වෙනිසියුලාවෙන් පසු ඇමරිකාව මේ රටවලටත් කඩා පනී ද?


ඇමරිකානු හමුදා වෙනිසියුලාව තුළ ප්‍රහාර මාලාවක් එල්ල කර එරට ජනාධිපතිවරයා වූ නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලොරේස් බලහත්කාරයෙන් අල්ලාගෙන ඇමරිකාවට රැගෙන යාම ලෝකයම තිගැස්මට පත් කළ කාරණාවක් වී තිබේ. යම් රටකට තවත් රටකට ඇතුලු වී, ජාත්‍යන්තර නීති කිසිවක් මායිම් නොකර මේ ආකාරයෙන් කටයුතු කළ හැකි ද? එසේ කළ විට ඊට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාවට පවා කළ හැකි දෙයක් නැති ද? මෙවැනි ප්‍රශ්න මේ වනවිට බොහෝ දෙනෙකු තුළ මතු වී ඇති බව රහසක් නොවේ.

විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධාන පවා මෙවැනි අවස්ථාවක අසරණ වීම බොහෝ පාර්ශ්ව තුළ නොසතුටක් ඇති කර තිබෙනු දැකිය හැකි වේ.

ඇමරිකාවේ ප්‍රතිවාදී රටවල් පමණක් නොව මිතුරු රටවල් පවා ඇමරිකාවේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කර තිබෙනු දැකිය හැකි විය. මෙම විවේචනවලට පදනම් වී තිබුණේ ඇමරිකාව ජාත්‍යන්තර නීති කිසිවක් මායිම් නොකර කටයුතු කිරීම යි.

කෙසේ හෝ වේවා, මෙම පසුබිම තුළ වෙනිසියුලාවේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කිරීම සඳහා නිව් යෝක් නුවර පැවැත්වුනු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම ගැන යම් අවධානයක් යොමු වී තිබිණි.

ග්‍රීන්ලන්තය

මෙහි දී ඇමරිකාවේ ප්‍රතිවාදී රටවල් පමණක් නොව මිතුරු රටවල් පවා ඇමරිකාවේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කර තිබෙනු දැකිය හැකි විය. මෙම විවේචනවලට පදනම් වී තිබුණේ ඇමරිකාව ජාත්‍යන්තර නීති කිසිවක් මායිම් නොකර කටයුතු කිරීම යි.

ජාත්‍යන්තර නීති නොසලකා රටවල් ආක්‍රමණය කිරීමේ සහ දඬුවම් ලබා දීමේ අයිතිය ඇති උත්තරීතර විනිශ්චයකාරයකු ලෙස කටයුතු කිරීමට ඇමරිකාවට ඉඩ දිය නොහැකි බව මෙහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රුසියානු නිත්‍ය නියෝජිත වැසිලි නෙබෙන්ස්යා සඳහන් කර තිබිණි.

ඇමරිකානු ප්‍රහාරයෙන් විනාශ වූ වෙනිසියුලාවේ ගොඩනැගිල්ලක්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙනිසියුලානු නිත්‍ය නියෝජිත සැමුවෙල් මොන්කාඩා ද මෙහි දී දැඩි විවේචනයක් කළේය. ඒ අතර ඔහු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පවසා තිබුණේ හුදෙක් හෙලා දැකීම්වලට සහ නිවේදනවලට සීමා නොවී මදුරෝ සහ බිරිඳ සිලියා ෆ්ලොරෙස් නිදහස් කරන මෙන් ඇමරිකාවට බල කරන ලෙස යි.

මේ අතර ඇමරිකානු නිත්‍ය නියෝජිත මයික් වෝල්ට්ස් වෙනිසියුලා ප්‍රහාරය සාධාරණීකරණය කර තිබුණේ මදුරෝ නීත්‍යානුකූල නොවන ජනාධිපතිවරයෙකු සහ නීතිය මග හැර සිටින කෙනෙකු ලෙස හඳුන්වමිනි.

මේ අතර ඉදිරියේ දී තවත් රටවලට ඇමරිකාවෙන් මෙවැනි ආක්‍රමණකාරී තර්ජන එල්ල විය හැකි ද යන කාරණය ද සැලකිල්ලට භාජනය වෙමින් තිබෙනු දැකිය හැකි වේ. මෑත කාලයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සමහර රටවල් සම්බන්ධයෙන් කර තිබූ ඇතැම් ප්‍රකාශ සහ ගෙන තිබූ ඇතැම් පියවර ද මෙවැනි සැකසංකා තීව්‍ර කිරීමට හේතු වී ඇත.

වෙනිසියුලාවේ සිදු වූ සිද්ධියත් සමග වඩාත් නොසන්සුන් වී සිටින පාර්ශ්ව දෙකක් වන්නේ ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය යි. මන්ද යත් ග්‍රීන්ලන්තය ඇමරිකාවට ඈඳා ගත යුතුය යන කතාවක් ට්‍රම්ප් කියමින් සිටින බැවිනි.
ග්‍රීන්ලන්තය මේ වනවිට පවතින්නේ ඩෙන්මාර්කයට අයත් අර්ධ ස්වයංපාලිත කලාපයක් ලෙසිනි.

මදුරෝ සහ ෆ්ලොරේස්

ගෝලීය උණුසුම ඉහළ යාම වැනි කාරණා නිසා ධ්‍රැව ආසන්න කලාපවල අයිස් දියවීම වේගවත් වී ඇති අතර මේ නිසා ආක්ටික් කලාපයේ අලුත් නැව් මාර්ග විවෘත වෙමින් ඇත. මෙම තත්වය තුළ රුසියාව, චීනය වැනි ඇමරිකාවේ ප්‍රතිවාදීන් ද මේ කලාපයේ වඩාත් සක්‍රිය වීමට පටන්ගෙන තිබේ. රුසියාව සෝවියට් යුගයේ මේ කලාපයේ වූ හමුදා කඳවුරු ආදිය ද නවීකරණය කර විවෘත කිරීමට පටන්ගෙන ඇත.

මේ තත්වය තුළ ට්‍රම්ප් පවසමින් සිටින්නේ ඇමරිකාවේ ආරක්ෂාව සඳහා ග්‍රීන්ලන්තය අවශ්‍යව ඇති බව යි. ග්‍රීන්ලන්තය අයිති කරගතහොත් මෙම ආක්ටික් කලාපය තුළ විශාල බලයක් පැතිරවීමට ඇමරිකාවට හැකිවනු ඇත.

ග්‍රීන්ලන්තය ඇමරිකාවේ කොටසක් බවට පත් කර ගැනීමට ට්‍රම්ප් තුළ දැඩි වුවමනාවක් පවතින අතර මීට අදාල කටයුතුවලදී පෙරමුණ ගෙන ක්‍රියා කිරීම සඳහා ඔහු පසුගිය දා ග්‍රීන්ලන්තය වෙනුවෙන් විශේෂ නියෝජිතයෙකු ද පත් කළේය.

මේ අතර ඉරානයට ද ට්‍රම්ප් පසුගිය දිනවල අනතුරු ඇඟවීම් කර තිබෙනු දැකගන්නට ලැබිණි.

වෙනිසියුලාවේ මෙන්ම ඉරානයේ ද කාලයක සිටම බලය හොබවන්නේ දැඩි ඇමරිකානු විරෝධී නායකයන් ය. ඒ නිසා ඇමරිකාව සහ ඉරානය අතර දශක ගණනාවක සිටම දැඩි ආතතියක් පවතී.

මේ වනවිට ඉරාන පාලකයන්ට එරෙහිව එරට ඇතැම් පාර්ශ්ව වීදි බසිමින් විරෝධතා දැක්වීමට පටන් ගෙන ඇති අතර මෙම පසුබිම තුළ ඇමරිකා- ඉරාන ආතතිය නැවතත් උණුසුම් වී තිබේ. ඒ ඇමරිකාව විරෝධතාකරුවන්ට සහය දැක්වීමත් සමග ය.

විරෝධතාවලට හේතු වී ඇත්තේ එරට ජනතාව මුහුණ දෙන ආර්ථික ප්‍රශ්න යි.

මෙම සටහන ලියන අවස්ථාව වනවිට විරෝධතාකරුවන් 35 දෙනෙකු මියගොස් තිබූ අතර 1,200 ක් පමණ අත් අඩංගුවට ගෙන තිබිණි. ඉරාන පාලකයන්ට අනතුරු ඇඟවීමක් කරමින් ට්‍රම්ප් පසුගිය දා අඟවා තිබුණේ දිගින් දිගටම විරෝධතාකරුවන් මිය ගියහොත් ඇමරිකානු මැදිහත් වීමක් සිදුවිය හැකි බවකි.

මෙයට ටික කලෙකට පෙර ද ඇමරිකාව ඊශ්‍රායලයට සහය දක්වමින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ප්‍රහාරයක් එල්ල කළේය.

ඉරානයේ රෙජීම වෙනසක් සිදුවනු දකින්නට ද ඇමරිකාව කැමැත්තෙන් සිටින බව රහසක් නොවේ.

ට්‍රම්ප්

මේ අතර කොලම්බියාව, මෙක්සිකෝව, කියුබාව වැනි රටවල් ද වෙනිසියුලාවට එල්ල වූ ප්‍රහාරයෙන් පසු තරමක් නොසන්සුන් වී සිටින ආකාරයක් දැකගන්නට ලැබේ.

වෙනිසියුලා ප්‍රහාරයෙන් ටික වේලාවකට පසු ට්‍රම්ප් කොලම්බියාවේ ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ ඉලක්ක කර තර්ජනාත්මක ප්‍රකාශයක් කර තිබෙනු දැකිය හැකි විය. ට්‍රම්ප් ඔහුට පවසා තිබුණේ ටිකක් පරෙස්සමින් සිටින ලෙස යි.
පෙට්‍රෝ ද මදුරෝ මෙන්ම වාමාංශික නායකයෙකි.

කොලම්බියාව ද ඇමරිකාවට මත් ද්‍රව්‍ය එවන මධ්‍යස්ථානයක් වී ඇති බවට ට්‍රම්ප් චෝදනා කරමින් සිටියි. මදුරෝ අල්ලාගැනීමට පෙර ට්‍රම්ප් වෙනිසියුලාවටත් එල්ල කළේ මීට සමාන චෝදනාවකි.

වෙනිසියුලාවේ සිදු වූ සිද්ධියෙන් පසු මේ රටවල නායකයන් ට්‍රම්ප් සහ ඇමරිකාව කියන දේට වඩාත් හොඳින් ඇහුම්කන් දීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

මෙක්සිකෝව හරහා ඇමරිකාවට මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී සංක්‍රමණිකයන් ඇතුල් වීම සම්බන්ධයෙන් ද ට්‍රම්ප් කාලයක සිටම එරට පාලකයන්ට අනතුරු අඟවමින් සිටින බව රහසක් නොවේ. මෙම තත්වයන් පාලනය කිරීම සඳහා මෙක්සිකෝ බලධාරීන් ප්‍රමාණවත් පියවර නොගන්නා බවට ඔහු නිතර චෝදනා කරයි.

කෙසේ හෝ වේවා, වෙනිසියුලාවේ සිදු වූ සිද්ධියෙන් පසු මේ රටවල නායකයන් ට්‍රම්ප් සහ ඇමරිකාව කියන දේට වඩාත් හොඳින් ඇහුම්කන් දීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

ඇමරිකාව සමග වඩාත් සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවක් වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපති ලෙස පත් වූ ඩෙල්සි රොඩ්‍රිගස් ද මේ වනවිට පවසා තිබේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර