ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය සංවිධාන කරන අන්තර් පාසල් ජනාධිපති කුසලාන රග්බි තරගාවලිය අද (11) ආරම්භ වීමට නියමිතයි.
තරගාවලිය ආරම්භක දිනය වන අද තරග දෙකක් පැවැත්වෙන් අතර රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේදී ශාන්ත පීතර විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලයීය කණ්ඩායමත්, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය සී.ආර්. ඇන්ඩ් එෆ්.සී ක්රීඩාංගණයෙදීත් පැවැත්වීමට නියමිතයි.
කණ්ඩායම් 16ක් තරග වදින මෙම තරගාවලියේ අනෙක් තරග 13, 14 සහ 15 යන දිනයන්හිදී පැවැත්වේ. අනතුරුව අර්ධ අවසන් පූර්ව තරග 21 වැනිදා සහ 22 වැනිදාත්, අවසන් පූර්ව තරග 28 වැනිදා සහ 29 වැනිදාත් පැවැත්වෙද්දී අවසන් මහා තරගය අප්‍රේල් 4 වැනිදා සුගතදාස ක්‍රීඩාංගණයේ හෝ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි.
මෙවර තරගාවලියට ඉහත කණ්ඩායම් හතරට අමතරව, ඉසිපතන විද්‍යාලය, විද්‍යා විද්‍යාලය, ශාන්ත ජෝසප් විද්‍යාලය, කිංගස්වුඩ් විද්‍යාලය, ඩී.එස්. සේනානායක විද්‍යාලය, සහීරා විද්‍යාලය, ශාන්ත තෝමස් විද්‍යාලය, ශ්‍රී සුමංගල විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, මහානාම විද්‍යාලය මෙන්ම රාජකීය විද්‍යාලය සහ ශාන්ත අන්තෝනි විද්‍යාලය එක්වෙති.
මෙම තරගාවලියට අමතරව, අගමැති කුසලාන තරගාවලිය 14 වැනිදා ආරම්භ වන අතර සභාපති කුසලාන තරගාවලිය අනිද්දා (13) ආරම්භ වේ. අගමැති කුසලාන තරගාවලියට කණ්ඩායම් 11ක් තරග වදිද්දී, සභාපති කුසලාන තරගාවලියට කණ්ඩායම් 16ක් තරග වදිති.