මේ දවස්වල භයානක කොවිඩ් වෛරසයක් පැතිර යනවා කියන්නේ ඇත්තද?

මෑත සති කිහිපය තුළ ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථානවලින් උණ, කැස්ස සහ ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ සහිත සිදුවීම් බොහොමයක් වාර්තා වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. මේ ප්‍රවණතාව පොදු ජනතාව අතර දැඩි කතාබහකට බඳුන් වෙමින් පවතින අතර ඒ නිසා සෞඛ්‍ය බලධාරීහු ද මේ පිළිබඳ සොයා බලා එවැනි තත්ත්වයන්ගෙන් වැලකී සිටීම සඳහා මාර්ගෝපදේශ නිකුත් කරනු ද දකින්නට හැකිය. වෛද්‍යවරු සහ මහජන සෞඛ්‍ය විශේෂඥයින් පවසන පරිදි මේ තත්ත්වය වූ කලී විශේෂයෙන් වර්ෂා සමයේ දී මතුවන රෝගී තත්ත්වයක් වන අතර මැයි සිට ජූලි දක්වාත් නොවැම්බර් සිට ජනවාරි දක්වාත් ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරයි. අධික උණ තත්ත්වය, උගුර වන වීම, වියළි කැස්ස, නහයෙන් දියර ගැලීම, ඇඟපත වේදනාව සහ තෙහෙට්ටු ස්වභාවය මෙහි පොදු රෝග ලක්ෂණ වේ. ඇතැම් අයට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නොවන මුත් ඇතැමුන්ට වෛද්‍ය උපදෙස් අවශ්‍ය වේ. මේ අතර ගෝලීය වශයෙන් පැතිර යමින් පවතින නව කොවිඩ් – 19 ප්‍රභේදයන් නිසා ද ඇතැමුන් තුළ ස්වසනාබාධ තත්ත්වයන් ද මතුව ඇති ව බවට වාර්තා වී තිබේ.

මේ ප්‍රභේද අතරින් වඩාත් ප්‍රකට එකක් වන්නේ JN.1 ය. 2023 අගෝස්තු මාසයේ මුලින්ම නිරීක්ෂණය කරන්නට හැකි වූ මෙය ඔමික්‍රොන් BA.2.86 හි උප ප්‍රභේදයක් වන අතර 2023 වසරේ දෙසැම්බර් මාසයේ සිට ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වන්නට පටන් ගත්තේය. JN.1 වැඩි වශයෙන් ඉස්මතු වන්නට පටන් ගත්තේ විශේෂයෙන් ඉන්දියාව වැනි රටවල වූ අතර 2023 වසර අවසන් වන විට උණ, සුව නොවන කැස්ස, රක්තාවරෝධය සහ තෙහෙට්ටුව වැනි රෝග ලක්ෂණ සහිත බොහෝ දෙනෙක් දකින්නට ලැබිණි. මේ අතර කාලීන වශයෙන් මතුවන ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ සහ මේ කොවිඩ් ප්‍රභේද වෙන්කොට හඳුනාගැනීම මහත් අභියෝගාත්මක කාර්යයක් විය.

2023 වසරේ සිට ඔමික්‍රොන් (Omicron) නව ප්‍රභේද කිහිපයක්ම ලොව පුරා මතු වූ අතර මේ නිසා ලෝකයේ විවිධ කලාප තුළ නව කොවිඩ් ප්‍රවණතාවක් පෙන්නුම් කරන්නට පටන් ගත්තේය. කෙසේ වෙතත් මේවා කලින් ප්‍රභේදයන්ට වඩා දරුණු හෝ මාරාන්තික ස්වභාවයක් නොගන්නා අතර ගැටලුව වන්නේ පෙර ඒවාට වඩා ඉක්මනින් සම්ප්‍රේෂණය වීම සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හසු නොවී සිටීමේ හැකියාවය.

මේ ප්‍රභේද අතරින් වඩාත් ප්‍රකට එකක් වන්නේ JN.1 ය. 2023 අගෝස්තු මාසයේ මුලින්ම නිරීක්ෂණය කරන්නට හැකි වූ මෙය ඔමික්‍රොන් BA.2.86 හි උප ප්‍රභේදයක් වන අතර 2023 වසරේ දෙසැම්බර් මාසයේ සිට ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වන්නට පටන් ගත්තේය. JN.1 වැඩි වශයෙන් ඉස්මතු වන්නට පටන් ගත්තේ විශේෂයෙන් ඉන්දියාව වැනි රටවල වූ අතර 2023 වසර අවසන් වන විට උණ, සුව නොවන කැස්ස, රක්තාවරෝධය සහ තෙහෙට්ටුව වැනි රෝග ලක්ෂණ සහිත බොහෝ දෙනෙක් දකින්නට ලැබිණි. මේ අතර කාලීන වශයෙන් මතුවන ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ සහ මේ කොවිඩ් ප්‍රභේද වෙන්කොට හඳුනාගැනීම මහත් අභියෝගාත්මක කාර්යයක් විය.

JN.1 මතුවීමෙන් පසු 2024 වසරේ දී තවත් උප ප්‍රභේද වර්ධනය වන්නට පටන් ගැනුණි. ඒවා අතර FLiRT ප්‍රභේදයට අයත් උප ප්‍රභේද වූ KP.2 සහ KP.3 විශේෂයෙන් කැපී පෙනුණි. වෛරස් ප්‍රෝටීන විකෘති වීමෙන් හටගත් මේ උප ප්‍රභේදවල විශේෂ ලක්ෂණය වූයේ වයිරසයේ ප්‍රබලතාව සහ සම්ප්‍රේෂණය වීමේ වේගය ඉහළ යාමය. 2024 වසරේ මුල් සමයේ දී KP.2 ඇමරිකා එක්සත් ජනපදයේ සහ ආසියාවේ ඇතැම් කලාපවල වැඩි වශයෙන් පැතිර යනු දක්නට ලැබිණි. එහි සම්ප්‍රේෂණ වේගය ශීඝ්‍ර වුවත්, විශේෂයෙන් එන්නත්කරණයට ලක් වූ පුද්ගලයින් අතර පෙර පැවති ප්‍රභේදවලට වඩා රෝගයේ මාරාන්තික ස්වභාවයක් දක්නට නොලැබීම සහනදායී කාරණයක් විය.

2024 වසරේ මැද භාගයේ දී XEC නමින් ප්‍රභේදයක් ජර්මනියෙන් වාර්තා විය. එය ඔමික්‍රොන් හි උප ප්‍රභේද දෙකක් වූ KS.1.1 සහ KP.3.3 හි සංයෝජනයෙන් ඇති වූවක් වන අතර එය ජාත්‍යන්තරයේ කතාබහට ඉක්මනින් ලක් වන්නට පටන් ගැනුණි. 2024 ජූලි මාසයේ දී LP.8.1 නමින් තවත් ප්‍රභේදයක් මතු වූ අතර 2025 මැයි මාසය වන විට ලෝකයේ බොහෝ රටවලින් දක්නට ලැබෙන කොවිඩ් ප්‍රභේදය බවට එය පත් විය. මේ සියලු ප්‍රභේදවල ඇති පොදු ලක්ෂණය වන්නේ ශීඝ්‍ර ලෙස සම්ප්‍රේෂණය වීම සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගහැර යාමේ හැකියාවය. නමුත් කලින් ප්‍රභේධවලට වඩා කිසිදු මාරාන්තික බවක් මේ එකකින් හෝ වාර්තා වී නොමැත. ලෝක සෞඛ්‍ය සංවිධානයට සහ ජාතික සෞඛ්‍ය අධිකාරීන්වලට අනුව මේ වන විට වැඩිදියුණු කොට ඇති එන්නත් මගින් සියලු ඔමික්‍රොන් උප ප්‍රභේද නිසා ඇති විය හැකි අසාධ්‍ය රෝගී තත්ත්වයන්ගෙන් සහ මරණවලින් පූර්ණ ආරක්ෂාවක් සැපයේ.

මෙසේ නිල වශයෙන් වාර්තා ගත වී ඇති ප්‍රභේදයන්ට අමතරව මාරාන්තික යැයි නම් කෙරුණු ප්‍රභේදයන් පිළිබඳ සාවද්‍ය පුවත් සමාජ මාධ්‍යවල ශීඝ්‍රයෙන් පැතිර යන බව දකින්නට ලැබේ. XBB නම් වූ නව, ඉතා මාරාන්තික ප්‍රභේදයක් පැතිර යන බව එවැනි එක් සාවද්‍ය පුවතකින් පැවසෙන අතර එය සමාජ මාධ්‍ය ජාල අතර නිතර හුවමාරු වන බව දකින්නට ලැබේ. ඒ පුවතට අනුව මේ ප්‍රභේදයේ කැස්සත් හෝ උණක් නොමැති අතර එක්වර නිව්මෝනියා තත්ත්වයක් ඇති වන අතර මාරාන්තික බව අතිශය ඉහළය. අනෙක මේ සාවද්‍ය පුවත මගින් පැවසෙන තවත් කාරණයක් වන්නේ වන්නේ නාසයෙන් ලබා ගන්නා නියැදි මගින් මෙය කෙසේවත් නිර්ණය කළ නොහැකි බවත් උගුරෙන් ලබා ගන්නා නියැදිවලින් පමණක් නිර්ණය කළ හැකි බවත්ය. එබැවින් සීත ආහාර පාන ගැනීමෙන් වැළකී සිටින ලෙස ද එම පණිවිඩය තුළින් ඉල්ලා සිටිනු දකින්නට ලැබේ.

මේ සාවද්‍ය පුවත නිසා සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර අනියත බියක් පැතිර යමින් පවතින අතර බොහෝ දෙනෙක් විශ්වාසය වී ඇත්තේ නව, අතිශය මාරාන්තික කොවිඩ් ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින බවය. මේ පණිවිඩය බහුල වශයෙන් ඉන්දියාවේ සමාජ මාධ්‍ය තුළ පැතිර ගිය අතර අපේ රටේ ද නිතර දකින්නට ලැබෙයි. ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය වහා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ මේ පණිවිඩය සාවද්‍ය එකක් බවත්, එයට කිසිදු විද්‍යාත්මක හෝ වසංගත රෝග විද්‍යාමය පදනමක් නොමැති බවය. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහ ජාතික සෞඛ්‍ය අධිකාරීන්වලින් නිකුත් කෙරෙන පුවත් මිස මෙවැනි සාවද්‍ය තොරතුරු අඩංගු පුවත් හුවමාරු කර නොගන්නා මෙන් ද ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගේ ඉල්ලා සිටියේය.

වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ XBB.1.5 නමින් ඇති සත්‍ය ප්‍රභේදය 2023 වසරේ මුල් සමයේ සිටම නිරීක්ෂණයට බඳුන් වෙමින් පැවති බවත්, එය RT-PCR පරීක්ෂණය මගින් පහසුවෙන්ම නිර්ණය කළ හැකි බවත්ය. අනෙක එය අතිශය මාරාන්තික ප්‍රභේදයක් නොවන බව ද ඔවුහු පවසති. එහි ඇති එකම විශේෂිත බව වන්නේ ශීඝ්‍ර ලෙස පැතිර යාම පමණි.

ලෝක සෞඛ්‍ය සංවිධානය, සෞඛ්‍ය අමාත්‍යංශය සහ ජාතික සෞඛ්‍ය ආයතන වැනි විශ්වසනීය මූලාශ්‍රවලින් පමණක් තොරතුරු ලබාගැනීමට උත්සුක වන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සෞඛ්‍ය බලධාරීහු අවධාරණය කරමින් පවසා සිටිති. එමෙන්ම යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යාම, සෙනග ගැවසෙන ස්ථානවලට යාමේ දී මුව ආවරණ පැළඳීම, වැරදි තොරතුරු හඳුනාගෙන ඒවා හුවමාරු කිරීමෙන් වැලකී සිටීම මේ පවතින අනියත සැකමුසු තත්ත්වයන් සමනය කරගැනීමට හේතු වේ.

නව කොවිඩ් ප්‍රභේද ඉස්මතු වීම සාමාන්‍ය දෙයක් වුව ද, අනියත බිය තුරන් කර ගැනීම සහ වැරදි තොරතුරු හඳුනාගැනීම කළ යුතුම දෙයක් බවට පත්ව තිබේ. දැනට පවතින JN.1, KP.2, LP.8.1 සහ XEC වැනි ප්‍රභේද ශීඝ්‍රයෙන් පැතිර ගිය ද ඒ කිසිවක විශේෂිත මාරාන්තික බවක් දකින්නට නැත. නිසි එන්නත්කරණය, නිසි වේලාවට වෛද්‍ය උපදෙස් පැතීම නිවැරදි තොරතුරු පමණක් ලබාගැනීම තුළින් කොවිඩ් ප්‍රභේදයන් මෙන්ම මේ සමයේ පවතින උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගයන්ගෙන් ද වැලකී සියින්නට හැකියාව තිබේ.

නව කොවිඩ් ප්‍රභේද ඉස්මතු වීම සාමාන්‍ය දෙයක් වුව ද, අනියත බිය තුරන් කර ගැනීම සහ වැරදි තොරතුරු හඳුනාගැනීම කළ යුතුම දෙයක් බවට පත්ව තිබේ. දැනට පවතින JN.1, KP.2, LP.8.1 සහ XEC වැනි ප්‍රභේද ශීඝ්‍රයෙන් පැතිර ගිය ද ඒ කිසිවක විශේෂිත මාරාන්තික බවක් දකින්නට නැත. නිසි එන්නත්කරණය, නිසි වේලාවට වෛද්‍ය උපදෙස් පැතීම නිවැරදි තොරතුරු පමණක් ලබාගැනීම තුළින් කොවිඩ් ප්‍රභේදයන් මෙන්ම මේ සමයේ පවතින උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගයන්ගෙන් ද වැලකී සියින්නට හැකියාව තිබේ.

(තොරතුරු මූලාශ්‍ර වෙබ් අඩවි : ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය, ඇමරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීම සඳහා වූ මධ්‍යස්ථානය, සමාජ මාධ්‍ය තුළ සැරිසරණ සාවද්‍ය තොරතුරු විශ්ලේෂණය කරන Deccan Herald වෙබ් අඩවිය, ශ්‍රී ලංකා වසංගත රෝග ඒකකය, රොයිටර් පුවත් සේවය)

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර