මළවුන්ගේ සන්තකයන් තුළ ගුප්ත බලයක් තිබේද?

“මියගිය මිනිසුන්ගෙන් ජීවත්වන මිනිසුන්ට බලපෑම් ඇති විය හැකිද?” යන පැනය මම සමාජයේ විවිධ තරාතිරම්වලට අයත් පුද්ගලයන්ගෙන් වරින් වර අසා ඇත්තෙමි. වැඩිම පිරිසකගේ පිළිතුර වූයේ, ජීවත්වන මිනිසුන්ට යම් යම් බලපෑම් කිරීමේ අධිමානුෂීය බලයක් මළවුන් සතුව පවතින බවයි. ඒ අතර, එලෙස බලපෑම් කිරීමේ ශක්තියක් මළවුන් සතුව පවතින බව සනාථ කිරීමට ප්‍රමාණවත් කරුණු ඇතැයි පැවසූ පිරිසක් ද සිටියහ. තවත් පිරිසක් කියා සිටියේ, යමෙකු මියගිය පසු මෙලොව හා පැවති සියලු සබඳතා ගිලිහී යන බැවින්, එය ජන මනැසේ පවතින නිසරු උපකල්පනයක් පමණක් බවයි. මෙම පිරිස, අදහස් දැක්වූ මුළු පිරිසෙන් සියයට දහයකටත් වඩා අඩු ප්‍රතිශතයක් බව නිසැකවම කිව යුතු ය.

වත්මන් කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් හත්කෝරලයේ වන්නි හත්පත්තුවේ ‘බහිරව මුත්තා’ නම් ගම්භාර දෙවියකු පිළිබඳ විශ්වාසයක් පවතී. බහිරව මුත්තා යනු භූමිය තුළ ඇති වටිනා සම්පත්වලට අරක්ගත්, අප සමාජයේ බොහෝ දෙනකු දන්නා හඳුනන වාමන රූපී බහිරවයා නොවේ. ඔහු අතීතයේ ඒ ගම්බිම්වල ජීවත්වෙමින් කෘෂිකර්මය, ගව පාලනය ආදී කටයුතුවලින් දිවි පෙවෙත සරිකරගත්, ගේ දොර, ඉඩකඩම්, වතුපිටි, හේන් කුඹුරු හා ගව සම්පත හිමිව තිබූ අතීත ගැමි ප්‍රභූන්ගේ සංකේතාත්මක ප්‍රතිමූර්තියකි. රූප කාය අනුව වුවද බහිරව මුත්තා වියපත් තාපස රූපයකින් යුක්තය. ළැම තෙක් වැඩුණු රැවුලක්, හිස මුදුනේ ජටාවක් බඳු කෙස් කළඹක් සහ නග්න උඩු කයකින් යුත් බහිරව මුත්තාගේ එක් අතක හේන් කෙටීම සඳහා යොදා ගන්නා දිගු මිටක් සහිත කැත්තක් හා අනෙක් අතේ ලබු කැටයක් දක්නට ලැබෙන බව ජන සම්මතයයි. ඒ අනුව ඔහු අතීත කෘෂිකාර්මික ජීවන රටාව නියෝජනය කරන්නකු බව ඉතා පැහැදිලිය.

අප ජන සමාජයේ ජීවත් වූවන් අතරින් කුසල් කළවුන් සුගතිගාමී වන බවත්, අකුසල් කළවුන් දුගතියේ උපදින බවත් බෞද්ධ ගැමි විශ්වාසයයි. ඒ හැරුණුකොට, අකුසල් නොකළද තමන් සතු ගේ දොර, වතුපිටි ආදී දේපළ කෙරෙහි දැඩි ඇලීමකින් හා බැඳීමකින් යුතුව මියයන්නන්, එම සම්පත්වලටම අධිගෘහිතව බහිරව මුත්තාගේ පරිවාරයන් ලෙස උපදින බව වන්නි හත්පත්තු ගැමියෝ විශ්වාස කරති. ඒ අනුව, එම පාරම්පරික ගම්බිම්වල කිනම් හෝ කටයුත්තක් කිරීමට පෙර ඒවාට අරක්ගත් බහිරවයන්ගෙන් අවසර අයැද සිටීමේ චාරිත්‍රයක් අදත් එම ප්‍රදේශවල පවතී. මෙම දේවතාවුන් බදාදා සහ සෙනසුරාදා යන කෙම්මුර දිනවල ගොම්මන් වේලාවේ හා අලුයම් යාමයේ එම ගම්බිම්වල සැරිසරන බවට ජන විශ්වාසයක් පවතී. එමෙන්ම, අද ද ඉතා කලාතුරකින් කෙනෙකුට ‘බහිරව මුත්තා’ දර්ශනය වී ඇති පුවතක් හෝ දෙකක් සොයා ගැනීමට, එම ගම්මානවල දින කිහිපයක් ගත කරන විමර්ශකයකුට අපහසු නොවනු ඇත.

‘බහිරව මුත්තා’ යන පොදු නාමයෙන් හඳුන්වන එම දේව ගණයට, වැඩිහිටියන්ට ගරු බුහුමන් දක්වන්නාක් මෙන් නිරතුරුවම සත්කාර කළ යුතු බවත්, වසරේ ප්‍රධාන වගා කන්නය වන මාස් කන්නය නිමාවේ, සිංහල අවුරුද්දට පෙර කිරි ඉතිරවීමෙන් ගරු බුහුමන් දැක්විය යුතු බවත් වන්නි හත්පත්තුවේ විශ්වාසයයි.

තමන් ජීවත්ව සිටියදී ආදරය කළ හෝ පරිහරණය කළ වස්තූන්ට මරණින් පසුවත් ඇලුම් කරන බවට පවතින විශ්වාසය ශ්‍රී ලංකාවට හෝ බෞද්ධ සංස්කෘතියට පමණක් සීමා වූවක් නොවේ. ලෝකයේ විවිධ සංස්කෘතීන් තුළ මේ හා සමාන විශ්වාස රැසක් පවතී. විද්‍යාත්මකව විස්තර කළ නොහැකි පාරභෞතික (Metaphysical) මතවලට අනුව, යමෙකු සිය ජීවිත කාලය තුළ ඉතා ආදරයෙන් පරිහරණය කළ භාණ්ඩ තුළ ඒ තැනැත්තාගේ චිත්තාවේගී ශක්තිය (Vibrational Energy) රැඳී පවතී. විශේෂයෙන් ඔවුන් දැඩි සංවේදනාත්මක අවස්ථාවන්හි භාවිත කළ භාණ්ඩ හා උපකරණවල මෙම ශක්තිමය සලකුණ (Residual Energy) ශේෂව පවතින බව ද කියනු ලැබේ. යුරෝපයේ සහ ඇමෙරිකාවේ පවා ‘භූතාරූඪ වස්තූන්’ (Haunted Objects) පිළිබඳ පවතින විශ්වාසය නූතන විද්‍යා තාක්ෂණය හමුවේ වුවද මිනිස් චිත්ත සන්තානයෙන් ඉවත් නොවන්නේ එබැවිනි. මියගිය අයකු භාවිත කළ කැඩපත්, පින්තූර, පෞරාණික පුටු හෝ අත්ඔරලෝසු වැනි දේ තුළ ඔවුන්ගේ ශක්තිය හෝ ආත්මය රැඳී පවතින බව විශ්වාස කරන පිරිස් ලොව පුරා සිටිති. ඇමෙරිකාවේ කනෙක්ටිකට්හි පිහිටි වොරන්ගේ ගුප්ත කෞතුකාගාරයේ (Warren’s Occult Museum) තැන්පත් කර ඇති, ඉබේ චලනය වන ‘ඇනබෙල්’ බෝනික්කා වැනි සමහර පැරණි භාණ්ඩ පිටුපස ඇත්තේ ද මියගිය අයගේ බැඳීම පිළිබඳ කථාන්දරයන්මය. මෙම කෞතුකාගාරය 2019 වසරේ වසා දැමුවද, නුදුරේදීම එය යළි විවෘත කිරීමේ සූදානමක් පවතී.

චීන සහ ජපන් සංස්කෘතීන් තුළ ද මියගිය ඥාතීන්ට ගරු කිරීම (Ancestor Worship) ඉහළින්ම පවතින අතර, මියගිය අය ජීවත්ව සිටියදී ආශා කළ ආහාර, ඇඳුම් පැළඳුම් සහ උපකරණ ඔවුන් වෙනුවෙන් පූජා කිරීමට එම සංස්කෘතීන් තුළ විශේෂ ස්ථානයක් හිමි වේ. එසේ නොකොට මළවුන්ගේ සන්තකයන්ට අගෞරව කළහොත් හෝ ඒවා වැරදි ලෙස පරිහරණය කළහොත්, මළගිය ප්‍රාණකාරයන් කෝපයට පත්ව පළිගන්නා බවට ජන විශ්වාස බොහෝ සංස්කෘතීන්හි පවතී. පුරාණ ඊජිප්තුවේ මියගිය රජවරුන්ගේ (පාරාවෝවරුන්ගේ) සිරුරු ඔවුන් පරිහරණය කළ රන් ආභරණ සහ වස්තූන් සමඟ පිරමීඩ තුළ තැන්පත් කර ඇත්තේ, ඒවා මරණින් මතු ජීවිතයට අවශ්‍ය වන බවත්, ඒවාට හානි කරන්නන්ට “පාරාවෝවරුන්ගේ ශාපය” වදින බවත් විශ්වාස කළ බැවිනි. එමෙන්ම මෙම පාරාවෝවරුන්ගේ ශාපය අදත් ලොව බොහෝ දෙනකු අසා ඇති, එමෙන්ම පිළිගන්නා කරුණකි.

ඇනබෙල් බෝනික්කා

“ගේ දොර ඉඩකඩම්වලට විතරක් නෙවෙයි, ඉස්සර තමන් බොහොම ආදරයෙන් රැකගත්තු බඩු බාහිරාදියටත් ඔය මළගිය ප්‍රාණකාරයන්ගේ ඇල්ම බැල්ම තියෙනවා.” බහිරව මුත්තා පිළිබඳව මා හා බොහෝ කරුණු පැවසූ ගල්ගමුව, ඇහැටුවැව, දිවුල්ගනේ ගම්මානයේ පදිංචි වසන්ත මීට කලකට පෙර පැවසීය. හේන් කුඹුරු වගාව සහ ගව පාලනය ජීවනෝපාය කරගත් වසන්ත මැදිවියේ පසුවන දෙදරු පියෙකි. ඔහු උසස් අධ්‍යාපනයක් ලබා තිබුණේ නැත.

“ඉස්සර මේ පැත්තේ කිරිඅත්තා කෙනෙක් හැම තිස්සෙම වගේ අතේ තියාගෙන හිටපු ගිරයක්, ඒ කිරිඅත්තාගේ මරණයෙන් පස්සේ නිකම්ම හෙල්ලෙන්න පටන් අරන් තියෙනවා. පස්සේ එයාගේ පවුලේ අය ලොකු සාංඝීක දානයක් දීලා පිරිකර එක්ක ඒ ගිරයත් පන්සලට පූජා කරලා තියෙනවා. ඔය වගේ කතා ගොඩක් මේ පැත්තෙන් දැනගන්න පුළුවන්.” වසන්ත කීය.

තමන් සතු හේන් කුඹුරුවල අස්වනු පැසෙන කාලයට රාත්‍රියේ පැල් රැකීමේ නියුතු වසන්ත, ඒ සඳහා යන විට කුඩා රේඩියෝවක් ද රැගෙන යයි. ගුවන්විදුලි වැඩසටහන්වලට සවන් දීමට වඩා ඔහු එය භාවිත කරන්නේ තමන් කැමති ගීත ශ්‍රවණය කිරීමටයි. තමන් කැමති ගීත ඇතුළත් පෙන්ඩ්‍රයිව් එකක් රේඩියෝවට සම්බන්ධ කර වසන්ත ගීත රසවිඳියි.

දිවුල්ගනේ හේන් යායක්

“මම පුංචි කාලේ ඉඳලම ජෝතිට පුදුම විදියට ආදරෙයි. රෑ පැල් රකිනකොට නිදිමත එනකොට වෙන අය බුලත් විටක් හපනවා වගේ මම කරන්නේ ජෝතිගේ සින්දු සෙට් එකක් දාගෙන අහන එක. එතකොට නිදිමත කොහෙන් ගියාද දන්නේ නෑ. ඒ වගේම මගේ ඇඟටත් අමුතුම පණක් එනවා.” වරෙක වසන්ත එසේ පැවසුවේ තම ගී රසිකත්වය නිසා පිබිදුණු මනසකිනි.

“දැන් ඔයා කිව්වනේ මැරුණු අය තමන් ජීවත් වුණු කාලේ ආසා කරපු දේවල්වලට මැරුණට පස්සෙත් ඇලුම් කරනවා කියලා. ජෝතිත් ‘අඬන්නෙ ඇයි සුදු මැණිකෙ’ වගේ එයා කියපු සමහර සින්දුවලට විශේෂයෙන් ආදරය කළා. ඒ නිසා ඔය සින්දු අහනකොට ජෝතිගේ ආත්මයෙන් හරි ප්‍රාණකාරයාගෙන් හරි බලපෑමක් එල්ල වෙයි කියලා ඔයාට බය හිතෙන්නේ නැද්ද?” මළවුන්ගෙන් එල්ල විය හැකි ගුප්ත බලපෑම් පිළිබඳ විශ්වාසයන්ගෙන් පිරි වසන්තගෙන් මම විමසුවෙමි.

“එහෙම වෙන්නේ ජෝති මැරුණා කියලා පිළිගත්තොත්නේ. ඒත් ජෝති මැරිලා කියලා මට කීයටවත් හිතෙන්නේ නෑ. ඒ නිසා එහෙම ප්‍රශ්නයක් නෑ.” වසන්තගේ එම ප්‍රකාශය තුළ කෙතරම් ගැඹුරු දාර්ශනික හා මනෝවිද්‍යාත්මක යථාර්ථයක් තිබේදැයි මම තවමත් සිතමි. එමෙන්ම, මළවුන් සතුව තිබූ දේවල ගුප්ත බලයක් තිබේද යන කරුණ පසෙක තිබියදී, එච්.ආර්. ජෝතිපාලයන් සම්බන්ධයෙන් එම ගැමි හදවතින් ඉස්මතු වූ අව්‍යාජ භක්ත්‍යාදරය කවර විද්වතකුගෙන් වුවද එලෙසින්ම අසා දැනගත හැකිද යන්න මට සිතාගත නොහැකිය.

තිලක් සේනාසිංහ

( https://www.colombotelegraph.com)

ඉරා අදුරුපට