතර පස් දෙනා බැගින් වූ කල්ලි දෙක තුනක් මහ පාර අද්දර වට වී කතාබස් කරමින් හිඳිනු දක්නා ලදී. එය වෙනදා දක්නට නොලැබෙන්නක් වූ බැවින්, බිරිඳගේ මහගෙදරට ගොඩවැදුණු සැනින් මම නිකමට මෙන් ඒ කාරණය මගේ මාමණ්ඩිය හමුවේ පැවසුවෙමි.
“මහින්ද මහත්තයගේ කුරුම්බරයෝ වෙන්න ඇති ඔය. මේ දවස්වල මහින්ද මහත්තයා ආණ්ඩුව පෙරළන්න කතරගම ඉඳන් කොළඹට පාද යාත්‍රාවක් ද මොකක්ද යනවනේ,” මගේ මාමණ්ඩිය සිනාසෙමින් කීය. ඔහු එලෙස ‘මහින්ද මහත්තයා’ වශයෙන් හඳුන්වන ලද්දේ එවක විපක්ෂයේ පතාක යෝධයකුව සිටි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාවය. එහෙත් ඔහු ඒ සමඟ පැවසූ ‘කුරුම්බර’ කතාව මට එවර හරිහැටි නොවැටහිණි.
මගේ බිරිඳගේ පියාණන් වන බෙලිඅත්ත, මීගහවෙල විසූ ඩේවිඩ් ජයවර්ධන (සේරුගහහේනේ ලොකු මහත්තයා) තරුණ වියේ සිටම සැබෑ රසකාමියෙකි. එවක සිට ඔහුගේ ප්‍රියතම විනෝදාංශ අතරට මාතර යක් තොවිල් නැරඹීම ද ඇතුළත් ව තිබිණි. එවක ඔහු තුළ පැවැති එම යක් තොවිල් උන්මාදය කොතෙක් ඉහවහා ගොස් තිබුණේ ද යත්, එම තොවිල් නැරඹීමෙන් නොසෑහී ඒ සම්බන්ධ ප්‍රවීණයන් හමු වී වැඩිදුර තොරතුරු අසා දැනගත් බව ද මට අසන්නට ලැබී තිබේ. 1900 දශකයේ මැද භාගයේ මාතර යක් තොවිල් කලාවේ පුරෝගාමියකු සේම දෙවුන්දර හිටපු ගම්පතිවරයකු ද වූ ඩී. ජී. බේබි සිඤ්ඤෝ ඇදුරුතුමන්ගෙන් තමන් මාතර යක් තොවිල් පිළිබඳ බොහෝ තොරතුරු අසා දැන කියා ගත් බව මගේ මාමණ්ඩිය නිතර කීවේ මහත් ආඩම්බරයෙනි. නමුත් ඊට පසු කලෙක මා විසින් සොයා බැලීම් කිහිපයක් කළ ද ඒ ඇදුරුතුමන් පිළිබඳ නිසි තොරතුරක් සොයා ගැනීමට මට නොහැකි විය.
එමෙන්ම ඒ වන විට මම ‘කුරුම්බර’ යන්න නාමිකව දැන සිටියා මිස එනමින් යුතු පිරිසක් ගැන කිසිවක් නොදැන සිටියෙමි. නමුත් පසු කලෙක පහතරට තොවිල් හා බැඳුණු කුරුම්බරයන් පිළිබඳ වැඩිදුර කරුණු හදාරත්ම, මාමණ්ඩිය කී ‘මහින්ද මහත්තයාගේ කුරුම්බර’ කතාව මගේ මුවට සිනාවක් නැංවීමට සමත් විය. ඒ, ඔහුගේ එම උපමා උපමේය තුළ තිබූ විස්මිත සමානත්වය මුල් කර ගනිමිනි.
පහතරට ශාන්තිකර්ම හා සම්බන්ධ කුරුම්බරයන් යනු දෙවිවරුන් යටතේ සේවය කරන සේවකයන් හෝ ආරක්ෂක භටයන්ය. විශේෂයෙන් දෙවොල් මඩු ශාන්තිකර්මයේදී මෙම කුරුම්බරයන් ද වැදගත් කොට සලකා ඔවුනට දොළ පිදේනි දෙනු ලැබේ. නූතන ව්‍යවහාරයට අනුව සාම්ප්‍රදායික ගණයේ ප්‍රබල දේශපාලනඥයන් යටතේ සිටින පිරිස් හැඳින්වීම පිණිස යොදන ‘පක්කලි’ (පක්කාලි – දෙමළ බසින් අතවැසියා), ‘සිපයි’ (ඉංග්‍රීසියෙන් Sepoy – පහළම ශ්‍රේණියේ යුද භටයා) ආදී අවවහර මෙම කුරුම්බර නම් වන දේව සේවකයන් සම්බන්ධයෙන් ද උචිත ලෙස ගලපා ගත හැකිය.
පහතරට ශාන්තිකර්ම හා සම්බන්ධ කුරුම්බරයන් යනු දෙවිවරුන් යටතේ සේවය කරන සේවකයන් හෝ ආරක්ෂක භටයන්ය. විශේෂයෙන් දෙවොල් මඩු ශාන්තිකර්මයේදී මෙම කුරුම්බරයන් ද වැදගත් කොට සලකා ඔවුනට දොළ පිදේනි දෙනු ලැබේ. නූතන ව්‍යවහාරයට අනුව සාම්ප්‍රදායික ගණයේ ප්‍රබල දේශපාලනඥයන් යටතේ සිටින පිරිස් හැඳින්වීම පිණිස යොදන ‘පක්කලි’ (පක්කාලි – දෙමළ බසින් අතවැසියා), ‘සිපයි’ (ඉංග්‍රීසියෙන් Sepoy – පහළම ශ්‍රේණියේ යුද භටයා) ආදී අවවහර මෙම කුරුම්බර නම් වන දේව සේවකයන් සම්බන්ධයෙන් ද උචිත ලෙස ගලපා ගත හැකිය.

දෙවොල් මඩුවේ ‘සීනිගම් පටුන’ රංගනයේ දී රසිකයන් හමුවට එන මෙම කුරුම්බරයන් දේව සේවකයන් වුව ද, ඔවුන් අමනුෂ්‍ය ගණයට අයත් වන බවට අනුමාන කළ හැකිය. ඒ, ඔවුන් ප්‍රසිද්ධියේ ලජ්ජා නැති කතා කියමින් එවැනි ක්‍රියා කරන නිසා බව සාමාන්‍ය ජන මතයයි. දේව ගණයේම කොටසක් බව පැවසුණ ද මෙම කුරුම්බරයන් සම්බන්ධ විශේෂිත ලක්ෂණ ද තිබේ. එනම් මොවුන් ගීත ගායනයට, වාදනයට සහ සංගීතයට ප්‍රිය කරන විනෝදකාමී කොටසක් වීම ය. ඇඳුම් ආයිත්තම්වලින් සංකර බවක් පළ කරන මොවුන් ලිංගික හැසිරීම් ප්‍රිය කරන බව ද පැවසෙයි.
මගේ පෞද්ගලික වැටහීම අනුව අපගේ නාඩගම් කලාවේ එන කෝලමා, බහුබූතයා හෙවත් කෝනංගී සහ මෙම කුරුම්බරයන් අතර බොහෝ සමානකම් තිබේ. එමෙන්ම මොව්හු පහතරට ශාන්තිකර්මවල දී නැටුමින්, ගැයුමින් සේම කවට වදන්වලින් රසිකයා පිනවීමට විස්මිත ලෙස සමත් වෙති. දෙවොල් මඩු යාතුකර්මය හා සම්බන්ධ දෙවොල් පටුන ආදී ජන කාව්‍යයන්හි සඳහන් අන්දමට, දෙවොල් දෙවියන්ගේ ශ්‍රී ලංකා සම්ප්‍රාප්තිය සිදුවනුයේ නැවකින් මුහුදේ ගමන් කරමින් සිටියදී ඒ නැව කුණාටුවකට හසු වී අනතුරට පත්වීමත් සමඟිනි. පසුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් රට තුළට පිවිසීමට වෙර දැරූ උත්සාහයන් ව්‍යර්ථ වූ පසුව, එතුමන් තම ‘කුරුම්බර’ සෙනඟ ද සමඟ සීනිගම් වෙරළට ගොඩබට බව පැරණි මූලාශ්‍ර රාශියක සඳහන් ය. එමෙන්ම එම ජන කාව්‍යයන්හි සඳහන් වන අන්දමට ද මොවුන් දෙවොල් දෙවියන්ගේ කුලී හේවායන් පිරිසක් බව ද පැහැදිලි ය.

දෙවොල් මඩු ශාන්තිකර්මයේදී මෙම කුරුම්බරයන් සම්බන්ධ නොයෙකුත් අභිචාර විධි සිදු කෙරෙන අතර, ඔවුනට ‘දොළ පිදේනි’ මිස පූජා වට්ටි නොතැබීම ද විශේෂත්වයකි. එලෙස තටු, ගොටු හා පිදේනි දෙනුයේ යක්ෂ සම්භවයට අයත්, දෙවිවරුන් නොවන දේවතා ගණයේ අමනුෂ්‍යයන්ට බව පෙනේ. ඒ අනුව දෙවිවරුන් නොවන ‘දේවතා’ යන කොටස දේවත්වයේම පහළ ශ්‍රේණියක් බව වටහා ගත හැකිය. මෙම දේවතා නාමය සම්බන්ධ වැඩිදුර සොයා බැලීමේදී අප රටේ යක් සේනාවේ දරුණුම යකා වන මහසෝනා ද පහත රට ශාන්ති කර්ම වල දී මහසෝන් දේවතා ලෙස හැඳින්වෙන බව පෙනේ.
අපගේ ජන සම්මතයට අනුව කුරුම්බරයන් දොළොස් කොටසකි. ඒ කළු හෙවත් අලුත් කුරුම්බර, චන්දන කුරුම්බර, එර්දි කුරුම්බර, රීරි කුරුම්බර, මල් කුරුම්බර, වඩිග කුරුම්බර, ගොපළු කුරුම්බර, දෙවොල් කුරුම්බර, දළ කුරුම්බර, ගිනි කුරුම්බර සහ සැඩ කුරුම්බර යනුවෙනි. ඉහත සඳහන් නම් අනුව අපට ඉතා හොඳින් පැහැදිලි වන කරුණක් තිබේ. එනම් මෙම කුරුම්බරයන් එක් එක් දෙවිවරුන් සමීපයේ ඉටු කරන ලද රාජකාරිවල ස්වභාවය අනුව ඔවුන්ට ඒ නම් ලැබී ඇති බව ය.
දෙවොල් මඩුවකදී මොවුන් උදෙසා වෙනමම පිදේනි තට්ටු සකස් කෙරෙන අතර එය ‘කුරුම්බර පිදේනිය’ (කුරුම්බර තට්ටුව) ලෙස හැඳින්වේ. දොළොස් කුරුම්බර දේවතාවුන් වෙනුවෙන් සමූහ වශයෙන් හෝ වෙන වෙනම පිදේනි තට්ටු දොළහක් ඉදි කෙරෙන අතර, මෙම තට්ටු මත බත්, කැවිලි වර්ග හතක්, පලතුරු වර්ග හතක්, පුළුටු (බැදුම්), පුවක් මල් සහ දැල්වූ පන්දම් තැන්පත් කරනු ලැබේ. කුරුම්බර යාගය යනු දෙවොල් මඩු ශාන්තිකර්මය හා සම්බන්ධ රාත්‍රී කාලයේදී සිදු කෙරෙන යාගාංගයකි. දොළොස් කුරුම්බරයන්ගේ උත්පත්තිය සහ බලගතුකම කියැවෙන කවි ගායනා කෙරෙන අතරේ, කුරුම්බරයෝ බෙර පදයට අනුව ඉතා වේගවත් නර්තන විලාසයන් ඉදිරිපත් කරති.
ඒ නර්තන ශෛලිය තුළ යම් අසංවර බවක් දක්නට තිබේ.
කුරුම්බරයන් උදෙසා දුම්මල පූජාව ද මෙහිදී බහුලව සිදු කෙරෙන අතර ඒ සඳහා කළු දුම්මල යොදා ගැනෙයි. මෙහිදී මෙම කුරුම්බර වෙස් ගත් නළුවන් ඇදුරා සමඟ කරන සංවාදයේදී, තමන් සිංහල නොදන්නා බව අඟවමින් සිංහල වචන වැරදියට උච්චාරණය කිරීම අතිශය විනෝදාත්මක අංගයකි. එමෙන්ම මෙම සංවාදවලදී මොව්හු ලිංගිකත්වය මත පදනම් වන දෙපිට කැපෙන වදන් පවසමින් රසිකයා පිනවති.
ඒ තත්ත්වයන් තුළ වුව දෙවොල් මඩු ශාන්තිකර්මයේ ආධ්‍යාත්මික පක්ෂය ද නොනැසී පවත්වා ගැනීමට ඇදුරන් සමත් වන අතර එය අවසානයේදී පවත්වන ගිනි පෑගීම වැනි අවස්ථාවලට පෙර, කුරුම්බර දේවතාවුන්ගේ ආශීර්වාදය ලබා ගැනීම අනිවාර්ය බව ගැමියෝ විශ්වාස කරති. මොවුන් කුරුම්බරයන් මුහුදු ගොඩ බස්නා දේවතාවුන් ලෙස ද සලකන බැවින්, මුහුදු වෙරළේ සිට යාග මඩුව වෙත දෙවියන් වැඩම කරවීමේදී කුරුම්බර පිදේනිය පෙරටු කර ගනී. කුරුම්බර කමත යනු දෙවොල් මඩු යාගයේ එන ඉතා වැදගත් අංගයකි. මෙය හුදෙක් වී පාගන කමතක් නොව, යාග කටයුතු සඳහා වෙන් කරගත් විශේෂිත පූජනීය භූමියකි.

මේ කුරුම්බර සේනාව අතුරින් ගිනි කුරුම්බරයන් ප්‍රධාන තැනට පත් වන අතර, දෙවොල් දෙවියන් සම්බන්ධයෙන් ආරම්භ වූ ගිනි පෑගීමේ චාරිත්‍රයේදී මුලින්ම ගිනි පාගන ලද්දේ මෙම කුරුම්බරයන් විසින් බවට තොරතුරු තිබේ.
දෙවොල් දෙවියන්ගේ ලංකාගමනය පිළිබඳ මූලාශ්‍ර කිහිපයකම සඳහන් වන අන්දමට, ඒ වන විට අප රටේ බලය තහවුරු කරගෙන සිටි පත්තිනි දේවිය ඉන්දියාවේ චේර දේශයෙන් පැමිණි මේ ආගන්තුක පිරිසට මෙරටට ගොඩ බැසීමට මුලදී ඉඩ දී නැත. එහෙත් පසුව එතුමිය දෙවොල් දෙවියන් ඇතුළු පිරිසට දැවැන්ත අභියෝගයක් ඉදිරිපත් කර තිබේ. එනම් තමන් දිවයින අවට වෙරළේ ගිනිමැළ හතක් අවුළුවන බවත්, හැකි නම් ඒ ගිනිමැළ හතම තරණය කොට ගොඩබිමට පැමිණෙන ලෙසත් ය. මෙහිදී දෙවොල් දෙවියන් තම කුරුම්බර සේනාව ද සමඟ එම ගිනිමැළ හතම තරණය කොට සීනිගම වෙරළට සැපත් ව තිබේ. එයින් පසු පත්තිනි දේවිය දෙවොල් දෙවියන්ගේ හාස්කම් බලය වටහා ගෙන, එතෙක් තමන් වැඩ සිටි හික්කඩුවේ සීනිගම දෙවොල දෙවොල් දෙවියන් ඇතුළු කුරුම්බර සේනාවට භාර දී, තමන්ගේ අභිනව වාසස්ථානය ලෙස නවගමුව තෝරා ගත් බව පැරණි යාතුකර්ම මූලාශ්රවල සඳහන් ය.
මේ වන විට කතරගම මුල් කොට ගත් දේවාල රැසක සිදු කෙරෙන ගිනි පෑගීමේ චාරිත්‍රයේ ආරම්භය මෙම සංසිද්ධිය බව ප්‍රකට පිළිගැනීමකි. එමෙන්ම අප රටේ දේවාල බොහොමයක සිදු කෙරෙන පොල් ගැසීමේ චාරිත්‍රය ද මෙම කුරුම්බරයන් විසින් අරඹන ලද බවක් පැවසෙයි.
දෙවොල් දෙවියන් ඇතුළු මෙම කුරුම්බර සේනාව පැමිණි චේර දේශය වත්මන් කේරළය බව හඳුනාගෙන තිබේ. සමස්ත ඉන්දියාවේම පොල් සඳහා වඩාත් ප්‍රසිද්ධියක් උසුලනුයේ කේරළයයි. ඉන්දියානු පොල් නිෂ්පාදනයෙන් වැඩිම කොටසක් දායකත්වය දරන කේරළය, ඉන්දියානු පොල් සංවර්ධන මණ්ඩලය පිහිටි රාජ්‍යය ද වෙයි. සංස්කෘත බසින් පොල් හැඳින්වීම පිණිස යෙදෙන ‘නාලිකේර’ යන නමින්ම කේරළය හැඳින්වෙන අතර, අද ද කේරළය ආධ්‍යාත්මික කටයුතු සඳහා පොල් යොදා ගන්නා ප්‍රාන්ත අතරින් ප්‍රධාන තැනක් ගනී.
අපගේ දේශීය සංස්කෘතිය හා සබැඳුණු පොල් ගැසීම, කිරි ඉතිරවීම වැනි චාරිත්‍ර සඳහා මෙන්ම බලි තොවිල් ශාන්තිකර්ම සඳහා පොල් ගෙඩි, පොල් මල් සහ ගොක් කොළ යොදා ගැනීම කේරළ ආභාෂයෙන් අපට හිමි වූ බවට සාක්ෂි බොහොමයකි. එමෙන්ම නොමේරූ පොල් හැඳින්වීම පිණිස යෙදෙන ‘කුරුම්බා’ යන්න හා මෙම ‘කුරුම්බර’ නාමය අතර ඇති අපූරු සබැඳියාව ද විමසා බැලිය යුතු ය.
දෙවොල් දෙවියන් ඇදහීමට අමතරව තවත් දේව විශ්වාස මුල් කොට ද මෙම කුරුම්බරයන් පිළිබඳ තොරතුරු අනාවරණය වෙයි. අප රටේ දේශීය වශයෙන් අදහනු ලබන බණ්ඩාරවලියේ දෙවි දේවතාවන් සමීපයේ ද මේ කුරුම්බරයෝ වෙසෙති. කිතගම හිටිබණ්ඩාර නම් ජන ප්‍රධානියාගේ මරණයෙන් කම්පාවට පත් ව ඔහුගේ දැවෙන සොහොනට පැන දිවි නසාගත් ‘තෙල්සිං අච්චිල’ නම් ඇතුන් බලන්නා ද පසුව හිටිබණ්ඩාරයන් සමඟම දේවත්වයට පත් වූ බව ඒ සම්බන්ධ කෝල්මුර කවිවල සඳහන් වෙයි. ඒ සම්බන්ධ වැඩි විස්තර එන්. ටී. කරුණාතිලක සූරීන්ගේ ‘දැදුරුඔය බඩ ජන ඇදහිලි’ නම් කෘතියේ සඳහන් වේ. මෙහි දී මෙම දේව කොට්ඨාසය හැඳින්වීම පිණිස යෙදෙන ‘කුරුම්බර’ නාමය ඇතුන් බැලීම මුල් කොට ඇති වූවක් ද යන්න විමසිය යුත්තේ, ඇතා හැඳින්වීම පිණිස ද ‘කුරු’ යන නාමය යෙදෙන බැවිනි.
පසුකාලීනව අප ජන සමාජයේ කිනම් හෝ ආකාරයකින් දේවත්වයට පත්ව ඇත්තේ, පසුව දෙවොල් දෙවියන් ලෙසින් දේවත්වයට පත් වූ පැරණි කේරළ ජන ප්‍රධානියකුගේ ‘කුරුම්බර’ නමින් හැඳින්වෙන අතවැසියන් පිරිසක් විය නොහැකි ද? ඒ කෙසේ හෝ ඉහත සඳහන් බෙලිඅත්ත මීගහවෙල හතේ කණුවේ දී මා දුටු තරුණ පිරිස හැඳින්වීම පිණිස මගේ මාමණ්ඩිය නූතනයේ බහුලවම යෙදෙන දේශපාලනික අවවහරක් වන පක්කලි යන්න වෙනුවට ‘කුරුම්බර’ යන ගෞරවනීය නාමය යොදා ගැනීම තුළ කිසියම් කාව්‍යාත්මක සුන්දරත්වයක් ඇතැයි මට දැන් සිතෙයි.
මේ සියලු තොරතුරු අනාවරණය වන අතරේ, දකුණු ඉන්දියාවේ කර්නාටක, කේරළ සහ තමිල්නාඩු යන ප්‍රාන්තවල ජීවත් වන ‘කුරුම්බර්’ නම් ගෝත්‍රික ජනතාවක් පිළිබඳව ද අසන්නට ලැබේ. කාලවර්ණ සමකින් යුතු, ඔවුනටම ආවේණික බසක් කතා කරන මෙම කුරුම්බර් ගෝත්‍රිකයෝ අදටත් විවිධ ජන ප්‍රධානීන් යටතේ මෙහෙකාර සහ කම්කරු වෘත්තීන්හි යෙදෙති. ඒ අනුව පසුකාලීනව අප ජන සමාජයේ කිනම් හෝ ආකාරයකින් දේවත්වයට පත්ව ඇත්තේ, පසුව දෙවොල් දෙවියන් ලෙසින් දේවත්වයට පත් වූ පැරණි කේරළ ජන ප්‍රධානියකුගේ ‘කුරුම්බර’ නමින් හැඳින්වෙන අතවැසියන් පිරිසක් විය නොහැකි ද? ඒ කෙසේ හෝ ඉහත සඳහන් බෙලිඅත්ත මීගහවෙල හතේ කණුවේ දී මා දුටු තරුණ පිරිස හැඳින්වීම පිණිස මගේ මාමණ්ඩිය නූතනයේ බහුලවම යෙදෙන දේශපාලනික අවවහරක් වන පක්කලි යන්න වෙනුවට ‘කුරුම්බර’ යන ගෞරවනීය නාමය යොදා ගැනීම තුළ කිසියම් කාව්‍යාත්මක සුන්දරත්වයක් ඇතැයි මට දැන් සිතෙයි.
තිලක් සේනාසිංහ
(සිළුමිණ)