සංඝරාජ හිමියන්ගේ බලු කපුටු දානයේ ඇත්තම කතාව

වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමි සහ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා (සෝලියුස් මෙන්ඩිස් සිත්තරාණන් විසින් නිම වන ලද කැලණි විහාර සිත්තමක්)

වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමියන් (1698–1778) මහනුවර යුගයේදී පිරිහී තිබූ සම්බුදු සසුන සහ භාෂා ශාස්ත්‍රය නගාසිටුවීමට නායකත්වය දුන් අග්‍රගණ්‍ය යතිවරයාණන් වහන්සේය. සියම් දේශයෙන් උපසම්පදාව ගෙනවිත් ලක්දිව ශ්‍යාමෝපාලි මහා නිකාය පිහිටුවීමට මූලික වූ උන්වහන්සේ, ත්‍රිපිටකධාරී පණ්ඩිතවරයකු ලෙස ‘සාරාර්ථ සංග්‍රහය’ වැනි ග්‍රන්ථ රචනා කරමින් මහඟු සේවයක් ඉටු කළහ. 1698 ජූනි 18 වන දින උඩරට තුම්පනේ වැලිවිට ග්‍රාමයේදී කුලතුංග බණ්ඩාර යන නමින් උපත ලත් උන්වහන්සේ, 1753 දී උපාලි තෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සියම් දේශයෙන් උපසම්පදාව ගෙන්වා යළි පිහිටුවීම මෑත භාගයේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සිදු කළ අසමසම මෙහෙවරකි. එම මෙහෙවර ඉටු කරන ලදුව කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් උන්වහන්සේට සංඝරාජ පදවිය ද ප්‍රදානය කරන ලදී.

අසූ වසරක් ආයු වළඳා 1778 ඇසළ පොහෝ දින අපවත් වන තුරුම සංඝරාජ පදවිය හෙබවුව ද, භික්ෂුවකගේ නෛසර්ගික උරුමයක් වූ පිණ්ඩපාතික දිවි පෙවෙත හා අසරණුන් හට පිහිට වීම දිවි හිමියෙන් ආරක්ෂා කළ සංඝරාජ මාහිමියන් ශ්‍රී ලාංකික බෞද්ධ සමාජයට දායාද කළ තවත් සුවිශේෂී දානමය පින්කමක් පිළිබඳව වත්මන් සමාජය එතරම් තැකීමක් නොකරන බව පෙනේ. එහෙත් උන්වහන්සේගේ නිජබිම වන තුම්පනේට අයත් වන හතරලියැද්ද ආශ්‍රිත ගලගෙදර, රඹුක්කන ආදී ප්‍රදේශවල සිංහල අලුත් අවුරුදු, වෙසක් සහ පොසොන් පින්කම් හමාර කොට දෙන මෙම ‘බලු කපුටු දානය’ අදටත් ඉඳහිට හෝ දක්නට ලැබේ. එලෙස මා නිසැක ලෙසම පවසනුයේ අපගේ නිජබිම ද වැලිවිට ඉහළගම බැවිනි.

සංඝරාජ මාහිමියන්ගේ ශාසනික මෙහෙවර ඉතිහාස පොතේ රන් අකුරින් ලියැවී තිබුණ ද, පොදු ජන වහරේ රැඳී ඇති උන්වහන්සේගේ අපිරිමිත සත්ත්ව කරුණාව පිළිබඳ පුවත් අතිශය රසවත්ය. විශේෂයෙන්ම “සංඝරාජ හාමුදුරුවන්ගේ බලු-කපුටු දානය වගේ” යන ජනප්‍රිය පිරුළ පිටුපස ඇති සත්‍ය කතාව, උන්වහන්සේගේ චරිතාපදානයේ මානුෂීය පැතිකඩ මැනවින් නිරූපණය කරයි. එම උපහාස කතාවට අනුව පිණ්ඩපාතයෙන් යැපුණු සඟරජ හිමියන්, මඟතොටදී හමුවන අසරණ සුනඛයන්ගේ කුසගින්න දැක මහත් සේ කම්පා වූහ. ඒ අනුව සිය දායකයන්ගේ සහායෙන් දිනක් සිය ගණනක් සුනඛයන් උදෙසා දැවැන්ත දානමය පුණ්‍යකර්මයක් සංවිධානය කිරීමට උන්වහන්සේ කටයුතු කළහ.

සංඝරාජ මාහිමියන්ගේ ශාසනික මෙහෙවර ඉතිහාස පොතේ රන් අකුරින් ලියැවී තිබුණ ද, පොදු ජන වහරේ රැඳී ඇති උන්වහන්සේගේ අපිරිමිත සත්ත්ව කරුණාව පිළිබඳ පුවත් අතිශය රසවත්ය. විශේෂයෙන්ම “සංඝරාජ හාමුදුරුවන්ගේ බලු-කපුටු දානය වගේ” යන ජනප්‍රිය පිරුළ පිටුපස ඇති සත්‍ය කතාව, උන්වහන්සේගේ චරිතාපදානයේ මානුෂීය පැතිකඩ මැනවින් නිරූපණය කරයි. එම උපහාස කතාවට අනුව පිණ්ඩපාතයෙන් යැපුණු සඟරජ හිමියන්, මඟතොටදී හමුවන අසරණ සුනඛයන්ගේ කුසගින්න දැක මහත් සේ කම්පා වූහ. ඒ අනුව සිය දායකයන්ගේ සහායෙන් දිනක් සිය ගණනක් සුනඛයන් උදෙසා දැවැන්ත දානමය පුණ්‍යකර්මයක් සංවිධානය කිරීමට උන්වහන්සේ කටයුතු කළහ. එහෙත් දානය පිරිනමන මොහොතේ, එහි රැස්ව සිටි සුනඛයන් ආහාර අනුභව කරනු වෙනුවට එකිනෙකා සපා කමින් දරුණු “බලු පොරයක” නිරත වූහ. දායකයන් එය වැළැක්වීමට උත්සාහ කිරීමේදී දන් බඳුන් පෙරළී මහත් ගාලගෝට්ටියක් නිර්මාණය විය.

මෙම පුවත රජ වාසල දක්වා ද සැලවූ අතර, ඒ පිළිබඳ විමසූ කීර්ති ශ්‍රී රාජසිංහ රජු සිනාසෙමින් පවසා ඇත්තේ “සංඝරාජ වුණත් ඉතින් ගම තුම්පනේනේ” යනුවෙනි. මෙය තුම්පනේ ගැමියන් අඥානයන් බව හැඟවීමට ගෙතූ කතාවකට වඩා, ප්‍රායෝගිකත්වය නොවිමසා හුදු න්‍යායාත්මකව පමණක් කටයුතු කිරීමේ ආදීනව පෙන්වීමට පසුකාලීනව ගොඩනැඟුණු උපමා කතාවක් ලෙස සැලකීම වඩාත් සාධාරණ ය. නමුදු සඟරජ හිමියන්ගේ එම දානමය ක්‍රියාවලිය ඊට වඩා බෙහෙවින් සංවිධිත වූවකි. එය එදා මෙදා තුර එම ප්‍රදේශබදව අවිච්ඡින්න ලෙස පවතිනුයේ ඒ නිසාය. කෙසේ වෙතත් වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමියන් හා සබැඳි මෙම ඓතිහාසික සංසිද්ධිය අද වන විටත් තුම්පනේ සහ ඒ අවට ප්‍රදේශවල සජීවීව පවතින්නේ උන්වහන්සේට දක්වන පූජෝපහාරයක් ද ලෙසිනි. රඹුක්කන අලවත්තේ වෙසෙන එන්.එම්. සිරිමල් මහතා වසර හැටක් පුරා මෙම චාරිත්‍රය අඛණ්ඩව පවත්වාගෙන යෑම අගය කළ යුත්තකි. මා සිතන අන්දමට මෙය මෙම දාන ක්‍රියාවලිය හා සම්බන්ධ වාර්තාවකි.

මෙම දාන ක්‍රියාව සම්බන්ධ අපේ ළමා අවදියේදී ද මෙය සැබෑ සැණකෙළියක් බඳු විය. නිවෙස්වලින් සහල්, කරවල හා තුනපහ එකතු කරගෙන, රහසින් මෙන් එක් ස්ථානයක බතක් පිස, එය අත් කරත්තයක තබාගෙන ගම පුරා බෙදා දුන් අයුරු අදටත් සුන්දර මතකයකි. නපුරු සුනඛයන් සිටින නිවෙස්වල දරුවන් හා කාන්තාවන් පෙරමුණට පැමිණ තම සුරතලුන් වෙනුවෙන් දන් පංගුව ඉල්ලා සිටින විට, අප තුළ ඇති වූයේ අපූරු සමාජීය අභිමානයකි. මෙම “බලු කපුටු දානය” වටා අපූරු උප සංස්කෘතියක් ද නිර්මාණය වී තිබේ. ගැමියන් සුනඛයන් හැඳින්වීමේදී “බල්ලා” යන වදන වෙනුවට “බලුන්නැහේ” හෝ “බලුන්දැ” වැනි ගෞරවනීය වදන් භාවිත කිරීම විශේෂත්වයකි. මෙම දානය බෙදීම සඳහා කිසිවිටෙකත් පවිත්‍රත්වයේ සංකේතය වූ කෙසෙල් කොළය භාවිත නොකෙරේ. ඒ වෙනුවට කැන්ද, හබරල, තේක්ක හෝ හල්මිල්ල වැනි කොළ යොදා ගනු ලැබේ.

දානය පිළියෙල කිරීමේදී ද විශේෂත්වයක් ඇත; සුනඛයන් සඳහා කරවල හා වට්ටක්කා මුසු කළ බතක් ද, කපුටන් සඳහා එළඟිතෙල් මුසු කළ බතක් ද සූදානම් කෙරේ. කපුටන් සඳහා වන දානය උස් තැනක තබන්නේ බිම තැබුවහොත් සුනඛයන් එය ද අනුභව කරන බැවිනි. එසේම, කපුටන්ගේ “නිබඳ කුසගින්න” නිවීමේ අරමුණින් එළඟිතෙල් පෙඟවූ රෙදි පාන්කඩ දානයට එක් කිරීම වැනි මිථ්‍යා විශ්වාසයන් ද අතීතයේ පැවතිය ද, සත්ත්ව සෞඛ්‍යය පිළිබඳ සලකා බලන විට එය නොකළ යුත්තකි. එමෙන්ම විශේෂයෙන් මෑත භාගයේ අලුත් අවුරුදු, වෙසක් සහ පොසොන් උත්සව වෙනුවෙන් ප්‍රදේශවාසීන්ගෙන් සම්මාදම් කළ මුදල්වල ඉතිරි කොටසින් මෙවන් දානයක් දීමේ සිරිත 1970 දශකය තුළ ද පැවතිණි. ඒ එම සම්මාදම් මුදල් පෞද්ගලික පරිහරණයට ගැනීමෙන් මතු සුනඛාදී තිරිසන් ආත්මවල උපදින බවට තිබූ පොදු ජන විශ්වාසය නිසාය. නමුත් මේ වන විට එවන් පාරම්පරික ජන විශ්වාස මත පදනම් වූ සමාජ හර පද්ධතීන් ආගිය අතක් පවා සොයා ගැනීමට නොහැකිව තිබේ.

නාගරික ප්‍රදේශවල වෙසෙන ඉහළ මධ්‍යම පාන්තික කාන්තාවන් පවා ඉතා සෞඛ්‍යාරක්ෂිතව, අත්වැසුම් පවා භාවිත කරමින් මඟතොට වෙසෙන අසරණ සතුන්ට ආහාර ලබා දෙන අයුරු දැකීමෙන් හැඟෙන්නේ, තුම්පනේ සඟරජ හිමියන් එදා දල්වන ලද ඒ සත්ත්ව කරුණාවේ පහන් සිළුව අදටත් අපේ ජන හදවත් තුළ නොනිවී දැල්වෙන බවයි.

සත්ත්ව දානය පිළිබඳ බෞද්ධ සාහිත්‍යයේ මෙන්ම පුරාවිද්‍යාත්මක සාධකවල ද තොරතුරු හමුවේ. සඟ සතු දේපොළ පරිහරණය කරන්නන් මතු ආත්මයක බල්ලන් හා කපුටන් වී උපදින බවට ඇති විශ්වාසය නිසා, පොළොන්නරුව වටදාගේ සහ තවත් ශිලා ලේඛන රැසක බල්ලන්ගේ හා කපුටන්ගේ රූප කොටා තිබේ. එමෙන්ම, සෙනසුරු අපල මඟහරවා ගැනීම හා තම දේපොළ ආදියට බහිරව ආරක්ෂාව ලබා ගැනීම සඳහා ද බොහෝ දෙනෙක් මෙම දානය පිළියෙල කරති. අද වන විට මෙම චාරිත්‍රය සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් නවීන සමාජය දක්වා ද පැතිරී ඇත. නාගරික ප්‍රදේශවල වෙසෙන ඉහළ මධ්‍යම පාන්තික කාන්තාවන් පවා ඉතා සෞඛ්‍යාරක්ෂිතව, අත්වැසුම් පවා භාවිත කරමින් මඟතොට වෙසෙන අසරණ සතුන්ට ආහාර ලබා දෙන අයුරු දැකීමෙන් හැඟෙන්නේ, තුම්පනේ සඟරජ හිමියන් එදා දල්වන ලද ඒ සත්ත්ව කරුණාවේ පහන් සිළුව අදටත් අපේ ජන හදවත් තුළ නොනිවී දැල්වෙන බවයි.

මුතුබණ්ඩා දසනායක

සතුන්ටත් හිමි අපේ ලෝකය