අන්සතු WhatsApp ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී මුදල් වංචා කිරීමේ සිදුවීම් රැසක් මේ වන විට වාර්තා වන බවත් එබැවින්, ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසත් එවැනි වංචාකරුවන්ගෙන් ප්‍රවේශම් වන ලෙසත් ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
WhatsApp මෘදුකාංගය මඟින් ව්‍යාජ ඇමතුම් හා කෙටි පණිවිඩ යොමු කර පරිශීලකයන්ගේ WhatsApp ගිණුම් අනවසර ප්රවිෂ්ටයකට ලක්කර මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පැමිණිලි විශාල සංඛ්‍යාවක් මේ දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා වී තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙම වංචාකරුවන් විසින් පරිශීලකයාගේ WhatsApp ගිණුමේ OTP අංකය රවටා ලබා ගන්නා අතර ඉන් අනතුරුව එම ගිණුමේ භාරකාරිත්වය වංචාකරුවන් විසින් ලබාගෙන පරිශීලකයන්ගේ ගිණුමේ සිටින පුද්ගලයන් වෙත ව්‍යාජ පණිවිඩ යොමු කර මුදල් වංචා කිරීම සිදු කරන බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙවැනි මුදල් වංචා සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත් කිසිදු අවස්ථාවක වෙනත් පාර්ශ්වයක් වෙත තම අන්තර්ජාල ගිණුම්වල OTP අංකයන් ලබා නොදීමට කටයුතු කරන ලෙසත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.