ශ්‍රී ලංකාවේ විසඳුමක් පෙනෙන තෙක් මානයකවත් නැති ගැටලු අතරින් ප්‍රධානතම ගැටලුවක් වන්නේ වන සතුන් හා මිනිසා අතර ඇති වී තිබෙන ජීවන මාර්ගය සඳහා වන ගැටුම ය.
මගේ මතකය අනුව අලි මිනිස් ගැටුම වර්ධනය වෙමින් උග්‍ර තත්වයට පත් වූයේ අපගේ තරුණ වියේ සිට ය. විශේෂයෙන්ම 1980 දශකයේ මැද භාගයේ පමණ සිට ක්‍රමයෙන් වර්ධනය වූ වන අලින් ගම්වලට ඇතුළුවීම මේ වන විට වන අලින්ටත් මිනිසුන්ටත් බලවත් හානි දෙන මාරාන්තික ගැටුමක් බවට පත්ව තිබීම ශෝකජනක ය. මේ මාරාන්තික ගැටුම කොතරම් තීව්‍ර වුණත්, වන අලියෙකු අනතුරට පත් වූ අවස්ථාවක හෝ රෝගී අවස්ථාවකට පත් වූ පසු මිනිස්සු බොහෝ සේ අනුකම්පා සහගතව අලියා සුවපත් කිරීමට හෝ අනතුරෙන් මුදා ගැනීමට අසීමිත සහයක් ලබාදෙති. මින් අලි-මිනිස් ගැටුමට මිනිසුන් යොමු වී ඇත්තේ වෛරී චේතනාවෙන් නොවන බව මැනවින් පෙන්වා දෙයි. එසේ නම් මිනිසා මේ වනාන්තරයේ අනාදිමත් කාලයක් තිස්සේ ජීවත්වන දැවැන්ත හස්තීන්ට හිරිහැර කිරීමට පෙළඹී ඇත්තේ ඇයි? මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ මිනිසාගේ ජීවනෝපායට වන හස්තීන්ගෙන් එල්ල වී ඇති බරපතල තර්ජනයයි. එදා වනාන්තරයේ ජීවත්වූ වන අලි අද ජීවත්වන්නේ ගම් ආශ්‍රිතව ය. එදා සිය ආහාරය වනයෙන් සොයාගත් වන අලින් අද සිය ආහාරය සඳහා මිනිසාගේ වගාබිම් ආක්‍රමණය කරමින් සිටිති. තමාට වඩා ශක්තියෙන් අනූන වන අලින් දුටු එදා මිනිසා උන් මඟ හැර ගියත්, අද සිය ජීවනෝපාය සලසන භූමියේ ගැවසෙන වන අලියාට ඉඩ දී මඟ හැර ගියොත් සිය ජීවනෝපාය අහිමිවීමේ තර්ජනයට මුහුණ දීමට වත්මන් ගැමියාට සිදුවේ. ඒ නිසා තම ජීවිත, දේපළ සේම බවබෝග රැක ගැනීම පිණිස වන අලින් පලවා හැරීමට විවිධ උපාය මාර්ග අනුගමනය කරමින් මිනිසා ද ගැටුමට පිවිස ඇත. ඒ ගැටුමේදී අලි වෙඩි, ගිනි හුල, කෑකෝ ගැසීම ආදී සාමාන්‍ය ස්වභාවයේ ඒවායින් පටන්ගෙන, වෙඩි ප්‍රහාර, උල් ඇණ සවිකර පෑගෙන්නට තැබීම, හක්ක පටස් තැබීම, වස දීම ආදී බිහිසුණු මාරාන්තික උපක්‍රම ද භාවිතා කිරීමට මිනිසා පෙළඹී සිටියි. අනික් අතට, එදා තමන් මඟ හැර තමන්ට ගරු කළ බුද්ධිමත් මිනිසා අද තමන්ගේ සාගින්දර නිවා ගැනීමට බාධාවක් වෙමින් තමන්ට රිදවීම නොරිස්සන වන අලින් ද මිනිසාට එලවා ප්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන ඇත. එදා එකිනෙකාට ගරු කළ මෙරට අප අවට ජෛව පද්ධතියේ බලවතුන් දෙදෙනා මෙදා එකිනෙකාට ප්‍රහාර එල්ල කරමින් දෙපාර්ශවයම විනාශය කරා ගෙන යමින් සිටිති. එම නිසා මේ විනාශය නතර කිරීමේ විසඳුම් යෝජනා කිරීම කාලීන අවශ්‍යතාවයක් වී ඇත.
මේ බිහිසුණු අලි-මිනිස් ගැටුමට ප්‍රධාන හේතුව වී ඇත්තේ කාලාන්තරයක් තිස්සේ අලි ගැවසුණු වනාන්තරවල අලින් සඳහා ආහාර හිඟ වීමයි. වනාන්තරවල අලින් සඳහා ආහාර සැපයුණු ස්වාභාවික ආහාර ක්‍රමවේදයට අතිරේකව මිනිසාගේ ක්‍රියාකාරකම් ද හේතුවෙන් වනාන්තර තුළ අලි ඇතුන් ඇතුළු වන සතුන්ට ආහාර සම්පාදනය කිරීමක් 1980 දශකයට පෙර සිදුවෙමින් පැවතුණි.
මේ බිහිසුණු අලි-මිනිස් ගැටුමට ප්‍රධාන හේතුව වී ඇත්තේ කාලාන්තරයක් තිස්සේ අලි ගැවසුණු වනාන්තරවල අලින් සඳහා ආහාර හිඟ වීමයි. වනාන්තරවල අලින් සඳහා ආහාර සැපයුණු ස්වාභාවික ආහාර ක්‍රමවේදයට අතිරේකව මිනිසාගේ ක්‍රියාකාරකම් ද හේතුවෙන් වනාන්තර තුළ අලි ඇතුන් ඇතුළු වන සතුන්ට ආහාර සම්පාදනය කිරීමක් 1980 දශකයට පෙර සිදුවෙමින් පැවතුණි. එය වියළි කලාපීය ප්‍රදේශවල සිදු කෙරුණු හේන් ගොවිතැනයි. මෙරට වියළි කලාපයේ බොහෝ ගම්වල පැවති ගොවිතැන් ක්‍රමයක් වූයේ හේන් වගාවයි. හේන් වගාව ගැමියන්ගේ සාම්ප්‍රදායික ආහාර නිෂ්පාදන ක්‍රමවේදයක් වූ නිසා ඒ හා බැඳුණු සිරිත් විරිත් ඇතුළු වෙනම උප සංස්කෘතියක් ද විය. මෙහි ප්‍රධාන සිරිතක් වූයේ එක් වරක් වගා කළ හේන් බිමක් යළි වසර දහයක් ගත වනතුරු වගාවට යොදා නොගැනීම ය. එමෙන්ම ගමේ හේන් යාය එකට යා වී තිබුණු ප්‍රදේශයක් ද විය. ජූලි අගෝස්තු මාසවල හේන් වගාව සඳහා වනගත යාය එළිකර ගිනි තබන ගැමියෝ සැප්තැම්බර් අගදී හේන් වපුරති. හේනේ වගා කරන බෝග ඊසාන දිග මෝසමෙන් සැපයෙන වර්ෂාවෙන් පෝෂණය වී ඵලදැරීමෙන් පසු අස්වනු නෙලාගෙන ඊළඟ වසරේ අප්‍රේල්-මැයි වන විට ගොවීන් හේන් යාය අතහැර යති. එදා සිට එකී හේනේ නිරි වගාව හා අලුතින් පැළ වෙන වල්පැල වර්ග සහිත ළපටි වනාන්තරය ශාක භක්ෂක වන සතුන්ගේ ආහාරයට වෙන්වේ. මෙසේ සෑම ගමක් ආශ්‍රිතවම පාහේ වාර්ෂිකව අලුත් වන හේන් යායන් ආශ්‍රිත භූමි වන සතුන්ගේ ආහාර අවශ්‍යතාවයෙන් කොටසක් පිරිමසා දුන්නේය. මේ නිසා සතුන්ට ආහාර සොයා ගම් වැදීමේ අවශ්‍යතාවයක් නොවිණි. මේ අනුව මිනිසාගේ ක්‍රියාකාරකමක වක්‍ර ප්‍රතිඵලය ලෙස වන අලි ඇතුළු ශාක භක්ෂක සතුන්ගේ ආහාර අවශ්‍යතාවයට සැලකිය යුතු දායකත්වයක් ලැබිණි.
1980 දශකය ආරම්භ වන විට හේන් වගාව තහනමට ලක් කළේ ඉන් වනාන්තර හානියට පත්වන බව පවසමිනි. මේ ක්‍රියාවත් සමඟ ක්‍රමයෙන් හේන් වගාව නතර විය. හේන් වගාව නතර වීමත් සමඟ ගම අසල වනයේ තිබුණු පැරණි වැව් අලුත්වැඩියා කරගෙන ගොවිතැන් කිරීමේ ක්‍රමයකට ගැමියෝ හුරු වූහ. රජයෙන් ද සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණය යටතේ ඊට සහය ලැබුණි. වන අලින්ට බොහෝ කොට ස්වාභාවික ක්‍රමයෙන් ආහාර සම්පාදනය සිදු කෙරුණේ මේ අත්හැර දමා තිබුණු පැරණි වැව් භූමි ආශ්‍රිතව ය. මේ පැරණි වැව් පත්ල බොහෝ විට පහත් බිමක් නිසා වර්ෂයේ වැඩි කාලයක් දිය සහිත වගුරු බිමක් විය. මෙහි සරුවට වැවෙන තෘණ වර්ග වන අලින්ගේ ප්‍රියතම ආහාර විය. හේන් වගාව තහනම් කෙරුණු ගම්වැසියන් මේ වැව් ප්‍රතිසංස්කරණය කර කෘෂි බෝග බිමක් බවට පරිවර්තනය කර ගැනීම නිසා වන අලින්ගේ මෙම ස්වාභාවික ආහාර සම්පාදනයට ද බාධා ඇති විය. අවසානයේ සිය දෛනික ආහාර ප්‍රමාණය උදෙසා මිනිස් වගාබිම් ආක්‍රමණය කිරීමට අලින්ට සිදු විය. මේ හේතුවට ගැලපෙන විසඳුමක් අලි-මිනිස් ගැටුම නතර කිරීමට අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා වන ප්‍රායෝගික විසඳුමක් සජීවී උදාහරණයක් සහිතව ඉදිරිපත් කිරීම මාගේ අරමුණයි.
මා දිර්ඝ කාලයක් රාජකාරියේ යෙදුණු අම්පාර ප්‍රදේශය වර්තමානයේ වන අලි ගැටලුව තදින් පවතින ප්‍රදේශයකි. මෙහි වන අලින් පිළිබඳ අපූරු අධ්‍යයනයක් ගල්ඔය සංවර්ධන මණ්ඩලය විසින් 1950 දශකයේ දී සිදු කළේ ගල්ඔය යෝජනා ක්‍රමය යටතේ මේ ප්‍රදේශ සංවර්ධනය කිරීමේදී ය. ඒ වාර්තා අනුව අම්පාරේ සේනානායක සමුද්‍රයට ඉහළින් පිහිටි ගල්ඔය ජාතික උද්‍යානය ප්‍රදේශයේ 1950 දශකය තුළම සිට ඇත්තේ වන අලින් පනහක පමණ ප්‍රමාණයකි. එසේ වුවද, අම්පාරේ උහන ප්‍රදේශයේ මහකණ්ඩිය නම් වූ ප්‍රදේශයට වර්ෂයේ ජූලි-අගෝස්තු මාසවලදී උතුරේ මාදුරුඔය ආශ්‍රිත ප්‍රදේශ වලින් නුවරගල රක්ෂිතය හරහා වන අලින් 80ක පමණ රංචුවක් ආහාර හා ජලය සොයා පැමිණෙන බවත්, මේ රංචුව දෙසැම්බර් දක්වා රැඳී සිටින්නේ උහන මහකණ්ඩිය නම් වූ පැරණි වැවක පතුල යැයි සැලකෙන විශාල ප්‍රදේශයේ බවත් මෙම නිරීක්ෂණයන්ගෙන් හෙළි වී ඇත. මේ භූමිය ගල්ඔය යෝජනා ක්‍රමයෙන් ජලය ගෙන යන වම් ඉවුර ඇලට ඉහළින් පිහිටා ඇති බිමක් නිසා මුලදී ගල්ඔය වගා ප්‍රදේශවලට මේ සතුන්ගෙන් හානියක් සිදු වී නැත. මේ සංක්‍රමණික අලි රංචුව ඊසාන දිග මෝසම් වර්ෂාව ආරම්භයත් සමඟ නැවත සිය සුපුරුදු නිජබිම වන මාදුරුඔය ප්‍රදේශයට ආපසු යන බවත්, මෙය වාර්ෂිකව වර්ෂාව නොමැති කාල පරිච්ඡේදයේ සිදුවන සංක්‍රමණයක් බවත්, මේ නිසා වසරේ අග මාස හයේදී ගල්ඔය නිම්නයේ වන අලි ගහණය 150 දක්වා වැඩි වන බවත් මේ මගින් හෙළි කරගෙන ඇත. මේ සංක්‍රමණික අලි රංචුවෙන් කීප දෙනෙක් ගල්ඔය යෝජනා ක්‍රමය යටතේ යළි ප්‍රතිසංස්කරණය කළ අම්පාර කොණ්ඩවටුවාන වැව දක්වා පැමිණීමට පුරුදු වූ අතර, ඒ අය අතරින් කීප දෙනෙකු ආපසු නොගොස් එම ප්‍රදේශවල රැඳීම ආරම්භ වී ඇත. ක්‍රමයෙන් ගල්ඔය වම් ඉවුර ඇලෙන් ජලය ඉහළට පොම්ප කර මහකණ්ඩිය ප්‍රදේශය වගා කිරීම ආරම්භ වීමත් සමඟ මේ සංක්‍රමණික අලි රංචුවේ ආහාර හා ජල අවශ්‍යතාවට බාධා පැමිණීම නිසා මොවුන් ගල්ඔය ජනපද කුඹුරුවලට හා හිඟුරාන උක් වගාවන්ට කඩා වැදී ආහාර ගන්නට පටන්ගත් බවත් එම වාර්තාවලින් පැහැදිලි වෙයි. මා විශ්වාස කරන අන්දමට ඒ අද උග්‍රව පවතින අම්පාර අලි-මිනිස් ගැටුමේ ආරම්භයයි. වර්තමානයේ පවා මේ ඓතිහාසික සංක්‍රමණය සිදු වේ. සිය පාරම්පරික ලැගුම් තිප්පල හා ආහාර ගබඩාව අද එම සංක්‍රමණික වන අලින්ට තහනම් මිනිසුන්ගේ වගාබිම් කලාපයකි. එම නිසා උන් කරන්නේ එම භූමිය සම්බන්ධ තම උරුමය කියාපාමින් ගොවීන්ගේ වගාබිම් හා ගෙවතුවලට පැන කුස පුරවා ගැනීමයි. මේ තත්වයට විසඳුම ලෙස රජය කළ යුත්තේ අලින්ගේ එම ඓතිහාසික පෝෂක ප්‍රදේශය වන මහකණ්ඩිය යළි අලින්ගේ ආහාර සම්පාදනය සඳහා යෙදවීමයි. දැනට මහකණ්ඩිය භූමිය වගා කරන සියලුම ගොවි පවුල්වලට තම වගා ඉඩම් අලින්ගේ ආහාර නිපදවන ඉඩම් බවට පත් කළ යුතු බව දන්වා අලින් වෙනුවෙන් ආහාර බෝග වගා කිරීම ඒ ගොවීන්ටම පැවරිය යුතු ය. මේ ගොවීන්ගේ වගාව වෙනුවෙන් උපකල්පිත අස්වැන්න වෙනුවෙන් ගොවීන්ට මුදල් ගෙවීම රජය විසින් කළ යුතු ය. වාර්ෂික අයවැය යටතේ වන අලි සංරක්ෂණ ව්‍යාපෘතියක් සේ සලකමින් රජය මේ සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කළ යුතුය. ගල්ඔය නිම්නයේ වන අලි-මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා මහකණ්ඩිය ප්‍රදේශය දැනට වගා කරන ගොවි පවුල් වන අලි සඳහා ආහාර වවන ගොවීන් බවට පත්කර එම වගාබිම්වල නිදැල්ලේ සැරිසැරීමට අලින්ට ඉඩ දිය යුතුව ඇත. ඒ අනුව ගල්ඔය සේනානායක සමුද්‍රයේ වම් ඇලෙන් ඉහළ මහකණ්ඩිය වගා භූමිය වන අලින් සඳහා වන පෝෂක කලාපය කිරීමත්, එම පෝෂක කලාපයේ වන අලි ආහාර සඳහා විවිධ බෝග වර්ග වගා කිරීම දැනට එම ඉඩම් වවන ගොවීන්ටම පවරා, ඒ වගාවන් වෙනුවෙන් නිසි අධීක්ෂණ හා නියාමනයකට යටත්ව ගොවීන්ට මුදල් ගෙවීම රජයෙන් සිදු කිරීම හා එම ගොවීන්ගේ නිවාස හා ගෙවතු ප්‍රදේශ පමණක් විදුලි වැටවල් මගින් ආරක්ෂා කිරීම කළ හොත් අම්පාර ප්‍රදේශයේ වන අලි-මිනිස් ගැටුම බෙහෙවින් අඩු තත්වයකට ගෙන ආ හැකි ය.
අප රටේ වන අලි-මිනිස් ගැටුම උග්‍රව ඇති ප්‍රදේශවල තෝරාගත් වගාබිම් ආශ්‍රිතව වන අලින් සඳහා ආහාර බෝග වගා කරන වන අලි පෝෂක කලාප පිහිටුවා ඒ බෝග වවන ගොවීන්ට රජයෙන් මුදල් ලබාදීම සිදු කිරීම මගින් ගොවීන්ට ස්ථාවර ආදායමක් ලැබීමත්, වන අලින්ට හිරිහැරයකින් තොරව ආහාර අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීමේ හැකියාවත් ඇති වේ.
වන අලි නැරඹීම සඳහා එන සංචාරකයන් සඳහා වන අලි පෝෂක කලාපයේ නැරඹුම් ස්ථාන සකසා දීම හා පහසුකම් සැපයීමෙන්, වන අලි පෝෂක කලාපයේ වගා කරන ගොවීන්ට අමතර ආදායමක් උපයා ගැනීමට හැකි වේ. මෙම වන අලින් සංක්‍රමණය වන මාර්ගයේ පිහිටි අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානය පිටුපස ඇති කැඩී බිඳී ගිය පැරණි වැව ප්‍රතිසංස්කරණය කර, ඊට පහළින් ඇති මංගල ඔය දෙපස භූමිවල තවත් වන අලි පෝෂක කලාපයක් ඇති කර එහි දැනට වගා කටයුතු කරන ගොවීන් වන අලින් සඳහා බෝග වගාව සිදු කිරීමේ වැඩසටහනට එක් කරගත හැකිවේ.
මේ අන්දමට අප රටේ වන අලි-මිනිස් ගැටුම උග්‍රව ඇති ප්‍රදේශවල තෝරාගත් වගාබිම් ආශ්‍රිතව වන අලින් සඳහා ආහාර බෝග වගා කරන වන අලි පෝෂක කලාප පිහිටුවා ඒ බෝග වවන ගොවීන්ට රජයෙන් මුදල් ලබාදීම සිදු කිරීම මගින් ගොවීන්ට ස්ථාවර ආදායමක් ලැබීමත්, වන අලින්ට හිරිහැරයකින් තොරව ආහාර අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීමේ හැකියාවත් ඇති වේ. මීට අතිරේකව තෝරාගත් ස්ථානවල පාලනයකින් යුතුව හේන් ගොවිතැන ඇරඹීම මගින් අලින් සඳහා වනාන්තරය තුළ ආහාර සම්පාදනයත් ප්‍රවර්ධනය කළ හැකි වේ. මෙය ස්ථාන කිහිපයක ආදර්ශ විසඳුම් හා නියාමන ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක කිරීම මගින් වන අලි හා මිනිසුන් විනාශ වන ගැටලුවට ස්ථාවර විසඳුමකට මඟ පෙන්වීම ලබාගත හැකිවේ. ඒ තුළින් මෙරට ජෛව පද්ධතියේ මහ බලවතුන් දෙදෙනා අතර ඇති මාරාන්තික ගැටුම නිම වනු ඇත.
සුනිල් කන්නන්ගර කොළඹ,රත්නපුර,අම්පාර හිටපු මහ දිසාපති