ලෝකය මත ඇමරිකාවේ ආධිපත්‍යයට එරෙහි කඳවුර ශක්තිමත් වන ලකුණු

ඇමරිකාව ඇතුළු බටහිර රටවල ආධිපත්‍යය මත ගොඩ නැගී ඇති වර්තමාන ලෝක සැකැස්මට අභියෝග කරමින් නව විකල්ප ලෝක සැකැස්මක් ගොඩ නැගීම සඳහා ආසියාවේ බලවතා වන චීනය මේ වනවිට ලොකු උත්සාහයක් ගනිමින් සිටිනවා. බටහිර ආධිපත්‍යය නිසා පීඩාවට පත්ව සිටින බොහෝ රටවල් මේ ඔස්සේ පෙල ගැසෙමින් සිටින බවකුත් පෙනෙන්නට තිබෙනවා. රුසියාව වැනි රටවල් ද මෙහි දී චීනය සමග පෙරමුණ ගෙන සිටිනු දැකගත හැකියි. ඇමරිකාව ආධිපත්‍යය දරණ ඒකධ්‍රැවීය ලෝකයක් වෙනුවට වඩාත් සාමකාමී, බහුධ්‍රැවීය ලෝකයක් ගොඩ නැගීම ඔවුන්ගේ අරමුණ බවයි ප්‍රකාශ වන්නේ.

මෙම ක්‍රියාදාමයට අදාල වැදගත් සිදුවීම් දෙකක් පසුගිය සතියේ සිදු වුණා. එයින් එකක් නම් චීනයේ තියාන්ෂිං නුවර පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ 25 වැනි රාජ්‍ය නායක සමුළුවයි. මෙම සමුළුව පැවැත්වුණේ අගෝස්තු 31 සහ සැප්තැම්බර් 1 යන දින දෙකේ යි.

බොහෝ විශ්ලේෂකයන් මෙම ෂැංහයි සහයෝගිතා සංවිධානය සලකන්නේ ඉහත කී නව ලෝක සැකැස්ම ගොඩ නැගීම සඳහා දායක වන වේදිකාවක් හැටියට යි. 2001 වසරේ මෙම සංවිධානය ආරම්භ කරන ලද්දේ චීනය, රුසියාව, උස්බෙකිස්තානය, කිර්ගිස්තානය, ටජිකිස්තානය, කසක්ස්තානය යන රටවල් කිහිපයක සහභාගිත්වයෙනු යි. ඒ වනවිට මෙහි ප්‍රධානම අරමුණ වූයේ මෙම රටවල් අතර ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගිතාවක් ඇති කර ගැනීම යි.

නමුත් මේ වනවිට ඉන්දියාව, පාකිස්තානය, ඉරානය, බෙලරුස් යන රටවලුත් මෙහි සාමාජිකත්වය දරනවා.ඊට අමතරව තවත් රටවල් 16 ක් විවිධ ආකාරයෙන් මෙහි හවුල්කරුවන් ලෙස සම්බන්ධ වී සිටිනවා.

දැන් එය ආරක්ෂක සහයෝගිතාවට පමණක් සීමා වී නැහැ. ආර්ථික, මූල්‍ය, බලශක්ති, ප්‍රවාහන, තාක්ෂණ ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් වෙත දැන් මෙම සහයෝගිතාව පැතිරී තිබෙනවා.

මෙවර සමුළුව අවස්ථාවේ සිදු වූ වැදගත් සිද්ධියක් වූයේ මෙම සංවිධානය යටතේ සංවර්ධන බැංකුවක් පිහිටුවීමට සාමාජික රටවල් තීරණය කළ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම යි. ඒ අනුව මෙම බැංකුව පිහිටුවීමේ ක්‍රියාදාමය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

මෙම බැංකුව නිසා මෙහි සාමාජික රටවල සංවර්ධන කටයුතුවල දී බටහිර ආධිපත්‍යය දරණ මූල්‍ය ආයතනවල සහ ඇමරිකානු ඩොලරය වැනි මුදල් ඒකකවල ග්‍රහණයෙන් යම් දුරකට නිදහස් වීමට මෙම සාමාජිකයන්ට හැකි වනු ඇති. එමෙන්ම බටහිර රටවල් ඇතැම් අවස්ථාවල පනවනු ලබන ආර්ථික සම්බාධක වැනි අභියෝගයන්ට මුහුණ දීමත් මේ නිසා පහසු වනු ඇති.

ෂැංහයි සහයෝගිතා සංවිධානය වැනි සංවිධාන ඉදිරියේ දී වඩාත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කළ හැකියි. ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නායකත්වය යටතේ ඇමරිකාවෙන් බොහෝ රටවලට දැඩි පීඩනයන් එල්ල වෙමින් ඇති බව රහසක් නොවෙයි. විශේෂයෙන් ඔහුගේ තීරු බදු ප්‍රතිපත්තිය මෑත කාලයේ ඉතා පීඩාකාරී ප්‍රතිපත්තියක් බවට පත් වුණා.

මෙතෙක් ඇමරිකාවේ මිතුරන් ලෙස සිටි පාර්ශ්ව සමග පවා ඇමරිකාව ප්‍රශ්න ඇති කර ගනිමින් සිටිනවා. බටහිර යුරෝපා රටවල්, ඉන්දියාව ආදිය මීට නිදසුන් ලෙස දැක්විය හැකියි.

ඇමරිකාව බොහෝ රටවල් සමග ප්‍රශ්න ඇති කරගනිමින් සිටීම චීනයට තම කඳවුර ශක්තිමත් කර ගැනීම සඳහා උදව් වන්නක් ලෙස සැලකිය හැකියි. ඉහත කී පසුබිම තුළ ෂැංහයි සහයෝගිතා සංවිධානය වැනි විකල්ප සංවිධානවලට වැඩි ඉල්ලුමක් නිර්මාණය වනු නිසැක යි.

පසුගිය දා පැවති මෙම සංවිධානයේ රාජ්‍ය නායක සමුළුවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද සහභාගි වූ අතර එය ද කලින් කී කාරණය සනාථ කරන්නක්.

ඉන්දියාව සහ චීනය අතර බොහෝ ප්‍රශ්න තිබෙන බව රහසක් නොවෙයි. දේශ සීමා ප්‍රශ්න පවා ඔවුන් අතර තිබෙනවා. නමුත් මේ වනවිට දෙරටේ නායකයන් එම ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට ලොකු උනන්දුවක් දක්වමින් සිටිනු දැකගන්න පිලිවන්.

ඉතා බලවත් දෙරටක් වන චීනය සහ ඉන්දියාව මේ ආකාරයෙන් පරණ වාදභේද විසඳාගෙන සමීප වීම ඇමරිකාවට අභියෝගාත්මක කාරණයක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.
මෝදි චීනයේ සංචාරයක නිරත වූයේ වසර හතකට පසු පළමු වතාවට වීමත් විශේෂත්වයක්.

මෙවර සමුළුව අවස්ථාවේ මෝදි ඇමරිකාවේ ප්‍රධානම ප්‍රතිවාදීන් දෙදෙනා වන ෂි ජින්පිං සහ ව්ලැදිමීර් පුටින් සමග ඉතා කුළුපග ආකාරයෙන් හැසිරෙනුත් දැක ගන්නට ලැබුණා.

ඉන්දියානු භාණ්ඩ මත ට්‍රම්ප් සියයට 50 ක අති විශාල තීරු බද්දක් පැනවීම නිසා මේ වනවිට එම දෙරට අතර මිත්‍රත්වය බිඳ වැටී ඇති බව රහසක් නොවෙයි.

කෙසේ හෝ වේවා, මෝදි ගේ සහභාගිත්වය ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක සමුළුවේ දීප්තිය තීව්‍ර කිරීමට දායක වූ බව සඳහන් කළ හැකියි.

මෙම සමුළුව අවසන් වී දින දෙකකට පසු, සැප්තැම්බර් 3 වැනි දා චීනය ඇමරිකාව ඇතුළු බටහිර බලවතුන්ට සිය හමුදා ශක්තිය පෙන්වීමට මෙන් දැවැන්ත හමුදා පෙළපාලියක් ද පැවැත්වූවා. ලිපිය ආරම්භයේ සඳහන් කළ දෙවැනි සිද්ධිය එය යි.

මෙම පෙළපාලිය නැරඹීමට බටහිර බලවතුන්ගේ තවත් ප්‍රතිවාදියකු ලෙස සැලකෙන උතුරු කොරියානු නායක කිම් ජොං උන් ද එක්ව සිටියා. ඔහු ඊට පෙර දිනයේ ඔහුගේ සුප්‍රකට දුම්රියෙන් උතුරු කොරියාවේ සිට චීනය බලා ආ ගමන ද මාධ්‍ය තුළ ප්‍රධාන මාතෘකාවක් වුණා.ෂි, පුටින් සහ කිම් එක්ව පෙළපාලිය නරඹන ආකාරය දැක්වෙන ඡායාරූප සහ විඩියෝ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වනුත් දැකගන්නට ලැබුණා.මේ සියල්ල තුළින් පෙනී යන්නේ බටහිර ආධිපත්‍යයට අහියෝග කරන කඳවුර රාජ්‍ය තාන්ත්‍රික වශයෙන්, උපාය මාර්ගික වශයෙන් මෙන්ම හමුදාමය වශයෙන් ද ශක්තිමත් වෙමින් සිටින බව සහ ඔවුන් ඒ බව ලෝකයට ප්‍රදර්ශණය කිරීමට ද උත්සුක වෙමින් සිටින බව යි.

චීනයේ නිශ්පාදිත අලුත්ම යුද අවි සිය ගණනක් මෙම පෙළපාලියේ රැගෙන යනු දැකගත හැකි වුණා. ලේසර් අවි, දිය යට ක්‍රියාත්මක වන විශාල ඩ්‍රෝන යානා, අලුත්ම න්‍යෂ්ටික බැලිස්ටික මිසයිල ආදී නවීන සූක්ෂ්ම අවි රැසක් මෙහි දී ප්‍රදර්ශණය කෙරුණා. චීන සෙබළුන් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් මෙයට සහභාගි වූ බවයි වාර්තා වුණේ.

මෙම පෙළපාලිය නැරඹීමට බටහිර බලවතුන්ගේ තවත් ප්‍රතිවාදියකු ලෙස සැලකෙන උතුරු කොරියානු නායක කිම් ජොං උන් ද එක්ව සිටියා. ඔහු ඊට පෙර දිනයේ ඔහුගේ සුප්‍රකට දුම්රියෙන් උතුරු කොරියාවේ සිට චීනය බලා ආ ගමන ද මාධ්‍ය තුළ ප්‍රධාන මාතෘකාවක් වුණා.
ෂි, පුටින් සහ කිම් එක්ව පෙළපාලිය නරඹන ආකාරය දැක්වෙන ඡායාරූප සහ විඩියෝ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වනුත් දැකගන්නට ලැබුණා.

මේ සියල්ල තුළින් පෙනී යන්නේ බටහිර ආධිපත්‍යයට අහියෝග කරන කඳවුර රාජ්‍ය තාන්ත්‍රික වශයෙන්, උපාය මාර්ගික වශයෙන් මෙන්ම හමුදාමය වශයෙන් ද ශක්තිමත් වෙමින් සිටින බව සහ ඔවුන් ඒ බව ලෝකයට ප්‍රදර්ශණය කිරීමට ද උත්සුක වෙමින් සිටින බව යි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර