විදේශිකයන්ට විශ්‍රාම දිවියක් ගත කිරීමට ලොව හොඳම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරෙයි

2026 වසරේ මුල් භාගයේදී, ජාත්‍යන්තර සංචාරක මාධ්‍ය විසින් ශ්‍රී ලංකාව ලෝක සංචාරක සහ ජීවන රටා සිතියමේ සුවිශේෂී ස්ථානයක සටහන් කරනු ලැබීය. මෙය බොහෝ දේශීය විචාරකයින් පවා අපේක්ෂා නොකළ අයුරින් සිදු වූවකි. ප්‍රමුඛ පෙළේ සංචාරක වෙබ් අඩවියක් වන ඉන්ටර්නැෂනල් ලිවිං (International Living) හි පළ වූ ලිපියක් මගින්, 2026 වසරේදී පදිංචි වීමට හෝ විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව ඇති වඩාත්ම දැරිය හැකි (අඩු පිරිවැයක් සහිත) රට ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ. ශ්‍රී ලංකාව සංචාරක, ජීවන රටා සහ විශ්‍රාමික ගමනාන්තයක් ලෙස ගොඩනගාගෙන ඇති ප්‍රතිරූපයට මෙම පුවත ප්‍රබල බලපෑමක් ඇති කරයි. ශ්‍රී ලංකාව හැරුණු විට වියට්නාමය, තායිලන්තය, ඉන්දුනීසියාව සහ මැලේසියාව මේ ලැයිස්තුවේ සඳහන් වෙයි.

කෙසේ වෙතත්, මෙම ජයග්‍රහණය පිටුපස ඇති සැබෑ කතාව දේශපාලනික අර්ථකථනයන්ට වඩා ගැඹුරු වූවකි. එය ලෝකය හමුවේ ශ්‍රී ලංකාව කෙබඳු රටක්ද යන්න දිගු කලක සිට අර්ථකථනය කරන ලද පොදු සංස්කෘතික, පාරිසරික සහ ආර්ථික ප්‍රතිරූපය පිළිබඳ කතාවකි.

සංචාරක ලේඛකයින් සහ විශ්‍රාමිකයින් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය වන මූලිකතම සාධකයක් වන්නේ මෙරට පවතින දේශගුණයයි. නිවර්තන කලාපීය රටක් ලෙස වසර පුරා පවතින උණුසුම් කාලගුණය, වෙරළබඩ ප්‍රදේශවලින් හමන මෘදු මුහුදු සුළඟ සහ සිසිල් දේශගුණයක් සහිත මධ්‍යම කඳුකරය යන සියල්ල ඉතා කෙටි දුරක් ඇතුළත පිහිටා තිබීම විශේෂත්වයකි. මෙම දේශගුණික වාසි කිසිදු දේශපාලන තීන්දුවක ප්‍රතිඵලයක් නොව, රටේ ස්වාභාවික පිහිටීම අනුව උරුම වූවකි. මේ නිසා සංචාරකයින්ට මෙන්ම මෙරට රැඳී සිටින්නන්ට ද හිරු රශ්මියෙන් නැහැවුණු වෙරළ තීරයේ සිට මීදුමෙන් වැසුණු කඳුකරය දක්වා වූ විවිධ දේශගුණික අත්දැකීම් ඉතා කෙටි කාලයක දී විඳ ගැනීමට අවස්ථාව සැලසේ.

ශ්‍රී ලංකාව “දැරිය හැකි” රටක් පමණක් නොව “ආකර්ෂණීය” රටක් ලෙස සංචාරක ලේඛකයින් ප්‍රධාන වශයෙන් හඳුන්වන්නේ කාලාන්තරයක් තිස්සේ පවතින සොබාදහමේ මෙම දායාදයන් නිසාය. රන්වන් පැහැති කුඹුරු යායේ සිට තේ වතුවලින් පිරුණු කඳු වැටි දක්වා ශ්‍රී ලංකාවේ පාරිසරික පෙනුම ඉතාමත් මනහරය. මෙරට ජාතික වනෝද්‍යාන අලි ඇතුන්ගෙන්, දිවියන් ඇතුළු වන සතුන්ගෙන් සහ විවිධ පක්ෂීන්ගෙන් ගහනය. සුදු වැලි පිරුණු වෙරළ තීරයන් සර්ෆින් ක්‍රීඩකයින් සහ මුහුදට ලැදි පිරිස් ආකර්ෂණය කර ගනී. ජීවයෙන් පිරුණු වනාන්තර සහ සියවස් ගණනාවක අභිමානය කියා පාන ඓතිහාසික නටබුන් ශ්‍රී ලංකාවට ආවේණික අගයක් එක් කරයි.

ඉන්ටර්නැෂනල් ලිවිං වෙබ් අඩවිය පෙන්වා දෙන පරිදි, ශ්‍රී ලංකාවේ පවතින මෙම ස්වාභාවික සුන්දරත්වය, එය විශ්‍රාමිකයින්ට වඩාත් සුදුසු සහ පිරිපුන් අත්දැකීම් ලබා දෙන ස්ථානයක් වීමට ප්‍රධාන හේතුවකි. මෙම පාරිසරික ආකර්ෂණය එක් රැයකින් නිර්මාණය වූවක් නොවන අතර, එය සොබාදහමේ ආශීර්වාදයත්, ශ්‍රී ලාංකිකයින් පරම්පරා ගණනාවක් තිස්සේ පරිසරය සමඟ සුහදව ජීවත් වීමත් නිසා ඇති වූවකි.

ශ්‍රී ලංකාව ලෝකයේ වඩාත්ම දැරිය හැකි විශ්‍රාමික ගමනාන්ත ලැයිස්තුවේ පෙරමුණට ඒමට ප්‍රායෝගිකම හේතුව වන්නේ මෙරට පවතින ජීවන වියදමයි. විදේශිකයන්ගේ වාර්තාවලට අනුව, බටහිර රටවලට සාපේක්ෂව ඉතා අඩු මාසික පිරිවැයකින් වෙරළාසන්න නිවාස, ගුණාත්මක ආහාර, ප්‍රවාහනය සහ විවේකය ඇතුළු සියලු පහසුකම් සහිත සුඛෝපභෝගී ජීවිතයක් මෙහිදී ගත කළ හැකිය. උදාහරණයක් ලෙස, වෙනත් රටවලට වඩා ඉතා අඩු මුදලකට වෙරළාසන්න නිවහනක් ලබා ගත හැකි අතර, දේශීය නැවුම් ආහාර සහ සේවාවන් ද ඉතා සහනදායී මිලකට පවතී. ශ්‍රී ලංකාවේ පවතින මෙම සහනදායී මිල ගණන් දේශපාලන ක්‍රියාවලියක ප්‍රතිඵලයකට වඩා රටේ ආර්ථික ව්‍යුහයේම කොටසකි. දේශීය ශ්‍රමය, කෘෂිකාර්මික නිෂ්පාදන සහ ප්‍රජාව මූලික කරගත් සේවාවන් තවමත් සංවර්ධිත ලෝකයට වඩා අඩු පිරිවැයකින් ක්‍රියාත්මක වීම මෙයට හේතුවයි.

ශ්‍රී ලංකාවට පැමිණෙන ඕනෑම සංචාරකයෙකු පවසන පොදු දෙයක් තිබේ: එනම් මෙරට ජනතාවගේ සුහදශීලී බව සහ ඔවුන්ගේ චරිත ස්වභාවයයි. විදේශීය විචාරකයින් පවසන්නේ තමන් වඩාත් අගය කරන්නේ භෞතික සුන්දරත්වය හෝ අඩු මිල ගණන් පමණක් නොව, ශ්‍රී ලංකාව තමන්ගේම නිවසක් වැනි හැඟීමක් ඇති කරන මානුෂීය ගුණාංග බවයි. ආගන්තුක සත්කාරය, නිහතමානීකම, කරුණාව සහ ඕනෑම අභියෝගයක් හමුවේ නොසැලී සිටීමේ හැකියාව ශ්‍රී ලාංකීය සමාජයේ සුවිශේෂී ලක්ෂණ වේ. අවංක සිනහවක්, සුහද පිළිගැනීමක් හෝ උදව් කිරීමට ඇති කැමැත්ත හරහා මෙම ගුණාංග මැනවින් පිළිබිඹු වේ. මෙම සමාජ-සංස්කෘතික ලක්ෂණ දේශපාලන ජයග්‍රහණ නොව, සියවස් ගණනාවක සංස්කෘතික හුවමාරුව, ආගමික විවිධත්වය සහ හවුල් සමාජ ජීවිතය තුළින් පෝෂණය වූ වටිනාකම් වේ.

ඉන්ටර්නැෂනල් ලිවිං වෙබ් අඩවියේ දර්ශකවල ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටීම කිසිදු දේශපාලන චරිතයකට හෝ පක්ෂයකට පමණක් හිමි විය යුතු ගෞරවයක් නොවේ. එය පිරිවැය දත්ත, ජීවන රටා වාර්තා සහ මෙරට ජීවත් වන විදේශිකයන්ගේ සැබෑ අත්දැකීම් මත පදනම් වූ ජාත්‍යන්තර ඇගයීමකි. මෙම ගෝලීය පිළිගැනීම ශ්‍රී ලංකාවේ සාමූහික ජයග්‍රහණයක් ලෙස සැලකිය යුතුය. එය අපගේ දේශගුණය, විවිධත්වයෙන් යුත් භූ දර්ශනය, අව්‍යාජ ජීවන රටාව සහ ආර්ථික යථාර්ථයන් තුළින් උපයා ගත් දෙයකි.

මෙම ශ්‍රේණිගත කිරීම විශ්‍රාමිකයින් සඳහා වන පිරිවැය ගැන අවධානය යොමු කළද, එහි පණිවිඩය ඊට වඩා පුළුල් ය. අත්දැකීම්වල ගුණාත්මක භාවය අඩු නොකර, ඉතා ඉහළ වටිනාකමක් ලබා දෙන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ලෝක සිතියමේ සටහන් වේ. මෙය “ඩිජිටල් නෝමඩ්ස්” (Digital Nomads) හෙවත් ඩිජිටල් යුගයේ තැනින් තැන ඇවිද යන්නන්, දීර්ඝ කාලීන සංචාරකයින් සහ සුවතා සංචාරකයින් (Wellness Seekers) හට ශ්‍රී ලංකාව යනු ගවේෂණය කිරීමට සහ නැවතී සිටීමට සුදුසුම ස්ථානයක් බවට ඉඟි කරයි.

සංචාරක ව්‍යාපාරය රඳා පවතින්නේ අව්‍යාජ භාවය මතය. සංචාරකයින් සොයන්නේ සැබෑ කතාන්දර, අව්‍යාජ මිනිසුන් සහ කාලාන්තරයක් පවතින අත්දැකීම් සහිත ස්ථානයි. ජාත්‍යන්තර මාධ්‍ය හඳුනා ගත් ශ්‍රී ලංකාවේ මෙම ආකර්ෂණය දේශපාලන ප්‍රචාරණ හෝ මැතිවරණ සටන් පාඨවල ප්‍රතිඵලයක් නොවේ. හෝටල් හිමියන්ගේ සිට සංචාරක මග පෙන්වන්නන් දක්වාත්, කුඩා නගරවල ශිල්පීන්ගේ සිට සංස්කෘතික උරුමයන් සුරකින්නන් දක්වාත් සියලු දෙනා ශ්‍රී ලංකාව මෙම මට්ටමට ගෙන ඒමට දායක වී ඇත. සංචාරකයින් නැවත නැවතත් මෙරටට පැමිණෙන්නේ ඔවුන්ගේ කැපවීම සහ ආගන්තුක සත්කාරය නිසාය.

2026 වසරේ වඩාත් ම දැරිය හැකි විශ්‍රාමික ගමනාන්තය ලෙස ප්‍රධාන සංචාරක ප්‍රකාශනයක් මගින් ශ්‍රී ලංකාව නම් කිරීම ආඩම්බර විය යුතු කරුණකි. එහෙත් එය අපේ රට කැපී පෙනෙන සැබෑ හේතූන් මතක් කර දීමක් ද වෙයි: එනම් පරිසරය, ආර්ථිකය, දේශගුණය සහ සංස්කෘතික උණුසුමේ අපූර්ව සංකලනයයි.

මෙම ජයග්‍රහණය කිසිදු දේශපාලනඥයෙකුට හෝ කෙටි කාලීන රජයේ වැඩපිළිවෙළකට පමණක් සීමා නොවන අතර, එය සෑම ශ්‍රී ලාංකිකයෙකුටම හිමි ගෞරවයකි. එය ලෝක අවධානය දිනා ගත් සියවස් ගණනාවක ස්වාභාවික සුන්දරත්වය සහ සංස්කෘතික ගැඹුර පිළිබිඹු කරයි. ලෝකයාගේ ඇසින් බලන කල, ශ්‍රී ලංකාවේ ආකර්ෂණය කිසිදා දේශපාලනික වූවක් නොවේ. එය සෑම විටම මානුෂීය ගුණාංග මත පදනම් වූ, කාලයට නොමැකෙන අගයක් සහිත දෙයකි. ඒ බව ආර්ථික, සමාජයීය හා සංස්කෘතික වශයෙන් මෙරට සිදු වන සෑම සාධනීය සංසිද්ධියක් ම තම දේශපාලන ගිණුම්වලට බැර කර ගැනීමට දත කට මදිමින් සිටින වත්මන් දේශපාලනඥයන් ද තරයේම සිතට ගත යුත්තකි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර