බොහොමයක් නොදත් දේශපාලනඥයන්ගේ “අලංකාර ශාස්ත්‍රය” – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය

බලයට පත්වන සෑම රජයක් සම්බන්ධයෙන්ම නැඟෙන ප්‍රධානතම සහ පොදු චෝදනාව වන්නේ මැතිවරණ ජයග්‍රහණය උදෙසා ජනතාවට අසත්‍ය ප්‍රකාශ කිරීම සහ ඉටු කළ නොහැකි බොරු පොරොන්දු ලබා දීමයි. වත්මන් දේශපාලන කරළිය තුළ මෙම චෝදනාව වෙනදාටත් වඩා බරපතල ලෙස එල්ල වෙමින් පවතිනු පෙනේ. ඇතැමුන් පවසනුයේ වත්මන් රජය ජනතාවට බොරු පොරොන්දු කන්දරාවක් දී බලය ලබා ගත් බවකි. එහෙත්, සාමාන්‍ය ව්‍යවහාරයේදී අප ‘බොරු කීම’ ලෙස හඳුන්වන මෙම ක්‍රියාවලිය විෂයානුබද්ධව විමසීමේදී එය වාග් චාතූර්ය (Rhetoric) නමැති සන්නිවේදන උපාය මාර්ගය සමඟ තදින් බැඳී පවතින බව පෙනී යයි.

වාග් චාතූර්ය යනු හුදු හිස් වචන මාලාවක් නොවේ; භාෂාව හෝ සන්නිවේදනය භාවිත කරමින් අන් අයව පෙළඹවීමේ හෝ ඒත්තු ගැන්වීමේ කලාවයි (The Art of Persuasion). මෙහිදී යම් අදහසක් සාමාන්‍ය පරිදි ප්‍රකාශ කරනු වෙනුවට, එය අසන්නාගේ සිතට තදින් කාවදින ලෙස තර්කානුකූලව සහ ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කිරීමට අවධානය යොමු කෙරේ. ලෝක සම්මතයට අනුව මෙය සිතා මතා කරන අසත්‍ය ප්‍රකාශයක් නොවිය යුතු අතර, සත්‍යය වඩාත් ඔපමට්ටම් කර (Decorated Truth) ඉදිරිපත් කිරීමක් විය යුතුය.

වාග් චාතූර්ය යනු හුදු හිස් වචන මාලාවක් නොවේ; භාෂාව හෝ සන්නිවේදනය භාවිත කරමින් අන් අයව පෙළඹවීමේ හෝ ඒත්තු ගැන්වීමේ කලාවයි (The Art of Persuasion). මෙහිදී යම් අදහසක් සාමාන්‍ය පරිදි ප්‍රකාශ කරනු වෙනුවට, එය අසන්නාගේ සිතට තදින් කාවදින ලෙස තර්කානුකූලව සහ ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කිරීමට අවධානය යොමු කෙරේ. ලෝක සම්මතයට අනුව මෙය සිතා මතා කරන අසත්‍ය ප්‍රකාශයක් නොවිය යුතු අතර, සත්‍යය වඩාත් ඔපමට්ටම් කර (Decorated Truth) ඉදිරිපත් කිරීමක් විය යුතුය.

ක්‍රි.පූ. 384 දී ග්‍රීසියේ උපන් මහා දාර්ශනික ඇරිස්ටෝටල් මෙහි ප්‍රධාන අංග තුනක් පෙන්වා දී ඇත. එනම් විශ්වසනීයත්වය (Ethos) හෙවත් කථා කරන පුද්ගලයාගේ අවංකභාවය, පෞරුෂය සහ දැනුම මත පදනම්ව අසන්නා තුළ ඇති කරන විශ්වාසය; හැඟීම්බර බව (Pathos) හෙවත් අසන්නා තුළ ආදරය, කෝපය, අනුකම්පාව වැනි හැඟීම් අවදි කරමින් ඔවුන්ව තම මතයට නතු කර ගැනීම; තර්කය (Logos) හෙවත් දත්ත, සංඛ්‍යාලේඛන සහ විද්‍යාත්මක සාධක ඉදිරිපත් කරමින් බුද්ධිමය ලෙස කරුණු පැහැදිලි කිරීමයි.

මෙම ක්‍රමෝපාය දේශපාලන කතා, වෙළඳ දැන්වීම් සහ නීතිමය තර්කවලදී බහුලව භාවිත වේ. දක්ෂ දේශපාලනඥයා කරන්නේ තමාගේ “පොරොන්දුව” සහ “සත්‍යය” අතර ඇති වෙනස හඳුනාගත නොහැකි වන සේ මෙම වාග් චාතූර්ය භාවිත කිරීමයි. දේශපාලනයේ ප්‍රධානතම සුදුසුකමක් සේ ප්‍රායෝගික ප්‍රඥාව (Phronesis) ගැනෙනුයේ එබැවිනි. “ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියන විරුදාවලියට අමතරව මේ රටට ඉන්දියාවේ හසරැල්ල කියන විරුදාවලිය ලබා දීමට සුදුසු තිරසාර වැඩපිළිවෙළක් අපි සතුව තියෙනවා” වැනි මනමෝහනීය ප්‍රකාශවලින් ජනතා සිත්සතන් දිනා ගැනීමේ හැකියාව බොහෝ දේශපාලනඥයන් තුළ විවිධ ප්‍රමාණවලින් පවතී. එසේ නොමැත්තවුන් හට දේශපාලන ලොව දිග්විජය කිරීමට නම් එය අබිබවන වෙනත් සුවිශේෂ හැකියාවන් තිබිය යුතුය.

බටහිර වාග් චාතූර්ය (Rhetoric) ට සමාන්තරව පෙරදිග සාහිත්‍ය විචාරයේ හදවත බඳු වූයේ අලංකාර ශාස්ත්‍රයයි. ‘අලංකාර’ යන්නෙහි සරල අර්ථය ‘ආභරණය’ යන්න වුවද, සාහිත්‍යයේදී එයින් අදහස් කරන්නේ කාව්‍යයක සුන්දරත්වය සහ රසය තීව්‍ර කරන උපක්‍රම බව ප්‍රකටය. මෙහි මූලික බීජ වෛදික සාහිත්‍යය දක්වා දිවයන අතර, ක්‍රි.පූ. 2 වන සියවසේ භරත මුණිගේ ‘නාට්‍ය ශාස්ත්‍රය’ හරහා මෙය විහිද යයි. එහි උපමා, රූපක, දීපක සහ යමක යන ප්‍රධාන අලංකාර හතරක් ගැන සඳහන් වේ.

ක්‍රි.ව. 6-7 සියවස්වල විසූ ‘කාව්‍යාලංකාර’ කෘතිය කළ භාමහ සහ ‘කාව්‍යදර්ශ’ කෘතිය කළ දණ්ඩින් මෙම විෂය ස්වාධීන මට්ටමකට ඔසවා තැබූ අතර, පසුව වාමනගේ ‘රීති වාදය’, ආනන්දවර්ධනගේ ‘ධ්වනි වාදය’ වැනි කෘතීන් මඟින් මෙයට නව මානයන් එක් කොට තිබේ.

සාමාන්‍ය ව්‍යවහාර භාෂාවට වඩා වෙනස් වූ, චමත්කාරජනක ප්‍රකාශන ශෛලියක් ගොඩනැගීම පෙරදිග අලංකාර ශාස්ත්‍රයේ අරමුණයි. එහිදී ප්‍රධාන කොටස් දෙකක් හඳුනාගත හැකිය. ඒ එළිසමය, අනුප්‍රාසය වැනි වචනවල ශබ්දයෙන් ඇතිවන මිහිරියාව හෙවත් ශබ්දාලංකාරය සහ උපමා, රූපක, උත්ප්‍රේක්ෂා හා වක්‍රෝක්ති මගින් අර්ථයට ලබාදෙන ගැඹුර හෙවත් අර්ථාලංකාරය වශයෙනි.

සිංහල සාහිත්‍යයේ මධ්‍යතන යුගයේදී රචිත සසදාවත, මුවදෙව්දාවත වැනි ගී කාව්‍ය සඳහා මෙම අලංකාර ශාස්ත්‍රය දැඩි නීතිරීති මාලාවක් ලෙස යෙදී ඇති බව පෙනේ. එමඟින් සාහිත්‍යය විදග්ධයන් අතර ජනප්‍රිය වුවද, ඒවායේ පවත්නා ශාස්ත්‍රීය ගාම්භීරත්වය නිසා එය සාමාන්‍ය ජනයාගෙන් තරමක් දුරස් විය. කලා රසිකත්වයට විදග්ධ නම් වන සුවිශේෂත්වයක් ආරෝපණය වූයේ මෙබඳු සංසිද්ධීන් පදනම් කර ගනිමිනි. ඉන් ගම්‍ය වූ පොදු සමාජමය අරුත වූයේ අලංකාරෝක්තිය නිවැරදිව වටහා ගත හැක්කේ ප්‍රඥාවන්තයන්ට පමණක් බව ය. මෙහි කිසියම් තාර්කික පදනමක් තිබේ. මෙය නූතනයේ ද එලෙසින්ම වරනැඟෙන්නකි.

තම දේශපාලන ප්‍රකාශන තුළ වක්‍රෝක්ති කෙළින් නොකියා වටින් ගොඩින් කීම සහ අතිශයෝක්ති අගය වැඩි කර පෙන්වීම බහුලව භාවිත කරති. අලංකාර ශාස්ත්‍රයේ මූලික පරමාර්ථය වන්නේ “ආනන්දයෙන් ප්‍රඥාවට” (Delight to Wisdom) මඟ පෙන්වීම වුවද, ප්‍රඥාවෙන් සන්නද්ධ නොවූ ජනතාවක් හමුවේ සිදු කෙරෙන දේශපාලන අලංකාරෝක්ති බොහෝ විට සමස්ත සමාජයම “ආනන්දයෙන් මුළාවට” ඇද දමන්නක් බව පෙනේ.

අද දවසේ දේශපාලනඥයන් කරන්නේ ද මේ හා සමාන ක්‍රියාවකි. ඔවුන් තම දේශපාලන ප්‍රකාශන තුළ වක්‍රෝක්ති හෙවත් කෙළින් නොකියා වටින් ගොඩින් කීම සහ අතිශයෝක්ති හෙවත් අගය වැඩි කර පෙන්වීම බහුලව භාවිත කරති. අලංකාර ශාස්ත්‍රයේ මූලික පරමාර්ථය වන්නේ “ආනන්දයෙන් ප්‍රඥාවට” (Delight to Wisdom) මඟ පෙන්වීම වුවද, ප්‍රඥාවෙන් සන්නද්ධ නොවූ ජනතාවක් හමුවේ සිදු කෙරෙන දේශපාලන අලංකාරෝක්ති බොහෝ විට සමස්ත සමාජයම “ආනන්දයෙන් මුළාවට” ඇද දමන්නක් බව පෙනේ. කලා මාධ්‍යයන් තුළ අලංකාරය යනු අත්දැකීමක් වඩාත් ස්නිග්ධ හා තීව්‍ර ලෙස ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් වන අතර ඒ කෙරෙහි නැඹුරු වනුයේ උසස් රසඥතාවකින් යුතු පිරිසක් පමණි. සාහිත්‍යකරුවා එය සහෘදයාගේ රසඥතාව සහ විචාර බුද්ධිය වර්ධනයට යොදා ගන්නා අතර, දේශපාලනඥයා එය බොහෝ විට යොදා ගන්නේ තර්කය (Logos) යටපත් කර හැඟීම් (Pathos) අවදි කිරීම හරහා බලය ලබා ගැනීමටය. එබැවින්, දේශපාලන පොරොන්දු දෙස හුදු “බොරු” ලෙස පමණක් නොව, ඒවායේ ඇති “අලංකාරෝක්ති” උපක්‍රම හඳුනා ගනිමින් විචාරශීලීව බැලීම වර්තමාන පුරවැසියාගේ වගකීමකි.

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර – හිටපු මානව විද්‍යා මහාචාර්ය

පහන් ටැඹ