ලාල් කාන්ත ඇමති තුමෝ; වැව් රක්ෂිත “ශුද්ධ කිරීමත්” මෝඩ චූන් එකක් වේ ද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

vinivida

වත්මන් ආණ්ඩුවේ කෘෂිකර්ම ඉඩම් හා වාරිමාර්ග ඇමති කේ ඩී ලාල් කාන්ත හදිසියේ වගේ අලුත් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව පෙනේ.ඒ රටේ වැව්වල මායිම් නිශ්චය කිරීම ය.මෙසේ මායිම් නිශ්චය කර වැව් තාවුලු වල ඉදිකර ඇති සියලු ඉදි කිරීම් ඒකාන්තයෙන්ම ඉවත් කර වැවට අයිති භූමිය වැවට ලබාදෙන බවට සපථ කිරීමක් ද ඇමතිවරයා සිදු කරනු දුටුවෙමි.මේ සපථ කිරීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ ලාල් කාන්ත ඇමතිවරයාට අභියෝග ගණනාවක් ඉදිරිපත් විය.ඒ සෑම අභියෝගකින්ම පාහේ කියවුණේ පරාක්‍රම සමුද්‍රයේ ආශ්‍රිත ඉදි කර ඇති ඩඩ්ලි සිරිසේනගේ සුදු අරලිය හෝටලය හැකිනම් ඉවත් කර පෙන්වන ලෙසට ය. ලාල්කාන්ත ද වැඩේ අත ඇරියේ නැත. ඩඩ්ලි ගැන ලොකු වර්ණනාවක් ද සිදුකර එතරම් විශාල සේවයක් කළ ව්‍යාපාරිකයෙකු වුණත් ඔහු සමග වැවේ ප්‍රශ්නය බේරාගත යුතුව ඇති බව ද කියා යළිත් වැව් වල රක්ෂිත වැව් වලටම දෙන බව කියා සිටියේය. ඒ අනුව මේ දිනවල රටේ ප්‍රමුඛ මාතෘකාව ලාල් කාන්ත හා වැව් රක්ෂිතය බවට පත්ව ඇත.

මෙම පසුබිම තුළ මා උත්සාහ ගන්නේ මේ වැව් රක්ෂිත ගැන පවතින නීතිමය තත්වය සොයා බලා ලාල් කාන්ත ඇමතිවරයාට සහයෝගයක් ලබා දෙන්නට ය.බොහෝ දෙනා විශ්වාස කරන්නේ වැව් පාලනය අයත් වන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට කියා ය.ජනතාව එසේ සිතා සිටීම ගැන කිසි වරදක් කිව නොහැක.ඒ ප්‍රාදේශීය ලේකම්වරයාගේ සිට අමාත්‍යංශ ලේකම්වරයා දක්වා රාජ්‍ය තන්ත්‍රයේ ඉහළ බලධාරීන් සිතා සිටින්නේ ද එසේ වීම නිසා ය.ඉතින් හුදී ජනයා ගැන කියනුම කවරේ ද ?

මෙම පසුබිම තුළ මා උත්සාහ ගන්නේ මේ වැව් රක්ෂිත ගැන පවතින නීතිමය තත්වය සොයා බලා ලාල් කාන්ත ඇමතිවරයාට සහයෝගයක් ලබා දෙන්නට ය.බොහෝ දෙනා විශ්වාස කරන්නේ වැව් පාලනය අයත් වන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට කියා ය.ජනතාව එසේ සිතා සිටීම ගැන කිසි වරදක් කිව නොහැක.ඒ ප්‍රාදේශීය ලේකම්වරයාගේ සිට අමාත්‍යංශ ලේකම්වරයා දක්වා රාජ්‍ය තන්ත්‍රයේ ඉහළ බලධාරීන් සිතා සිටින්නේ ද එසේ වීම නිසා ය.ඉතින් හුදී ජනයා ගැන කියනුම කවරේ ද ?මේ වැරදි විශ්වාසය ඇතිවී කෙමෙන් ව්‍යාප්ත වන්නට පටන් ගත්තේ 1990 දශකය ආරම්භක කාලයේ සිට ය.ඊට පොරාතුව වාරිමාර්ග පනත යටතේ ඒ ඒ වැව්වල පාලන කටයුතු දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ ඒජන්ත වරයාගේ මෙහෙයවීම මත වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් ඇතුලු කාර්ය මණ්ඩලය විසින් සිදුකරන ලදී.ඒ දක්වා ආණ්ඩුවේ ඒජන්තවරුන්ගේ මේ කටයුතු නියාමනය කිරීමේ බලය තිබුණේ ගොවිජන සේවා කොමසාරිස් වරයාට ය.මේ තත්වය වෙනස් වුණේ 1992 දී රණසිංහ ප්‍රේමදාස ජනාධිපති වරයා ප්‍රාදේශීය ලේකම් ක්‍රමය ආරම්භ කිරීමෙන් පසුව ය. එතෙක් ආණ්ඩුවේ ඒජන්තවරු දිස්ත්‍රික් මට්ටමින් කළ නීත්‍යානුකූල රාජකාරි සියල්ල ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නෛතිකව පවරා දීමට නීති සකස් කර වූ ප්‍රේමදාස ජනාධිපති වරයා ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගිකව කළ නොහැකි නෛතික රාජකාරි ද එම නීතියෙන් ප්‍රාදේශීය මට්ටමට පල්ලම් බැස්ස බව ඔහු තේරුම්ගත්තේ නැත. ඔහුට එය තේරුම් කර දීමට ශක්තිය ඇති නිලධාරියෙකු එවකට සිටියේ ද නැත.අළුතින් හදුන්වා දුන් ප්‍රාදේශීය ලේකම් තනතුරු ධාරීන්ට නිරත වීමට සිදුවුණේ මහ ජනතාවට දැඩිසේ බල පෑ ඉඩම් රාජකාරි,බලපත්‍ර හා අවසර පත්‍ර නිකුත් කිරීම්, දිළිඳු සහන, සමාජ සේවා, සිවිල් ලියාපදිංචි කිරීම් වැනි ප්‍රශ්නවලට ය.

ඉන් සිදු වූයේ ආණ්ඩුවේ ඒජන්ත වරුන්ගේ පාලනයේ දී මෙන් වාරිමාර්ග කටයුතු මෙහෙයවීම වැනි කටයුතු වලට මැදිහත් වන්නට කිසිවකු ප්‍රාදේශීය මට්ටමි නැතිවීම ය.එසේ වුවද වාරිමාර්ග දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩල තමන් එතෙක් කළ කාර්යයන් දිගටම කරගෙන ගියත් නෛතිකව මැදිහත් විය යුතු අනවසර කරුවන් ඉවත් කිරීම වාරි ක්‍රමවල බාධක ඉවත් කිරීම ඇතැම් නියමිත රෙගුලාසි පැනවීම ආදී දේ සිදු නොවීය.ඒ අනුව ආණ්ඩුවේ ඒජන්තවරුන් ගොවිජන සේවා කොමසාරිස්වරයාගේ නියාමනත්වය සහිතව දිවයින පුරා කරමින් සිටි වාරි පද්ධති ක්‍රියාකාරිත්වය මෙහෙයවීම අඩපණව ගියේය.මේ සමඟ ක්‍රමයෙන් වාරි මාර්ග යෝජනා ක්‍රමවල අනවසර ඉදිකිරීම් හතු පිපෙන්නාක් මෙන් ශීඝ්‍රයෙන් වර්ධනය විය.අතීතයේදී මෙබඳු අනවසර අල්ලා ගැනීම් පිළිබඳ වාරිමාර්ග දෙපාර්ත්මේන්තු නිලධාරීන් දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ ඒජන්තවරයාට වාර්තා කළ පසුව ඔහුගේ මෙහෙයවීම මත ඊට අදාල පියවර ගෙන අනවසර ඉදිකිරීම් වැලැක්වීමට හැකියාව තුබුණි.වාරි යෝජනා ක්‍රමයක අනවසර අල්ලා ගැනීම් බාධක ඉදිකිරීම් අවහිර කිරීම් ඉවත් කිරීමේ බලය නෛතිකව ඇත්තේ ආණ්ඩුවේ ඒජන්‍ත වරයාට ය.ආණ්ඩුවේ ඒජන්ත සතු බලතල ප්‍රාදේශීය ලේකම් වරුන් සතු කළ ද එම බලතල පිළිබඳ උනන්දුවක් හෝ දැනුමක් බොහෝ ප්‍රාදේශීය ලේකම් වරුන් සතු නොවීය වාරි ක්‍රම වල කලමනාකරණය කළ වාරිමාර්ග තාක්ෂණ නිලධාරීන්ට මේ ගැටලු ඉදිරිපත් කිරීමට ස්ථානයක් ද නොවීය.

මා දිස්ත්‍රික් ලේකම්වරයෙකු ලෙස සේවය කරද්දී එක් වාරි ක්‍රමයක නගර ආශ්‍රිත ජලාශයකින් එම ප්‍රදේශයේ කුප්‍රකට ව්‍යාපාරිකයෙක් විශාල නලයක් මාර්ගයෙන් තමන්ගේ කර්මාන්ත ශලාවට අනවසරයෙන් ජලය ලබා ගනිමින් සිටින බවට වාරිමාර්ග තාක්ෂණ නිලධාරියෙකුගෙන් දැන ගන්නට ලැබුණි.එම තාක්ෂණ නිලධාරියා අහම්බෙන් මෙය දැක ඇත්තේ හදිසි නඩත්තු කටයුත්තකට වැඩි වතුර පිටවීමේ බැම්ම අවට කැලය ශුද්ධ කළ අවස්ථාවේ දීය.අදාල ව්‍යාපාරිකයා දේශපාලන බලවතෙකු ද වූ බැවින් මීට ගත යුතු පියවර පිළිබඳව තාක්ෂණ නිලධාරියා මාගෙන් විමසීමක් කරන ලදී මා ඔහුට උපදෙස් දුන්නේ අදාල නල මාර්ගය ඉවත් කර දමන ලෙසත් එසේ ඉවත් කිරීමට ම` විසින් නියම කළ බවත් ව්‍යාපාරිකයාට පවසන ලෙසත් ය. ඔහු එසේ කර මට දැනුම් දීම ද කළේය.ඒ සිදුවීමත් සමඟ වහාම මා ඇමතූ ව්‍යපාරිකයා පවසා සිටියේ තමන් වසර පහලොවක් තිස්සේ ජලය ලබාගත් නලය ඉවත් කිරීම අසාධාරණ ක්‍රියාවක් බවය.එවිට මා නීත්‍යානුකූලව ජලය ලබා ගන්නා අන්දම කියා දී ඔහු නිහඬ කළෙමි.නමුත් පසු කාලයක දැන ගන්නට ලැබුණේ ටික කලකට පසුව දූෂිත නිලධාරින්ගේ සහායෙන් යළිත් ඔහු එම ජල සොරකම පටන්ගත් බව ය.මෙයින් පැහැදිලි වන්නේ වාරිමාර්ග වල අනවසර ආක්‍රමණ වැලැක්වීමේ නෛතික ක්‍රියවලිය රාජය විසින්ම දුර්වල කරනු ලැබ ඇති බවයි.

මීළඟට බැලිය යුතුවන්නේ වාරි මාර්ග යෝජනා ක්‍රමවල රක්ෂිත වෙන් කිරීම් පිළිබඳව ය.රටේ වාරිමාර්ග නීතිය ලෙස සැලකෙන වාරිමාර්ග ආඥා පණතේ වාරි ක්‍රම වල රක්ෂිත පිළිබඳව කිසිදු සඳහනක් නැත.වැව් රක්ෂිත ගැන කතා කරන බොහෝ දෙනෙකු සිතන්නේ වැවක් ඇත්නම් ඊට අනන්‍ය රක්ෂිතයක් ද ඇති බව ය. එසේ සිතා සිටියද වැවක් හැදූ පමණින් වැවට රක්ෂිතයක් ඕපපාතිකව පහළ නොවේ.එසේ වුව ද ස්වාභාවික ජලමාර්ග වන ගංගා ඇල දොල සඳහා නීතියෙන් වෙනම ප්‍රකාශයට පත් නොකළත් ඒවා දෙපස ඉවුරුවලට යාව පිහිටා ඇති රජය සතු ඉඩම්වලින් නියමිත  තීරයක් රක්ෂිත ලෙස නීතියෙන් සැලකේ.වාරිමාර්ග යෝජනා ක්‍රමයකින් හෝ අන් අයුරකින් ඉදිකල වැවක් සඳහා රක්ෂිතයක් වෙන් කිරීම සිදු කළ යුතු වේ.ඒ රජයේ ඉඩම් ආඥා පණත යටතේ ය.රජයේ ඉඩම් ආඥා පණතේ 49 වගන්තිය යටතේ ඉඩම් ඇමතිවරයාට පවරා ඇති බලය කරුණු 9ක් සඳහා රාජ සන්තක ඉඩම් වෙන්කර ප්‍රසිද්ධියට පත් කිරීමේ බලය පදනම් වන්නකි .ඒ අනුව ඉඩම් අමාත්‍ය වරයාට වැව් ජලාශ කපන ලද ඇලවල් හා වාරිමාර්ග සඳහා රාජසන්‍ත ඉඩම් වෙන්කර ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ හැකිවෙයි.එසේ ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන ඉඩම් වැව් ජලාශ හා කපන ලද වාරි ඇලවල රක්ෂිත සේ සැලකෙයි.රජයේ ඉඩම් නියෝග පරිදි වාරි මාර්ග ඇලවල් සඳහා රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමේදී පළල අඩි10කට වඩා පළල වාරි ඇලක් සදහා අඩි 49.5ක්ද අඩි 5 හා 10අතර වන වාරි ඇලක රක්ෂිතය ලෙස අඩි 26.5 ක්ද අඩි 5ට වඩා අඩි වාරි ඇලකට අඩි10ක රක්ෂිතයක් ද වෙන්කළ හැකි වේ.වැව් බැම්මක් සඳහා වැව් බැම්මේ පළලම ස්‍ථානය හඳුනා ගෙන එම ස්ථානයේ වැව් බැම්මේ උස මෙන් පහලොස් ගුණයක ඉඩම් තීරයක් වැව් කන්ඩියෙන් පහළට වෙන්කර ප්‍රකාශයට පත් කළ හැකි වේ.ස්වාභාවික ජල මාර්ග සඳහා ප්‍රකාශයට පත් නොකළ ද අඩි පනහට වඩා පළල ස්වාභාවික ජල මාර්ගයක ඉවුරේ සිට දෙපැත්තට දම්වැල් තුන බැගින්ද(යාර 66බැගින්)පළල අඩි 15-50අතර ස්වාභාවික ජල මාර්ගයක ඉවුරේ සිට දෙපසට දම්වැල් 2 බැගින්ද (යාර 44 බැගින්) පලල අඩි 15ට අඩු ස්වාභාවික ජල මාර්ගයක ඉවුරේ සිට දම්වැල් 1බැගින්(යාර 22 බැගින්) දෙපසට ඇති රජයේ ඉඩම් රක්ෂිත ලෙස සැලකේ.රක්ෂිතයක් ප්‍රකාශයට පත් කිරීමට නම් එය රාජ සන්තක ඉඩමක් විය යුතු අතර මිනුම්පති වරයා විසින් සකසන ලද පිඹුරක් තිබී ද අත්‍යාවශ්‍ය වේ. මේ ස්වාභාවික හා වාරිමාර්ග ඇලවල් සඳහා වෙන්කල හා වෙන්කර ප්‍රකාශයට පත් කළ හැකි රක්ෂිත ප්‍රමාණයන් ය.

රජයේ ඉඩම් ආඥා පනතේ 49 වගන්තියෙන් වැව් ,ජලාශ විල් කලපු පොකුණු ආදිය සඳහා රාජසන්තක ඉඩම් වෙන්කර ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ හැකි බව සඳහන් වුව ද එසේ වෙන් කළ යුතු ප්‍රමාණයක් පිළිබඳව පොදුවේ සඳහන් කර නැත. ඉන් පැහැදිලි වනුයේ එක් එක් වැව හෝ ජලාශය සඳහා සුදුසු පරිදි බිම් ප්‍රමාණයක් රක්ෂිත ලෙස මිනුම්පති වරයා සකස් කරන සිතියමකින් වෙන්කර දක්වා ගැසට් මගින් ප්‍රකාශට පත් කිරීමට ඉඩම් අමාත්‍යවරයාට හැකි බවයි.
දැන් ලාල් කාන්ත ඇමතිවරයා කියන පරිදි වැවේ බිම වැවට ලබාදීම සඳහා හඳුනා ගත යුතු වන්නේ මේ අන්දමින් මිනුම්පති වරයා විසින් සැකසූ සිතියමක් අනුව ඉඩම් ඇමතිවරයා ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති වැව සඳහා වෙන්කර රාජසන්‍තක ඉඩම් වල මායිම් යළි විවෘත කිරීමෙන් පමණි..එසේවුව ද බහුතරයක් වැව් ජලාශ හෝ වාරිමාර්ග සඳහා මේ අන්දමින් රාජ සන්තක ඉඩම් වෙන්කර රජයේ ඉඩම් ආඥා පණතේ 49 වගන්තිය ප්‍රකාරව ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම් කර නැත.ඉඟිනියාගල සේනානායක සමුද්‍රය රන්දෙණිගල ජලාශය වැනි ඇතැම් ප්‍රධාන ජලාශවල ආරක්ෂාව සඳහා නම් ඒ ජලාශ අවට ජාතික උද්‍යාන හා අභය භූමි ප්‍රකාශයට පත්කර තිබේ.සෙසු වැව් හා ජලාශ වල දැන් සිදු කළ යුතු වන්නේ වැව සඳහා වෙන්කළ යුතු භූමිය මැන හඳුනාගෙන ඒ භූමිය තුළ ඇති ඉඩම් රජයේ ඉඩම් බවට පත්කර අවසානයේදී වැව සඳහා වෙන් කළ ඉඩම් ලෙස ප්‍රකාශයට පත් කිරීම ය.ඒ හැර වැව අවට ඇති ව්‍යාපාරික ස්ථාන, රජයේ ගොඩනැගිලි, වාසස්ථාන, විහාරස්ථාන, ආගමික ගොඩනැගිලි සංචාරක බංගලා හෝටල් ආදියට තර්ජනාංගුලිය ඔසවමින් “වහාම ඉවත් වෙයව්! අපි තොපිව එලවනවා සහතිකයි! යවන්න ඉස්සෙල්ලා පලයව්! ඕනෙනම් උද්ඝෝෂණය කරපියව්!” කියා චන්ඩි පාට් දැමීම නොවේ.

මේ ආණ්ඩුව බොහෝ යහපත් දේ කරන්නට ගොස් නොදන්නා කම නිසා අනා ගැනීම ගැන දැනටමත් වාර්තා තබා ඇත.ලාල් කාන්ත ඇමති තුමාගේ වැව් රක්ෂිත ශුද්ධ කිරීමත් එසේ නොදන්නා කම නිසා අනා ගැනීමක් වනු දකින්නට මගේ නම් කිසි කැමැත්තක් නැත.ඒ ලාල් කාන්ත ඇමතිවරයා මේ ආණ්ඩුවේ සිටින කෙලින් අවංකව කතා කිරීම කරන එකම ඇමතිවරයා නිසා ඔහු දෙකේ කොලයට වටෙනවා දකින්නට මා අකමැති නිසා ය.

දැන් මහනුවර වැව වටේ ඔය ක්‍රමයට ඉවත් කරන්න ගියොත් දළදා ,මාලිගාව රැජින හෝටලය මහා මායා විද්‍යාලය ඇතුලු ඉදිකිරීම් ඉවත් කළ හැකිද?ඒසියල්ල පිහිටා ඇත්තේ වැව ආසන්නයේ ය. අම්පාර වැව අද්දර ඇති අම්පාර නගර සභාව, මහාවාපී විහාරය, සාම චෛත්‍යය වාරිමාර්ග සංචාරක බංගලාව, විදුලිබල සංචාරක බංගලාව, අම්පාර මහ රෝහලේ පුනරුත්ථාපන ඒකකය ආදී දේ ඉවත් කළ හැකිද? අනුරාධපුරේ නුවර වැවේ අභිමංසල රණ විරු සුව නිවහන, ආණ්ඩුකාර නිවස, වාරිමාර්ග නිල නිවස ආදිය රජය මගින්ම කළ ඉදිකිරීම්‍ ය. එමෙන්ම රජයේ ලංකා හෝටල් සංස්ථාව විසින් පරාක්‍රම සමුද්‍රය ආසන්නව ඉදිකිරිම් කර පවත්වාගෙන ගොස් පසුව ප්‍රසිද්ධ වෙන්දේසියෙන් ඩඩ්ලි සිරිසේන මිලට ගෙන පවත්වාගෙන යන සුදු අරලිය හෝටලය ඉවත් කළ හැකිද?,ජනප්‍රිය වහරට අනුව කීවොත් මේවා ආණ්ඩුවේ මෝඩ චූන් මිස ප්‍රායෝගිකව කළ හැකි ඒවා නොවේ. මේ ආණ්ඩුව බොහෝ යහපත් දේ කරන්නට ගොස් නොදන්නා කම නිසා අනා ගැනීම ගැන දැනටමත් වාර්තා තබා ඇත.ලාල් කාන්ත ඇමති තුමාගේ වැව් රක්ෂිත ශුද්ධ කිරීමත් එසේ නොදන්නා කම නිසා අනා ගැනීමක් වනු දකින්නට මගේ නම් කිසි කැමැත්තක් නැත.ඒ ලාල් කාන්ත ඇමතිවරයා මේ ආණ්ඩුවේ සිටින කෙලින් අවංකව කතා කිරීම කරන එකම ඇමතිවරයා නිසා ඔහු දෙකේ කොලයට වටෙනවා දකින්නට මා අකමැති නිසා ය.

සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

එතෙර - මෙතෙර