රෝස මල්-කඳුළු ගෑස් ගනුදෙනුවෙන් පසු ඇරඹෙන ගාලු මුවදොර විරෝධතාව

වත්මන් රජය විසින් මේ වන විට රට තුළ නිර්මාණය කොට ඇති දරුණු ආර්ථික අර්බුදයට විරෝධය දක්වා පැවැත්වෙන මහජන විරෝධතාවක් අද (09) ගාලු මුවදොර පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

මේ සඳහා රට පුරා සිටින මිලියනයක පමණ ජනකායක් සහභාගී වනු ඇති බවත්, විරෝධතාව ජයග්‍රහණයකින් අවසන් වන තෙක් මහජනතාව එම ස්ථානයෙන් ඉවත් නොවනු ඇති බවත්,එහි සංවිධායකයෝ පවසති.අප රටේ මහජන විරෝධතා සම්ප්‍රදාය උඩු යටිකුරු කෙරෙන මෙම විරෝධතාව කිසියම් දේශපාලන පක්ෂයක,වෙනයම් සංවිධානයක හෝ පුද්ගලයකුගේ නායකත්වයකින් හෝ මඟ පෙන්වීමකින් තොරව හුදෙක් සමාජ ජාල පරිශීලනය කරන තරුණ කණ්ඩායම් විසින් සංවිධානය කරන ජන රාශියකි.

එම පදනම යටතේ මෙතරම් පුළුල් ජනතා සහභාගීත්වයක් අපේක්ෂා කෙරෙන මුල්ම සමාජ ජාල ක්‍රියාකාරීත්වය ද මෙයම වෙයි.ඒ නිසාම මේ සඳහා එක් වන ජනතාවගෙන් තුනෙන් දෙකක් පමණම තරුණ ප්‍රජාව වීමට බොහෝ දුරට ඉඩ කඩ තිබේ.නිසි නායකත්වයක් හෝ මාර්ගෝපදේශකත්වයක් නොමැති මෙබඳු අරගල තුළට හීන් සීරුවේ පිවිසෙන වෙනයම් යටි අරමුණු සහිත බලවේග විසින් මේවායින් මතු වන බලය,හා ජවය උපන් ගෙයිම මරා දමනු ඇතැයි අප රටේ විපක්ෂ දේශපාලන පක්ෂ ජනතාවට අනියමින් අනතුරු හඟවා තිබිණ.එමඟින් ඔවුන් අනියමින් කියා සිටියේ මෙරට අරගල කරන සියළුම දෙනා තම පක්ෂයේ ධජය වටා රැස් විය යුතු බවකි.

එහෙත්,එම පක්ෂ නායකයන් ඇතුළු ක්‍රියාකාරීන්ට වඩා නවීන සිතුම් පැතුම් ආකල්ප සේම තොරතුරු තාක්ෂණය මුල් කොට ගත් විද්‍යාත්මක චින්තනයකින් යුතු තරුණ පරපුර ඔවුන් ගේ ඒ ක්‍රියා පිළිනොගත්හ.ඒ මෙය1970 සහ 80 දශක වල සිදු කරන ලද අසාර්ථක සන්නද්ධ අරගලවල දිගුවක් සේ එම පක්ෂ නායකයන් සිතා සිටින බව නූතන තරුණ ප්‍රජාව දැන සිටින බැවිනි.අතීතයට සාපේක්ෂව වර්තමානයේ මධ්‍යම පන්තිය ප්‍රසාරණය වී තිබේ.,ඒ අනුව ග්‍රාමීය,නාගරික භේදය පවා ශීඝ්‍රයෙන් අවප්‍රමාණ වෙමින් තිබේ.

අතීතයේ නාගරික සමාජය අත් විඳි යටිතල පහසුකම් ඉකුත් දශක කීපය තුළ ග්‍රාමීය ජනතාව අතරට සම්ප්‍රේෂණය වීම මේ දිනවල පවත්නා ඉන්ධන,විදුලිය සහ ගෑස් අර්බුදයට සම්බන්ධයෙන් ග්‍රාමීය ජනතාව පත් ව සිටින අපහසුතා එළිදැක්වීම් වලින් පෙනෙයි.මේ මධ්‍යම පාන්තික සමාජමය ප්‍රසාරණය වීම මෙම විරෝධතාවයේ සන්නිවේදන යාන්ත්‍රණයතොරතුරු තාක්ෂණය ඔස්සේ වඩාත් ව්‍යාප්ත වීමට තීරණාත්මක අයුරින් බල පා තිබේ. පසුගිය 31 වන දා මිරිහානේ පිහිටි ජනාධිපති වරයා ගේ නිවස ඉදිරියේ පැවැති මහජන විරෝධතාව ද එදින සන්ධ්‍යාවේ නුගේගොඩ ජුබිලි කනුව අද්දර පැවැති විරෝධතාවයේම දිගුවකි.

එමෙන්ම එය ද සමාජ ජාල මාධ්‍යයන් මඟින් සංවිධානය වූ විරෝධතාවකි.එහි අවසන් අවස්ථාවේ යුද හමුදා බස් රථයක් ඇතුළු තවත් පොදු දේපල කිහිපයක් කිසියම් පිරිසක් විසින් පොලිස් හා යුද හමුදා සාමාජිකයන් ඉදිරියේ දීම විනාශ කරන ලදී.එමෙන්ම ඒ සම්බන්ධයෙන් රජය ඊට පසුදාට යෙදුණු අප්‍රියෙල් 01 වනදාට යෙදුණු “මෝඩයාගේ දවසේ” හිමිදිරියේම එනම් පෙරවරු 6 30ට ජනාධිපති මාධ්‍ය අංශය මඟින් නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් යකඩ මුගුරු, කැති,පොලු රැගෙන ජනාධිපති වරයාගේ නිවස දෙසට ගොස් ඇති බවත් ඔවුන්”මෙරට අරාබි වනාන්තරයක් ඇති කරමු”යනුවෙන් උද්ඝෝෂණය කළ බවත් ය.

එහෙත්,මේ අරාබි වනාන්තරය යන අමුතුම අපබ්‍රංස ලියමින් ජනාධිපති මාධ්‍ය අංශයේ නම සඳහන් නිවේදන නිකුත් කරන මේ හයක් හතරක් නොදන්නා “මාධ්‍ය කිරිසප්පයන්ගේන්” ගෙන් ජනපති වරයා ගලවා ගැනීමට කවුරුන් හෝ ඉදිරිපත් විය යුතුය අඩුම තමින් ඔහු නිතර පිහිට පතන අනුරාධපුර මහ රෝහලේ හිටපු ඇටෙන්ඩන්ට් නෝනා කෙනකු වන අනුරාධපුර ගුවන් තොටුපල පාරේ කැටේ හන්දියේ සාත්තර දේවාලයක් පවත්වාගෙන යන “ඥානක්කා” නමින් ප්‍රකට ඥානවතී මහත්මියවත් ඒ සඳහා පෞද්ගලිකව හෝ මීට මැදිහත් විය යුතුයැයි මට සිතේ.

ඒ කෙසේ හෝ එම දේපල හානිය සිදු කළ පුද්ගලයන්ගේ එම ක්‍රියාකාරීත්වයන් සම්බන්ධ ඡායාරූප සහ වීඩියෝ දර්ශන ද සමාජ ජාල මඟින් පැතිර යන මුත් එම ප්‍රචණ්ඩ ක්‍රියාවන් සිදු කළවුන් තවමත් අත් අඩංගුවට ගෙන නැත.නමුත් එම ප්‍රචණ්ඩ ක්‍රියාවන් ට එම සැබෑ විරෝධතා කරුවන් සම්බන්ධ බවට ඉන්පසු රජය කිසිවක් කියා ඇති බවක් ද නොපෙනෙයි.

තත්වය එසේ තිබිය දී අන්තර් විශ්ව විද්‍යාලයීය ඊයේ(08)සංවිධානය කළ විරෝධතාවකට බාධා පැමිණ වූ පොලිස් බල ඇනි වෙතට ගිය එක් සරසවි ශිෂ්‍යාවක්”ඔයාලගේ නංගිලා මල්ලිලා අයියලා අක්කලා වෙනුවෙන් මේක තියා ගන්න”කියා ඔවුන් අතට රෝස මලක් පත් කිරීම මෙම විරෝධතා සංස්කෘතිය අවිහිංසාවාදී නව මංපෙතකට දිසානතියකට යොමු කරන්නකි.

ඒ අවස්ථාවේ එහි සිටි ඇතැම් පොලිස් නිලධාරිනියන් තම අත් ලේන්සු වලින් කඳුළු පිස දමා ගත් බව පැවසෙන අතර ඊට පසු ඉහළින් ආ නියෝගයක් මත සිසුන්ට එල්ල වූ කඳුළු ගෑස් ප්‍රහාරයෙන් තම කඳුළු පිස ගැනීමට සරසවි සිසුනට සිදුවිය.

අද ගාලු මුවදොර පිටියෙන් ඇරඹෙන මෙම සමාජ ජාල කේන්ද්‍රීය තරුණ බල ගැන්වුමට මුල පිරෙනුයේ ඒ රෝස මල් කදුළු ගෑස් ගනු දෙනුවෙන් අනතුරුව ය.ඉතින්,අපි බලමු!!!

තිලක් සේනාසිංහ

එතෙර - මෙතෙර