මම නළු කම වෙනුවෙන් ප්‍රේමයත් පූජා කරපු පෙම්වතෙක් – ජනප්‍රිය යොවුන් නළු කුසල් මධුරංග

නව පරපුරේ රංගන ශිල්පීන් අත්‍රින් කුසල් මධුරංග ට මුල්ම තැනක් හිමි වෙනවාය කිව්වොත් ඒක අතිශයෝක්තියක් නෙවෙයි.විශේශයෙන් ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන පාර දිගේ ටෙලි නාට්‍යයේ “බණ්ඩා”ගේ චරිතයෙන් කුසල් හිමි කරගත් ජනප්‍රසාදය සුළු පටු නෑ. මේ කුසල් සමඟ අප කළ සුහද කතා බහක්.

* කුසල් ටෙලිනාට්‍ය නළුවකු ලෙස දීර්ඝ අතීතයකට හිමිකම් කියන කෙනෙක් නොවෙයි. නමුත් පාරදිගේ ටෙලි නාට්‍යයේ බණ්ඩාගේ චරිතයෙන් දැවැන්ත ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් කුසල්ට හිමි වුණා?

ඇත්තෙන්ම එය රංගන ශිල්පියකු ලෙස මා ලද මහත් භාග්‍යයක් කියලයි මට හිතෙන්නේ. මේ ටෙලිනාට්‍යයට මුලින්ම මාව හඳුන්වලා දෙන්නේ ඩිලාන් වර්ණජිත් අය්යා. ඉන්පසු පාර දිගේ තිර පිටපත රචනා කරන සද්ධාමංගල මහත්මයාත්, එහි අධ්‍යක්ෂ ශිවගුරුනාදන් මහත්මයත් මාව මේ චරිතයට තෝරගත්තා.

බණ්ඩා කියන්නේ එදිනෙදා අප නිරන්තරයෙන් අසන දකින, අපට හමුවන චරිතයක්. ඒ චරිතය තුළ මා හැසිරවීමේ කාර්යය ශිවගුරුනාදන් මහත්මයා ඉතා අපූරුවට කළා. ඔහු නළු නිළියන්ගේ හැකියාවන් සියුම් ලෙස හඳුනා ගෙන ඒවා උඩට මතුකර ගන්න දන්න අති දක්ෂයෙක්.

මේ දෙදෙනාගේ සිට “පාරදිගේ” ටෙලි නාට්‍ය කණ්ඩායමට ඇතුළත් සියලුම දෙනා, ඒ කියන්නේ රංගන ශිල්පීන් වගේම තිරයේ පිටුපස සිටින තේ හදන කෙනා දක්වාම දුන්නු සහයෝගයේ ප්‍රතිඵලයක් තමයි බණ්ඩාගේ චරිතය ඇතුළු අනෙකුත් සියලු චරිතවල ගොඩනැගීම කියලයි මම විශ්වාස කරන්නේ.

* කුසල් රංගනයට අත්පොත් තැබුවේ පාසල් වේදිකාවෙන් ද?

ඇත්තෙන්ම ඔව්.

* මොකක්ද ඔයා ගෙ පාසැල?

හොරණ විද්‍යාරත්නය

* කුසල් වේදිකා නාට්‍යවල රඟපෑම වෙනුවෙන් අවස්ථා කීපයකදීම සම්මානයට පාත්‍ර වුණා නේද?

කුසල් මධුරංග නමින් නළුවෙක් ගොඩ නැගුණා නම් ඒ ගොඩනැගුමේ මූලික අත්තිවාරම වේදිකාවයි. පාසල් වේදිකා නාට්‍යවල ඉඳලම වේදිකාවෙහි රංගනයේ යෙදුණු මම පසුකාලීනව උදයසිරි වික්‍රමරත්නගේ ” 361, පෙම් යුවළක් ඕනෑ කර තිබේ, ගරු කටානායකතුමනි”, ධර්මප්‍රිය ඩයස් ගේ “මම නෙමෙයි වෙන කෙනෙක්”, තිලංක නිසලාංජල්ගේ ” අතරමැදියා”, දමින්ද නන්දරතනගේ “සපාරියක් සහ සවාරියක් ” වැනි නාට්‍යවල රඟපෑම කරන අතරේ ධර්මප්‍රිය ඩයස් ගේ “සාදය මාරයි සල්ලි හමාරයි” නාට්‍යයේ වේදිකා පරිපාලනයත් කළා. මම ලැබූ සම්මාන ගැන කතා කළොත් යොවුන් නාට්‍ය උළෙලේ හොඳම සහාය නළුවා, රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ හොඳම සහාය නළුවා යන සම්මාන ඒ අතර වෙනවා.

* “පාරදිගේ” කුසල් ගේ රංගන ජීවිතයේ සුවිශේෂ සන්ධිස්ථානයක්. ඊට පෙර කුසල්ගේ පුංචි තිරයේ අත්දැකීම් මොනවද?

මම මුලින්ම පුංචි තිරයට එන්නේ ස්වර්ණවාහිනිය මගින් විකාශය වූ “මෙහෙමත් ලෝකයක් “නැමැති උදය විකාශනයේ වැඩසටහනෙන්. මේ වැඩසටහන ඉදිරිපත් කළේ මම.

එහි විශේෂත්වය තමයි එය රඟපෑමක් ලෙස ඉදිරිපත් කළ නිවේදන කටයුත්තක්. ඊට පස්සේ පොහොය දිනවල විකාශය වූ ඒකාංගික ටෙලි නාට්‍ය කිහිපයකටම සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. මම රඟපෑ අනිකුත් ප්‍රසාංගික ටෙලි නාට්‍ය ලෙස සිහින සමාගම, බස් එකේ ඉස්කෝලේ යනාදිය සඳහන් කළ හැකියි. තවමත් පුංචි තිරයේ මුල් අවධිය ගත කරන මට දැවැන්ත ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් එක් වරම හිමිකර දෙන්නට පාර දිගේ ටෙලි නාට්‍යයේ “බණ්ඩා” සමත් වුණා. ඒකට වාසනා ගුණයත් ඉවහල් වන බව මම දැඩිව විශ්වාස කරනවා.

* කුසල් රංගනය වෘත්තිය කරගත් කෙනෙක් ද?

අපේ රට තුළ අනාගතය ගැන හිතලා කලාව කරන එක බොහෝ සිතා බලා ගත යුතු තීරණයක්. ඒ තරමටම කලාකරුවන්ගේ අනාගතය අපේ රට තුළ හරිම අවිනිශ්චිතයි.

* ඒ කියන්නේ කුසල් වෘත්තීය කලාකරුවෙක් නොවෙයි?

ඇත්තටම දැනට මම කරන්නේත් කලා කටයුතු ම තමයි. ඒ නිසා මගේ එකම ආදායම් මාර්ගයත් මෙයයි. නමුත් අනාගතයේදී මම රැකියාවකට නොයා ඉන්නවා කියන තීරණයක් නෑ. මගේ කලා කටයුතු, රැකියාව යන දෙකම සමබරව කරගෙන යා හැකි ස්වභාවයේ රැකියාවක් ලැබුණොත් මම අනිවාර්යයෙන්ම ඒ රැකියාව තෝරා ගන්නවා.

* කුසල්ගෙ දෙමාපියන්ට සිටින එකම දරුවා කුසල්. හැම දෙමාපියෙක් ම වගේ කුසල්ගේ දෙමාපියොත් කුසල් ඉහළටම ඉගෙන ගෙන ඉතා හොඳ රැකියාවක් තෝරා ගනු ඇතැයි බලාපොරොත්තු වෙන්න ඇති ?

ඒ අතින් මගේ දෙමාපියන් මං වෙනුවෙන් ලොකු කැපකිරීමක් කළා.කලාව කරලා ජීවත් වෙන්න පුළුවන්ද කියලා ඒගොල්ලෝ අහපු අවස්ථා නැතුවා නොවෙයි .නමුත් මේ වෙනුවෙන් මං කරන දැඩි කැප කිරීම දැකලම වෙන්න ඇති මගේ අම්මයි තාත්තයි මගේ කලා කටයුතුවලට දෙන්නේ ලොකු සහයෝගයක්. මං කළ පාසැල් නාට්‍ය වල සිට “පාර දිගේ” බණ්ඩාගේ චරිතය දක්වාම මගේ දෙමාපියන්ගේ සහයෝගයේ සහ ආශිර්වාදයේ සෙවනැල්ල වැටී තිබෙන බවට මට ලොකු විශ්වාසයක් තිබෙනවා.

* කුසල් තවම අධ්‍යක්ෂණයට පිවිසුණේ නැද්ද ?

මං මේ වෙනකොට වේදිකා නාට්‍ය දෙකක් අධ්‍යක්ෂණය කරලා තියෙනවා . ඒ “හබලක් ඕනෑ” සහ “ඇක්සලයක් උඩ” වේදිකා නාට්‍ය දෙකයි. මෙයින් “හබලක් ඕනෑ” නාට්‍යය යෞවන සම්මාන උළෙලේ අවසන් වටය නියෝජනය කළා. මේ හැරුණු විට “ආශ්වාස” නමින් කෙටි නාට්‍යයකුත් මම නිර්මාණය කර තිබෙනවා.

* කුසල් මේ වෙනකොට පෙම්වතෙක්ද ?

නෑ

* එහෙම කියන්නේ ඇත්ත කිව්වොත් ජනප්‍රියත්වය අඩු වෙයි කියලා හිතාගෙන ද ?

අපොයි නෑ. මට කලින් කලට පෙම්වතියන් කීප දෙනෙක්ම සිටියා. නමුත් ඒ සම්බන්ධතා සියල්ලම පසුකාලීනව බිඳ වැටුණා.

* කුසල්ට එයාලව එපා වුණාද , එහෙම නැත්නම් එයාලට කුසල්ව එපා වුණාද ?

බොරු කියන්නෙ මොකටද?වැඩිපුරම සිද්ධ වුණේ එයාලට මාව එපා වුණු එක.

* ඇයි ඒ?

නළුකම කියන්නේ මං ඉතාම ප්‍රිය කරන දෙයක්. ඒ නිසා රඟපාන්න දර්ශන තලයට ගියාට පස්සේ මට නිකන්වත් පෙම්වතිය ගැන සිහියට එන්නේ නෑ. මගේ ජීවිතේ ප්‍රථම ස්ථානය රංගනයට ලබා දීම වෙනුවෙන් ඔවුන් මා හා උරණ වුණා. මෙයින් එක් පෙම්වතියක් මට හැකිතාක් දොස් කියලා වෙන් වෙලා ගියා .

අනෙක් අය සාකච්ඡා මාර්ගයෙන් සාමයෙන් වෙන්වෙලා ගියා.කොටින්ම කිව්වොත් මම නළු කම වෙනුවෙන් මගේ ප්‍රේමයත් පූජා කරපු පෙම්වතෙක්

* ඒ කාලෙ කුසල් මේ තරම් ජනප්‍රිය නැතුව ඇති?

නෑ

* එහෙනම් ඔය ගිය කෙනෙක් ආපහු එන්න බැරිකමකුත් නෑ ?

මං හිතන්නෙ නෑ . අනික ඉතින් මගේ ජනප්‍රියත්වය ගැන හිතලා මගෙ ළඟට ආපු කෙනෙක් ඒ ජනප්‍රියත්වය මට නැති වෙලා ගිය දවසක ආපහු යයිනේ

*දැන් කුසල් ට වයස කීයද?

විසි අටයි

* කුසල් විශ්වාස කරන හැටියට පිරිමි විවාහ විය යුත්තේ මොන වයසේ දී ද ?

මං හිතන්නෙ ඒකට වයසක් නෑ කියල

* ඇයි එහෙම කියන්නෙ?

විවාහය කියන්නේ වගකීම් සහගත තත්ත්වයක් . ඒ ගැන අවබෝධයක් ඇති වයස තමයි විවාහයට සුදුසු ම වයස කියල මං හිතන්නෙ. ඒ නිසා දැන් මගෙ වයස හරි, ඉක්මනින් බඳින්න ඕනෙ, නැත්නම් වයස ගෙවිලා යයි කියල හිතලා විවාහ වීම ජීවිතයට කර ගන්නා ලොකු අනර්ථයක් වීමටත් පුළුවන්.

* ඒ වුණාට අද කාලෙ ගෑනු ළමයි වැඩි දෙනෙක් අවුරුදු විස්සක් වෙන්නත් කලින්ම තරුණයෙක්ව තෝර ගෙන ඉවරයි නේද? එතකොට ඔයාට සුදුසු කෙනෙක් මුණ නොගැහුණොත්?

කොහේ හිටියත් ඉරණම් කාරයා එනව කියල කියනවනේ. ඒක කාලය විසින් තීරණය කරයි. ඒ නිසා වයස ගියාම සුදුසු කෙනෙක් මුණ නොගැහේවි, දරුවන් හදන්න කාලයක් නැති වේවි වගේ සමාජ ආකල්ප මුල් කරගෙන විවාහයක් කර ගත යුතුයි කියල මං හිතන්නෙ නෑ.

මාව තේරුම් ගත හැකි, මාව සහ මගේ කලා කටයුතු ඉවසිය හැකි, අවබෝධයෙන් මා හා ගමනක් යා හැකි කෙනෙක් හමු වෙනකල් මං විවාහයක් ගැන හිතන්නෙ නෑ.

ඒ නිසා විවාහයට වයසක් තියෙනව කියල මං විශ්වාස කරන්නේ නෑ. එකිනෙකා කෙරෙහි අවබෝධය තුළින් ඇතිවන ආදරය ජීවිතය ඉදිරියට ගෙන යාම සඳහා හරිම වටිනවා. ඒක වයසට ගියාම වුවත් සිදු විය හැකියි.

* එතෙක් කලාවට මුල් තැන දෙනවා?

මගේ පළමු උපත මගේ අම්මා මාව මේ ලෝකෙට බිහි කළ දවස. දෙවැනි උපත කලාව. විවාහය තෙවැනි උපතක් වෙයි. පළමු සහ දෙවැනි උපත මට මගෙ ජීවිතය ඇති තුරු අමතක කරන්න බැහැනේ. තෙවැනි උපතත් එවැනිම සිතින් ගිලිහී නොයන එකක් විය යුතුයි. ඒ නිසා විවාහය කියන්නේ ආවාට ගියාට සිදු නොවිය යුතු දෙයක් කියලා මං විශ්වාස කරනවා.

ඉන්දු පෙරේරා

රසගඟුල