රාවණා රජුගේ ලෝහ කම්හල පාමුලින් ඇද හැලෙන අහුපිණි ඇල්ල

ahupini

අපේ රටේ පිහිටා තිබෙන සුන්දර දිය ඇලි අතර තවත් එක් දිය ඇල්ලක් තමයි අහුපිනි ඇල්ල.

අසු පැන්නූ ඇල්ල කියන එක තමයි පසු කලෙක අහුපිනි ඇල්ල බවට පෙරළී තිබෙන්නේ.මේ දිය ඇල්ල රාවණා රජු හා සම්බන්ධ කොට පැතිර ගිය ප්‍රවාදත් තිබෙනවා.

මේ ඇල්ලට ඉහළ රාවණා රජු ගේ ලෝහ කම්හල තිබුණු බවත් ඒ කම්හලේ යබොර අදත් ඊට ඉහළ කඳු වැටියේ නිධි වශයෙන් දක්නට ලැබෙන බවත් කියනවා.

ahupini2

අහුපිනි ඇල්ල පිහිටා තිබෙන්නේ කෑගලු දිස්ත්‍රික්කයේ. කොළඹ නුවර පාරේ මාවනැල්ලෙන් අරණායකට ගිහින් , අරණායක එපලවත්ත වතුයාය පාරේ කිලෝ මීටර් දෙකක් පමණ ගිය විට එපලවත්ත කඩමණ්ඩිය හමු වෙනවා.

මාවනැල්ලේ සිට මේ ස්ථානය දක්වා දුර කිලෝමීටර් දාහතක් පමණ වෙනවා. ඔබට වාහනයකින් යා හැක්කේ මෙම එපලවත්ත කඩ මණ්ඩිය දක්වා පමණයි. එතැන සිට කිලෝමීටර් දෙක හමාරක්, තුනක් විතර දුරක් පයින් යන්න ඕනේ.

කඳු අතරින් නිම්නයක් හරහා පයින් ඇවිද යන මේ ගමනේ දී අතරින් පතර පැරණි ගෙවල්, අහිංසක ගැමියන් වගේම ලස්සන කුරුල්ලන් ද ඔබට දැකගන්නට ලැබේවි. මෙසේ දෙපයින් ඇවිද යා යුතු දුර කිලෝමීටරයක් පමණ වෙනවා.

මේ යන අතරතුර දීත් ඈතින් ඉතාම ලස්සනට අහුපිනි ඇල්ල ඔබට පෙනේවි.

දොළොස්බාගේ කඳු වලින් ආරම්භ වන මෙම අහුපිනි ඇල්ල මහ ඔයේ අත්තක්. දොළොස්බාගේ හරහා ගම්පොල පැත්තෙනුත් මේ දිය ඇල්ලට යන්න පුළුවන්.

ගම්පොල කුරුඳුවත්ත හරහා උඩුවැල්ලෙන් මේ දිය ඇල්ලේ උඩ කොටසට පිවිසෙන්න පුළුවන්.දිය ඇල්ලේ උස මීටර් එකසිය විස්සක් පමණ වෙනවා.

දොළොස්බාගේ කඳු වලට වහින විට මේ දිය ඇල්ලේ වතුර වැඩි වෙනවා.මේ ඇල්ලේ ආරම්භය රාස්සගල කඳු වැටිය බවයි පැවසෙන්නේ.රාවණා රජුගේ කාර්මික බලමුළුව වන රාක්ෂසයන් අතීතයේ එහි ජීවත් වූ බවක් පැවසෙනවා.

අහුපිනි ඇල්ලේ නෑම සඳහා වෙන්කර තිබෙන ස්ථානයෙන් පහළ ඇත්තේ දරුණු ප්‍රපාතයක්. ඒ නිසා ඇල්ල ළඟ මත් පැන් බී විනෝද වීම සුදුසු වන්නේ නෑ. එසේ විනෝද වන්නට ගොස් බොහෝ අනතුරු ද මෙහි සිදු වී තිබෙනවා.

මෙය අතීතයේ පටන් ම සිදු වී තිබෙන නිසා වෙන්න ඇති අහුපිනි ඇල්ල සම්බන්ධ ජනශ්‍රැති රාශියක් තිබෙනවා. ඇතැම් රාත්‍රී කාලවලදී මෙම ඇල්ල අසලින් අද්භූත දර්ශන දැක ගත හැකි බවට ඇල්ලේ ඉහළ කොටසේ උඩුවැල්ල ගමේ ගැමියන් අතර විශ්වාසයක් පවා තිබෙනවා.

ඒ ගැන වැඩි විස්තර අහුපිණිඇල්ල සුරැකීමේ සංවිධානයේ සභාපති උඩුවැල්ලේ රෝහණ ආරියරත්න මහතා ගෙන් දැන ගන්න පුළුවන්.
ඒ කොහොම වුණත් අහුපිනි ඇල්ල කියන්නේ ඉතාමත් සුන්දර දිය ඇල්ලක්.

විවේක ඇති වෙලාවක ඔබත් ගිහින් මේ ඇල්ල නරඹන්න. එවිට ඔබටම එය පසක් වේවි.

ඉන්දු පෙරේරා

ඡායාරූප:සුගත් විජේවර්ධන

හරිත දනව්ව