මෙවර වෙසක් සමය මුල් කොට අතිශය සොම්නස් සහගත පුවතක් නුවර එළියෙන් අසන්නට ලැබිණ. ඒ එම ප්‍රදේශය මුල් කොට එක්තරා තරුණ පරිසක් විසින් රුක් රෝපණ වැඩ සටහනක් දියත් කළ බවකි. නුවරඑළිය දිසා ලේකම් තුෂාරි තෙන්නකෝන්, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්. එම්. ඒ. රත්නායක සහ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් දනන්සූරිය යන මහත්ම මහත්මීන් ගේ ද සහභාගිත්වයෙන් එම රුක් රෝපණ වැඩ සටහන ක්‍රියාත්මක කොට ඇත්තේ නුවරඑළිය මීපිලිමාන අල් ෆලාන් ජුම්මා දේවස්ථානය කේන්ද්‍ර කර ගනිමින් නුවරඑළිය තරුණ මුස්ලිම් සංගමය විසිනි. එය අප සිත තුළ පැන නැගී සොම්නස් සහගත බව කිහිප ගුණයකින් ඉහළ නැංවීමට සමත් විය.
දාන, ශීල, භාවනා වෙසක් තොරණ, පහන් කූඩු, දන්සල් යන වෙසක් සංස්කෘතිය හා සබැඳි ප්‍රධානතම අංග අතරට රුක් රෝපණ වැඩසටහනක් එක් කිරීම බොහෝ දෙනකු තුළ යම් විමතියක් හා ඇතැම් විට කුකුසක් දනවන්නක් බව නිසැක ය. එහෙත්, මිනිසා ගේත් සොබා දහමේත් අනොන්‍ය සහජීවනයට ඉහළම ඇගැයුමක් දෙන බුදු සමය තුළින් රුක් රෝපණයට ලබා දී ඇති පිටිවහල කිසි සේත් සුළුපටු නැත.
දාන, ශීල, භාවනා වෙසක් තොරණ, පහන් කූඩු, දන්සල් යන වෙසක් සංස්කෘතිය හා සබැඳි ප්‍රධානතම අංග අතරට රුක් රෝපණ වැඩසටහනක් එක් කිරීම බොහෝ දෙනකු තුළ යම් විමතියක් හා ඇතැම් විට කුකුසක් දනවන්නක් බව නිසැක ය. එහෙත්, මිනිසා ගේත් සොබා දහමේත් අනොන්‍ය සහජීවනයට ඉහළම ඇගැයුමක් දෙන බුදු සමය තුළින් රුක් රෝපණයට ලබා දී ඇති පිටිවහල කිසි සේත් සුළුපටු නැත. ත්‍රිපිටකයට අයත් සංයුක්ත නිකායේ සහාථ වග්ගයට අයත් වනරෝප සූත්‍රයට අනුව ඒ සම්බන්ධයෙන් බුදුන් වහන්සේ සහ දේවතාවකු අතර ඇති වන දෙබසක් මතු දැක්වේ.
දේවතාවා :
කේසං දිවා ච රත්‌තෝ ච සදා පුඤ්‌ඤං පවඩ්ඪති
ධම්‌මට්‌ඨා සීලසම්‌පන්‌නා කේ ජනා සග්‌ගගාමිනෝති
“හැම කල්හි දිවා රාත්‍රී දෙකෙහි පින් වැඩෙන්නේ කවර කෙනෙකුට ද? ධර්මයෙහි පිහිටි සිල්වත් වූ කවර නම් ජනයෝ සුගති සංඛ්‍යාත දෙව්ලොව යත් ද?”
බුදුන් වහන්සේ :
ආරාමරෝපා වනරෝපා යේ ජනා සේතුකාරකා
පපඤ්‌ච උදපානඤ්‌ච යේ දදන්‌ති උපස්‌සයං
“යම් ජනයෝ උයන් වතු වවත් ද, වන වගාව කරත් ද, අන්‍යයන්ගේ පහසුව උදෙසා ඒදඬු පාලම් තනවත් ද, එසේ ම යම් තැනැත්තෝ පැන් පොකුණු, පැන්හල්, නිවාස ආදිය දන් දෙත් ද,
තේසං දිවා ච රත්‌තෝ ච සදා පුඤ්‌ඤං පවඩ්ඪති
ධම්‌මට්‌ඨා සීලසම්‌පන්‌නා තේ ජනා සග්‌ගගාමිනෝති
හැම කල්හි දිවා රෑ දෙකෙහි පින් වඩන්නෝ ඔවුහු ය. ධර්මයෙහි පිහිටි සිල්වත් වූ ඒ ජනයෝ සුගති සංඛ්‍යාත දෙව්ලොව යන්නාහු ය.
ඉහත සඳහන් ගාථා පාඨයේ පින් වැඩීම (ප්‍රඤ්ඤා පවඩ්ඩති) සම්බන්ධයෙන් සඳහන් වන විට දිවා රෑ දෙකෙහිම (දිවා ච රත්‌තෝ ච ) යනුවෙන් සඳහන් වීම ද විශේෂ කරුණක් මුල්කොට ගත් එකකි. නමුදු ඒ සම්බන්ධයෙන් අප සමාජයේ බොහෝ දෙනකු දැනුවත් ව හිඳින බවක් නොහැඟේ. එහෙත්, ඉහත සඳහන් සියළුම පුන්‍ය ක්‍රියා සමාජමය වශයෙන් බලන විට ප්‍රවර්ධනාත්මක කටයුතු බව නිසැක ලෙසම කිව යුතු ය. එමෙන්ම ඒ කටයුතු හුදු මිනිසාගේත් සතා සීපාවා ගේත් පස,වාතය සහ වෘක්ෂතා යන සංයුතීන් ගේත් තොරව පොදු යහපත තකා සිදු කෙරෙන ඒවා බව පෙනේ.එම යහපත නිරන්තරයෙන් පැවතීම හා ප්‍රවර්ධනය වීම නිරතුරු පින් වැඩීමක් සේ බුදුන් සිදු කොට ඇත්තේ ඉතා විශිෂ්ඨ අර්ථ දැක්වීමකි.එමෙමම පරිසර සංරක්ෂණය සේම පරිසර රසාස්වාදනය සම්බන්ධයෙන් බුදු දහමේ දැක්වෙන බොහෝ කරුණු අතුරින් ධම්මපදයේ අරහන්ත වග්ගයේ එන මෙම ගාථා පාඨය ඒ සඳහා දැක්විය හැකි පහසු නිදසුනකි.
රමණීයානි අරඤ්ඤානි
යත්ථ න රමති ජනෝ
වීතරාගා රමෙස්සන්ති
නතේ කාම ගවේසිනෝ
“කාමය සොයා යන රාගිකයා නො ඇලෙන රමණීය වූ වන අරණට වීතරාගීහු ඇලූම් කරති. ඔවුහු ස්වභාව ධර්මය කෙරෙහි නිශ්කාමී වූ සෞන්දර්ය රසයක් අත් විඳිති” යනුවෙන් එහි සඳහන් ව තිබීමෙන් බුදු දහමින් පරිසරයට කෙතරම් උත්තරීතර බවක් ප්‍රදානය කොට ඇත්දැයි අපට සිතා ගත හැක.අද බොහෝ දෙනකු රුක් රෝපණ වැඩ දකිනුයේ නවීන ලෝකය හා සම්බන්ධ ක්‍රියාකාරකම් ලෙසිනි. එහෙත්, ලොව එදා මෙදා තුර බිහි වූ සියළු ශාස්තෘ දේශනා අතුරින් පරිසරය සම්බන්ධ වැඩිම අගැයුමක් ලබා දී ඇති බුදු දහමින් පරිසර සංරක්ෂණය සේම පරිසර රසාස්වාදනය සම්බන්ධයෙන් ද බොහෝ කරුණු ඉදිරිපත් ව තිබේ.
සිංහල බසින් දේව ධර්මාචාර්ය වරුන් ගේ සභාව ලෙස නම් කළ හැකි සමස්ත ලංකා ජයිමතුල් උලමා මීට වසර 101 පෙර එනම් 1924 වසරේ ආරම්භ කරන ලද ඉස්ලාමීය ආගමික සංවිධානයකි. එහි වර්තමාන සාමාජිකයන් අතරේ ඉස්ලාම් දහම සම්බන්ධව ගැඹුරු හැදෑරීම් කළ සේම බුදු සමය ඇතුළු සමයාන්තර දැනුම් අවබෝධයන් සහිත විද්වතුන් හිඳින බව පැවසෙයි.
වර්තමාන වෙසක් උත්සව මුල් කොට සමාජගතව ඇති සියලුම අංග කිරීමක් හෝ නිශේධ කිරීමක් මෙහි දී සිදු නොකරමු.එහෙත්, ඉහත සඳහන් මුස්ලිම් තරුණයන් විසින් සිදුකරන ලද එම රුක් රෝපණ ක්‍රියාව ඔවුන්ගේ ආගම් අධිකාරිය විසින් අනුමත කිරීම අතිශයින් ප්‍රසංශා කටයුතු ය.
සමස්ත ශ්‍රී ලාංකීය ජනගහණයෙන් තුනෙන් දෙකකටත් වැඩි ජන කොටසක් නියෝජනය කරන සිංහල බෞද්ධ පදනම වත්මන් ශ්‍රී ලාංකීය ජාතිකත්වය ගොඩනැංවීමට මහෝපකාරී වී තිබේ.එය අතීත සංස්කෘතියේත්, සභ්‍යත්වයේත් එමගින් ගොඩනැගුණු ශිෂ්ටාචාරයේත් මූලික පදනම බව නිසැක ය.
එහෙත්, ශ්‍රී ලංකාව බහුජාතික බහු ආගමික රටක් ය යන වර්තමාන නිර්වචනයට අනුව ගතහොත් සිංහල බෞද්ධ යන්න ද අප රටේ ජීවත් වන එක් ජන කොටසක් වශයෙන් වෙන් කොට දැක්වීමට ද අපට සිදුවෙයි. ඒ අනුව මෙරට ජාතිකත්ව (Nationality )සංයුතිය තුළ සිංහල බෞද්ධ පදනමට හිමි ප්‍රමුඛතාව සේම ඔවුන්ගේ වාර්ගිකත්වය ද අපට බැහැර කළ නොහැක.අප එසේ පවසනුයේ මේවා අතිශයින් මධ්‍යස්ථ හා සහනශීලී ලෙස බැලිය යුතු වන නිසා ය.
ක්‍රි. පූ. තුන්වන සියවසේ මිහිඳු මහ රහතන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවට බුද්ධාගම රැගෙන ආ ප්‍රවෘත්තීය කුඩා දරුවන්ගේ පටන් මෙරට සිංහල, අසිංහල බෞද්ධ,අබෞද්ධ සෑම අයකුම අසා තේරුම් ගෙන ඇති පුවතකි. එහෙත් මගේ වැටහීම සහ නිගමනය අනුව මෙම ‘බුද්ධාගම රැගෙන ඒම’ යන වදන් ඔස්සේ නූතන සමාජය ඒ පිළිබඳ වැරදි සංකල්ප රාශියක් ගොඩනංවාගෙන තිබේ.
ඊට හේතුව ආගමක් රැගෙන ඒම යනු මූලධර්මවාදයක් (Fundamentalism) පැතිරවීමක් සේ අර්ථකථනය කිරීමට ද යමකුට ඇති හැකියාව ය. එනිසා බුදු දහම මෙ රටට හඳුන්වා දුන් මිහිඳු හිමියන්ට ආගම් ප්‍රචාරය කරන්නකුගේ භූමිකාව ආරෝපණය කළ පසුකාලීන ග්‍රන්ථ කරුවන් ගේ දෘෂ්ඨිය අබිබවා අප ඒ සම්බන්ධයෙන් ධර්මානුකූලව සිතා බැලිය යුතු ය.
බෞද්ධ රාජ්‍ය පාලනයේ පරමාදර්ශය ධර්ම රාජ්‍යය නමින් හැඳින්වෙයි. මෙය කිසියම් ආගමික රාජ්‍යයක් වශයෙන් යමකුට සිතිය හැකි වුව ද සක්විති රජ කෙනකුන් විසින් පාලනය කරනු ලබන ධර්ම රාජ්‍යය තුළ බුදු සමය ඇතුළු ලොව කිසිදු ආගමකට විශේෂ තැනක් හිමි නොවේ.මක් නිසා ද එහි වාර්ගිකත්වය අබිබවන නියත පරමාදර්ශය ආචාර විද්‍යාත්මක පදනමක් ඇති බැවිනි. දීඝ නිකායේ එන චක්කවත්තී සිහනාද සූත්‍රය පිරික්සීමෙන් එය මනාව වටහා ගත හැක.
බුදු දහමට අනුව පින සහ කුසලය අතර පැහැදිලි වෙනස් කම් තිබේ.බුදු දහමින් පැවසෙන අන්දමට නිර්වාණගාමී කුසලය බෞද්ධයනට පමණක් සීමා වුව ද සෙසු සැම අයකුටම පින් කර ගැනීමේ හා ඒවායේ ආනිශංස භුක්ති විඳීමේ විවෘත අවකාශයක් තිබේ.ඒ අනුව ඉහත සඳහන් මුස්ලිම් තරුණ ප්‍රජාවගේ එම රුක් රෝපණ සත් කාරිය බෞද්ධ අර්ථ කථන අනුව ද ඉතා උතුම් හා වටිනා සුගතිගාමී පියවරක් බව විශේෂයෙන් සටහන් කළ යුතුම ය.
මිනිසුන්ට සේම අපා, දෙපා, සිව් පා, බහු පා ආදී සතුන්ටත්, අහසේ පියාසර කරන පක්ෂීන් සහ ජලයේ වෙසෙන මත්ස්‍යයන්ටත් වෘක්ෂලතාදියටත් වාතය පස ජලය යන භෞමික සාධකවලටත් සම මෙත, සම සෙත ඉටු කෙරෛන මෙම බෞද්ධ ධර්ම රාජ්‍ය සංකල්පය ලොව පරමාදර්ශී දේශපාලන දර්ශනයකි.බුද්ධාගම ඇතුළු කිසිම ආගමික ලබ්ධියක් සුවිශේෂ කොට ගෙන ඊට විශේෂ අනුග්‍රහ සැලසිය යුතු යැයි එහි කිසිම තැනක සඳහන් නොවේ.
බුදු දහමට අනුව පින සහ කුසලය අතර පැහැදිලි වෙනස් කම් තිබේ.බුදු දහමින් පැවසෙන අන්දමට නිර්වාණගාමී කුසලය බෞද්ධයනට පමණක් සීමා වුව ද සෙසු සැම අයකුටම පින් කර ගැනීමේ හා ඒවායේ ආනිශංස භුක්ති විඳීමේ විවෘත අවකාශයක් තිබේ.ඒ අනුව ඉහත සඳහන් මුස්ලිම් තරුණ ප්‍රජාවගේ එම රුක් රෝපණ සත් කාරිය බෞද්ධ අර්ථ කථන අනුව ද ඉතා උතුම් හා වටිනා සුගතිගාමී පියවරක් බව විශේෂයෙන් සටහන් කළ යුතුම ය.
ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර