ලබන ජනවාරියේ ඉන්දියාව තුළ එල්ල කිරීමට සිටි බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයක් ගැන හෙළි වෙයි

ලබන වසරේ ජනවාරි මාසයේ ඉන්දියාව තුළ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් තිබී ඇති බවක් මේ වනවිට අනාවරණය වී තිබේ. එමෙන්ම පසුගිය දීපවාලි උත්සව සමයේ ජනතාව විශාල වශයෙන් රැස්වන ස්ථානයක් ඉලක්ක කරමින් ද ප්‍රහාරයක් දියත් කිරීමේ සැලැස්මක් තිබී ඇති බවත් , යම් හේතුවක් මත එය ක්‍රියාත්මක වී නොමැති බවත් හෙලි වී ඇත.

ඉන්දීය ආරක්ෂක අංශ සඳහන් කරන ආකාරයට මේ කාරණා ගැන හෙළි වී ඇත්තේ පසුගිය දා ඉන්දියාවේ හර්යානා හි දී අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවකුගෙන් විමර්ශණ නිලධාරීන් කළ ප්‍රශ්න කිරීම්වල දී යි. වෛද්‍යවරයකු වන මෙම තැනැත්තාගේ නම මුසම්මිල් ගනායි ය. ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ ඉන්දියානු ආරක්ෂක අංශ විසින් පසුගිය 10 වැනි සඳුදා පෙරවරුවේ කරන ලද වැටලීමකදී යි.

ඉන්දීය ආරක්ෂක අංශ සඳහන් කරන ආකාරයට මේ කාරණා ගැන හෙළි වී ඇත්තේ පසුගිය දා ඉන්දියාවේ හර්යානා හි දී අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවකුගෙන් විමර්ශණ නිලධාරීන් කළ ප්‍රශ්න කිරීම්වල දී යි. වෛද්‍යවරයකු වන මෙම තැනැත්තාගේ නම මුසම්මිල් ගනායි ය. ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ ඉන්දියානු ආරක්ෂක අංශ විසින් පසුගිය 10 වැනි සඳුදා පෙරවරුවේ කරන ලද වැටලීමකදී යි.

ඔහු ඉන්දියාවේ කාශ්මීර කලාපය සහ පාකිස්තානය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන බෙදුම්වාදී සන්නද්ධ කල්ලිවලට සම්බන්ධ කෙනෙකු බවට සැක කෙරේ. මෙම සන්නද්ධ කල්ලි බොහොමයක ප්‍රධාන අරමුණ වන්නේ ඉන්දියානු පාලනය යටතේ පවතින කාශ්මීර කලාපය ඉන්දියාවෙන් වෙන් කරගෙන පාකිස්තානයට එක් කිරීම යි. කාශ්මීර කලාපය වෙනම ඉස්ලාමීය රාජ්‍යයක් බවට පත්කර ගැනීමේ අරමුණෙන් සටන් කරන සංවිධාන ද තිබේ.

මුසම්මිල් ගනියේ අත්අඩංගුවට ගෙන තිබුණේ 13 දෙනෙකුට මරු කැඳවමින් දිල්ලි නුවර රතු බලකොටුව ආසන්නයේ මෝටර් රථයක් පුපුරා යාමට පැය කිහිපයකට පෙර යි.

පසුගිය දිනවල ඔහු සහ උමා මොහමඩ් නැමැති තවත් වෛද්‍යවරයකු රතු බලකොටුව ආසන්නයේ නිරීක්ෂණ කටයුතු කර ඇති බවක් ද මුසම්මිල්ගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙලි වී ඇතැයි වාර්තා වේ. එය ද ජනවාරියේ එල්ල කිරීමට සැලසුම් කර තිබූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ කටයුත්තක් බව ඔහු පාපොච්චාරණය කර ඇතැයි ද සඳහන් ය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එරට නිදහස් දිනය දා ජනතාව අමතන්නේ ද මෙම රතු බලකොටු පරිශ්‍රයේ සිට යි. මෙම බලකොටුව ඉදි කර ඇත්තේ ටජ් මහල ඉදි කළ ෂා ජහාන් අධිරාජයාම බව විශ්වාස කෙරේ.

පසුගිය සඳුදා මුසම්මිල් අත් අඩංගුවට ගත් අවස්ථාවේ ඔහුගේ නිවසක තිබී පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 358 ක්, රයිෆලයක්, පිස්තෝලයක්, ජීව උණ්ඩ තොගයක්, දුරස්ථ පාලක ආදිය ද සොයාගත් බවක් පොලිසිය ප්‍රකාශ කර තිබිණි. ඊට අමතරව ඉහත කී වැටලීම්වල දී පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,900 ක් පමණ සොයා ගන්නා ලද බවක් ද වාර්තා විය.

සඳුදා දිල්ලි රතු බලකොටුව ආසන්නයේ මෝටර් රථය පුපුරා ගියේ ඉහත කී වැටලීමෙන් පැය කිහිපයකට පසුව යි.

මෙම මෝටර් රථය පදවා ඇත්තේ කලින් සඳහන් කළ උමා මොහමඩ් නැමැති වෛද්‍යවරයා බවක් මේ වනවිට ස්ථිර වශයෙන් තහවුරු වී ඇත. මේ බැව් සනාථ වී ඇත්තේ ඩීඑන්ඒ පරීක්ෂණ තුළිනි. මෝටර් රිය පුපුරා ගිය ස්ථානයේ තිබූ ශරීර කොටස්වල ඩීඑන්ඒ සහ උමා ගේ මවගේත්, සහෝදරයාගේත් ඩීඑන්ඒ සියයට සියයක් ගැලපී ඇති බවක් අදාළ අංශ උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබිණි.

දිල්ලි නුවර මෝටර් රථ පිපිරුමට අදාළ ඇතැම් කරුණු ගැන මෙම සටහන ලියන අවස්ථාව වනවිටත් ස්ථිර වශයෙන් තහවුරු වී තිබුණේ නැත. ඇතැම් පාර්ශ්ව මෙය මරාගෙන මැරෙන ප්‍රහාරයක් යයි සැක කර තිබෙනු දැක ගන්නට ලැබිණි. මේ අතර සමහර විමර්ශණ නිලධාරීන් ගේ අදහස වී තිබුණේ මෙය සිතාමතා, සැලසුම් කර කළ පිපිරුමක් නොවන්නට ඉඩ ඇති බව යි.

එදින පෙරවරුවේ හර්යානා ඇතුළු ප්‍රදේශවල කළ වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් නිසා බියටත්, කළබලයටත් පත් ඉහත කී කල්ලිවලට සම්බන්ධ පුද්ගලයන් පුපුරන ද්‍රව්‍ය හෝ කළබලයෙන් එකලස් කරන ලද බෝම්බයක් හෝ වෙනත් තැනකට ප්‍රවාහනය කරමින් සිටිය දී අනපේක්ෂිත ආකාරයෙන් පුපුරා ගියා වන්නට ද හැකි බව ඔවුන් පෙන්වා දී තිබිණි.

කෙසේ හෝ වේවා, මේ වනවිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉතා පුළුල් විමර්ශණයක් ඉදිරියට යමින් ඇති අතර එය මෙහෙයවනු ලබන්නේ ඉන්දියාවේ ජාතික විමර්ශණ ඒජන්සිය විසිනි. එය ත්‍රස්ත මර්ධන කටයුතුවලට ද සම්බන්ධ ආයතනයකි.

දිල්ලි නුවර මෝටර් රථය පුපුරා ගිය දිනට පසු දින පාකිස්තානයේ ඉස්ලමාබාද් නුවර ද මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල විය. උසාවි සංකීර්ණයක් ආසන්නයේ එල්ල වූ මෙම බිහිසුණු ප්‍රහාරයෙන් 12 දෙනෙක් මරණයට පත් වූහ. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්තානය චෝදනා එල්ල කරන්නේ ඉන්දියාවට සහ ඇෆ්ගනිස්තානයට යි.

වෛද්‍යවරුන් වැනි වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් ඒකක ද ඉහත සඳහන් කළ ත්‍රස්ත කල්ලිවලට සම්බන්ධව ක්‍රියාත්මක වන බව විමර්ශණ කණ්ඩායම් අනාවරණය කරගෙන තිබේ. සඳුදා දිනයේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර වෛද්‍යවරුන් කිහිප දෙනෙකුම සිටින බවක් සඳහන් විය.

දිල්ලි නුවර මෝටර් රථය පුපුරා ගිය දිනට පසු දින පාකිස්තානයේ ඉස්ලමාබාද් නුවර ද මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල විය. උසාවි සංකීර්ණයක් ආසන්නයේ එල්ල වූ මෙම බිහිසුණු ප්‍රහාරයෙන් 12 දෙනෙක් මරණයට පත් වූහ. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්තානය චෝදනා එල්ල කරන්නේ ඉන්දියාවට සහ ඇෆ්ගනිස්තානයට යි.

මේ වනවිට ඇෆ්ගනිස්තානය පාලනය කරන තලිබාන් සංවිධානය සහ පාකිස්තානය අතර ආතතියක් වර්ධනය වෙමින් පවතී. අනෙක් අතට තලිබාන් සංවිධානයත් ඉන්දියාවත් අතර සබඳතා වර්ධනය වෙමින් තිබේ. මෙය පාකිස්තානය තුළ යම් නොසන්සුන්තාවක් ඇති කර තිබෙනු දැකිය හැකි වේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර