ආරච්චිකට්ටුව, රතඹලාඔය පිටාර ගැලීමෙන් මහමාඑළිය කුඹුරුයායේ අක්කර 300කට ආසන්න භූමියක් දින පහකට වැඩි කාලයක් ජලයෙන් යටවීමෙන් දින 25කට ආසන්න ගොයම විනාශ විමේ අවදානමකට ලක්ව ඇති බව ගොවීහු පවසති.
ගොවීන් පවසන්නේ මහ වැසිත් සමඟ රතඹලාඔය පිටාර ගැලීමෙන් ගලා එන ජලය තම කුඹුරු යාය වෙත කඩා වැදීමෙන් මෙලෙස කුඹුරු දින පහක් පුරා ජලයෙන් යට වී ඇති බවයි.
මහමාඑළිය ගොවි සංවිධානයේ සභාපති කේ.ඒ. තිලකරත්න මහතා පවසා සිටියේ තමන් සමඟ ගොවි සංවිධානයේ ගොවීන් මේ වනවිට මහත් අසරණතාවකට පත්ව ඇත්තේ දින 25කට ආසන්න ගොයම ජලයෙන් යට වීම නිසාවෙන් මෙලෙස ගොයම තවත් දින කිහිපයක් ජලයෙන් යට වී තිබුණහොත් ගොයම් සම්පූර්ණයෙන් කුණු වී විනාශ වී යෑම සිදුවීම වැළැක්විය නොහැකි බවයි.
එසේම රතඹලාඔය මෙලෙස පිටාර ගැලීම වැළැක්වීමට එය නිසි ලෙස ප්රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා සිටියත් එය කිසි ලෙසකත් අදාළ කාල සීමාවලදී නොකිරීම හේතුවෙන් මෙලෙස පිටාර ගැලීම සිදුවන බවත් ඔහු පවසයි.
මහමාඑළිය ගොවි සංවිධානයේ ලේකම් ජූඩ් ශාන්ත මහතා,
“අපි වසරේ යල – මහ දෙකේම පුදුම අසරණ වීමක් වෙනවා. ඒ කටුපත වැව වාන් දමන විට ඒ ජලය රතඹලාඔය දිගේ ගලාවිත් අපේ කුඹුරු විනාශ වීම නිසයි. අපි අවුරුදු 40ක 50ක ඉඳලා ඉල්ලපු දෙයක් තමයි මේ රතඹලාඔය නිසි ලෙස ජලය ගලා යන ලෙසට සකස් කරලා දෙන්න කියලා. නමුත් එය කවදාවත් නිසි ලෙස වෙන්නේ නැහැ. ඒ නිසා අපි අසරණ වෙනවා පුදුම විදිහට. අපිට කිසිම දෙයක් එපා මේ ගොවීන්ට අක්කර 300කට ආසන්න කුඹුරු යාය නිදහසේ කරගන්න රතඹලාඔය පිළිසකර කර දෙන්න කියලා විතරයි ඉල්ලන්නේ.”