අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති පරිගණක අපරාධ ඒකකය පරිගණක අපරාධ කොට්ඨාසයක් දක්වා උසස් කර නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ ක්‍රියාත්මක කිරීමට තිරණය කර ඇතැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (20) ප්‍රකාශ කරනලදි.
ඉදිරියේදී පළාත් රැසක් ආවරණය වන පරිදි පරිගණක අපරාධ විමර්ශන උප ඒකක ස්ථාපිත කර පළාත් මට්ටමින් විමර්ශන සිදු කිරීමට කටයුතු කරයි. ඒ අනුව සයිබර් අපරාධ පිළිබඳ පැමිණිලි කඩිනමින් විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා පවසනලදි. එමෙන්ම පරිගණක අපරාධ විමර්ශන උප ඒකක සඳහා පුහුණු නිලධාරින් බඳවාගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කරනලදි.
දිනකට පරිගණක අපරාධ සම්බන්ධ පැමිණිලි 25ක් පමණ දළ වශයෙන් වාර්තා වන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කරනලදි.
එම සියලු පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවත් එම විමර්ශන සංකීර්ණ බවත් අමාත්‍යවරයා පවසයි.
විශේෂයෙන් උතුරු පළාතේ වැඩි වශයෙන් මෙම සයිබර් අපරාධ පිළිබඳ පැමිණිලි වාර්තා වන බවද ඇමැතිවරයා සඳහන් කරයි.
උතුරු පළාතේ 2020 වර්ෂයේ සයිබර් අපරාධ 24ක් , 2021 වසරේ දී 577ක්, 2022 වසරේ දී 654ක්, 2023 වසරේ දී 472ක්, 2024 වසරේ දී 1,539ක් ලෙස පැමිණිලි වාර්තා වූ අතර 2025 ඔක්තොබර් 31 දක්වා සයිබර් අපරාධ පිළිබඳව වාර්තාවීම් 2,368ක් වාර්තා වී ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටියි.
රට තුළ බොහෝ දිස්ත්‍රික්කයන්හි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පරිගණක අපරාධ උප ඒකකයන් ආරම්භ කර ඇති බව ද එතුමා අනාවරණය කරයි.
“යාපනය දිස්ත්‍රික්කයේ අන්තර්ජාල බැංකු වංචාවලට අදාළ පැමිණිලි 39ක් වාර්තා වෙනවා. අනවසර විද්‍යුත් මුදල් හුවමාරු සිදුවීම්වලට අදාළව පැමිණිලි 03ක්. එකතුව 42ක්. මන්නාරම වාර්තා වන්නේ නැහැ. කිළිනොච්චියේ අන්තර්ජාල බැංකු වංචා පැමිණිලි 04 ක්. මුලතිව් අන්තර්ජාල බැංකු වංචා 01ක්. වවුනියාව අන්තර්ජාල බැංකු වංචා පැමිණිලි 04ක්. උතුරු පළාතේ සම්පූර්ණ පැමිණිලි සංඛ්‍යාව 51ක්. උතුරු පළාත වන පරිදි පරිගණක අපරාධ හදිසි විමර්ශන ඒකකයක් මෙම වසරේ අප්‍රේල් සිට ස්ථාපිත කර තිබෙනවා. ඒ වගේම පරිගණක අපරාධ හදිසි විමර්ශන ඒකකයක් කොළඹත් තිබෙනවා. මෙවැනි උප ඒකක ගණනාවක් ස්ථාපිත කර තිබෙනවා.” යැයි ද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.