බ්‍රිතාන්‍යයේ රජ පවුලේ උදවිය ඇතැම් අවස්ථාවල ගමන් බිමන් යාම සඳහා පාවිච්චි කරන රාජකීය දුම්රිය එරට ජනතාව අතර ද බෙහෙවින් ප්‍රසිද්ධ සහ ඔවුන්ගේ ආදරයට පාත්‍ර වූ වාහනයකි. නමුත් ළඟදී ම එයට විශ්‍රාම ලබා දීමට බකිංහැම් මාළිගය තීරණය කර ඇති බව වාර්තා වේ. මේ බැව් සඳහන් වන්නේ රජ පවුලේ කටයුතු පරිපාලනය කරන Royal Household විසින් නිකුත් කෙරුණු අලුත්ම මූල්‍ය වාර්තාවක යි.
මෙම පියවර ගැනීමට යන්නේ රජ පවුලේ වියදම් අඩු කිරීමේ වැඩපිලිවෙලක් යටතේ බව ද සඳහන් ය. මේ අනුව 2027 මාර්තු මාසයෙන් පසු රජ පවුලේ අය රාජකීය දුම් රිය භාවිත නොකරනු ඇත. මෙය රජ පවුල ඇතුළු බොහෝ දෙනාට සංවේගජනක සමු දීමක් වනු නිසැක ය.
වර්තමානයේ භාවිත කෙරෙන රාජකීය දුම්රිය මැදිරි නවයකින් සමන්විත වන්නකි. මෙම වත්මන් දුම්රිය මුලින්ම භාවිතයට ගෙන තිබුණේ 1977 වසරේ දෙවැනි එළිසබෙත් රැජිනගේ රිදී ජුබිලිය සැමරූ අවස්ථාවේ යි.
නිදන මැදිරි, නාන කාමර, කාර්යාල කාමර, කෑම කාමර ආදී සියල්ල මෙම දුම්රිය තුළ අඩංගු වේ. දෙවැනි එළිසබෙත් රැජිනගේ සැමියා වූ පිලිප් කුමරු වෙනුවෙන් වෙන් වූ වෙනම මුළුතැන්ගෙයක් ද මෙහි තිබූ බව සඳහන් ය. පිලිප් කුමරු ග්‍රීක ආහාරවලට වැඩි කැමැත්තක් දැක් වූ නිසා එවැනි විශේෂ ආහාර පිසීමට මෙම මුළුතැන්ගෙය පාවිච්චි කර තිබිණි.
රාජකීය දුම්රියේ ගිය පළමු ගමන ගැන වික්ටෝරියා රැජින ඇගේ දිනපොතේ විශේෂ සටහනක් යොදා තිබූ බව සඳහන් ය. දුම්රිය මැදිරිවල ගැස්සිලි පැද්දිලි ඉතා අවම වූ බවත්, ගමන බෙහෙවින් සුවපහසු, ප්රීතිජනක, ඉක්මන් එකක් වූ බවත් ඇය එහි සටහන් කර තිබේ. ගමන සඳහා ගත වූයේ විනාඩි 30 ක කාලයක් පමණක් බව ද ඇය ලියා තිබුණාය.
වත්මන් රාජකීය දුම්රියේ මැදිරි භාවිතයට ආවේ 1977 වුවද එයට පෙර ද රාජකීයයන් සිය ගමන් බිමන් සඳහා රාජකීය දුම්රියන් යොදාගත් බව රහසක් නොවේ. මෙම සම්ප්රදාය ආරම්භ වී තිබුණේ 1842 වසරේ යි. ඒ වනවිට සිහසුන හෙබවූයේ වික්ටෝරියා රැජින ය. ඉතිහාසයේ සඳහන් වන අන්දමට ඇය පළමු වරට විශේෂ දුම්රිය මැදිරියක් භාවිත කර තිබුණේ ස්ලව් නැමැති නගරයේ සිට ලන්ඩන් පැඩිංග්ටන් බලා පැමිණි ගමනක දී යි. ඒ අනුව රාජකීය දුම්රිය විශ්‍රාම ගැනීමට යන්නේ වසර 185 ක සේවා කාලයකට පසුව බව සඳහන් කළ හැකිය.
රාජකීය දුම්රියේ ගිය පළමු ගමන ගැන වික්ටෝරියා රැජින ඇගේ දිනපොතේ විශේෂ සටහනක් යොදා තිබූ බව සඳහන් ය. දුම්රිය මැදිරිවල ගැස්සිලි පැද්දිලි ඉතා අවම වූ බවත්, ගමන බෙහෙවින් සුවපහසු, ප්රීතිජනක, ඉක්මන් එකක් වූ බවත් ඇය එහි සටහන් කර තිබේ. ගමන සඳහා ගත වූයේ විනාඩි 30 ක කාලයක් පමණක් බව ද ඇය ලියා තිබුණාය.
වත්මන් චාල්ස් රජුගේ මව වූ එළිසබෙත් රැජින ඇයගේ ස්වර්ණ ජුබිලිය අවස්ථාවේ සහ දියමන්ති ජුබිලිය අවස්ථාවේ රාජකීය දුම්රිය දීර්ඝ ගමන් සඳහා භාවිත කළාය. 2002 වසරේ ස්වර්ණ ජුබිලිය අවස්ථාවේත්, 2012 වසරේ දියමන්ති ජුබිලිය අවස්ථාවේත් ඇය මෙම දුම්රියෙන් එක්සත් රාජධානිය පුරා යමින් ජනතාව හමු වූවාය. දුම්රිය භාවිත කිරීම නිසා ඇයට ඉතා ඈත පිටිසර ගම්මාන වෙත පවා යාමට හැකි විය. ස්වර්ණ ජුබිලිය අවස්ථාවේ රැජින සැතපුම් 3,500 ක පමණ දුරක් රාජකීය දුම්රියෙන් ගමන් කර තිබිණි.
2022 සැප්තැම්බර් මාසයේ එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වූ අවස්ථාවේ ඇයගේ දේහය ස්කොට්ලන්තයේ සිට ලන්ඩනය වෙත රැගෙන ඒමට මෙම දුම්රිය යොදාගැනීමේ සූදානමක් ද විය. රැජින අභාවප්‍රාප්ත වූයේ ස්කොට්ලන්තයේ බැල්මොරල් මාළිගයේ සිටියදී යි. කෙසේ නමුත් ආරක්ෂක හේතු නිසා ඉහත කී සැලසුම ක්‍රියාත්මක නොවීය.
කොවිඩ් වසංගත කාලයේ විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳ කේට් කුමරිය මෙම දුම්රියෙන් ගිය දීර්ඝ ගමනක් ද විශාල අවධානයක් දිනා ගත්තේය. ඔවුන් මෙම චාරිකාවේ නිරත වූයේ 2020 වසරේ යි. මහා බ්‍රිතාන්‍යය හරහා සැතපුම් 1,200 ක පමණ දුරක් ඔවුන් ගමන් කර තිබිණි. කොවිඩ් වසංගත කාලයේ බොහෝ කැප කිරීම් කරමින් කටයුතු කළ සෞඛ්‍ය සේවකයන්, ස්වේච්ඡා කණ්ඩායම් ඇතුළු විවිධ පාර්ශ්ව හමු වී ඔවුන්ට ස්තුති කිරීම මෙම ගමනේ අරමුණ විය.
2027 මාර්තු මාසයේ රාජකීය දුම්රිය විශ්‍රාම ගැන්වීමට පෙර ජනතාවට එය දැක ගැනීමට අවස්ථාව සැලසීම සඳහා තවත් විශේෂ චාරිකාවක් සංවිධානය කෙරෙනු ඇතැයි සඳහන් වේ.
මෑත කාලයේ රජ පවුල මෙම දුම්රිය පාවිච්චි කර තිබුණේ කලාතුරකිනි. එයින් ලැබෙන ප්‍රයෝජනයට සාපේක්ෂව එහි නඩත්තුව, ආරක්ෂාව, ගාල් කර තැබීම වැනි කටයුතු සඳහා ලොකු වියදමක් දරන්නට සිදුව තිබේ. මේ සඳහා වැය කරනු ලබන්නේ ජනතාවගේ බදු මුදල් ය. මෑත කාලයේ මෙවැනි වියදම් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් චෝදනා ද එල්ල විය. රාජකීය දුම්රියට විශ්‍රාම දීමට යන්නේ මෙවැනි හේතු කාරණා නිසා ය.
1997 වසරේ ද මෙය විශ්‍රාම ගැන්වීමේ සූදානමක් පැවතිණි. නමුත් ඒ අවස්ථාවේ එම අදහස ක්‍රියාත්මක වූයේ නැත.
කෙසේ නමුත් මෑත කාලයේ රජ පවුල මෙම දුම්රිය පාවිච්චි කර තිබුණේ කලාතුරකිනි. එයින් ලැබෙන ප්‍රයෝජනයට සාපේක්ෂව එහි නඩත්තුව, ආරක්ෂාව, ගාල් කර තැබීම වැනි කටයුතු සඳහා ලොකු වියදමක් දරන්නට සිදුව තිබේ. මේ සඳහා වැය කරනු ලබන්නේ ජනතාවගේ බදු මුදල් ය. මෑත කාලයේ මෙවැනි වියදම් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් චෝදනා ද එල්ල විය. රාජකීය දුම්රියට විශ්‍රාම දීමට යන්නේ මෙවැනි හේතු කාරණා නිසා ය.
පසුගිය 2024-2025 මුදල් වර්ෂය තුළ චාල්ස් රජු එයින් ගමන් කර තිබුණේ දෙවතාවක් පමණි. ඒ ස්ටැෆඩ්ෂයර් නැමැති ප්‍රදේශයට සහ චෙෂයර් නැමැති ප්‍රදේශයට ය. මෙම ගමන් දෙක සඳහා වැය වූ මුදල් ප්‍රමාණයන් පිලිවෙලින් ස්ටර්ලිං පවුම් 44,800 ( ලංකා රුපියල් මිලියන 18) ක් සහ ස්ටර්ලිං පවුම් 33,000 (ලංකා රුපියල් මිලියන 13) ක් ලෙස වාර්තා වී තිබේ.
ඉහත කී මුදල් වර්ෂය තුළ රජ පවුලේ අය සිය ගමන් 140 ක් සඳහා හෙලිකොප්ටර භාවිත කර තිබිණි. මේ එක් ගමනක් වෙනුවෙන් සාමාන්‍ය වශයෙන් වැය වී තිබූ මුදල ස්ටර්ලිං පවුම් 3,300 කි. මේ අනුව පෙනෙන්නේ හෙලිකොප්ටර භාවිත කිරීම වඩාත් වියදම් අඩු විකල්පයක් බව යි. කෙසේ වෙතත් දුම්රියෙන් යා යුතුම අවස්ථාවල රජ පවුලේ අය ද ඉදිරියේ දී සාමාන්‍ය දුම්රිය සේවාව භාවිත කිරීමට තීරණය කර තිබේ.
නිහාල් පීරිස්