වේගයෙන් උණුසුම් වන ඇමරිකානු – චීන නොහොඳ නෝක්කඩු

ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර බොහෝ කලන සිටම පවතින්නේ එක්තරා ආකාරයක විරසකයකි. සීතල යුද්ධයකි. ඉන්දියාව සහ පකිස්තානය අතර ගැටුමේ දී පවා ඇමරිකාවේ සහාය ඉන්දියාවට පළ කරද්දී චීනයේ සහාය ලැබුණේ පකිස්තානයටය. තාක්ෂණය, වෙළෙඳාම, ආරක්ෂාව, මතවාදී බව ලෝකයේ බලවතා වීමේ ඕනෑකම ආදි කාරණාවලින් ප්‍රමුඛයා වීම වැනි කාරණා සම්බන්ධයෙන් ඇමරිකාවේ සහ චීනයේ මේ විරසකය දශක ගණනාවක සිට වර්ධනය වෙමින් මේ වන විට ඉතා උච්චස්තානයකට පැමිණ තිබේ. මේ තත්ත්වය නිසා මේ දෙරට යුද්ධයක පැටලීමේ හැකියාවක් පෙනෙන්නට නැතත් මේ තත්ත්වය ගෝලීය දේශපාලනය නැවත අර්ථ දක්වන්නට සහ විශේෂයෙන් ඉන්දු – පැසිෆික් වැනි ලෝකයේ ඇතැම් කලාප තුළ යම්කිසි අස්ථාවර බවක් ඇති කරන්නට හේතු වී තිබේ. ශ්‍රී ලංකාව ද මේ කලාපය තුළ පිහිටා ඇති බැවින් මේ ගැටලු සම්බන්ධයෙන් අප ද යම් වැටහීමක සිටීම ප්‍රයෝජනවත්ය.

ඇමරිකාව සහ චීනය අතර පවතින එක් අර්බුදයක් වන්නේ තායිවානය සහ දකුණු චීන මුහුද සම්බන්ධ තත්ත්වය ය. නැගෙනහිර ආසියාව තුළ ඇමරිකාව සහ චීනය අතර අර්බුදකාරී තත්ත්වයක් ඇති වීම සඳහා ප්‍රධාන වශයෙන්ම බලපෑ කාරණයක් වූයේ තායිවානයයි. තායිවානය යනු චීනයේම කොටසක් බව බීජිං පාලනය දිගින් දිගටම ප්‍රකාශ කිරීම, තායිවාන දූපත අවට චීන හමුදා ක්‍රියාකාරකම්, තායිවාන ගුවන් සීමාව තුළට චීන ප්‍රහාරක යානා ඇතුළු වීම වැනි කාරණාවල දී තායිවානයට සහාය දැක්වීමට ඇමරිකා එක්සත් ජනපදය ඉදිරිපත් විය. තායිවානයට යුද ආධාර සැපයීම සහ තායිවාන සමුද්‍ර සන්ධිය ඔස්සේ සිය නාවික කටයුතු සිදු කිරීම සඳහා ඇමරිකා තීරණය කිරීම ඇමරිකාව සහ චීනය අතර හිත් පලුදු වීමක් ඇතිවීමට ප්‍රධාන හේතුවක් විය. එමෙන්ම දකුණු චීන මුහුදේ කෘත්‍රිම දූපත් ඉදි කරමින් ඒවා යුදමය කටයුතු සඳහා භාවිත කරන්නට චීනය ගත් පියවර නිසා ජාත්‍යන්තර සමුද්‍ර නීතිය අභියෝගයට ලක් වීමක් සහ අග්නිදිග ආසියානු රටවල් කිහිපයක ස්වාධීනත්වයට තර්ජනය එල්ලවීමක් සිදු විය. ‘නාවික කටයුතු කිරීමේ නිදහස’ (freedom of navigation operations – FONOPs) යන සම්මුතිය භාවිත කරමින් ඇමරිකාව චීන ව්‍යාප්තිවාදයට එරෙහිව අදහස් දක්වන්නට පටන් ගත්තේය. එමෙන්ම මේ අවට කලාපයේ චීන මෙන්ම ඇමරිකානු නාවික හමුදාවන් ද සැරිසැරීම නිසා කුමන හෝ අවස්ථාවක අත් වැරදීමකින් හෝ දෙපිරිස අතර ගැටුමක් ඇති වීමේ යම් අවදානමක් පවතී.

තාක්ෂණය සහ ආර්ථික බලවතා වීමේ තරගය ද මේ රටවල් දෙකම අතර කලක සිට පවතින්නකි. ඇමරිකා එක්සත් ජනපදයේ හමුදාමය සහ වාණිජමය ආධිපත්‍යය පරිහානියට පත් වේ යැයි බියෙන් ඇමරිකාව උසස් අර්ධ සන්නායක සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයන් චීනයෙන් ආනයනය කිරීමට එරෙහිව තහනමක් පැනවූයේය. මෙයින් චීනය කලබලයට පත්වූ බවක් නොපෙනුණු අතර සිදු වූයේ චීන නිෂ්පාදන කටයුතු දෙගුණයකින් වැඩි කරන්නට ඔවුන් පියවර ගැනීමය. මේ බලවතුන් දෙදෙනාම ජංගම දුරකතන සඳහා භාවිත වන 5G තාක්ෂණය, කෘත්‍රිම බුද්ධි ඇල්ගොරිදම, ඉතා විරල පෘථිවි මූලද්‍රව්‍ය සහ අභ්‍යවකාශ තාක්ෂණය සම්බන්ධයෙන් සිය පරීක්ෂණ වේගවත් කරමින් එකිනෙකාගේ සහයෝගයෙන් තොරව ස්වාධීනව මේවා සිදුකරගෙන යාම කෙරෙහි අවධානය යොමු කොට තිබේ. මේ තාක්ෂණික ගැටුමේ දී ඇති වන ගැටලුව වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට එක්කෝ ඇමරිකාවේ හෝ චීනයේ පැත්ත ගැනීමට සිදුවීමය. මෙහිදී ගෝලීය වෙළෙඳ පල තුළ පැහැදිලි බෙදීමක් සනිටුහන් වෙයි.

ඇමරිකාව Golden Dome නමින් නව මිසයිල් ආරක්ෂණ පද්ධතියක් ලෝකයට අනාවරණය කරනු ලැබ ඇති අතර එයින් අපේක්ෂා කරන්නේ චීනයේ බැලස්ටික් මිසයිල් ප්‍රහාරයක් සිදුවුවහොත් ඒවා වැළැක්වීම ය. චීනය සිතන්නේ මෙය තමාට කළ අවමානයක් ලෙසින්ය. මේ තත්ත්වය තුළ ඉන්දු පැසිෆික් කලාපයේ ඇමරිකානු සහ චීන යුද අභ්‍යාසයන් වර්ධනය වී ඇති අතර මේ දෙපිරිස නිතර ගැවසීම කුමන හෝ අවස්ථාවක ගැටුමක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් ඇති කොට තිබේ.

දෘෂ්ටාවාදී ලෙස සලකා බලන විට ඇමරිකාව සහ චීනය සිටින්නේ ස්ථාවර දෙකකය. ඇමරිකා එක්සත් ජනපදය නිදහස් ආර්ථික ප්‍රතිපත්තියක් සහ ජාත්‍යන්තර නීතියට අනුකුලව කටයුතු කිරීමක් ප්‍රවර්ධනය කරන අතරේ චීනය අනුගමනය කරන්නේ අධිපතිවාදී, ස්වාධීන සහ රාජ්‍ය මූලික ධනවාදී ප්‍රතිපත්තියකි. ෂිංජියෑං හි මුස්ලිම්වරුනගේ ගැටලුව, හොංකොං දේශය බිඳ වැට්ටවීම සහ සිය රටේ සිදුවීම් වාරණයකට ලක් කිරීමට චීනය ගන්නා පියවර නිසා දැඩි රාජ්‍ය තාන්ත්‍රික අර්බුද පවා ඇති වන්නට හේකු වී තිබේ. මේ කාරණා නිසා ඇමරිකාව විසින් චීනය මත පැනවූ සම්බාධක බීජිං පාලනය දකින්නේ ඊර්ෂ්‍යාකාරී සහ නව යටත් විජිත් බලපෑමක් ලෙසිනි.

මේ රටවල් දෙකම සිය හමුදා නවීකරණය කිරීම අඛණ්ඩව සිදුකරගෙන යයි. මෙහි ප්‍රතිඵලය වන්නේ ශබ්දයේ වේගය ඉක්මවා යන මිසයිල, නාවික බලය සහ සයිබර් සංග්‍රාම හැකියාව සහ අභ්‍යවකාශ මධ්‍යස්ථාන පද්ධති යන කාරණා සම්බන්ධයෙන් දෙරට අතර දැඩි තරගකාරී තත්ත්වයක් පැන නැගීමය. එමෙන්ම ඇමරිකාව Golden Dome නමින් නව මිසයිල් ආරක්ෂණ පද්ධතියක් ලෝකයට අනාවරණය කරනු ලැබ ඇති අතර එයින් අපේක්ෂා කරන්නේ චීනයේ බැලස්ටික් මිසයිල් ප්‍රහාරයක් සිදුවුවහොත් ඒවා වැළැක්වීම ය. චීනය සිතන්නේ මෙය තමාට කළ අවමානයක් ලෙසින්ය. මේ තත්ත්වය තුළ ඉන්දු පැසිෆික් කලාපයේ ඇමරිකානු සහ චීන යුද අභ්‍යාසයන් වර්ධනය වී ඇති අතර මේ දෙපිරිස නිතර ගැවසීම කුමන හෝ අවස්ථාවක ගැටුමක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් ඇති කොට තිබේ.

ආරම්භයේ දී සඳහන් කළා සේ ඉන්දියාව සහ පකිස්තානය අතර ඇති වීම තිබෙන යුදමය වාතාවරණය තුළ ද ඇමරිකාව සහ චීනය අතර සීතල යුද්ධයක් ඇති වී තිබේ. ඉන්දියාව සහ පකිස්තානය අතර කලාපීය සහ ඓතිහාසික කාරණා සම්බන්ධයෙන් ඇති වී තිබෙන මේ යුදමය තත්ත්වය බාහිර බලවතුන්ගේ බලපෑම නිසා අර්බුදකාරී සහ අවදානම් සහගත තත්ත්වයක් දක්වා ගමන් කළ හැකිය. මේ රටවල් දෙක අතර ගැටුම්කාරී තත්ත්වයේ දී පකිස්තානයේ ප්‍රධාන ආරක්ෂක සහ උපායශීලී හවුල්කරුවා බවට පත්ව සිටින්නේ චීනය වන අතර 2020 – 2024 සමයේ දී පකිස්තාන යුද අවිවලින් 80% කට වඩා ලබා දී ඇත්තේ චීනය විසිනි. ඒ අතරේ සිය ආරක්ෂක සහ බුද්ධිමය කටයුතු උදෙසා ඉන්දියාව සහාය ලබා ගන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙනි. ඉන්දු පැසිපික් කලාපයේ ඇමරිකාව වෙනුවෙන් පෙනී සිටින ප්‍රධාන බල කණුව ඉන්දියාව ලෙස ඇමරිකාව මේ වන විට හඳුනා ගෙන තිබේ. ලෝක බලවතුන් දෙදෙනෙකු අතර ඇති වී තිබෙන මේ විරසකය නිසා දකුණු ආසියාව තුළ සීතල යුදමය වාතාවරණයක් මෙන්ම න්‍යෂ්ටික අවි එසවීමේ අවදානමක් ද ඇති ව තිබේ.

චීනයේ දිගු කාලීන අපේක්ෂාව බවට පත්ව ඇත්තේ ආසියානු කලාපය තුළ පමණක් නොව ලෝකයේ ද බලවතා බවට පත්වීමය. චීනය මූලික කරගත් ලෝක ප්‍රවණතාවක් ඇති කිරීම චීනයේ අපේක්ෂාව වන අතර ඒ වෙනුවෙන් ගෝලීය වශයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය කෙරෙහි දායකත්වය සැපයීමට ඉදිරිපත් වී සිටින අතර 2025 වසරේ ඔවුන් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් (රු. කෝටි 1496ක් පමණ) පිරිනැමීමට පොරොන්දු වී තිබේ. චීනය ආසියාව තුළ අධිපතිවාදී උපක්‍රමයක් පතුරවමින් සිය අසල්වැසියන් මත හෙජමොනික පාලනයක් ඇති කරමින් ඇමරිකාවේ නිදහස් ආර්ථික ක්‍රමය කෙමෙන් තුරන් කිරීමෙ උත්සාහයක යෙදී සිටී.

මෙම ගැටුම තවදුරටත් දෘෂ්ටිවාදය හෝ වෙළඳාම ගැන පමණක් නොවේ. එය අනාගත බල තුලනය, බලපෑම සහ සදාචාරයන් පිළිබඳ කාරණයකි. ලෝකය මහා බල යුද්ධයකට නැවත පැමිණීමක් දකිනවා ද නැතහොත් ගැටලු සහගත නමුත් ස්ථාවර සහජීවනයක් කළමනාකරණය කරන්නේ ද යන්න උපාය මාර්ගික සංයමය, අන්‍යෝන්‍ය ගෞරවය සහ මේ රටවල් දෙක අතර පවතින නවෝත්පාදනය මත බෙහෙවින් රඳා පවතී. ඉදිරි වසරවල දී වොෂින්ටනය සහ බීජිං විසින් ගනු ලබන තේරීම් ඔවුන්ගේම ඉරණම හැඩ ගස්වා ගැනීම පමණක් නොව, අනාගත සාමය, සමෘද්ධිය සහ ලෝකයේ නිදහස ද තීරණය කරනු ඇත.

ඇමරිකා එක්සත් ජනපදයත් චීනයත් ආර්ථික වශයෙන් ස්වාධීන රටවල් වන නමුත් එකිනෙකාගේ අරමුණු කෙරෙහි පවතින්නේ සැක මුසු තත්ත්වයකි. ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර පවතින්නේ හුදෙක් ද්විපාර්ශ්වික තරගයක් නොවේ. එය 21 වැනි සියවස වෙනුවෙන් ලෝකය හැඩ ගස්වන ගෝලීය අරගලයකි. තාක්ෂණික සහ මතවාදී ලෙස පමණක් නොව දකුණු ආසියාව තුළ පවතින මිත්‍ර පාර්ශ්වික සබඳතා තුළින් මේ තරගය උත්සන්න තත්ත්වයකට පත් කරමින් පවතී. ඇමරිකාවේ ආධිපත්‍යය බිඳ දැමීම සඳහා චීනය බොහෝ කාලයක සිටම උපක්‍රමශීලීව කටයුතු කළේය. ඒ අතරේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව තමා අත්පත් කර ගත් ගෝලීය බලය සහ නිදහස් ආර්ථික රටාව තවදුරටත් ආරක්ෂා කර ගැනීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය අරගලය යෙදී සිටියි.

එහෙත්, මෙම ගැටුම තවදුරටත් දෘෂ්ටිවාදය හෝ වෙළඳාම ගැන පමණක් නොවේ. එය අනාගත බල තුලනය, බලපෑම සහ සදාචාරයන් පිළිබඳ කාරණයකි. ලෝකය මහා බල යුද්ධයකට නැවත පැමිණීමක් දකිනවා ද නැතහොත් ගැටලු සහගත නමුත් ස්ථාවර සහජීවනයක් කළමනාකරණය කරන්නේ ද යන්න උපාය මාර්ගික සංයමය, අන්‍යෝන්‍ය ගෞරවය සහ මේ රටවල් දෙක අතර පවතින නවෝත්පාදනය මත බෙහෙවින් රඳා පවතී. ඉදිරි වසරවල දී වොෂින්ටනය සහ බීජිං විසින් ගනු ලබන තේරීම් ඔවුන්ගේම ඉරණම හැඩ ගස්වා ගැනීම පමණක් නොව, අනාගත සාමය, සමෘද්ධිය සහ ලෝකයේ නිදහස ද තීරණය කරනු ඇත.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර