විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව මේ වසරේ මේ දක්වා කාලයේ මෙරටට සිදු කර තිබෙන ප්‍රේෂණවල වටිනාකම රුපියල් කෝටි 195,000 (අමෙරිකානු ඩොලර් බිලියන 6.5) ඉක්මවා ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. මේ වසරේ ජනවාරි මාසයේ පළමු වැනිදා සිට ඔක්තෝබර් මාසයේ 31 වැනිදා දක්වා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව විසින් අමෙරිකානු ඩොලර් බිලියන 6.52ක ප්‍රේෂණ සිදු කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යා ලේඛනවල සඳහන් වෙයි.
මේ අගය 2024 වසරේ එම කාල පරිච්ඡේදයට සාපේක්ෂව සියයට 20.1ක කැපී පෙනෙන වර්ධනයක් බව ද මහ බැංකුව පෙන්වා දෙයි.
ඔක්තෝබර් මාසයේ දී පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 712ක ප්‍රේෂණ ලැබී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංඛ්‍යා ලේඛනවලින් පෙන්වා දෙන්නේ මේ වසරේ මුල් මාස නවයේ සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 2 ඉක්මවා ඇති බවයි. ඒ අනුව 2025 මුල් මාස නවයේ මුළු සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 2.47ක් ලෙස වාර්තා වන අතර, එය 2024 මුල් මාස නවයේ වාර්තා වූ අමෙරිකානු ඩොලර් බිලියන 2.34ක සංචාරක ඉපැයීම් හා සසඳන විට සියයට 5.3ක වැඩිවීමකි.
විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මෑත කාලයේ ධනාත්මක ප්‍රවණතාවක් පවත්වාගෙන ගොස් තිබෙන අතර, 2024 වර්ෂයට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.