බොදු බැතියත් පරිසර බැතියත් එක්ව වඩවා ගත හැකි සිරිපා ගමනක් !

තවත් ශ්‍රී පාද වන්දනා සමයක් අත ළඟටම ඇවිත්. අතීතයේ තෙරුවන කෙරෙහි ඇති අචල වූ ශ්‍රද්ධා භක්තිය මුල්කොට ශ්‍රී පාදස්ථානයට පිවිසි නැත්නම් ශ්‍රී පාදය කරුණා කළ පිරිසට අමතරව වර්තමානයේ පරිසර ලෝලීන් ද මේ අසිරිමත් වන පාරාදීසය මැදින් සිරි පා කරුණාවේ යෙදෙන බව රහසක් නොවෙයි.

ඒ අතරේ තවත් පිරිසක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උඩරට වැසි වනාන්තරයක් වන ශ්‍රී පාද අඩවිය ඔස්සේ අවාරයේ සිරිපා හිමය තරණය කරන අවස්ථාත් තිබෙනවා.

වර්තමානයේ ජනප්‍රියතම ශ්‍රී පාද වන්දනා මාර්ගය හැටන් නල්ලතන්නි මාර්ගය වුණත් අතීතයේ අප රටේ වැඩිම දෙනෙක් ශ්‍රී පාදය කරුණා කොට ඇත්තේ රත්නපුර,මල්වල, ගිලීමලේ ශ්‍රීපලාබද්දල, පවනැල්ල ආදී නගර සහ ගම්මාන පසු කොට සිරිපා හිමයට පිවිසිය හැකි මාර්ගය ඔස්සේයි.

පැරණි රජ දරුවන් සහ දේශ ගවේෂකයන් සිරිපා වන්දනාවේ යෙදුණු පැරණි සිරිපා ‘රජ මාවත’ ට සමාන්තරව වැටී ගත් මේ ශ්‍රී පාද මාර්ගය ඔස්සේ හිමයට පිවිසෙන තැන හැඳින්වෙන්නේ දොරළ කඩේ නමින්. දොරළ නම් වන විශාල ගසක් යට දිගු කලක් තිස්සේ ශ්‍රීපාද වන්දනා සමයට මේ ස්ථානයේ කඩයක් පවත්වාගෙන යාම මුල් කොට මෙතැනට “දොරළ කඩේ” යන නම ලැබී තිබෙනවා.

ඉන් පසුව කෙමෙන් ශ්‍රී පාද කන්දේ ඉහළට නඟින විට කෙකටිය කඳ; ලීනි හෙළ,කටු කිතුල වංගුව, ගෝනතල්ල, ගැට නිටුල, කොඩිය හෙළ, ධර්මරාජ ගල, ගල්පොත්ත කඩේ, සෙවලගල, සීත ගඟුල, හීන් ගඟුල, හැරමිටිපාන, මැහැල්ල මළ කඳුළ, ආඬියාමල තැන්න, ඇහැල කනුව, අහස් ගව්ව, මහගිරිදඹය ඔස්සේ සිරි පා මලුවට පිවිසෙන්න පුළුවන්.

ශ්‍රීපලාබද්දල ඔස්සේ සිරිපා කරුණා කරන විට හමුවන ඉහත සඳහන් ස්ථානවලින් ලීනි හෙළ, ධර්මරාජගල කියන ස්ථානවල විශේෂ වැදගත් කමක් තිබෙනවා. ලීනි හෙළ අතීතයේ එම ස්ථානයේ ජීවත් වී අද්දර ප්‍රපාතයෙන් ඇද වැටී මිය ගිය “ලීනි”නම් කාන්තාවක සම්බන්ධ ප්‍රවාදයක් හා සම්බන්ධයි. අදත් සිරි පා වන්දනාවේ යන සමහරු ඒ ලීනි හෙළ අම්බලමේ නැවතී සිට ඒ අද්දර ප්‍රපාතය දෙසට මුව හරවා ‘ලීනි අක්කේ’යනුවෙන් හඬ නඟා කෑ ගසනවා. එවිට ඒ සමඟම ඒ ප්‍රපාතය දෙසින් නැඟෙන “ඕ…. ඕ….”යනුවෙන් නැඟෙන දෝංකාරය එසේ මළ ලීනි අක්කා ගේ හඬ ආත්මීය දෝංකාරය බවයි ජන විශ්වාසයේ පවතින්නේ.

එනිසාම අතීතයේ මේ මාර්ගය ඔස්සේ සිරි පා කරුණා කර උවසු උවැසියන් මේ ලීනි හෙළ අම්බලමේ නතර වී පන්සිල් සමාදන්ව ඒ ලීනි අක්කාට පින් අනුමෝදන් කරවූ බව ද ශ්‍රීපලාබද්දල චන්දිමාලෝක හිමියන් වරක් අප හා කියා සිටියා.

ලීනි හෙළේ සිට තවත් ඉහළට ගමන් කළ විට හමුවන ධර්මරාජ ගලේ ඇති ගල් පඩි ගණන කිසිවෙකුටත් නිවැරදි ලෙස ගණන් කළ නොහැකි බවට පවතින ජන විශ්වාසය අදටත් සමාජයෙන් මුලුමනින් මැකී ගොස් නැහැ. මේ ගල් පඩි ‘ධර්මරාජ’ නම් උපාසකයකු විසින් කරවූ බවයි ජන ප්‍රවාදවල සඳහන් වන්නේ.

මීට අමතරව කොඩිය හෙළ යන ධර්මරාජ ගල අතර හමුවන තවත් සුවිශේෂී තැනක් වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ගංගා තුනෙන් එකක් වන කළු ගඟේ ආරම්භය සනිටුහන් කෙරෙන කුඩා දියපාර .සිරිපා වන්දනාවේ දී ඉතා වැදගත් සේ සැළකෙන ස්ථානයක් තමයි සීත ගඟුල.හැටන්, නල්ලතන්නි, කුරුවිට, එරත්න යන පාරවල් දෙකේ ද සීත ගඟුල් ඇතත් මුහුදු මට්ටමේ සිට ඉහළම සීත ගඟුල හමුවන්නේ මේ රත්නපුර, ශ්‍රීපලාබද්දල මාර්ගයේ.මේ සීත ගඟුල කුරු ගඟ බවයි කියැවෙන්නේ.

රත්නපුර, ශ්‍රීපලාබද්දල සහ කුරුවිට, එරත්න යන ශ්‍රීපාද මාර්ග දෙක එකම ශ්‍රීපාද මාර්ගයක් බවට පත්වෙන හැරමිටිපාන කියන්නේ ශ්‍රීපාද වන්දනා ගමනේ සුවිශේෂ තැනක්.

ශ්‍රීපාද වන්දනාකරුවන් ගේ සුවිශේෂ ගිමන් පොලක් වන මේ ස්ථානය මුහුදු මට්ටමින් මීටර් එක් දහස් හයසිය පනහක් උසින් පිහිටා තිබෙනවා.

ඊට පසුව හමුවන ඇහැල කනුවන් දඹේ නම් අංශක 60-80 දක්වා වන ඔස්සේ අසීරුකඳු තරණයක යෙදිය යුතු මහගිරි දඹේ නම් ප්‍රපාතාකාර පියගැට පෙළක් හමුවන්නේ ඊට පසුවයි. මේ සිරිපා කරුණාවේ දී තුන් සරණේ කවි කියමින් පියවර නැඟු පැරණි වන්දනාකරුවන් මේ මහගිරි දඹය පසු කරන විට තමන් ගේ ගායනා සහ ගායනා ස්වරය ද වෙනස් කරගත් බව පැවසෙනවා.

’‘හෙළේ නගින් ඩෝං පුතා-අග්ගලා කන් ඩෝං පුතා” ආදී වශයෙන් හඬ නඟා පැවසීමෙන් මේ පර්වතය තරණය කිරීම සම්බන්ධ බිය සැක නැතිවී කායික, මානසික ශක්තිය ප්‍රවර්ධනය වී ආත්ම විශ්වාසය තහවුරු වූ බව පැහැදිලියි. අතීතයේ මේ මහ ගිරි දඹය තරණය කිරීම සඳහා දම්වැල් වල එල්ලී ගමන් කළ යුතු වූ බවත් එනිසාම ඒ දම්වැල් අත හැරීමෙන් වන්දනා කරුවන් සැලකිය යුතු පිරිසක් මරුමුවට පත් වූ බවත් පැරණි ලේඛනවල සඳහන්. නමුත් අද නම් එවැනි තත්වයක් ඇත්තේම නැහැ.

මේ රත්නපුර ශ්‍රීපලාබද්දල ශ්‍රීපාද මාර්ගයේ සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝ මීටර් නවයක් පමණ වෙනවා. ඒක හැටන් නල්ලතන්නි ශ්‍රීපාද මාර්ගයේ දුර ප්‍රමාණය කිලෝ මීටර් නවයක් විතර වෙනවා. ඒක හැටන් නල්ලතන්නි ශ්‍රීපාද මාර්ගයේ දුර ප්‍රමාණය වගේ දෙගුණයක්. ඒ හින්දම ශ්‍රීපලාබද්දල සිට මේ මාර්ගය ඔස්සේ සිරිපා කරුණාකරන්න පැය අටක් හෝ ඊට වැඩි කාලයක් ගත වෙනවා.

ඒවගේම හැටන් නල්ලතන්නි ශ්‍රීපාද මාර්ගයේ මෙන් වන්දනා කරුවන් සඳහා වෙළෙඳ සැල් බහුල නොවීම වැනි හේතුන් නිසා වර්තමානයේ සමහරුන් මේ මාර්ගය ඔස්සේ සිරි පා කරුණාවට යොමු වන පිරිස්වල යම් අඩුවක් දකින්න පුළුවන්.

නමුත් ශ්‍රී පලාබද්දල ශ්‍රී පාද මාර්ගය වැටී ඇත්තේ සත්ව,ශාඛ ප්‍රජාව අතින් අතිශය පොහොසත් ජෛව විවිධත්වයෙන් අනූන අති විශිෂ්ඨ පාරිසරික පද්ධතියක් මැදින්.,එනිසා බොදු බැතිය වගේම සොබා දහම, පරිසරය මුල් කොටගත් මේ ලෝකයේ පැවැත්මට ඉවහල් වන ජෛවමය බලපෑමත් ආගම, දහම ලෙසට උතුම් කොට සළසන සංවේදී හදවත් සහ ප්‍රඥාවන්ත මනැස් ඇත්තවුන්ට මේ ශ්‍රීපලාබද්දල ශ්‍රීපාද මාර්ගයෙන් බුදු බැතියට අමතරව පරිසර බැතිය ද හදවත් තුළ ප්‍රවර්ධනය කරගන්නට ඉඩ කඩ සැලසෙන බව නිසැකවම කියන්න පුළුවන්.

 

සටහන – සහන් සංකල්ප සිල්වා
ඡායාරූප – අමිත් උදයංග

හරිත දනව්ව