වනය වැනසී අලි ඇතුන් වඳවන විට රාජ්‍යය ද බිඳ වැටෙයි; කෞටිල්‍යගෙන් වත්මන් දේශපාලඥයින්ට පාඩමක්

vinivida

පසුගිය නොවැම්බර් 7 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරනු ලැබූ අයවැය කතාවේ දී දැනට උග්‍ර ගැටලුවක්ව පවතින මිනිස්-අලි ගැටුම නිරාකරණය කරගැනීම සඳහා යම් යම් යෝජනා ගණනාවක් ඉදිරිපත් කරනු දක්නට හැකි විය. කෙසේ නමුත් බොහෝ සත්ත්ව ක්‍රියාකාරිකයින් සහ පරිසරවේදීන්ගේ අදහස් වන්නේ එම යෝජනා තුළ තිරසාර බවක් දක්නට නොලැබෙන බවය. ඒවා හුදෙක් පසුගිය කාලය පුරා මිනිස්-අලි ගැටුම නිසා සමාජය තුළ කතාබහට ලක් වූ ගැටලුවලට විසඳුම් ලබා දෙන්නට රජය සාධනීය උත්සාහයක් ගන්නේ යැයි පෙන්වීමක් පමණක් යැයි ද ඔවුහු පවසති. මේ නිසාම එකී යෝජනා සම්බන්ධයෙන් සත්ත්ව ක්‍රියාකාරිකයින්ගේ හා පරිසරවේදීන්ගේ එතරම් ප්‍රසාදයක් නොපවතින බව ද පෙනෙන්නට තිබේ.

වර්තමාන දේශපාලන සන්දර්භය තුළ අලි ඇතුන් සම්බන්ධව පවතින ආකල්පය එසේ වුවත් අතීතය දෙස බැලීමේ දී ගෝලීය දේශපාලනය මේ සම්බන්ධව දක්වා තිබූ සාධනීය බව මොනවට පැහැදිලි කර ගත හැකිය. ක්‍රි.පූ. හතරවන සියවසේ දී, ඉන්දියානු දාර්ශනිකයෙකු, ආර්ථික විද්‍යාඥයෙකු සහ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ කෞටිල්‍ය (චානක්‍ය හෝ විෂ්ණුගුප්ත ලෙස ද හැඳින්වේ) විසින් අර්ථශාස්ත්‍රය රචනා කරන ලදී. එය මෙතෙක් ලියා ඇති රාජ්‍ය පාලනය පිළිබඳ වඩාත් සංකීර්ණ ග්‍රන්ථවලින් එකකි. ප්‍රධාන වශයෙන් ආර්ථික විද්‍යාව, නීතිය සහ දේශපාලන විද්‍යාව පිළිබඳ නිබන්ධනයක් වුව ද, එය තුළ අලි ඇතුන්, ඔවුන්ගේ සංරක්ෂණය, කළමනාකරණය සහ සුබසාධනය පිළිබඳ පුළුල් ඡේදයන් බොහෝ අන්තර්ගත බව පෙනෙන්නට තිබේ. එකල අලි ඇතුන් සම්බන්ධව එතරම් ප්‍රමාණයක් මේ ග්‍රන්ථයට ඇතුළත් කරන්නට හේතු වන්නට ඇත්තේ වර්තමානයේ මෙන් දැවැන්ත යන්ත්‍ර සූත්‍ර නොතිබුණු අතීතයක අලි ඇතුන් හැර එවැනි කාර්යයක් සඳහා උපකාරී කරගන්නට වෙනත් විකල්පයක් නොතිබූ නිසා බව පැහැදිලිය. මෙවැනි විෂයයක් රාජ්‍ය පාලනය පිළිබඳ ග්‍රන්ථයකට ඇතුළත් වීම පමණක් නොව, අලි ඇතුන් ආරක්ෂා කිරීම, වාසස්ථාන කළමනාකරණය සහ පරිපාලන විනය පිළිබඳ කෞටිල්‍යගේ අදහස් තවමත් බොහෝ නූතන රජයන්හි භාවිතයන් අභිබවා යාම ද පුදුම සහගත ය.

අර්ථශාස්ත්‍රය තුළ, අලි ඇතුන් කරදරයක් ලෙස හෝ ධනය වියදම් වන නාස්තිකාර දේපළක් ලෙස නොව රාජ්‍යයේ කුලුණු ලෙස සලකනු ලැබුණි. කෞටිල්‍ය ඔවුන් සැලකුවේ ජාතික බලයේ අත්‍යවශ්‍ය වත්කම්, එනම් හමුදාවේ කොඳු නාරටිය සහ රාජකීය කීර්තියේ සංකේත ලෙස ය. “අලි වාසය කරන වනාන්තර වන නිලධාරීන් විසින් ආරක්ෂා කළ යුතු” බවත්, අලියෙකු මරන ඕනෑම අයෙකුට දැඩි දඬුවම් ලැබිය යුතු බවත් ඔහු ලියා ඇත. මෙය සතුන් කෙරෙහි අනුකම්පාව ඉල්ලා කරන ලද චිත්තවේගීය ආයාචනයක් නොවීය; එය තාර්කික ප්‍රතිපත්තියක් විය. ආර්ථිකයට සහ හමුදා ශක්තියට අලි ඇතුන් අත්‍යවශ්‍ය බව කෞටිල්‍ය තේරුම් ගත්තේ ය. ඔවුන් ආරක්ෂා කිරීම යනු රාජධානියේ සමෘද්ධිය සහ ආරක්ෂාව ආරක්ෂා කිරීමයි.

කෞටිල්‍යගේ පුරාණ ආකෘතිය සහ ශ්‍රී ලංකාවේ වර්තමාන දුෂ්කරතාව අතර පරස්පරය කැපී පෙනෙන අතර මඟ පෙන්වීමක් ද සපයයි.

කෞටිල්‍ය

අර්ථශාස්ත්‍රය තුළ, අලි ඇතුන් කරදරයක් ලෙස හෝ ධනය වියදම් වන නාස්තිකාර දේපළක් ලෙස නොව රාජ්‍යයේ කුලුණු ලෙස සලකනු ලැබුණි. කෞටිල්‍ය ඔවුන් සැලකුවේ ජාතික බලයේ අත්‍යවශ්‍ය වත්කම්, එනම් හමුදාවේ කොඳු නාරටිය සහ රාජකීය කීර්තියේ සංකේත ලෙස ය. “අලි වාසය කරන වනාන්තර වන නිලධාරීන් විසින් ආරක්ෂා කළ යුතු” බවත්, අලියෙකු මරන ඕනෑම අයෙකුට දැඩි දඬුවම් ලැබිය යුතු බවත් ඔහු ලියා ඇත. මෙය සතුන් කෙරෙහි අනුකම්පාව ඉල්ලා කරන ලද චිත්තවේගීය ආයාචනයක් නොවීය; එය තාර්කික ප්‍රතිපත්තියක් විය. ආර්ථිකයට සහ හමුදා ශක්තියට අලි ඇතුන් අත්‍යවශ්‍ය බව කෞටිල්‍ය තේරුම් ගත්තේ ය. ඔවුන් ආරක්ෂා කිරීම යනු රාජධානියේ සමෘද්ධිය සහ ආරක්ෂාව ආරක්ෂා කිරීමයි.

අද, පාලනය එවැනි ප්‍රතිපත්තියකින් කොතරම් දුරස් වී ඇත් දැයි අපට දැක ගත හැකි ය. නූතන ශ්‍රී ලංකාවේ, අලි ඇතුන් නීතියෙන් ආරක්ෂා කර ඇතත්, ඔවුන්ගේ වාසභූමි විනාශය අඛණ්ඩව පාහේ සිදු වේ. රජයේ වත්මන් සැලැස්මේ කේන්ද්‍රස්ථානය වන විදුලි වැටවල්, දුර්වල නඩත්තුව හෝ වැරදි කළමනාකරණය හේතුවෙන් බොහෝ විට අසාර්ථක වේ. ඊට වෙනස්ව, පුරාණ මෞර්ය රාජ්‍යය එවැනි නොසැලකිල්ල රාජ්‍යයට එරෙහි අපරාධයක් ලෙස සැලකීය.

කෞටිල්‍යගේ පරිපාලනයට ගජාධ්‍යක්‍ෂ හෙවත් අලි අධිකාරීවරයෙක් සිටි අතර, ඔහු අලි කළමනාකරණයේ සෑම අංශයක්ම අධීක්ෂණය කළේ ය. අලි ජීවත්වන වනාන්තර නඩත්තු කිරීම, අභිජනන වැඩසටහන්, සෞඛ්‍ය වාර්තා සහ අලි පුහුණුකරුවන්ගේ හා පාලකයන්ගේ සුබසාධනය ඔහුගේ වගකීම්වලට ඇතුළත් විය. සෑම අලියෙක්ම ලේඛනගත කර තිබූ අතර, එහි අලින්ගේ වයස, ප්‍රමාණය, පුහුණුව සහ සෞඛ්‍යය පිළිබඳ සවිස්තරාත්මක වාර්තා තබා තිබුණි. නූතන වචනවලින් කියතොත්, මෙය පරිගණක හෝ කඩදාසි ලේඛන පවා භාවිත කිරීමට සියවස් ගණනාවකට පෙර පැවති වනජීවී කළමනාකරණ දත්ත සමුදායක පැරණි ස්වරූපයකි. නූතන තාක්‍ෂණය තිබිය දී වුව ද, ශ්‍රී ලංකාව තවමත් එවැනි ඒකාබද්ධ හා විනිවිද පෙනෙන පද්ධතියක් සාක්ෂාත් කර ගෙන නොමැත.

අර්ථශාස්ත්‍රයේ වඩාත් ම දූරදර්ශී කොටස්වලින් එකක් වන්නේ අලි ඇතුන්ගේ වාසභූමිවල ආරක්ෂාව පිළිබඳ අවධාරණයයි. අලි ජීවත්වන වනාන්තර ආරක්ෂා කර සංරක්ෂණය කරන ලෙසත්, ඒවා තුළ ඇති තණ බිම් සහ ජල මූලාශ්‍ර නඩත්තු කරන ලෙසත්, අනවසර පුද්ගලයින් එම ඉඩම්වලට ඇතුළු වීම හෝ ඒවා සූරාකෑම නොකළ යුතු බවත් කෞටිල්‍ය නියෝග කළේ ය. අලි කොරිඩෝ සහ වන රක්ෂිත විනාශ කිරීම ගැටුම්වලට ප්‍රධාන හේතුවක් වන වර්තමාන සංරක්ෂණ ප්‍රයත්න සඳහා මෙම මූලධර්ම පදනමක් ලෙස යොදා ගත හැකි ය. ශ්‍රී ලංකාව සහ අලි ජීවත්වන අනෙකුත් රටවල් “අලි-මිනිස් සහජීවනය” ගැන කතා කළ ද, අදින් ඉතා ඈත අතීතයේ කෞටිල්‍ය යෝජනා කළ ආකාරයේ විනයගරුක පාරිසරික පරිපාලනයක් අද දක්නට නොලැබෙන තරම්ය.

අර්ථශාස්ත්‍ර කෘතියේ නූතන පිටපතක්

අලි ඇතුන්ගේ හැසිරීම් සහ සෞඛ්‍යය පිළිබඳ කෞටිල්‍යගේ විද්‍යාත්මක අවබෝධය ද ඒ හා සමානව කැපී පෙනේ. ඔහු ඔවුන්ගේ ඍතුමය මනෝභාවයන්, විශේෂයෙන් මද කිපුණු පිරිමි සතුන්ගේ අනතුරුදායක බව, ඔවුන්ගේ ආහාර අවශ්‍යතා සහ ඖෂධීය ශාකසාර භාවිතයෙන් තුවාල හා රෝග සඳහා ප්‍රතිකාර පවා විස්තර කළේ ය. අලි ඇතුන්ට බත්, බාර්ලි, උක් සහ වන ආහාර ලබා දීමටත්, නිතිපතා ස්නානය කිරීමටත්, ප්‍රමාණවත් විවේකයක් ලබා දීමටත් උපදෙස් ලබා දෙන ලදී. අලි ඇතුන්ගේ සුබසාධනය පිළිබඳ මෙම සූක්ෂම අවධානය රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ මුල් බැස තිබුණි. නූතන ලෝකයේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් දකුණු ආසියාවේ අලි කඳවුරුවල සිට අප්‍රිකාවේ වනජීවී රක්ෂිත දක්වා, එවැනි ස්ථාවර රැකවරණයක් ලබා ගැනීම තවමත් අපහසු ය.

අර්ථශාස්ත්‍රය තුළ අලි ඇතුන් ආර්ථික හා පාරිසරික වත්කම් ලෙස සලකනු ලැබී ය. අලි හිමියන්ගේ බදු අයකර ගැනීම, අලි ඇතුන්ගේ සේවය ලබා ගැනීමට බදු දීමේ දී ඔවුන්ගේ ආරක්ෂාව නීතියෙන් සහතික කිරීමක් ද දක්නට හැකි විය. අලියෙකුට තුවාල කළ හෝ මරා දැමූ ඕනෑම අයෙකුට දැඩි දඬුවම් ලැබුණි. ඊට ප්‍රතිවිරුද්ධව, සමකාලීන ශ්‍රී ලංකාවේ, වස දීම, විදුලි සැර වැදීම හෝ නීති විරෝධී ලෙස වෙඩි තැබීම හේතුවෙන් සිදුවන අලි මරණවලට වගකිව යුත්තන් සොයා දඬුවම් ලබා දීමක් දක්නට හැක්කේ ඉතා කලාතුරකිනි. බොහෝ දෙනෙක් විවිධ බලපුළුවන්කාරකම් යොදා නීතියෙන් ගැලවී යනු දක්නට හැකිය. අලි ඇතුන් ඇතුළු වනජීවීන් ජාතික ධනයෙන් කොටසක් බවත්, එය අහිමි වීම රාජ්‍යයට සම්පත් අහිමි වීමක් බවත් මෙම පුරාණ ග්‍රන්ථය හඳුනාගෙන තිබිණි.

කෞටිල්‍යගේ තර්කනය ඔහුගේ කාලයේ යථාර්ථය මත පදනම් විය. පුරාණ ලෝකයේ, අලි ඇතුන් ශිෂ්ටාචාරයේ යන්ත්‍රසූත්‍ර විය. යුද්ධයේ දී, කෘෂිකර්මයේ දී, දැව කැපීමේ දී සහ ඉදිකිරීම් කටයුතුවල දී ඔවුන්ගේ සහාය දැඩිව භාවිත විය. යන්ත්‍ර නොමැති සමාජයේ පැවැත්ම ඔවුන් මත රඳා පැවතුණි. එබැවින් ඔහු ඔවුන්ගේ සුබසාධනය සහ කළමනාකරණය අවධාරණය කිරීම තාර්කික විය. එහෙත් කෞටිල්‍යගේ චින්තනය හුදු උපයෝගීතාව ඉක්මවා ගියේ ය. ඔහුගේ පද්ධතිය පිළිබිඹු කළේ මිනිසුන් සහ සතුන් පුළුල් ස්වාභාවික පිළිවෙළක් තුළ අන්‍යෝන්‍ය වශයෙන් රඳා පැවැත්ම බෙදා හදා ගන්නා බවට වූ දැනුවත්භාවයයි.

අද වන විට, බොහෝ මානව කර්මාන්තවල අලි ඇතුන් වෙනුවට යන්ත්‍ර සූත්‍ර ආදේශ කර ඇත. නමුත් එසේ වූ පමණින් මේ දැවැන්තයින් වෙනුවෙන් අප කළ යුතු යුතුකම් ඉවත දැමීමක් කළ නොහැකිය. කෞටිල්‍ය පාලනය තුළ කාවැද්දූ සදාචාරාත්මක මූලධර්මය, එනම්, සමෘද්ධිය ජීවිතයට ගරු කිරීම මත ගොඩනැගිය යුතු බව යන්න කාලානුරූපී ය. කෞටිල්‍ය විසිඑක්වන සියවසේ ජීවත් වූයේ නම්, ඔහුට ඔහුගේ හමුදාවට හෝ කෘෂිකර්මාන්තයට අලි ඇතුන් අවශ්‍ය නොවනු ඇත. නමුත් ඔහු නිසැකවම ඔවුන්ගේ පාරිසරික හා සංස්කෘතික වටිනාකම හඳුනා ගනු ඇත. ඔහු බොහෝ විට අර්ථශාස්ත්‍රය තුළ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම, තිරසාර සංවර්ධනය කළමනාකරණය කිරීම සහ සියලු සංවේදී ජීවීන්ට මානුෂීය සැලකීම සහතික කිරීම පිළිබඳ නව පරිච්ඡේද ලියනු ඇත.

අර්ථශාස්ත්‍ර කෘතියේ පැරණි පිටපතක්

නූතන පාලකයෙකුට කෞටිල්‍ය උපදෙස් දෙනු ඇතැයි කෙනෙකුට සිතිය හැක්කේ මේ වදන්වලිනි: “අලින් වරක් වෙහෙස මහන්සි වී වැඩ කළ තැන දැන් යන්ත්‍ර සූත්‍ර සේවය කළ හැකි ය. එහෙත් රජුගේ යුතුකම වෙනස් වී නැත. වනාන්තර වැනසී අලි ඇතුන් වඳවන විට රාජ්‍යය ද බිඳ වැටෙනු ඇත. මිනිසුන්ගේ ධනය පමණක් නොව, පොළොවේ හුස්ම ද ආරක්ෂා කරන්න.”

මෙය වත්මන් දේශපාලඥයින්ට ද පාඩමට ගත යුතු කාරණයකි.

බොහෝ අරුතක් ගැබ්ව ඇති එම ප්‍රකාශයේ ඔහුගේ දර්ශනය තවමත් අපට උගන්වන දේවල සාරය අන්තර්ගත වේ. කෞටිල්‍ය වැනි චින්තකයින්ගේ මඟ පෙන්වීමෙන්, පුරාණ ඉන්දියාව ප්‍රායෝගිකත්වය දයාව සමඟ මුසු කිරීමට සමත් විය. සංරක්ෂණය වෙනම දෘෂ්ටිවාදයක් නොව, පාලනයේම කොටසක් විය. එය තාර්කික, නියාමනය කරන ලද සහ යුතුකම තුළ මුල් බැස ගත් දෙයකි.

ශ්‍රී ලංකාවේ වත්මන් අභියෝගය ද එම ආත්මයම ඉල්ලා සිටී. ජනාධිපතිවරයාගේ විදුලි වැටවල්, මුරපොළවල් සහ වන්දි සඳහා වූ මෑත කාලීන ප්‍රතිපාදන වැදගත් පළමු පියවර වේ, නමුත් අර්ථශාස්ත්‍රය සියවස් ගණනාවකට පෙර අපේක්ෂා කළ ගැඹුරු පරිපාලන විනය සහ පාරිසරික දුරදර්ශීභාවය නොමැතිව ඒවා සාර්ථක විය නොහැකි ය. සැබෑ සංරක්ෂණය යනු මරණ වැළැක්වීම පමණක් නොවේ; එය සහජීවනය පවතින, තිරසාර සහ නීත්‍යානුකූල වන පද්ධතියක් නිර්මාණය කිරීමයි.

ශ්‍රී ලංකාවේ වත්මන් අභියෝගය ද එම ආත්මයම ඉල්ලා සිටී. ජනාධිපතිවරයාගේ විදුලි වැටවල්, මුරපොළවල් සහ වන්දි සඳහා වූ මෑත කාලීන ප්‍රතිපාදන වැදගත් පළමු පියවර වේ, නමුත් අර්ථශාස්ත්‍රය සියවස් ගණනාවකට පෙර අපේක්ෂා කළ ගැඹුරු පරිපාලන විනය සහ පාරිසරික දුරදර්ශීභාවය නොමැතිව ඒවා සාර්ථක විය නොහැකි ය. සැබෑ සංරක්ෂණය යනු මරණ වැළැක්වීම පමණක් නොවේ; එය සහජීවනය පවතින, තිරසාර සහ නීත්‍යානුකූල වන පද්ධතියක් නිර්මාණය කිරීමයි.

ස්වභාවධර්මයේ රිද්මයට ගරු කරන විට ශිෂ්ටාචාරය දියුණු වන බව කෞටිල්‍යගේ ප්‍රඥාව අපට මතක් කර දෙයි. අලි ඇතුන් වරක් රජවරුන්ගේ හමුදාවන්ගේ ප්‍රමුඛත්වය ගත්තේය; අද ඔවුන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීමේ යුතුකම සහ වගකීම අප මත පැවරී තිබේ. සියවස් ගණනක් ඉපැරණි අර්ථශාස්ත්‍රය කෘතිය මේ මොහොතේ අපට සිහිපත් කර දෙන්නේ එයයි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර