රනිල් අත් අඩංගුවට ගැනීම සම්බන්ධ සැක සංකා බැහැර කරන්න බෑ- සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

දූෂණ විරෝධී පනත අමතක කරමින් ඒ වෙනුවට ඔවුන් දණ්ඩ නීති සංග්‍රහයේ 386 සහ 388 වගන්ති සහ 1982 අංක 12 දරණ පොදු දේපළ පනත යොදා ගැනීම ආදී කරුණු මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත් අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියේ දී මතුව ඇති සැක සංකා බැහැර කළ නොහැකි බව මහ ලේකම් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සඳහන් කරයි. එහි මහ ලේකම් සුනිල් ජයසේකර මතාගේ අත්සනින් යුතුව නිකුත් කොට ඇති එම සම්පූර්ණ නිවේදනය මෙලෙසිනි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත් අඩංගුවට ගත් ක්‍රියාවලියේදී මතුව ඇති සැක සංකා බැහැර කළ නොහැකි ය.
රටේ රාජ්‍ය නායකයාට පවා දණ්ඩ මුක්තිය හිමි නොවිය යුතු බව පිළිගන්නා සහ ඒ වෙනුවෙන් පෙනී සිටි සිවිල් සමාජ ව්‍යාපාරයක් ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය එය රටේ යහපත සඳහා තහවුරු කළ යුතුව ඇති දේශපාලන සංස්කෘතියක් බව ප්‍රථමයෙන්ම අවධාරණය කරනු කැමැත්තෙමු.
සමස්ත විධායක ජනාධිපති ක්‍රමයම අහෝසි කළ යුතු බව හා එය සාධාරණ සමාජයක් ගොඩ මූලික පියවර ලෙස අප හුවා දක්වන්නේ, බලය අවභාවිතා වීමට ඇති ප්‍රධාන අභියෝග ඉවත් කිරීම සඳහාම වන බව වැඩිදුරටත් සඳහන් කරනු කැමැත්තෙමු.

රටේ පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි සැලකෙන අවස්ථාවක ධූරය දරමින් සිටින අතරතුර පවා ජනාධිපතිවරයා හෝ ජනාධිපතිවරිය වග උත්තර කරුවෙකු කරමින් නඩු පැවරීමට හැකි වන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 19 වන සංශෝධනය ගෙන ඒමට කැපවී කටයුතු කළ සමාජ ව්‍යාපාරයක කොටස්කරුවෙකු ලෙස ද නීතියේ ආධිපත්‍යය හා සමානාත්මතාවය වෙනුවෙන් අප තුළ පවත්නා උනන්දුව හා පෙනී සිටීම යළි යළිත් තහවුරු කරන්නෙමු.

එහි දී රටේ පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි සැලකෙන අවස්ථාවක ධූරය දරමින් සිටින අතරතුර පවා ජනාධිපතිවරයා හෝ ජනාධිපතිවරිය වග උත්තර කරුවෙකු කරමින් නඩු පැවරීමට හැකි වන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 19 වන සංශෝධනය ගෙන ඒමට කැපවී කටයුතු කළ සමාජ ව්‍යාපාරයක කොටස්කරුවෙකු ලෙස ද නීතියේ ආධිපත්‍යය හා සමානාත්මතාවය වෙනුවෙන් අප තුළ පවත්නා උනන්දුව හා පෙනී සිටීම යළි යළිත් තහවුරු කරන්නෙමු.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප එහිදී පෙනී සිටින එකී ආස්ථානය ඉහත රාමුව තුළට පමණක් සීමා වන්නක් නොවේ. එහි අරමුණ නම් බලය අවභාවිත වීමට ඇති ඉඩ වැළැක්වීමයි. එහිදී යුක්තිය උදෙසා වන සමාජ අභිලාශයන් තුළ යුක්තිය ඉටු කිරීමට බැඳී සිටින ආයතනයන්හි සදාචාරාත්මක සහ නිසි ක්‍රමවේද භාවිතයන්කෙරෙහි ද අපි ඉහළින්ම සැලකිලිමත් වන්නෙමු.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව චෝදනා කිහිපයක් ගොනු කරමින් ඔහු අත් අඩංගුවට ගැනීම හා එහිදී ඇතැම් ආයතන හා පුද්ගලයන් කටයුතු කරන ආකාරය තුළ නිසි ක්‍රමවේද අනුගමනය කෙරුණේ ද යන්න ප්‍රශ්න සහගත වන බව මෙම තත්ත්වය තුළ අපි අවධාරණය කරමු.
ආන්දෝලනයට ද හේතු වී ඇති යූ. ටියුබ් සන්නිවේදකයකු විසින් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති වරයා රිමාන්ඩ් භාරයට ගන්නා බවට සහතික වෙමින් සිදු කළ පූර්ව නිවේදනය මෙය කලින් සැලසුම් කළ දේශපාලන පියවරක් බවට නිගමනය කිරීමට එක් අතකින් සහාය වේ.
එපමණක් ද නොව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව චෝදනා එල්ල කිරීමේ දී දූෂණ විරෝධී පනත අමතක කරමින් ඒ වෙනුවට ඔවුන් දණ්ඩ නීති සංග්‍රහයේ386 සහ 388 වගන්ති සහ 1982 අංක 12 දරණ පොදු දේපළ පනත යොදා ගැනීම තුළින් අපේක්ෂා කළේ කුමන තත්ත්වයක් යටතේ වුවද ඇප ලබා ගත නොහැකි තත්ත්වයක් උද්ගත කිරීම නම් එය සැලකිය හැක්කේ අභිචෝදන ක්‍රියාවලිය අවභාවිත කිරීමක් ලෙසට ය.

එමෙන්ම සති අන්තයේ නිවාඩු දින දෙකකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා අත් අඩංගුවට ගැනීම මගින් සැලසුම් කළේ රනිල් වික්‍රමසිංහ මහතාට ගත හැකි නීතියේ පිළිසරණ දින දෙකකට අහිමි කිරීම නම් එය ඉතාමත් ඛේදනීය තත්ත්වයකි.
රාජ්‍ය නායකයා ද ඇතුළු පුරවැසියන් හට නීතිය සමාන ලෙස ක්‍රියාත්මක වීම, නීතිය හා සාමය පිළිබඳ විශ්වාසය ගොඩනැගීමට අත්‍යවශ්‍යය. ඒ ගැන විවාදයක් නැත. එවන් පසුබිමක රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා අත් අඩංගුවට ගැනීම පිළිබඳ පොදු සමාජය තුළ මෙන්ම දේශපාලන සමාජය තුළ ගොඩනැඟෙන සැක සංකා සැලකිල්ලට ගත යුත්තේ යහපත් රාජ්‍ය කරණයක් සඳහා එය අත්‍යවශ්‍ය සාධකයක් වන හෙයිනි. අනාගතයට ද පූර්වාදර්ශ සපයන යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙනි.

සුනිල් ජයසේකර
මහ ලේකම් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

එතෙර - මෙතෙර