රජය මඟහරින අලි – මිනිස් ගැටුම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග

අද වන විට ඉතා ම දරුණු අලි – මිනිස් ගැටුමක් මෙරට තුළ නිර්මාණය කර ඇත. නිදහසින් පසු ව මෑත ඉතිහාසයේ වසරක් තුළ වැඩි ම අලි මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පසුගිය 2023 වසරේ දී ය. එය අලි – ඇතුන් 488 කි. අලින් ගේ පහර දීම් හේතුවෙන් වැඩි ම මිනිසුන් ප්‍රමාණයක් වසරක් තුළ මිය ගොස් ඇත්තේ ද මෙම වසරේ දී ම ය. එය මිනිසුන් 187 කි. නමුත් 2025 වසරේ දී මෙම දත්තයන් ඉතා ම දරුණු මට්ටමකින් ඉහළ යාමට නියමිත ව ඇත. මෙය දරුණු ඛේදවාචකයකි.
2011 වසරේ සිට මේ වසරේ මැද භාගය දක්වා ගෙවී ගිය වසර 15 ක කාලය තුළ දී අලි – ඇතුන් 4600 ක් මියගොස් ඇත. මෙම කාලවකවානුව තුළ ම අලින් ගේ පහර දීම් හේතුවෙන් මිනිසුන් 1528 ක් මිය ගොස් තිබේ.

මෙම සංඛ්‍යා ලේඛණ වලින් පෙනී යන්නේ මෙරට අලි – ඇතුන් හා මෙම සතුන් ජීවත් වන ප්‍රදේශ ආශ්‍රිත ව දිවි ගෙවන ජනතාව දරුණු ඛේදවාචකයකට මුහුණ දී සිටින බව ය. බොහෝ දෙනෙක් සිතන්නේ අලි ගහනයේ වැඩි වීම අලි – මිනිස් ගැටුම මේ ආකාරයෙන් වර්ධනය වීමට බලපා ඇති බව ය. නමුත් අලි ගහනය වර්ධනය වන බවට කිසිදු විද්‍යාත්මක සාධකයක් නොමැත.

අලි මරණ හා සම්බන්ධ පැරණි වාර්තා විශ්ලේෂණාත්මක ව අධ්‍යයනය කිරීමේ දී පෙනී යන්නේ හැත්තෑව දශකයට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂ ව වර්තමානය වන විට අලි මරණ සිව්ගුණයකට වඩා වැඩි වර්ධනයක් පෙන්නුම් කරන බව ය.
1950 වසරේ සිට 2000 වසර දක්වා ගෙවී ගිය වසර 50 ක කාලය තුළ දී මිය ගොස් ඇති අලි – ඇතුන් ගේ ප්‍රමාණය 3949 කි. එම කාලය තුළ දී වසරකට මිය ගොස් ඇති අලි – ඇතුන් ගේ සාමාන්‍ය අගය 80 ක් පමණ වේ. නමුත් 2000 වසරේ සිට මේ වසරේ මැද භාගය දක්වා වූ ගත වූ වසර 25 ක කාලය තුළ දී අලි – ඇතුන් 6773 ක් මිය ගොස් තිබේ. එම කාලය තුළ දී වසරකට මිය ගොස් ඇති අලි – ඇතුන් ගේ සාමාන්‍ය අගය 270 ක් පමණ වේ. ඒ අනුව 2000 වසරට පෙර පැවති තත්ත්වයට වඩා අලි මරණ තුන්ගුණයකට වඩා වැඩි වර්ධනයක් සිදු වී ඇති බව තහවුරු වේ.

මෙරට අවසන් වරට අලි සංගණනයක් සිදු කර වාර්තා ප්‍රකාශයට පත් කෙරුනේ 2011 වසරේ දී ය. එම සංගණනයට අනුව අලි – ඇතුන් 5879 ක් වාර්තා වන බවට හඳුනා ගැනින. නමුත් අලි සංගණනයෙන් පසු ව ගෙවී ගිය වසර 15 ක කාල සීමාව තුළ දී අලි – ඇතුන් 4600 ක් මිය ගොස් තිබේ. ඒ අනුව අද වන විට මෙම සතුන් ගේ ගහනය ඉතා ම දරුණු ලෙස පහළ යමින් තිබෙන බව පෙනී යයි. නමුත් අලි – ඇතුන් ගේ වාසස්ථාන ශීඝ්‍රයෙන් විනාශ කිරීම හේතුවෙන් මෙම සතුන් ගම් වැදීම බහුල වීම නිසා අලි ගහනය වර්ධනය වී ඇති බවක් පෙනෙන්නට තිබෙන බව බොහෝ දෙනෙක් සඳහන් කරති. එහෙත් සත්‍ය තත්ත්වය නම් අලි – ඇතුන් ඝාතනය කරන ශීඝ්‍රතාවයට සාපේක්ෂ ව ගහනයේ වර්ධනය වීමක් සිදු නොවන බව ය. මෙහි ඉතා ම කණගාටුදායක තත්ත්වය නම් දළ ඇතුන් හා ශක්තිමත් පිරිමි සතුන් නිතර ඝාතනයට ලක් වන නිසා ගැහැණු හා පිරිමි සතුන් අතර ඇති අනුපාතය වෙනස් වීම හා සුවිශේෂී ජාන සහිත සතුන් ගහනයෙන් ඉවත් වීම හේතුවෙන් අලි – ඇතුන් ගේ ගහනය දුර්වල වෙමින් පැවතීම ය.


අලි මරණ හා සම්බන්ධ පැරණි වාර්තා විශ්ලේෂණාත්මක ව අධ්‍යයනය කිරීමේ දී පෙනී යන්නේ හැත්තෑව දශකයට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂ ව වර්තමානය වන විට අලි මරණ සිව්ගුණයකට වඩා වැඩි වර්ධනයක් පෙන්නුම් කරන බව ය.
1950 වසරේ සිට 2000 වසර දක්වා ගෙවී ගිය වසර 50 ක කාලය තුළ දී මිය ගොස් ඇති අලි – ඇතුන් ගේ ප්‍රමාණය 3949 කි. එම කාලය තුළ දී වසරකට මිය ගොස් ඇති අලි – ඇතුන් ගේ සාමාන්‍ය අගය 80 ක් පමණ වේ. නමුත් 2000 වසරේ සිට මේ වසරේ මැද භාගය දක්වා වූ ගත වූ වසර 25 ක කාලය තුළ දී අලි – ඇතුන් 6773 ක් මිය ගොස් තිබේ. එම කාලය තුළ දී වසරකට මිය ගොස් ඇති අලි – ඇතුන් ගේ සාමාන්‍ය අගය 270 ක් පමණ වේ. ඒ අනුව 2000 වසරට පෙර පැවති තත්ත්වයට වඩා අලි මරණ තුන්ගුණයකට වඩා වැඩි වර්ධනයක් සිදු වී ඇති බව තහවුරු වේ. මේ තත්ත්වය පිටුදැකීමට නම් මේ සඳහා බලපෑ හේතු සාධක පිළිබඳ ව ගැඹුරින් සොයා බැලිය යුතු ව ඇත.

වර්ෂ 2010 දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත අවසන් වනාන්තර සංගණනයට අදාළ වාර්තාවට අනුව මෙරට සමස්ත වනාන්තර ආවරණය හෙක්ටයාර 19,51,473 කි. එය මෙරට සමස්ත භූමි ප්‍රමාණයෙන් 29.7% කි. මෙම වනාන්තර අතුරෙන් අලි – ඇතුන් ප්‍රධාන වශයෙන් ජීවත් වන්නේ අතරමැදි, වියළි හා ශුෂ්ක කලාපවලට අයත් වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, අතරමැදි කලාපීය මෝසම් වනාන්තර, සැවානා තෘණ භූමි හා කටු පදුරු සහිත ලඳු කැළෑ වනාන්තරවල ය. මෙම වනාන්තරවල ප්‍රමාණය හෙක්ටයාර 17,36,805 කි. එය ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 26.5% ක ප්‍රතිශතයකි. නැතහොත් මෙරට අතරමැදි, වියළි හා ශුෂ්ක කලාපවල මුළු භූමි ප්‍රමාණයෙන් 34.5% ක ප්‍රතිශතයකි. අලි – ඇතුන් ජීවත් වන ස්වාභාවික පරිසර පද්ධති මේ ආකාරයේ අඩු මට්ටමක පැවතීම හා එම වනාන්තර එකිනෙක හා ජාලගත වී නොමැති ව ඛණ්ඩනය වූ වනාන්තර ලෙස පැවතීම අලි – මිනිස් ගැටුම වර්ධනයට බලපාන ප්‍රධාන හේතු සාධකයන් ය.
2010 වසරට පෙර වනාන්තරවල තත්ත්වය මේ ආකාරයෙන් පැවතිය ද එතැන් සිට අද දක්වා ජාතික භෞතික සැලැස්මට අනුව ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති සඳහා සහ ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ණය දෙන ආයතනවල කොන්දේසිවලට අනුව ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණ මත වාණිජ කෘෂිකර්මය සඳහා මහ පරිමාණ ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට දැවැන්ත වනාන්තර විනාශයක් සිදු කර තිබේ. ඒ හේතුවෙන් අලි – ඇතුන් ගේ ස්වාභාවික වාසස්ථාන බොහොමයක් විනාශයට ලක් කර තිබීම හා ඉතිරි වී ඇති වනාන්තර කොටස්වලට වෙන් වන පරිදි ජාතික භෞතික සැලැසුමට අනුව සංවර්ධන කටයුතු සිදු කර තිබීම හා ඒ සඳහා යටිතලයන් සැපයීමට අවශ්‍ය බහුකාර්යය වාරි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අලි – මිනිස් ගැටුම අද පත් ව ඇති දරුණු තත්ත්වයට පරිවර්තනය වීමට ප්‍රධාන හේතු සාධක ලෙස බලපා ඇත.

මෙම යතාර්ථය මත පදනම් ව අලි – මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා අප පහත සඳහන් උපායමාර්ග යෝජනා කරන්නෙමු. මෙම යෝජනා ඉදිරිපත් කරන්නේ වසර 30 කට ආසන්න කාලයක් අලි – ඇතුන් හා වනාන්තර අතර මනා සබැදියාව හා ඒ වටා ජන ජීවිතය පිළිබඳ ව සිදු කරන ලද නිරීක්ෂණ හා අධ්‍යයනයන් මෙන් ම සංවර්ධන සැලැසුම් හා ජාතික සංවර්ධන ප්‍රතිපත්ති සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ දී ඇති වී තිබෙන තත්ත්වයන්ට අදාළ දත්ත විශ්ලේෂණයන් පදනම් කර ගෙන ය. මේ නිසා මෙම කරුණු පිළිබඳ ව විශේෂ අවධානය වත්මන් ආණ්ඩුව විසින් යොමු කරනු ඇතැයි අප විශ්වාස කරමු.

■ අලි – ඇතුන් ගේ වාසස්ථාන ජාලගත කිරීම.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ජාතික පශු සම්පත් මණ්ඩලය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යන රාජ්‍ය ආයතන යටතේ පාලනය වන අලි – ඇතුන් ගේ වාසස්ථාන වන රක්ෂිත ඇතුළු ව වනාන්තර ප්‍රදේශ, විහාර දේවාලගම් පනත යටතේ හා සන්නස් ඉඩම් ලෙස පවතින සියලූ ම අලි – ඇතුන් ගේ වාසස්ථාන සිතියම් ගත කර ජාලගත කිරීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.

■ අලි – ඇතුන් ගේ වාසස්ථාන සියල්ල ජාලගත වන පරිදි විදුලි වැටවල් නැවත ප්‍රතිස්ථාපනය කිරීම.

අලි – ඇතුන් ගේ වාසස්ථාන හා රක්ෂිත ප්‍රදේශ ඛණ්ඩනය වන පරිදි ඉදිකර ඇති සියලූ ම විදුලි වැටවල් ඉවත් කර නැවත වාසස්ථාන ජාලගත වන පරිදි ප්‍රතිස්ථාපනය කිරීම හා සියලූ ම විදුලි වැටවල් සිතියම්ගත කිරීම සහ අඛණ්ඩ පසු විපරමකට ලක් කර අලින් ගේ ගමන් මාර්ග අවහිර වී ඇති ස්ථාන නැවත හඳුනා ගැනීම සිදු කර එම දත්ත මත විදුලි වැටවල් නැවත ප්‍රතිස්ථාපනය කිරීම.

■ සුවිශේෂී ස්ථානවල ශක්තිමත් විදුලි වැටවල් ප්‍රතිස්ථාපනය කිරීම.

අලි – ඇතුන් ගේ සමස්ත වාසස්ථාන ජාලගත කිරීම සිදු කිරීමෙන් අනතුරු ව ගම්මානවලට හා වගා බිම්වලට අලින් පිවිසෙන සුවිශේෂී ස්ථාන හඳුනාගෙන එම කලාප ආවරණය වන පරිදි එල්ලෙන හෝ ශක්තිමත් හෝ ද්විත්ව විදුලි වැටවල් පද්ධතියක් සකස් කිරීම.

■ විදුලි වැටවල් ශක්තිමත් කිරීම සඳහා ජෛව බාධක ඇති කිරීම.

අලි – ඇතුන් ගේ වාසස්ථාන විවෘත වන පරිදි හා ජාලගත වන පරිදි සකස් කළ විදුලි වැටවල් දෙපස හණ, දෙහි කුලයේ ශාක, පතොක් සහ තල් ශාකවලින් සමන්විත ජෛව බාධක ඇති කිරීම.

■ අක්‍රමවත් හා අනාරක්ෂිත විදුලි වැටවල් ගලවා ඉවත් කිරීම.

අලි – ඇතුන් ගේ වාසස්ථාන ඛණ්ඩනය වන පිරිදි සහ ජනාවාස හා ජනතාව ගේ වගා බිම් අලි – ඇතුන්ට විවෘත වන පරිදි සමාගම් හා මහ පරිමාණ ව්‍යාපාරිකයන් විසින් ස්ථාපිත කර ඇති සියලූ ම විදුලි වැටවල් සිතියම් ගත කර හඳුනා ගැනීමෙන් පසු ව අනාරක්ෂිත හා අක්‍රමවත් විදුලි වැටවල් සියල්ල ගලවා ඉවත් කිරීම.

■ විදුලි වැටවල් ස්ථාපිත කිරීම සඳහා නෛතික රාමුවක් සකස් කිරීම.

වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට සංශෝධනයක් ලෙස හෝ විදුලි වැටවල් ස්ථාපිත කිරීම සඳහා වෙනම ම පනතක් හෝ සකස් කිරීම සිදු කළ යුතු ය. විදුලි වැටවල් ප්‍රතිස්ථාපනය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගන්නා ක්‍රමවේදයක් හා විදුලි වැටවල් සඳහා නිර්ණායක පද්ධතියක් සකස්කර නීති ගත කළ යුතු ය. විදුලි වැටවල් සියල්ල ම පරීක්ෂා කිරීමේ බලය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, විදුලිබල මණ්ඩලයට හා ප්‍රාදේශීය ලේකම් විසින් බලය පවරණ නිලධාරියකුට හිමි වන පරිදි නෛතික රාමුවක් සකස් කළ යුතු ය.

■ අලි මංකඩවල් හෝ පිවිසුම් ලෙස උමං හෝ පාලන් ඉදි කිරීම.

අලි – ඇතුන් ගමන් කරන ප්‍රදේශ හරහා සකස් කර ඇති මහා මාර්ග හා දුම්රිය මාර්ග අතුරෙන් අලි – ඇතුන්ට අනතුරු සිදු වීම වැඩි වශයෙන් වාර්තා වී ඇති ප්‍රදේශ ආවරණය වන පරිදි ප්‍රමාණවත් උමං හෝ පාලන් ඉදි කර අලි – ඇතුන් ගේ සංචරණ රටාවන්ට ඇති බාධක ඉවත් කළ යුතු අතර විදුලි වැටවල් මගින් එම කලාපය හරහා ගමන් කිරීමට අලි – ඇතුන් යොමු කළ යුතු ය. එම කලාප විශේෂ සංචාරක ආකර්ශන කලාප ලෙස වැඩිදියුණු කළ හැකි ය.

■ සියලූ ම අලි මංකඩවල් නීතිගත කර ප්‍රකාශයට පත් කිරීම.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හඳුනාගෙන සිතියම් ගත කර ඇති සියලූ ම අලි මංකඩවල් නැවත අධ්‍යයනය කර යාවත්කාලීන කර එම සියලූ ම අලි මංකඩවල් විවෘත කිරීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු අතර ඒ සියල්ල ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීම හා ඒවා අවහිර වන පරිදි සිදු කළ නොහැකි ක්‍රියාකාරකම් සියල්ල වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත සංශෝධනය කර නෛතික රාමුවකට එක් කළ යුතු ය.

■ අලි – ඇතුන් ගේ වාසස්ථාන ආශ්‍රිත සියලූ ම කසළ රැඳවුම් ඉවත් කිරීම.

අලි – ඇතුන් ගේ වාසස්ථාන ආශ්‍රිත ව වියළි කලාපයේ ස්ථාන 54 ක පළාත් පාලන ආයතන මගින් පවත්වාගෙන යන අලි – ඇතුන් ආකර්ශනය කරන සියලූ ම මහ පරිමාණ කසළ රැඳවුම් ඉවත් කර ඒ වෙනුවට එම පළාත් පාලන ආයතනවලට කසළ කළමනාකරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමුඛතාව ලබා දීම සිදු කළ යුතු ය.

■ රක්ෂිත වනාන්තර තුළට එළ ගවයන් හා මී ගවයන් ඇතුළු කිරීම නතර කිරීම.

අලි – ඇතුන් ගේ ප්‍රධාන වාසස්ථාන ලෙස ප්‍රකාශයට පත් කර ඇති වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ පාලනය වන රක්ෂිත වනාන්තර තුළට ගෘහාශ්‍රිත එළ ගවයන් හා මී ගවයන් විශාල පට්ටි ලෙස ඇතුළු කිරීම සම්පූර්ණයෙන් ම නතර කළ යුතු අතර දැනට රක්ෂිත ප්‍රදේශ තුළ පවතින ගව පට්ටි ක්‍රමාණුකූලව ඉවත් කිරීම හා හඳුනාගත් සුදුසු භූමි ප්‍රදේශවල තෘණ භූම් ඇති කර සත්ත්ව පාලනය සඳහා අවශ්‍ය පහසුකම් ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ඇති කළ යුතු ය.

■ අලි – ඇතුන් ගේ වාසස්ථානවල ආක්‍රමණික ශාක ඉවත් කිරීම.

රක්ෂිත ප්‍රදේශ තුළ ආක්‍රමණික ශාක ලෙස ව්‍යාප්ත ව ඇති අලි – ඇතුන් ගේ ආහාර බිම් දරුණු ලෙස ආක්‍රමණයට ලක් කර ඇති ගඳපාන (හිගුරු), ගිනිතණ, කලපු අන්දර, කටුපතොක්, කටු උණ, යෝධ නිදිකුම්බා හා ජපන් ජබර වැනි ශාක ක්‍රමාණුකූල ව ඉවත් කිරීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කර අලි – ඇතුන් ගේ ආහාර බිම් නැවත ප්‍රතිස්ථාපනය කළ යුතු ය.

■ අලි – ඇතුන් ගේ වාසස්ථාන තුළ පිහිටි වන වගාවල් තෘණ භූමි බවට පත් කිරීම.

අලි – ඇතුන් ගේ වාසස්ථාන ලෙස පවතින රක්ෂිත ප්‍රදේශ හා අලි ගැවසුම් ප්‍රදේශවල වනවගාවන් ලෙස ස්ථාපිත කර ඇති තේක්ක, ඇකේසියා, කායා, මැහෝගනී. ඉපිල් ඉපිල් ඇතුළු වන වගාවන් ක්‍රමාණුකූල ව ඉවත් කර තෘණ භූමි ප්‍රතිස්ථාපනය කිරීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු ය.

■ අලි – ඇතුන් ගේ වාසස්ථානවල වැව් පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම.

අලි – ඇතුන් ගේ වාසස්ථාන තුළ පිහිටි අතහැර දමා ඇති හා විනාශයට ලක් වී ඇති සියලූ ම කුඩා වැව් පද්ධති ප්‍රතිසංස්කරණය කර කුළු වැව් ලෙස අඛණ්ඩ ව පවත්වා ගෙන යාම කළ යුතු ය.

■ රක්ෂිත වනාන්තර තුළ අණවසර වගා බිම් ඉවත් කිරීම.

අලි – ඇතුන් ගේ වාසස්ථාන වන රක්ෂිත වනාන්තර තුළ පවත්වා ගෙන යන අණවසර හා නීති විරෝධී වගා බිම් සියල්ල ඉවත් කිරීම සඳහා වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු, විශේෂ කාර්යය බලකාය, ශ්‍රී ලංකා පොලීසිය, සුරාබදුදෙපාර්තමේන්තුව ප්‍රධාන ආයතන මගින් ඒකාබද්ධව සිදු කරන වැටලීම් ප්‍රමාණය වැඩි කිරීම හා ඒ සඳහා පහසුකම් වැඩි කිරීම සිදු කළ යුතු ය.

■ අලි – ඇතුන් ගේ වාසස්ථාන තුළ සියලු ම කැණිම් කටයුතු නතර කිරීම.

අලි – ඇතුන් ගේ වාසස්ථාන වන සියලූ ම රක්ෂිත වනාන්තර තුළ පස් කැණීම, වැලි කැණීම, කළුගල් කැණීම හා මැණික් කැණීම සම්පූර්ණයෙන් ම නතර කිරීමට ඒකාබද්ධ වැටලීම් ක්‍රියාත්මක කළ යුතු ය.

■ ජාතික භෞතික සැලැසුම මත පදනම් වූ වැරදි සංවර්ධන උපායමාර්ග ඉවත් කිරීම.

අලි – මිනිස් ගැටුම වර්ධනීය තත්ත්වයට පරිවර්තනය කිරීමට බලපෑ හානි කර සංවර්ධන උපායමාර්ග වන ජාතික භෞතික සැලැසුම ක්‍රියාත්මක කිරීම නතර කර ඒ වෙනුවට ජෛව විවිධත්ව සංරක්ෂණය හා තිරසර සංවර්ධන උපායමාර්ග සහ ප්‍රජාව ගේ අදහස් හා අවශ්‍යතාවන් මත පදනම් වූ නව ජාතික භෞතික සැලැසුමක් සකස් කර ක්‍රියාත්මක කළ යුතු ය.

■ හේන් වගා බිම් වාණිජ වගා බිම් බවට පත් කිරීම වෙනුවට බහු බෝග හේන් වගාවට යොමු කිරීම.

යල කන්නයේ දී අලි – ඇතුන් ගේ ආහාර බිම් බවට පරිවර්තනය වන හේන් වගා බිම්, ස්ථිර, ඒක බෝග බඩඉරිගු හා උක් වගා බිම් බවට පරිවර්තනය කිරීම නතර කර ඒ වෙනුවට හේන් වගා බිම් සියල්ල මහ කන්නයේ දී පමණක් වගා කරන යල කන්නයේ දී අතහැර දමන බහු බෝග හේන් වගා බිම් තත්ත්වයට පරිවර්තනය කිරීම සඳහා ගොවි ජනතාව දිරිගැන්වීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු ය.

■ මහවැලි කලාපවල ඉඩම් සමාගම්වලට හා ව්‍යාපාරිකයන්ට ලබා දීම වෙනුවට ගොවි ජනතාවට ලබා දීම සහ එම ඉඩම් සමාගම්වලට පැවරිය නොහැකි ව්‍යුහයක් ඇති කිරීම.

මහවැලි කලාපවල ඉඩම් මහ පරිමාණ සූර්ය බලශක්ති බලාගාර, මහ පරිමාණ වාණිජ වගාබිම් ලෙස සමාගම්වලට හා මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබා දීම සම්පූර්ණයෙන්ම නතර කර අදාළ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට පමණක් මහවැලි කලාපවල ඉඩම් ලබා දීමේ ව්‍යුහයක් ඇති කළ යුතු ය. එමගින් ඉඩම් නොමැති ජනතාව රක්ෂිත වනාන්තර හා අලි – ඇතුන් ගේ වාසස්ථාන වගා බිම් සඳහා අනවසරයෙන් අත්පත්කර ගැනීම වැළැක්වීම සිදු කළ යුතු ය.
මීට අමතර ව මහවැලි කලාපවල හා බහුකාර්ය වාරි ව්‍යාපෘති ලෙස සංවර්ධනය කළ ප්‍රදේශවල ගොවි ජනතාවට ලබා දී ඇති ඉඩම් සමාගම්වලට හා මහ පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා පැවරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ම තහනම් කිරීම සඳහා නෛතික රාමුවක් ඇති කළ යුතු අතර එමගින් වගා ඉඩම් විකිණීම සිදු කරන ජනතාව, නැවත වගා කටයුතු සඳහා අලි – ඇතුන් ගේ වාසස්ථාන හා රක්ෂිත වනාන්තර අත්පත් කර ගැනීම නතර කළ යුතු ය.

■ රක්ෂිත වනාන්තර වටා පිහිටි අලි – ඇතුන් ගේ වාසස්ථාන වන රජයේ ඉඩම් බදු දීම වැළැක්වීම.

රක්ෂිත වනාන්තර වටා පිහිටි අලි – ඇතුන් ගේ වාසස්ථාන වන රජයේ වනාන්තර බිම් අණවසරයෙන් හා වාර්ෂික බලපත්‍ර යටතේ හේන් වගාව සඳහා අත්පත් කර ගෙන සමාගම්වලට හා මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබා දී ඇති සියලූ ම ස්ථාන හඳුනාගෙන එම ඉඩම් නැවත රජයට අත්පත් කර ගෙන එම ඉඩම් රක්ෂිතවලට සම්බන්ධ කිරීම මගින් අලි – ඇතුන් ගේ වාසස්ථාන සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු ය. ඒ ආකාරයෙන් සිදු කරන රජයේ වනාන්තර ඉඩම් ජාවාරම නතර කිරීමට නීති ක්‍රියාත්මක කිරීමෙන් අලි – ඇතුන් ගේ වාසස්ථාන සුරක්ෂිත කළ යුතු ය.

අලි සංරක්ෂණ අරමුදලක් පිහිටුවීම මගින් දේශීය හා විදේශීය ජනතාවට අලි – ඇතුන් සංරක්ෂණය සඳහා ක්‍රියාත්මක කරනු ලබන ජාතික වැඩසටහන් සඳහා දායක වීමේ අවස්ථාව ලබාදිය යුතු ය. ඒ සඳහා දස වසරක අලි සංරක්ෂණ ජාතික වැඩපිළිවෙලක් සකස් කර එම වැඩපිළිවෙල සඳහා මූල්‍යමය ආදාර ලබා ගැනීමට අලි සංරක්ෂණ අරමුදල නිර්මාණය කළ යුතු ය. එම අරමුදල භාවිත කරන මාර්ගෝපදේශ, නිර්ණායක, භාරකාර මණ්ඩලය විනිවිදභාවයකින් යුතු ව කටයුතු කරන ආකාරය පිළිබඳ ව සමාජය දැනුම්වත් කළ යුතු ය. එම අරමුදල, රක්ෂිත වනාන්තර ජාලගත කිරීම, අලි මංකඩවල් විවෘත කිරීම සහ මහා මාර්ග හා දුම්රිය මාර්ගවලින් ඛණ්ඩනය වී ඇති වනාන්තර පද්ධති හරහා පාලන් හා උමං මාර්ග ඉදි කිරීම සඳහා භාවිත කළ යුතු ය.

■ අලි – ඇතුන් මත කෘෂිකර්මය පදනම් වී ඇති ආකාරය පිළිබඳ ව ජනතාව දැනුම්වත් කිරීම.

අලි – ඇතන් ගේ වාසස්ථාන ලෙස ප්‍රකාශයට පත් කර ඇති වියළි කලාපයේ රක්ෂිත වනාන්තර ජාලය හේතුවෙන් වැව්, ජලාශ, ගංගා, ඇළ, දොළවල ජල පෝෂක ප්‍රදේශ, වර්ෂාපතන රටාව සහ ජල සංරක්ෂණ ක්‍රියාවලිය සුරක්ෂිත වී යල – මහ දෙකන්නය වගා කිරීමට හැකි වන පරිදි කෘෂිකර්මය ආරක්ෂා වන ආකාරය පිළිබඳ ව ප්‍රජාව ගේ අවබෝධය පුළුල් කිරීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු අතර අලි ගහනය වැඩි බව, අලි – ඇතුන් පලවා හැරීම මගින් හෝ වගා බිම්වලට පැමිණෙන අලි ඝාතනය කිරීම මගින් අලි – මිනිස් ගැටුමට විසදුමක් නොලැබෙන බවත් අවබෝධ කර දිය යුතු ය.

■ අලි සංරක්ෂණ අරමුදලක් පිහිටුවීම.

අලි සංරක්ෂණ අරමුදලක් පිහිටුවීම මගින් දේශීය හා විදේශීය ජනතාවට අලි – ඇතුන් සංරක්ෂණය සඳහා ක්‍රියාත්මක කරනු ලබන ජාතික වැඩසටහන් සඳහා දායක වීමේ අවස්ථාව ලබාදිය යුතු ය. ඒ සඳහා දස වසරක අලි සංරක්ෂණ ජාතික වැඩපිළිවෙලක් සකස් කර එම වැඩපිළිවෙල සඳහා මූල්‍යමය ආදාර ලබා ගැනීමට අලි සංරක්ෂණ අරමුදල නිර්මාණය කළ යුතු ය. එම අරමුදල භාවිත කරන මාර්ගෝපදේශ, නිර්ණායක, භාරකාර මණ්ඩලය විනිවිදභාවයකින් යුතු ව කටයුතු කරන ආකාරය පිළිබඳ ව සමාජය දැනුම්වත් කළ යුතු ය. එම අරමුදල, රක්ෂිත වනාන්තර ජාලගත කිරීම, අලි මංකඩවල් විවෘත කිරීම සහ මහා මාර්ග හා දුම්රිය මාර්ගවලින් ඛණ්ඩනය වී ඇති වනාන්තර පද්ධති හරහා පාලන් හා උමං මාර්ග ඉදි කිරීම සඳහා භාවිත කළ යුතු ය.

■ ජාතික ඉඩම් කොමිෂන් සභාවක් පිහිටුවීම හා ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කිරීම.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මඟින් නීති ගත කරන ලද 9 වන උපලේඛනයේ පළාත් සභා ලැයිස්තුවේ ෂෂ පරිශිෂ්ටය මඟින් “ජාතික ඉඩම් කොමිෂන් සභාවක්” පිහිටුවිය යුතු බව දක්වා ඇත. මෙම ජාතික ඉඩම් කොමිෂන් සභාවේ මූලික වගකීමක් ලෙස දක්වා ඇත්තේ රජයේ ඉඩම් පරිහරණය හා සම්බන්ධ “ජාතික ඉඩම් ප්‍රතිපත්තියක්” සකස් කිරීමයි. මෙම ෂෂ පරිශිෂ්ටයේ 3 වන වගන්තියේ කරුණු ගණනාවක් දක්වා ඇත. එනම් ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ජාතික ඉඩම් කොමිෂන් සභාවක් පිහිටු විය යුතු ය, ඒ කොම්ෂන් සභාව රජයේ ඉඩම් භාවිතය හා සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම පිළිබඳ ව වගකිව යුතු ය, මේ කොමිෂන් සභාවට දිවයිනේ සියලූ ම පළාත් සභාවල නියෝජිතයන් ඇතුළත් විය යුතු ය, ජාතික ඉඩම් කොමිෂන් සභාවට ස්වාභාවික සම්පත් කළමනාකරණයට අදාළ සමාජ ආර්ථික සාධක මෙන්ම, භෞතික සාධක ඇගයීම සඳහා අවශ්‍ය අදාළ සියලු විෂයයන් නියෝජනය වන තාක්ෂණික ලේකම් කාර්යාලයක් තිබිය යුතු ය, ඉඩම් භාවිතය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය දේශපාලනික වශයෙන් හෝ ජනවාර්ගික වශයෙන් නොව තාක්ෂණික සාධක මත පදනම් විය යුතු ය, ඉඩම් කොමිෂන් සභාව විසින් පස, දේශගුණය, වර්ෂාපතනය, පස සේදීයාම, වන ආවරණය, පාරිසරික සාධක, ආර්ථික යෝග්‍යතාව ආදී කරුණු කෙරෙහි සැලැකිලිමත් ව ඉඩම් භාවිතය හා සම්බන්ධ පොදු න්‍යාය නියම කළ යුතු ය, පළාත් සභා වෙත පැවරෙන බලතල ක්‍රියාත්මක කිරීමේ දී පළාත් සභා විසින් ජාතික ඉඩම් ප්‍රතිපත්තිය කෙරෙහි නිසි පරිදි සැලැකිලිමත් ව තම බලතල ක්‍රියාත්මක කළ යුතු ය වශයෙනි. මේ මගින් ඉඩම් අවභාවිතය මගින් උද්ගත වී ඇති අලි – මිනිස් ගැටුම පාලනයට උපායමාර්ග සකස් කළ යුතු ය.

සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

එතෙර - මෙතෙර