බොහොමයක් නොදත් නූතන සර්වඥ ධාතු කතා – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති

vinivida

අද (05) සිට ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවට කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී, ඉන්දියාවේ ගුජරාටයෙන් සොයාගනු ලැබූ සර්වඥ ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීමේ අතිදුර්ලභ අවස්ථාව හිමි වේ. ලබන 11 වැනි දින දක්වා පැය විසිහතර පුරාම පැවැත්වෙන මේ සර්වඥ ධාතු ප්‍රදර්ශනය සුවිශේෂී එකක් වන්නේ, ගුජරාටයෙන් සොයාගනු ලැබූ මෙම ධාතූන් වහන්සේලා මීට පෙර ශ්‍රී ලංකාවට වැඩමවා නොමැති බැවිනි. එමෙන්ම මෙම ධාතූන් වහන්සේලා ඉන්දියාවෙන් පිටතට වැඩමවන ප්‍රථම අවස්ථාව ද මෙය වේ.

ගුජරාටයේ අරාවල්ලි දිස්ත්‍රික්කයේ ශම්ලාජි අසල ‘දෙවන්මෝරි’ පුරාවිද්‍යා වැඩබිමෙන් මෙම ධාතූන් වහන්සේලා සොයාගනු ලැබුවේ 1960-62 කාලසීමාවේදී ය. මේ සඳහා වන කැණීම් කටයුතු සිදුකරනු ලැබුවේ බැරෝඩාහි මහරාජ් සයජිරාවෝ විශ්වවිද්‍යාලය සහ මහාචාර්ය එස්. එන්. චෞද්‍රි විසිනි. මෙම කැණීම් සිදුකර තිබුණේ ක්‍රිස්තු වර්ෂ හතරවන සියවසට අයත් යැයි සැලකෙන ඉපැරණි දාගැබකය. එම දාගැබේ කැණීම්වලින් හමුවූ ගල් කරඬුවක බ්‍රාහ්මී අක්ෂරයෙන් “දස බල සරිර නිලෙ” යන වචන සටහන්ව තිබූ බව පැවසේ. එම කරඬුව තුළ තිබී හමුවූ අස්ථි කොටස් සමඟ ටෙරාකොටා මැටියෙන් නිමවූ කුඩා බුදු පිළිම ද වූ බව සඳහන් වේ. කරඬුවේ වූ සටහනත්, ඇතුළත වූ බුදු පිළිම නිසාත් මේවා නිසැකවම බුදුන් වහන්සේගේ ධාතූන් බව ඉන්දීය පුරාවිද්‍යා අධිකාරිය මඟින් සනාථ කර ඇත.

බුදුරදුන් පිරිනිවීමෙන් පසු ශ්‍රී දේහය ආදහනය කර ඉතිරි වූ ධාතූන් කොටස් අටකට බෙදා එකල භාරතයේ රජවරුන් අටදෙනෙකුට ලබාදුන් බව මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වේ. ගුජරාටයේ දෙවන්මෝරි දාගැබෙන් සොයාගනු ලැබුවේ, එසේ බෙදාදුන් ධාතූන්ගෙන් බටහිර ඉන්දියාවේ කිසියම් පාලකයෙකුට ලැබුණු කොටසකින් ලබාගත් ධාතූන් වන්නට බොහෝ දුරට ඉඩ ඇත.

බුදුරදුන් පිරිනිවීමෙන් පසු ශ්‍රී දේහය ආදහනය කර ඉතිරි වූ ධාතූන් කොටස් අටකට බෙදා එකල භාරතයේ රජවරුන් අටදෙනෙකුට ලබාදුන් බව මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වේ. ගුජරාටයේ දෙවන්මෝරි දාගැබෙන් සොයාගනු ලැබුවේ, එසේ බෙදාදුන් ධාතූන්ගෙන් බටහිර ඉන්දියාවේ කිසියම් පාලකයෙකුට ලැබුණු කොටසකින් ලබාගත් ධාතූන් වන්නට බොහෝ දුරට ඉඩ ඇත.

මීට පෙර ඉන්දියාවෙන් හමුවූ සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට වැඩම වූ අවස්ථාවන් පිළිබඳ සිහිපත් කිරීමට මෙය අතිශය උචිත අවස්ථාවක් යැයි මට සිතේ. ඒ පිළිබඳ සොයා බැලීමේදී මුල්ම අවස්ථාව ලෙස හමුවන්නේ 1940 වසරේ සිදුවූ ධාතු වැඩමවීමකි. එදා එම ධාතූන් තැන්පත් කරන ස්ථානය සම්බන්ධයෙන් ඇති වූ මහා මතභේදයක් පිළිබඳ වල්පොල රාහුල හිමියන්ගේ චරිතාපදානයේ සඳහන් වේ. මෙම සර්වඥ ධාතූන් සහිත කරඬුව හමුවී තිබුණේ ඉන්දියාවේ ‘භිල්සා’ ස්තූපයේ කැණීම්වලිනි.

මධ්‍ය ප්‍රදේශ්හි පිහිටි භිල්සා ස්තූපය ඝන වනාන්තරයෙන් වැසී තිබියදී සොයාගනු ලැබුවේ 1850 දශකයේ මුල් භාගයේදී ය. මේ සඳහා මුල් වූයේ එවක බ්‍රිතාන්‍ය හමුදාවේ ඉංජිනේරුවරයෙකු වූ ඇලෙක්සැන්ඩර් කනිංහැම් සහ ලුතිනන් මේසිය. ඔවුන් විසින් සිදුකළ කැණීම්වලදී සර්වඥ ධාතූන් සහිත කරඬුවක් ඇතුළු බොහෝ පුරාවස්තු හමුවිය. එවක සිරිත අනුව ඒවා බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට භාර දුන්න ද, සර්වඥ ධාතූන් සහිත කරඬුව ලුතිනන් මේසි සිය භාරයේ තබාගත්තේ සිහිවටනයක් ලෙසිනි. පසුව ජනරාල් පදවිය දක්වා උසස් වූ මේසිගේ මරණයෙන් පසු 1939 වන විට මෙම කරඬුව අයත්ව තිබුණේ ඔහුගේ මිනිබිරිය වූ විනිප්‍රිඩ් බරෝස් මැතිණියටයි.

බෞද්ධයන්ට මාහාර්ඝ වස්තුවක් වන මෙම ධාතූන් වහන්සේලා බෞද්ධ රටකට ලබාදිය යුතු යැයි අදහස් කළ බරෝස් මැතිණිය, ඒ පිළිබඳව එවක ලංකාවේ ආණ්ඩුකාර ඇන්ඩෘ කොල්ඩිකොට්ගේ සොයුරිය වූ ලෝං මෝර් මැතිණිය දැනුවත් කළාය. ලෝං මෝර් මැතිණිය සිය සොයුරු ආණ්ඩුකාරවරයාට මේ බව දැනුම් දීමෙන් පසු, ඔහු ඒ පිළිබඳව එවක ස්වදේශ කටයුතු අමාත්‍ය හා සභානායක ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මහතා සමඟ සාකච්ඡා කළේය. තමා දායක සභාවේ සභාපතිත්වය දැරූ විද්‍යාලංකාර පිරිවෙනේ මෙම ධාතූන් තැන්පත් කළ හැකි බව එතුමා ප්‍රකාශ කළේය.

ගුජරාටයේ අරාවල්ලි දිස්ත්‍රික්කයේ ශම්ලාජි අසල දෙවන්මෝරි පුරාවිද්‍යා වැඩබිමෙන් සොයා ගත් සර්වඥ ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවට වැඩම කිරීමට සූදානමින්

කෙසේ වෙතත්, මෙම ධාතූන් කැලණි රජමහා විහාරයේ තැන්පත් කළ යුතු බවට ලේක් හවුස් අධිපති ඩී. ආර්. විජේවර්ධන මහතා ඇතුළු පිරිසකගෙන් ප්‍රබල විරෝධයක් මතු විය. ඩී. එස්. සේනානායක, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක වැනි නායකයෝ ද මෙහි පසුබිමේ සිටියහ. විද්‍යාලංකාර පාර්ශ්වය වෙනුවෙන් වල්පොල රාහුල හිමියන් සහ කළල්ඇල්ලේ ආනන්ද සාගර හිමියන් ඉදිරිපත් විය. අවසානයේ ඇතිවූ විවිධ මත ගැටුම් මධ්‍යයේ, 1940 අප්‍රේල් 4 වැනි දින භිල්සා සර්වඥ ධාතූන් වහන්සේලා විද්‍යාලංකාර පිරිවෙනේ ධාතු මන්දිරයේ තැන්පත් කරන ලදී.

දෙවැනි වරට ඉන්දියාවෙන් සර්වඥ ධාතූන් වැඩම කළේ 1978 වසරේදී ය. ඒ ඉන්දීය කපිලවස්තුවට අයත් ‘පිප්‍රාවා’ දාගැබේ කැණීම්වලින් හමුවූ ධාතූන් වහන්සේලා ය. 1899 දී විලියම් පෙප්පේ විසින් සිදුකළ මෙම කැණීම්වලදී හමුවූ කරඬුවේ “ඉයං සලිල නිදනෙ බුධස භගවතෙ සකියානං සහගිනිකානං සුඛිත හතානං” යනුවෙන් සටහන්ව තිබුණි. එහි තේරුම වන්නේ “මේ ශාරීරික නිධානය ශාක්‍යයන්ගේ භාග්‍යවත් බුදුන්ගේ ය” යන්නයි.

1978 දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් පරිදි මෙම ධාතූන්ගෙන් කොටසක් මෙරටට වැඩමවා දිවයින පුරා ප්‍රදර්ශනය කරන ලදී. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ, මෙම ධාතු කරඬුව මුලින්ම සොයාගත් පෙප්පේ මහතා එහි අක්ෂර කියවා ගැනීමට වස්කඩුවේ ශ්‍රී සුභූති හිමියන්ගේ සහාය ලබා ගැනීමත්, පසුව එයින් ධාතූන් හයනමක් එම හිමියන්ට පූජා කිරීමත් ය. එම ධාතූන් වහන්සේලා දැනට වාද්දුව විහාරස්ථානයක තැන්පත් කර ඇත.

පිප්‍රාවා දාගැබෙන් සොයාගත් එම සර්වඥ ධාතූන් වහන්සේලා අවසන් වරට මෙරටට වැඩම කළේ 2012 වර්ෂයේදී ය. එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ ඉල්ලීමක් මත වැඩම කළ මෙම ධාතූන් වහන්සේලා කැලණිය මානෙල්වත්ත විහාරයේ සහ රත්නපුර පැල්මඩුලු රජමහා විහාරයේ ප්‍රදර්ශනය කෙරිණි. එම අවස්ථාවේදී රත්නපුර දිසාපතිවරයා ලෙස කටයුතු කළ මට, ඉන්දීය බලධාරීන් සමඟ එක්ව එම ධාතූන් වහන්සේලාගේ ආරක්ෂාව සහ ප්‍රදර්ශන කටයුතු සම්බන්ධීකරණය කිරීමට සුවිශේෂී අවස්ථාවක් ලැබුණි.

සර්වඥ ධාතූන් යනු බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය සිහිපත් කරමින් උන්වහන්සේට ඉහළම ගෞරවය දැක්වීම සඳහා බෞද්ධයින්ට මෙන්ම බෞද්ධ නොවන අයට ද යොදාගත හැකි උතුම් සංකේතාත්මක සිහිවටනයකි.

අයහපත් කාලගුණය හේතුවෙන් ධාතූන් වහන්සේලා හෙලිකොප්ටර් මඟින් වැඩමවීමට නොහැකි වූ අවස්ථාවක, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් නව ගිවිසුමක් සකසා වෙඩි නොවදින රථයකින් ධාතූන් වහන්සේලා අවිස්සාවේල්ල දක්වා වැඩමවීමට කටයුතු කළ ආකාරය මගේ රාජකාරි ජීවිතයේ අමතක නොවන සිදුවීමකි. එහිදී ඉන්දීය පුරාවිද්‍යා රක්ෂක ඩෝසන් මහතාගේ විශේෂ අවසරය මත, සර්වඥ ධාතූන් තැන්පත් කළ රඳවනය නායක හිමියන්ගේ සහ මගේ බිරිඳගේ දෝතින් දරා සිටීමට ලැබීම ජීවිතයේ ලද භාග්‍යයක් ලෙස මම සලකමි.

සර්වඥ ධාතූන් යනු බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය සිහිපත් කරමින් උන්වහන්සේට ඉහළම ගෞරවය දැක්වීම සඳහා බෞද්ධයින්ට මෙන්ම බෞද්ධ නොවන අයට ද යොදාගත හැකි උතුම් සංකේතාත්මක සිහිවටනයකි.

සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති

එතෙර - මෙතෙර