
ඒකාධිපති නායිකාවක ලෙස මෑත කාලයේ බොහෝ දෙනා විසින් හඳුන්වනු ලැබූ බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට එරට අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කරනු ලැබීම මේ දිනවල ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්රයේ වඩාත්ම අවධානය යොමුවන කාරණයක් වී තිබේ. පසුගිය සඳුදා (17) ඇයට මෙම දඬුවම නියම කරන ලද්දේ බංග්ලාදේශයේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව විසිනි.
හසීනාට මරණ දණ්ඩනය නියම කෙරුණේ පසුගිය වසරේ ඇයට එරෙහිව රට තුළ පැන නැගුණු දැවැන්ත විරෝධතාව මර්ධනය කළ ආකාරය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා යටතේ යි.
ශිෂ්‍ය කණ්ඩායම් නායකත්වය දුන් මෙම විරෝධතා අතර 1,400 කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත් විය. මේ අතරින් වැඩි දෙනෙකු මිය ගොස් තිබුණේ ආරක්ෂක අංශවල වෙඩි ප්‍රහාරවලට ලක් වීමෙනි. විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට ආරක්ෂක අංශවලට නියෝග කළේ හසීනා බවට චෝදනා එල්ල විය.
බංග්ලාදේශයේ මෙම විරෝධතා පුළුල් මට්ටමින් ආරම්භ වූයේ 2024 ජුලි මාසයේ යි. එය මැඩ පැවැත්වීමට මොන පියවර ගත්තත් ඒවා සාර්ථක වූයේ නැත. අවසානයේ ෂෙයික් හසීනා අගෝස්තු මාසයේ රටින් පලා ගිය අතර වසර 15 ක් අඛණ්ඩව පැවැති ඇගේ පාලනය අවසන් විය.
බංග්ලාදේශයේ මෙම විරෝධතා පුළුල් මට්ටමින් ආරම්භ වූයේ 2024 ජුලි මාසයේ යි. එය මැඩ පැවැත්වීමට මොන පියවර ගත්තත් ඒවා සාර්ථක වූයේ නැත. අවසානයේ ෂෙයික් හසීනා අගෝස්තු මාසයේ රටින් පලා ගිය අතර වසර 15 ක් අඛණ්ඩව පැවැති ඇගේ පාලනය අවසන් විය.
මේ වනවිට හසීනා රැඳී සිටින්නේ ඉන්දියාවේ යි. දිල්ලි නුවර ආරක්ෂිත ස්ථානයක ඇය රැඳී සිටින බව සඳහන් වේ.
ඇගේ පාලනය බිඳ වැටීමෙන් පසු බංග්ලාදේශයේ පාලනය භාර වූයේ අන්තර්කාලීන ආණ්ඩුවකට යි. එහි ප්‍රධානියා වන්නේ නොබෙල් සම්මානලාභියකු ද වන මුහම්මද් යූනුස් ය.
නව පාලනයක් පත්වීමත් සමග හසීනාට එරෙහිව නඩු පැවරීමටත් පියවර ගැනිණි. මෙහි දී ප්‍රධාන වශයෙන් ඉදිරිපත් වූයේ විරෝධතා මර්ධනය කළ ආකාරයට අදාල චෝදනා යි.
මෙම නඩුවේ විත්තිකාරයන් වූයේ හසීනා පමණක් නොවේ. අභ්‍යන්තර කටයුතු පිලිබඳ ඇමැතිවරයා වූ අසාදුස්සමාන් ඛාන් කමල් සහ හිටපු පොලිස්පති චෞද්රි අබ්දුල්ලා අල්- මාමූන් යන දෙදෙනාත් එහි චුදිතයන් වූහ.

නඩු විභාගය ආරම්භ වූයේ පසුගිය අගෝස්තු මාසයේ යි. නමුත් ෂෙයික් හසීනා ඊට සහභාගි වූයේ නැත. මාස තුනකට වැඩි කාලයක් තිස්සේ පැවති නඩු විභාගයෙන් පසු නොවැම්බර් 17 වැනි දින අධිකරණය තීන්දුව ලබා දුන්නේය.
මෙම තීන්දුවෙන් පසු දැන් කුමක් සිදු වේවි ද? හසීනාට මරණ දඬුවමට මුහුණ දීමට සිදු වේවි ද?
නමුත් එවැන්නක් සිදුවීමට නම් ඉන්දියානු රජය ඇය නැවත බංග්ලාදේශයට පිටුවහල් කිරීමට පියවර ගත යුතුයි. එහෙත් ෂෙයික් හසීනා සමග ඉතා සමීප සම්බන්ධයක් පැවැත් වූ ඉන්දියාව මේ අවස්ථාවේ ඇය පිටුවහල් කරාවි ද යන්න බෙහෙවින් සැක සහිත බව බොහෝ දේශපාලන විශ්ලේෂකයන් ගේ අදහස බව පෙනේ. හසීනා දැඩි ඉන්දියානු හිතවාදී නායිකාවක වූවාය.
කෙසේ නමුත් මේ වනවිට නීතියෙන් මරණ දඬුවම නියම වී සිටින හසීනා නැවත බංග්ලාදේශයට භාර දීමට ඉන්දියාව පියවර නොගතහොත් බංග්ලාදේශයේ වත්මන් පාලනය සහ ඉන්දියාව අතර දැඩි ආතතිමය තත්වයක් වර්ධනය වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. හසීනා නැවත බංග්ලාදේශයට භාර දෙන මෙන් එරට වත්මන් පාලනය පසුගිය කාලයේත් ඉන්දියාවට බල කරමින් සිටියේය. දැන් එම ඉල්ලීම් වඩාත් උත්සන්න වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
නුදුරු අනාගතයේ හසීනා හෝ ඇගේ පක්ෂය වන අවාමි ලීගය හෝ බංග්ලාදේශයේ බලයට පත්වනු ඇතැයි සිතීම අපහසු ය. ඒ නිසා බංග්ලාදේශයේ වත්මන් පාලකයන් සමග මෙන්ම අනාගත පාලකයන් සමග ද සබඳතා ශක්තිමත් කර ගැනීමට ඉන්දියාවට සිදුවෙයි.
මේ වනවිට බංග්ලාදේශය තුළ ඇත්තේ ඉන්දියානු හිතවාදී ආකල්පයක් නොවේ. බංග්ලාදේශය පාලනය කරන අන්තර්කාලීන ආණ්ඩුවේ ප්‍රධානීන් ද ඉන්දියාවට එතරම් හිතවත් බවක් දක්වන්නේ නැත. ඉන්දියාවේ ලොකුම සතුරකු වන පාකිස්තානය සහ බංග්ලාදේශය අතර සබඳතා ද වර්ධනය වෙමින් ඇත.
ඉන්දියාව හසීනා බංග්ලාදේශයට භාර නොදුනහොත් බංග්ලාදේශය තවදුරටත් ඉන්දියාවෙන් ඈත් වීමේ ඉඩක් ඇති බව ඇතැම් දේශපාලන විචාරකයන් පෙන්වා දී තිබේ. මෙම පසුබිම තුළ හසීනා පිලිබඳ ගැටලුව කේන්ද්‍ර කරගෙන ඉන්දියාව යම් අපහසුතාවකට පත්ව සිටින බව පැවසිය හැකිය. ඉන්දියාව ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් කවර පියවරක් ගනු ඇත් ද යන්න බොහෝ පාර්ශ්ව දැඩි කුතුහලයෙන් බලා සිටින කාරණයක් වී තිබේ.
කෙසේ නමුත් හසීනා ගේ ප්රශ්නය මත දකුණු ආසියාවේ මහා බලවතා වන ඉන්දියාව සමග ලොකු ගැටුමක් ඇතිකර ගැනීමට බංග්ලාදේශයට ද හැකියාවක් නැති බව මෙහි දී සඳහන් කළ යුතුය.
තව මාස කිහිපයකින් බංග්ලාදේශයේ මහා මැතිවරණයක් පැවැත්වීමට ද නියමිතව තිබේ. එය ලබන පෙබරවාරි මාසයේ පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එයින් ජය ගැනීමට වැඩි ඉඩක් ඇත්තේ කාලයක් තිස්සේ හසීනාගේත්, ඇය නායකත්වය දරණ අවාමි ලීගයේත් දරුණුම ප්‍රතිවාදියා වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය යි. එහි නායකත්වය දරන්නේ තවත් හිටපු අගමැතිනියක වන ඛලීඩා සියා ය.
මේ අතර තව මාස කිහිපයකින් බංග්ලාදේශයේ මහා මැතිවරණයක් පැවැත්වීමට ද නියමිතව තිබේ. එය ලබන පෙබරවාරි මාසයේ පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එයින් ජය ගැනීමට වැඩි ඉඩක් ඇත්තේ කාලයක් තිස්සේ හසීනාගේත්, ඇය නායකත්වය දරණ අවාමි ලීගයේත් දරුණුම ප්‍රතිවාදියා වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය යි. එහි නායකත්වය දරන්නේ තවත් හිටපු අගමැතිනියක වන ඛලීඩා සියා ය.
මෙවර මැතිවරණයෙන් පසු ඇයගේ පුත්‍රයකු වන තරීක් රහ්මාන් බංග්ලාදේශයේ අගමැති ධූරයට පත්වීමට ඉඩ ඇති බවට අදහස් පළ වේ.
නිහාල් පීරිස්