යක් තොවිල් කරමින් හිඳින යකැදුරන් හිටි හැටියේ මැරී වැටෙන්නේ ඇයි?

නිකවැරටිය, මහනාන්නේරිය ප්‍රදේශයේ නිවසක රෝගියකුට තොවිලයක් කරමින් සිටි යැකැදුරකු අලුයම් යාමයක හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කරන විටත් මියගොස් සිටීමේ පුවතක් වාර්තා වෙයි. මෙසේ මියගොස් ඇත්තේ රම්බඩගල්ල පොලිස් වසමේ පිහිටි ගණේගොඩ පිහිඹුව ප්‍රදේශයේ පදිංචි රණසිංහ මුදියන්සේලාගේ ලයනල් රණසිංහ නමැති අයෙකි.ඔහු රෝගියාගේ නිවසට පැමිණ ඉන් පෙරදා රාත්‍රියේ සිට තොවිලයක් කරමින් සිටියදී පසුදා අලුයම පපුවේ දැවිල්ලක් ගට ගත් බව කියා නිවසේ අයගෙන් වතුර වීදුරුවක් ඉල්ලාගෙන පානය කර තිබේ. පසුව දැඩි වේදනාත්මක බවක් පළ කරන්නට වූ ඔහු එවෙලේම නාන්නේරිය රෝහලට ඇතුළත් කොට තිබේ.එවිට ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරයා පවසා ඇත්තේ එම රෝගියා මියගොස් ඇති බවකි.පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වූ අන්දමට ඔහුගේ මරණයට හේතු වී ඇත්තේ හෘදයාබාධයකි. තොවිල් පල වලදී එලෙස එක්වරම මැරී වැටෙන යකැදුරන් පිළිබඳ පුවත් අපි කොතෙකුත් අසා ඇත්තෙමු. ඒ සම්බන්ධයෙන් බොහෝ විට වාර්තා වනුයේ එම තොවිලයේ උච්චතම අවස්ථාවේ දී; එනම් එම තොවිලයට කේන්ද්‍රගත රෝගියාට හෙවත් ආතුරයාගේ ශරීරය තුළට කඩා වැදී සිටි යක්ෂයා පලවා හරින අවස්ථාවේ එම යකැදුරා එක්වරම මැරී වැටෙන බවකි. බොහෝ විට රෑ මැදියමින් පසු සිදු කෙරෙන මහසෝන් සමයමේ දී එම තොවිලයට එක් වන යකැදුරා ඒ ඛේදනීය ඉරණමට ලක්වන බව ද නොයෙක් වර අසන්නට ලැබේ. නැතහොත් බරපතල රෝගියකු වෙනුවෙන් අලුයම් ජාමයේ සිදු කරන යාතු කර්මයක් වන මරු දැපවිල්ල නම් වන ඇදුරා “දරහැවක්” මත හොවා මළ සිරුරක් සේ සොහොන් බිමකට ගෙන ගොස් එහි අලුත් මිනී වලක් මත සතපවා සිදු කෙරෙන යාතු කර්මයේ දී ද යකැදුරා එක්වරම නාසයෙන් කටින් ලේ දමා මිය යන බව ද අසන්නට ලැබේ. සැබැවින්ම මෙම සිදුවීම් බොරු නොවේ. අදට සාපේක්ෂව අප රටේ නිතර සිදු වූ මෙවන් බිහිසුණු හා ඛේදනීය සිදුවීම් පිළිබඳ රාවයන් ඉතා වේගයෙන් දස`ත පැතිර යාම සාමාන්‍ය දෙයක් විය.ඒ සම්බන්ධයෙන් එවක සමාජය පුරා පැතිර ගිය පොදු මතයක් විය.එනම් එම තොවිලයේ දී ඇදුරා සමඟ ප්‍රබල ගැටුමක් ඇති කර ගන්නා යක්ෂයා කුපිතව ඇදුරා මරා දැමූ බවකි.

බලි, තොවිල්, ශාන්තිකර්ම යන තුන් ඈඳුණු නමින් හැඳින්වුව ද මේවා තුළ එක් එක් සුවිශේෂතා තිබේ. අතීතයේ ‘බලි’යනු ග්‍රහ දෝෂ නිරාවරණය උදෙසා වූ යාතු කර්මයක් වන අතර ශාන්ති කර්ම යනු පත්තිනි දේවිය උදෙසා සිදු කෙරෙන පුද පිළිවෙත් මගින් යම් පුද්ගලයකුට පවුලකට හෝ ප්‍රජාවකට සුවසෙත සලසා දීමකි.ඉහත සඳහන් යාතු කර්ම අතුරින් තොවිල් හුදෙක් යක්ෂ බලපෑම් වශයෙන් සම්මත හේතු කාරණා මුල් කොට යමකු තුළ හට ගන්නා කායික මානසික විෂමතා සමනය කෙරෙන යාගාංගයකි.
මේ වන විට අනාවරණය වී ඇති අන්දමට මෙම යක් තොවිල් සඳහා පාරම්පරික වශයෙන් දක්ෂතම ඇදුරන් වාසය කොට ඇත්තේ මාතර කේන්ද්‍රගතව ය. නාමික වශයෙන් මාතර යනුවෙන් හැඳින්වුවද එහි උප නගර වන තංගල්ල, වලස්මුල්ල, වීරකැටිය, ගන්දර, රත්න හුංගම ආදී ප්‍රදේශ කේන්ද්‍ර කරගත් ප්‍රදේශවල ඒ සම්බන්ධ පාරම්පරික දක්ෂයන් බහුලව ජීවත් වී ඇත. උතුරේ දෙමළ බහුතරය සහ නැගෙනහිර මුස්ලිම් බහුතරය ජීවත් වන ප්‍රදේශ හැරුණු කොට දිවයිනේ සෑම ප්‍රදේශයකටම තම පිරිවර ද රැගෙන යන යකැදුරෝ ඉතා සාර්ථක ලෙස එම කටයුතු නිමවා ආපසු එති.

මෙම තොවිල් සම්බන්ධ සංවිධාන ව්‍යුහය ද ඉතා ක්‍රමානුකූල ය. යකැදුරාට අමතරව එම තොවිලය සම්බන්ධ විවිධ කටයුතු සඳහා නිපුනතා දක්වන පිරිසක් ද කණ්ඩායමට අයත් වෙති. ඔවුන් අතුරින් තොවිලයේ ගෝල බාලයන් හෙවත් අප්‍රධාන පිරිස තොවිලය සිදුකිරීමට දින දෙකකට පමණ පෙර එම ප්‍රදේශයට නිවසට ගොස් එහි පූර්ව සූදානමක යෙදීම සාමාන්‍ය පිළිවෙල ය. යකැදුරා සහ “කොට්ටෝරු උන්නැහේ” වැනි තොවිලයේ ප්‍රධාන තනතුරු දරන්නවුන් එම ස්ථානයට සම්ප්‍රාප්ත වනුයේ එලෙස තොවිලය පිළිබඳ මූලික කටයුතු සැකසී නිමා වූ පසුව ය. මෙහි කොට්ටෝරු යන නාමය කොෂ්ඨ යන නම පදනම් කර ගෙන සැකසී තිබේ. එහි අරුත ‘කොටුව’ යන්නය.කොට්ටෝරු යනු එම තොවිලය හා සම්බන්ධ පරිපාලන නිලධාරියා ය.නූතන ව්‍යවහාරයට අනුව කිව හොත් යකැදුරා විෂය භාර අමාත්‍ය වරයා නම් කොට්ටෝරු උන්නැහේ අමාත්‍යංශ ලේකම් වරයා ය.

සැබැවින්ම කිවහොත් යක් තොවිලය යනු එක්තරා නොවිධිමත් මනෝ චිකිත්සක ක්‍රියාවලියකි. එහෙත්, එය හුදෙක් නොදියුණු ගෝත්‍රික අභිචාර විධි වශයෙන් සළකන බටහිර මනෝ වෛද්‍යවරුන් බහුතරයට එම යාතුකර්ම තුළ ගැබ් වූ නොවිධිමත් මනෝ චිකිත්සක අංග දැක ගැනීමට අවකාශ නොලැබේ.
මූලික වශයෙන් ගත් කළ යක් තොවිලයක් මනෝ රංග චිකිත්සාවක (Psychodrama therapy ) ස්වරූපයක් ගනු පෙනේ. එහි දී එම යක්ෂ බලපෑම හෙවත් යක් ලෙඩට ඉවහල් වන හේතුව විමසා බැලීම පිණිස ඒ එක් යකුන් සංකේතය කරන රංගන ශිල්පීන් එම බලපෑමට ලක් වූ තැනැත්තා හෝ තැනැත්තිය සේම එම තොවිලය නැරඹීමට පැමිණෙන්නවුන් හමුවට කැඳවීම එම මනෝ රංගන සිද්ධාන්තය හා කදිමට සමපාත වෙයි. එහි දී එම යක්ෂ බලපෑම වෙසමුණි අතින් සිදුවන්නක් බවත් යකැදුරා කේන්ද්‍ර කරගත් තොවිල් පාර්ශවයේ ක්‍රියාන්විතය බුදුන් ගේ අණ ලෙසත් සංකේතය කෙරේ.

මෙහිදී තොවිල් පලේ දී යකැදුරා සහ යක්ෂයා සංකේතය කෙරෙන නලුවා අතර සිදුවන සංවාදය තුළ ඉතා පුළුල් මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයක් තිබේ. ඒ අතරේ සෑම තොවිලයකින්ම මූලික සත්ව ආවේගයන් වන ලිංගිකත්වය, බිය සහ ප්‍රචණ්ඩත්වය කුළුගැන්වෙනු දක්නට පුළුවන. මෙහි ලිංගිකත්වය හුවා දැක්වෙනුයේ ද යක්ෂයාගේ වදන්
මගිනි. සාමාන්‍ය ජීවිතයේ දී අසභ්‍ය වශයෙන් හැඳින්වෙන වදන් සංකේතාත්මකව තොවිල් පලක දී ඇසීමට සිදුවීම සාමාන්‍ය තත්වයක් සේ ගම්මු සළකති.දහ නව වන සියවසේ අග භාගයේ ;එනම් 1895 වසරේ පාසල් සිසුන් උදෙසා එම්.එල් සිල්වා ගුරු මුහන්දිරම් තැන විසින් රචනා කරන ලද “සිරිත් මල් දම” නම් උපදේශනාත්මක කාව්‍ය සංග්‍රහයෙන් තොවිල් බැලීමට යාම හැදෙන වැඩෙන දරුවන්ට තහනම් කොට තිබේ.,ඒ අනුව මෙරට චිත්‍රපට වලට කලින් “වැඩිහිටියන්ට පමණයි” ලේබලය ඇලවෙන ලද්දේ බලි තොවිල් සඳහා බව පැහැදිලිය. රණ්ඩු දබරවලදී අසභ්‍ය වචන යොදමින් ප්‍රතිවිරුද්ධ කරුවන් මානසිකව පසුගැන්වීම පොදු මානව චර්යාවකි.එහෙත්, තොවිල් වලදී හුදු පරුෂ වචන වශයෙන් නොපවසන අසභ්‍ය වදන් ඉතා උපායශීලී ලෙස යොදමින් ඊට එක් වන්නවුන්ගේ මනැස් තුළ එම සියුම් කම්පනයක්;ඇතැම් විට කිතියක් දැනවීම් එක්තරා අන්දමක විස්මය දනවන කරුණකි.

අදටත් දකුණු පළාතේ මාතර ආශ්‍රිත පැරණි ගැමියෝ “හත්වලාමේ” යන වදනට බියක් දක්වති. ඊට හේතුව එය තොවිල් පලවලදී අසන්නවුන් බිය ගැන්වීමට යොදන අසුභ සහ මූසල වදනක් ලෙස සැලකීමය. මෙහි වලහම යනු වලදැමීම හෙවත් භූමදානයයි. හත්වලාමේ යනු වල දැමීම හෙවත් මරණ හතකි. නැතහොත් බරපතල, බිහිසුණු විපතකි. නමුදු එම වදන් ඉතා ක්‍රමානුකූලව යෙදෙමින් තොවිලය කේන්ද්‍රගත වූ පුද්ගලයා ඇතුළු සෙස්සන්ගේ මනැස්වල නොවිධිමත් මනෝ චිකිත්සක බලපෑමක් කිරීමට සාම්ප්‍රදායික තොවිල් ඇදුරන් සමත් වන අයුරු සියුම් ලෙස නිරීක්ෂණය කළ හැක.එහෙත්, ඒ බිය සමඟම වරින් වර ලිංගිකත්වය හා හාස්‍යය ඉස්මතු කරමින් ආතුරයාගේත් තොවිලය නරඹන්නවුන්ගේත් මානසික සමතුලිතතාව රැක දීමට යකැදුරෝ සමත් වෙති. සාමාන්‍යයෙන් විධිමත් මනෝ චිකිත්සාවක දී එය මනෝ චිකිත්සකයා සහ රෝගියා හෝ සේවා දායකයා අතර සිදුවන්නකි.එහෙත්, තොවිලයක දී ආතුරයා නමින් හැඳින්වෙන රෝගියා හෝ සේවාදායකයා පැත්තකට කොට එම දෝෂය නියෝජනය කරන යක්ෂයා සංකේතනය කෙරෙන ශිල්පියා සමඟ ඒ ගනුදෙනුව පවත්වා ගෙන ගොස් නිමා කිරීම යකැදුරු සාම්ප්‍රදාය බව හඳුනා ගත හැක. මෙහිදී මානසික කම්පනයකට තුඩු දුන් සිදු වීමක් මතකය තුළින් ක්‍රමානුකූලව පිබිදුවන අතරේ එම භාවමය විෂමතා සමනය කෙරෙන වියුක්තිකරණ චිකිත්සාව(Abreaction therapy )වශයෙන් හැඳින්වෙන දේ සේම නිෂේධනාත්මක පැනවීම් (Paradoxical injunction) ලෙස හැඳින්වෙන මනෝ චිකිත්සක අංග ද නොවිධිමත් ආකාරයෙන් මෙම තොවිල් තුළ සිදුවන බව මේවා සියුම් ලෙස නිරීක්ෂණය කිරීමේ දී ඉතා හොඳින් දැක ගත හැකි වනු ඇත.

එමෙන්ම එම තොවිලය ඉලක්ක කොට ගත් පුද්ගලයාගේ එම පවුලේ තොරතුරු සේම එම පරම්පරාවට අයත් ආදිතමයන් ගේ තොරතුරු පවා එසේ පැමිණෙන ‘යක්ෂයන්’දැන සිටීම එම තොවිලයේ ආතුරයන් එසේම එය බැලීමට පැමිණෙන්නවුන් තුළ පවා විස්මය දැනවීමට හේතු වී තිබේ. එමෙන්ම එම යකුන් ආතුරයන් අතහැර පලා යාම හඟවමින් අලුයම් යාමයේ ගසක අත්තක් කඩා වැටීම වැනි විස්මය ජනක ක්‍රියා සිදුවන බව ද ප්‍රකට කරුණකි. ශ්‍රී ලාංකේය ජන සමාජය පිළිබඳ මානව විද්‍යාත්මක විවරණයක් සිදු කළ ආර්. එල්. බ්‍රෝහියර් සූරීන් ලියූ Discovering Ceylon කෘතියේ ද එවන් ගස් අතු කඩා වැටීමේ අද්භූත ජනක සිදුවීමක් පිළිබඳව සඳහන් වේ. එහි කතුවරයා සඳහන් කරන්නේ එය කවර නම් අරුමයක් දැයි තමන්ට නොවැටහුණු බවය. එහෙත් ඉහත සඳහන් විස්මිත ක්‍රියා හා එම තොවිලයට දින කිහිපයකට පෙර තොවිලයේ සුළු මුලාදෑනීන් ලෙස එහි පැමිණ නතර වන කොලු ගැටවුන් ගේ ඇට්ටරකම් විමසා බලන විට ඒවායේ යථාර්ථය වටහා ගැනීමට අපට අපහසු නොවනු ඇත.
බොහෝ විට මෙවන් තොවිලයක් වඩා සක්‍රිය වනුයේ අලුයම් යාමයේ ය. “හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට” යන ජන පිරුළෙන් ද ඒ බව සනාථ වේ. ඒ අනුව මෙම තොවිලයක වඩාත් උද්වේගකර සේම උපායශීලී සහ නිර්මාණශීලී කොටස ක්‍රියාත්මක වනුයේ අලුයම් යාමයේ බව පෙනේ. එහි දී තොවිල් පළේ සිටින සැම භීතියෙන් සලිත කරවමින් ආවේශයට,ආරූඨයට පත්වීම දක්ෂ යකැදුරකු ගේ අනිවාර්ය වගකීමකි. මෙම ආවේශය මගින් යකැදුරා නියත ලෙසම ප්‍රකෘති ලෝකයෙන් බැහැර වනු ඇත. මෙය හුදෙක් යම් යම් පුද්ගලයන් සතු ප්‍රතිභාව හැකියාව මගින් ලබා ගන්නා සමාරෝපණමය ( Impersonation ) තත්වයකි.

වරක් ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී, පුවත්පතකට මෙසේ කී අයුරු අපට මතකය. “මට ධර්මසිරි බණ්ඩාරනායක ගේ “බව දුක” චිත්‍රපටියේ මහසෝන් සමයම නටන්න තිබුණා. මම ඒකට ගුරුහරුකම්,පුහුණුව ලබා ගත්තේ අසවල් ගුරුන්නාන්සේ ගෙන්. ගුරුන්නාන්සේ මට රංගනය පුරුදු කරන කොට කිව්වා. “මහත්තයෝ මේ මහසෝන් සමයම හරියට නැටුවොත් ඇත්තටම මහසෝනා මහත්තයගේ ඇඟට එනවා කියලා, ඒ කිව්වා වගේම ඒ රංගනයේ මැද හරියේදී මාව මගේ පාලනයෙන් මිදුණා. ඊට පස්සේ මට මොනවා වුණාද මමවත් දන්නේ නැහැ”.
විශිෂ්ඨ රංගන ප්‍රතිභාවක් සහිත ජැක්සන් ඇන්තනි වැන්නකු මෙම සමාරෝපණ තත්වයට පිවිසීමට තිබූ රංගන කුශලතාව ඊට මුල්වන්නට ඇත. එහෙත්, මහසෝනා හෝ වෙනයම් යම් යකකු පිළිබඳ විශ්වාසය පෙරදැරි කර ගනිමින් මෙලෙස ආවේශයට ආරූඪයට පත් වන යකැදුරා ද එසේ ප්‍රකෘතියෙන් බැහැර වීමත් සමඟ ඔහුගේ ශ්වසනය,රුධිර පීඩනය, නාඬි වේගය සහ හෘද ස්පන්දනය ඉතා වේගයෙන් ඉහළ නැංවීම ආදී ශරීරයේ ජෛව ක්‍රියාකාරී විෂමතා හට ගැනීම සාමාන්‍ය තත්වයකි.යම් හෙයකින් එහි සීමාව දරා ගත නොහැකි මට්ටමකට පත් වත්ම එම යකැදුරාගේ හෘදයට හෝ මොළයට සිදුවන අනතුරක්( Cardiac arrest/Stroke) මුල්කොට ඔහු ඒ මොහොතේම මැරී වැටීමට හෝ ආඝාත තත්වයකට පත්වීමට පහසු අවකාශයක් තිබේ.මෙහි දී එවැනි යකැදුරන් බොහොමයක් මිය යන අතර හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කෙරෙන සුළු පිරිසකට පමණක් දිවි ගලවා ගැනීම්ට ඉඩ ලැබේ. එබැවින් එවැනි යකැදුරන් තොවිලයකට යාමට පෙර තමන් ගේ අධික රුධිර පීඩනය, දියවැඩියාව, අධි කොලොස්ට්‍රෝලියතාව ආදිය පරීක්ෂා කර ඒ සඳහා වන යෝග්‍යතාව තහවුරු කර ගන්නේ නම් එසේ තමන්ට තොවිල් පල වල දී මරු කැඳවන මහසෝනා ඇතුළු යකුන් ගෙන් බේරීමට එම යකැදුරන්ට හැකිවනු නියතය.

තිලක් සේනාසිංහ

එතෙර - මෙතෙර