
2024 වසරේ මැද භාගයේ බංග්ලාදේශයේ සිදු වූ ජනතා නැගිටීම දකුණු ආසියානු දේශපාලන ක්ෂේත්රයේ විශාල අවධානයක් දිනාගත් සිදුවීමක් විය. මෙම ජනතා නැගිටීම සිදු වූයේ ඒ වනවිට බලයේ සිටි අගමැතිනී ෂෙයික් හසීනාගේ පාලනයට එරෙහිව යි. රට පුරා පැන නැගුණු විරෝධතා ගිනියම් වෙද්දී අවසානයේ හසීනාට බලය අතහැර රටින් ද පලා යාමට සිදු විය. ඇයට මේ ආකාරයෙන් බලය අහිමි වූයේ 2009 වසරේ සිට අඛණ්ඩව වසර 15 ක් බලයේ රැඳී සිටීමෙන් අනතුරුව ය. මේ වනවිට හසීනා රැඳී සිටින්නේ ඉන්දියාවේ නවදිල්ලි නුවර යි.
මෙම සිදුවීම් දාමයෙන් පසු කා තුළත් කුතුහලයක් ඇති කළ කාරණයක් වූයේ බංග්ලාදේශයේ මීළඟ පාලකයන් කවුරුන් වනු ඇත් ද යන්න යි. දැන් මෙම ප්‍රශ්නයට පිලිතුරක් ලැබී තිබේ. ඒ පසුගිය 12 වැනි දින පැවැත්වුණු මහා මැතිවරණය හරහා ය. හසීනාගේ පාලනය බිඳ වැටීමෙන් පසු පවත්වන ලද පළමු මහා මැතිවරණය වූ මෙය පැවැත්වීම සඳහා කටයුතු කළේ පසුගිය කාලයේ රටේ පාලනය භාරව සිටි අන්තර්වාර ආණ්ඩුව යි. එහි ප්‍රධානියා වූයේ කීර්තිමත් ආර්ථික විද්‍යාඥයකු ද, නොබෙල් සම්මානලාභියෙකු ද වූ මුහම්මද් යූනුස් ය.
12 වැනි දින පැවති මහා මැතිවරණයට ප්‍රධාන පාර්ශ්ව දෙකක් තරග කළෝය. ඒ, බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය සහ ජමාත් -එ-ඉස්ලාමි පක්ෂය යි. මේ අතරින් බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කරගන්නට සමත් විය. මෙය බංග්ලාදේශයේ ප්‍රධානම දේශපාලන පක්ෂයක් වන අතර පසුගිය කාලයේ එහි නායකත්වය හෙබවූයේ හිටපු අගමැතිනියක ද වූ ඛලීඩා සියා ය.
12 වැනි දින පැවති මහා මැතිවරණයට ප්‍රධාන පාර්ශ්ව දෙකක් තරග කළෝය. ඒ, බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය සහ ජමාත් -එ-ඉස්ලාමි පක්ෂය යි. මේ අතරින් බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කරගන්නට සමත් විය. මෙය බංග්ලාදේශයේ ප්‍රධානම දේශපාලන පක්ෂයක් වන අතර පසුගිය කාලයේ එහි නායකත්වය හෙබවූයේ හිටපු අගමැතිනියක ද වූ ඛලීඩා සියා ය.

කාලයක සිටම මාරුවෙන් මාරුවට එරට ආණ්ඩු බලය හෙබවූයේ ෂෙයික් හසීනා නායකත්වය දැරූ අවාමි ලීගය නැමැති පක්ෂය සහ ඉහත කී බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය යි. මෙවර මැතිවරණයට අවාමි ලීගය තරග කළේ නැත. ඒ එම පක්ෂයේ දේශපාලන කටයුතු තහනම් කර ඇති බැවිනි.
මැතිවරණයෙන් ජයගත් බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ නායකත්වය මේ වනවිට දරන්නේ ඛලිඩා සියා නොව ඇගේ වැඩිමල් පුත්‍රයා වන තරික් රහ්මන් ය. පසුගිය දෙසැම්බරයේ ඛලිඩා සියා අභාවප්‍රාප්ත වූ අතර එයින් පසු රහ්මන් පක්ෂ නායකත්වයට පත් විය.
බංග්ලාදේශයේ නව අගමැතිවරයා ලෙස පත් වීමට සිටින්නේ ඔහු යි. මෙම සටහන ලියන අවස්ථාව වනවිට පළ වී තිබූ වාර්තාවල සඳහන් වූයේ ඔහු 17 වැනි දින අගමැති ධුරයේ දිව්රුම් දීමට නියමිත බව යි. ඇමැති මණ්ඩලය සහ මන්ත්‍රීවරුන් දිව්රුම් දීම ද එදිනම සිදුවනු ඇති බව සඳහන් විය.
බංග්ලාදේශ පාර්ලිමේන්තුව ආසන 350 කින් සමන්විත වේ. ඒ අතරින් ආසන 300 ක් සඳහා නියෝජිතයන් පත් කරගැනීම මැතිවරණයේ දී ජනතා ඡන්දයෙන් සිදු වේ. ඉතිරි ආසන 50 වෙන්කර තිබෙන්නේ කාන්තා නියෝජිතවරියන් වෙනුවෙනි. එම ආසන සඳහා මන්ත්‍රීවරියන් පත් කරගැනීම සමානුපාතික නියෝජන ක්‍රමයට සිදුවන අතර එක් එක් පක්ෂය දිනාගත් ආසන සංඛ්‍යාවට සමානුපාතිකව මෙම ආසන එම පක්ෂ අතර බෙදී යයි.
මැතිවරණයේ දී ආසන 300 ක් සඳහා ඡන්ද විමසීම් පැවැත්විය යුතු වුවත් මෙවර ඡන්ද විමසීම් පැවැත්වුණේ ආසන 299 ක් සඳහා පමණි. එක් ආසනයක් සඳහා ඉදිරිපත්ව සිටි අපේක්ෂකයකු මරණයට පත්වීම නිසා එම ආසනය සඳහා ඡන්ද විමසීම පැවැත්වුණේ නැත. එය ඉදිරි දිනයක පැවැත්වෙනු ඇතැයි සඳහන් වේ.

ඡන්ද විමසීම් පැවැත්වුණු ආසන 299 අතරින් මෙම සටහන ලියන අවස්ථාව වනවිට ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර තිබුණේ ආසන 297 ක පමණි. ආසන 2 ක ප්‍රතිඵල අධිකරණ නියෝගයක් හේතුවෙන් නිකුත් කර නොතිබිණි.
ප්‍රතිඵල නිකුත් කෙරුණු ආසන 297 න් 209 ක්ම දිනා ගැනිමට බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය සමත්ව සිටියි. ඔවුන්ට සහය දක්වන තවත් පක්ෂ කිහිපයක් ආසන 3 ක් දිනාගෙන තිබේ. මෙයින් අදහස් වන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සුපිරි බහුතරයක් දිනාගැනීමට එම පක්ෂය සමත්ව ඇති බව යි.
මැතිවරණයට තරග කළ අනෙක් ප්‍රධාන පක්ෂය වූ ජමාත්-එ-ඉස්ලාමි නැමැති පක්ෂයට දිනා ගන්නට හැකි වී තිබුණේ ආසන 68 ක් පමණි. ඔවුන්ට සහය දක්වන පක්ෂ තව ආසන 9 ක් දිනාගෙන ඇත.
හසීනාගේ පාලනයට එරෙහිව ජනතාව නැගී සිටියේ හේතු ගණනාවක් නිසා ය. මානව හිමිකම්වලට, ප්රජාතන්ත්රවාදයට එල්ල වූ තර්ජන ඒ අතරින් ප්‍රධාන විය. ජීවන වියදම ඉහළ යාම, විරැකියාව වැනි ප්‍රශ්නවලින් ද ජනතාව පීඩාවට පත්ව සිටියෝය.
මෙම ගැටලු විසඳීමට තරික් රහ්මාන් රජය පියවර ගනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වන බව අමුතුවෙන් කිව යුතු නොවේ.
කලාපීය බලවතා වන ඉන්දියාව සහ බංග්ලාදේශය අතර සබඳතා ද මේ වනවිට තරමක් දුරට බිඳ වැටී තිබේ. රටින් පලා ගිය ෂෙයික් හසීනාට ඉන්දියාව රැකවරණ ලබා දීම ද එයට ප්‍රධාන හේතුවකි.

මේ වනවිට හසීනා සිටින්නේ මරණ දඬුවම නියම වී ය. එම දඬුවම නියම වූයේ 2024 ඇති වූ විරෝධතා මර්ධනය කළ ආකාරය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා නිසා ය. මේ තත්වය තුළ ඉන්දියාව හසීනා නැවත බංග්ලාදේශය වෙත ලබා දිය යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වේ. ඉන්දියාවේ සමීප මිතුරියක වන හසීනා බංග්ලාදේශයට පිටුවහල් කිරීමට ඉන්දියාව කටයුතු කරාවි ද යන්න සැක සහිත ය.
කෙසේ හෝ වේවා, මේ රාජ්‍ය තාන්ත්‍රික ගැටලු නිසි ආකාරයෙන් කළමනාකරණය කිරීම ද නව රජය හමුවේ ඇති තවත් ප්‍රධාන අභියෝගයකි.
අගමැති ධුරයට පත් වන 60 හැවිරිදි තරික් රහ්මාන් පසුගිය කාලයේ ජීවත් වූයේ බංග්ලාදේශයේ නොවේ. ඔහු 2008 වසරේ සිට පසුගිය දෙසැම්බරය වන තෙක්ම වාසය කළේ එංගලන්තයේ ලන්ඩන් නුවර යි. වසර 17 කට පසු රහ්මන් නැවත බංග්ලාදේශයට පැමිණියේ පසුගිය දෙසැම්බර් මාසයේ ය.
කෙසේ නමුත් එංගලන්තයේ සිටි කාලයේ ද ඔහු පක්ෂයේ දේශපාලන කටයුතුවල නිරත වූයේය.
2008 වසරේ ඔහු එංගලන්තය බලා ගියේ 2007 වසරේ ඔහුට එරෙහිව යම් යම් චෝදනා එල්ල වී තිබූ පසුබිමක් තුළ යි. ඒ වනවිට බංග්ලාදේශයේ බලයේ සිටියේ හමුදාවේ සහය ලැබූ භාරකාර ආණ්ඩුවකි.
පසු කාලයේ රහ්මන් ඇතැම් චෝදනාවලට වැරදිකරු කරමින් අධිකරණ තීන්දු ද ලබා දුන්නේය. නමුත් රහ්මාන්ගේ පාර්ශ්වය පැවසුවේ මෙම චෝදනා දේශපාලන වශයෙන් පලිගැනීම සඳහා එල්ල කළ චෝදනා බව යි.කෙසේ හෝ වේවා, 2025 වසරේ මෙම බොහෝ චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කරන ලදී.
වංචා දූෂණ, මුදල් විශුද්ධිකරණය , අයථා ලෙස දේපළ උපයා ගැනීම ආදිය පිලිබඳ චෝදනා ද ඔහුට එරෙහිව එල්ල වූයේය.
2008 වසරේ ඔහු ඇප මත නිදහස් වූ අතර එම වසරේම පවුලත් සමග එංගලන්තය බලා ගියේය. ඊට හේතුව ලෙස සඳහන් වූයේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යන්න යි.
පසු කාලයේ රහ්මන් ඇතැම් චෝදනාවලට වැරදිකරු කරමින් අධිකරණ තීන්දු ද ලබා දුන්නේය. නමුත් රහ්මාන්ගේ පාර්ශ්වය පැවසුවේ මෙම චෝදනා දේශපාලන වශයෙන් පලිගැනීම සඳහා එල්ල කළ චෝදනා බව යි.
කෙසේ හෝ වේවා, 2025 වසරේ මෙම බොහෝ චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කරන ලදී.
නිහාල් පීරිස්