පාකිස්තානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අතිශයින් තීරණාත්මක වූ මූලික වටයේ අවසන් තරගයේදී දුෂ්මන්ත චමීරගේ පන්දුවේ දක්ෂතා මතින් ලකුණු 6ක තියුණු ජයක් හිමිකර ගනිමින් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (27) සමත් විය. ඒ සමගින් ජාත්‍යන්තර ක්‍රිකට් තරග 700ක් පරාජයට පත් වූ සිව්වැනි කණ්ඩායම බවට පත් වීමට පාකිස්තානයට සිදුවිණි.
ලකුණු 185ක ඉලක්කයක් හඹායාම සඳහා පිළිතුරු ඉනිම ආරම්භ කළ පාකිස්තාන පිතිකරුවන් ප්‍රථම පන්දුවාර කිහිපයට සාර්ථකව මුහුණ දුන්නද ඉන්පසුව සිව්වැනි පන්දුවාරයේ සිට පන්දුයැවීම ආරම්භ කළ දුෂ්මන්ත චමීර පාකිස්තාන මුල් පෙළ බිඳ දැමීමට සමත් වූයේය. එහිදී ඔහු ලකුණු 4කදී සහිබ්සාදා ෆර්හාන්, බාබර් අසාම් සහ ෆකාර සමාන් නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් විය.
අනතුරුව එශාන් මාලිංග වේගවත් පිතිහරඹයක නියැළුණු සයිම් අයුබ් දවාගත්තේය. පවර් ප්ලේ පන්දුවාර අවසන් වන විට පාකිස්තාන ලකුණු පුවරුව කඩුලු 4ක් දැවී ලකුණු 45ක් ලෙස දැක්විණි. එහෙත් එතැන් සිට ඉනිම ඇරැඹූ පාකිස්තාන නායක සල්මාන් අලි අගා නොදැවී ලකුණු 63ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය ආසන්නයටම රැගෙන ආවද ශ්‍රී ලංකා පන්දුයැවීම හමුවේ ඔහුගේ උත්සාහය ව්‍යර්ථ වූ අතර පාකිස්තාන ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 178කට සීමා විය.