ලෝකයේ පළමු වතාවට රොබෝලා දුවපු මැරතන් තරගයක්

රොබෝ තාක්ෂණය සහ ඊට අදාළ කර්මාන්ත මේ කාලයේ ඉතා වේගයෙන් ඉදිරියට යන ක්ෂේත්‍ර බව රහසක් නොවෙයි. මෙම ක්ෂේත්‍ර තුළ විශ්මයජනක ජයග්‍රහණ අත්පත් කරගනිමින් සිටින ආකාරය දැක ගන්නට ලැබෙනවා.

තත්වය එසේ තිබියදී පසුගිය දිනවල රොබෝවරුන් සහභාගි වූ අපූරු මැරතන් තරගයක් ගැන කතාවකුත් මාධ්‍ය තුළ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබුණා. මෙම මැරතන් තරගය පවත්වා තිබුණේ චීනයේ යිශුවාං නැමැති ප්‍රදේශයේ යි. චීනය මේ වනවිට රොබෝ කර්මාන්තය තුළ විස්කම් පාන රටක් බවට පත්ව සිටිනවා.

ඉහත කී තරගය අර්ධ මැරතන් තරගයක් හැටියට යි පවත්වා තිබුණේ. එවැනි තරගයකයක දී ධාවකයන්ට දුවන්නට සිදුවන දුර ප්‍රමාණය කි.මී. 21 ක් (සැතපුම් 13 ක්) පමණයි. සම්පූර්ණ මැරතන් තරගයකට අයත් වන දුර ප්‍රමාණය කි.මී. 42 ක්.

මිනිස් ධාවකයන්ට වරින් වර ජලය පානය කිරීමට අවසර ලැබෙන බව අප දන්නවා. ඒ ආකාරයෙන්ම රොබෝලාටත් බැටරි මාරු කිරීම වැනි කටයුතුවලට අවසර ලැබී තිබුණා. ඒ වගේම තරගය අතර යම් රොබෝ කෙනෙකුට “ආබාධයක්” ඇති වුවහොත් එම රොබෝ තරගයෙන් ඉවත් කර ඒ වෙනුවට වෙනත් රොබෝ කෙනෙකු යෙදවීමටත් අවසර හිමි වී තිබුණා. නමුත් එහිදී දඬුවමක් හැටියට විනාඩි 10 ක කාලයක් අහිමි කරන ලද බවත් සඳහන්.

රොබෝවරුන් සහභාගි වූ ලෝකයේ පළමු මැරතන් තරගය හැටියටත් මෙම චීන තරගය වාර්තා පොතට එක් වුණා.

කෙසේ හෝ වේවා, මෙම තරගයට සහභාගි වූයේ රොබෝලා විතරක් නොවෙයි. මිනිස් තරගකරුවන් ද ඊට සහභාගි වී තිබුණා. රොබෝ තරගකරුවන් 20 ක් පමණත්, මිනිස් තරගකරුවන් 12,000 ක් පමණත් මෙම තරගය සඳහා ඉදිරිපත්ව තිබූ බවයි මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ. ඔවුන් ධාවනයේ යෙදී තිබුණේ වැටකින් වෙන් වූ වෙනම ධාවන පථ දෙකක යි.
කඳු පල්ලම්, වංගු ආදියෙන් යුතු ධාවනපථයක රොබෝලාට දුවන්නට සිදු වී තිබූ බව සඳහන්.

එකිනෙකට වෙනස් හැඩහුරුකම්වලින් යුතු රොබෝවරුන් තරගය සඳහා ඉදිරිපත් කර තිබූ බවත් වාර්තා වෙනවා. මොවුන් ඉදිරිපත් කර තිබුණේ රොබෝ කර්මාන්තයට සම්බන්ධ විවිධ සමාගම්, ආයතන ආදිය විසිනු යි.


මේ වගේ දුරක් දුවද්දී මිනිස් ධාවකයන්ට වරින් වර ජලය පානය කිරීමට අවසර ලැබෙන බව අප දන්නවා. ඒ ආකාරයෙන්ම රොබෝලාටත් බැටරි මාරු කිරීම වැනි කටයුතුවලට අවසර ලැබී තිබුණා. ඒ වගේම තරගය අතර යම් රොබෝ කෙනෙකුට “ආබාධයක්” ඇති වුවහොත් එම රොබෝ තරගයෙන් ඉවත් කර ඒ වෙනුවට වෙනත් රොබෝ කෙනෙකු යෙදවීමටත් අවසර හිමි වී තිබුණා. නමුත් එහිදී දඬුවමක් හැටියට විනාඩි 10 ක කාලයක් අහිමි කරන ලද බවත් සඳහන්.

කෙසේ හෝ වේවා, මිනිස් ධාවකයන් සහ රොබෝ ධාවකයන් අතර පැවති මෙම අපූරු තරගයේ දී මිනිස් ධාවකයන් පරාජය කිරීමට රොබෝලාට හැකි වී තිබුණේ නැහැ. මිනිස් ජයග්‍රාහකයා තරගය අවසන් කර පැය එකහමාරකට පමණ පසුවයි පළමු රොබෝ ධාවකයා තරගය අවසන් කර තිබිණේ. මිනිස් ජයග්‍රාහකයා පැයකුත් මිනිත්තු 02 ක් තුළ තරගය අවසන් ක‍ර තිබූ අතර රොබෝ “ජයග්‍රාහකයා” ට තරගය අවසන් කිරීමට පැය 2 කුත් විනාඩි 40 ක කාලයක් ගත වී තිබුණා.

අර්ධ මැරතන් ධාවන තරගවල ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ ජේකබ් කිප්ලිමෝ නැමැති උගැන්ඩා ජාතික ක්‍රීඩකයා යි. ඔහු මෙම වාර්තාව පිහිටුවා තිබුණේ විනාඩි 56 කුත් තත්පර 42 ක් තුළ තරගය නිම කරමින්. මේ වසරේ ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර පැවති තරගයක දී යි කිප්ලිමෝ මෙම වාර්තාව පිහිටුවූයේ. මේ තත්වයට පත් වීමට අපේ රොබෝ මිත්‍රයන්ට තව බොහෝ දියුණු වීමට සිදුවනු ඇති බවයි පෙනෙන්නේ.

චීනයේ තරගයට සහභාගි වූ රොබෝ ධාවකයන් අතරින් මුලින්ම ජය කණුව පසුකර ගොස් තිබුණේ තියන්ගොං අල්ට්‍රා (Tiangong Ultra) යනුවෙන් නම් කර තිබූ රොබෝ කෙනෙක්. ඔහු නිර්මාණය කරනු ලැබ තිබුණේ Beijing Humanoid Robot Innovation Center නැමැති ආයතනයක් විසින්.

තරගයෙන් ජය ලබන්නට රොබෝලාට නොහැකි වුවත් මෙහිදී ඔවුන් දැක් වූ දස්කම් සුළුවෙන් තැකිය නොහැකි බවයි රොබෝ තාක්ෂණය පිළිබඳ විශේඥයන් සඳහන් කරන්නේ. ඔරිගන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වන ඇලන් ෆර්න් පවසන්නේ මෙම රොබෝලා කි.මී. 21 ක දුර දිවීමට සමත් වීමම වුව විශාල ජයග්‍රහණයක් බව යි. මෙතරම් දුරක් දිවීමට ඔවුන් සමත් වනු ඇතැයි තමා නොසිතූ බවක් ද ඔහු තවදුරටත් පවසා තිබුණා.

ඉහත කී තියන්ගොං අල්ට්‍රා නම් රොබෝ ගේ සාර්ථක ධාවනයට හේතු වූයේ ඔහුගේ උස බව යි එය නිර්මාණය කළ ආයතනයේ ඉංජිනේරුවකු සඳහන් කර තිබුණේ. තියන්ගොං අල්ට්‍රා ගේ උස මීටර 1.8 ක් (අඩි 5 අඟල් 9 ක්) බව සඳහන්. මෙය සාමාන්‍ය මිනිසකුගේ උසට සමාන උසක්. මැරතන් ධාවනවල නිරතවන මිනිස් ධාවකයන් ගේ ධාවන ඉරියව් අනුකරණය කළ හැකි ආකාරයෙන් එහි ඇල්ගොරිදම නිර්මාණය කර තිබූ බවත් ඔහු පවසනවා. රොබෝ ගේ සාර්ථක ධාවනයට එයත් හේතුවක් බවයි ඉංජිනේරුවරයා සඳහන් කරන්නේ.

රොබෝ සහ කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍ර තුළ මේ වනවිට බොහෝ රටවල් දැඩි තරගයක නියැලී සිටිනවා. මේ වනවිට ඇමරිකාව මෙම තරගය තුළ ඉදිරියෙන් සිටියත් චීනය ද ඉතා වේගයෙන් එම මට්ටම කරා ළඟා වෙමින් සිටින ආකාරය දැකගත හැකියි. යුරෝපා රටවල් ද මෙම ක්ෂේත්‍ර තුළ වේගවත් ඉදිරි ගමනක නිරතව සිටිනවා.

අනාගතයේ කෘත්‍රිම බුද්ධිය මිනිස් බුද්ධිය ඉක්මවා ගියහොත් ඇති විය හැකි අභියෝග ගැනත් නිතර කතාබහ කෙරෙනවා. එවැනි තත්වයක් තුළ රොබෝවරුන් යම් දිනෙක මිහි මත පාලනය ඔවුන් අතට ගැනීමට ඉඩ ඇති බවටත් අදහස් පළ වෙනවා.

කෘත්‍රිම බුද්ධි සහ රොබෝ තාක්ෂණයේ දියුණුව නිසා මිනිස් වර්ගයාට විවිධ ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවනු ඇත්ද යන ප්‍රශ්නය මේ කාලයේ නිරන්තරයෙන් සංවාදයට ලක්වන ප්‍රශ්නයක්. මිනිසුන් කරන රැකියා රොබෝලා අත්පත් කර ගැනීම තුළින් එල්ලවන තර්ජනය ඒ ආකාරයෙන් අවධානයට ලක්වන එක් කාරණයක් ලෙස සඳහන් කළ හැකියි.

අනාගතයේ කෘත්‍රිම බුද්ධිය මිනිස් බුද්ධිය ඉක්මවා ගියහොත් ඇති විය හැකි අභියෝග ගැනත් නිතර කතාබහ කෙරෙනවා. එවැනි තත්වයක් තුළ රොබෝවරුන් යම් දිනෙක මිහි මත පාලනය ඔවුන් අතට ගැනීමට ඉඩ ඇති බවටත් අදහස් පළ වෙනවා.

නිහාල් පීරිස්

අරුමැසි පුවත්