
2025 ඔක්තෝබර් අගභාගයේදී ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ෆෝට් වර්ත් (Fort Worth) නුවරින් සුවිශේෂී පා ගමනක් ආරම්භ විය. “සාම චාරිකාව” (Walk for Peace) ලෙස නම් කර ඇති මෙම ගමන ඇමරිකාව තුළ මෙන්ම ඉන් ඔබ්බට ද මහජන අවධානය දැඩි ලෙස දිනාගනු ඇතැයි ආරම්භයේදී කිසිවෙක් නොසිතන්නට ඇත. ආගම, සංස්කෘතිය සහ දේශසීමා ඉක්මවා ගිය සබඳතාවක් සහිත චරිත දෙකක් මෙම ගමනේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබේ. ඒ, පා ගමන මෙහෙයවන, “ප්‍රඥාව උපදවන්නා” යන අරුත ගෙන දෙන නමකින් යුතු පූජ්‍ය පඤ්ඤාකර හිමියන් (ඉංග්‍රීසි බසින් මෙය ලියනු ලබන්නේ Paññākara ලෙසින් බව සලකන්න) සහ මෙම ගමනේ වඩාත්ම කතාබහට ලක්වන සාමාජිකයා බවට පත්ව සිටින “ආලෝකා” නම් සුනඛයායි.
පඤ්ඤාකර හිමියන්ගේ ගිහි සහ පැවිදි ජීවිතය යන දෙඅංශයම සම්බන්ධ කරන ආකාරය ලොව පුරා බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්ව ඇත. පඤ්ඤාකර හිමියන් මුල සිටම භික්ෂුවක නොවීය. උන්වහන්සේ සිය තරුණ කාලයේ සාමාන්‍ය රැකියාවල නිරත වෙමින් අධ්‍යාපනය ලබා, පසුව බෞද්ධ භික්ෂු ජීවිතය වැළඳ ගත්හ. බෞද්ධ භික්ෂු ජීවිතය යනු අත්හැරීම, භාවනාව සහ බහුජන හිත සුව පිණිස කැප වූවකි. 2022 වසරේදී උන්වහන්සේ ඉන්දියාව හරහා දින 100කට අධික කාලයක් පාවහන් රහිතව සාම පා ගමනක නිරත වූහ. එම අත්දැකීම තුළින් පා ගමන යනු භාවනාමය පුහුණුවක් බව උන්වහන්සේ තදින්ම විශ්වාස කළහ. “ආලෝකා” ලෙස නම් ලැබූ ඉන්දියානු දේශීය සුනඛයා උන්වහන්සේට හමු වූයේ එම ගමනේදීය. “ආලෝකා” යනු අප රටේ ද බහුලව දක්නට ලැබෙන, පොදු ජන ව්‍යවහාරයට අනුව කිවහොත් “ගම් බල්ලෙකි”. එම සුනඛයාගේ නිහඬ දරා ගැනීමේ හැකියාව නිසාම ඔහුව ද මෙම ගමනට සම්බන්ධ කර ගැනීමට උන්වහන්සේ තීරණය කළහ.

බෞද්ධ හිමිවරුන් සමඟ ආලෝකා ගමන් කරන වීඩියෝ සහ ඡායාරූපවලට සමාජ මාධ්‍ය ජාලවලින් ලැබෙන්නේ ඉතා ඉහළ ප්රතිචාරයකි. පුවත්පත් වාර්තා මගින් ඔහු හඳුන්වා දී ඇත්තේ මිනිසුන්ගේ අසීමිත ආදරය දිනා ගැනීමට සමත් වූ විශේෂ සත්වයෙකු ලෙසයි. 2026 මුල් භාගයේදී, පා ගමන අතරතුර ඇති වූ කකුලේ ආබාධයක් සඳහා ආලෝකාට ශල්‍යකර්මයක් කිරීමට සිදු විය. ඔහු සුවය ලබන කාලය තුළ මාධ්‍ය මගින් ලැබුණු අවධානය වෙනත් කිසිදු සත්වයෙකුට නොලැබෙන තරම් එකක් විය. බකිංහැම් මාලිගයේ හෝ ධවල මන්දිරයේ සිටින රාජ්‍ය මට්ටමේ සුනඛයන්ට පවා නොලැබෙන අන්දමේ ඉහළම සැලකිල්ලක් සහ අවධානයක් ආලෝකාගේ සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන් ලැබෙන බව බොහෝ දෙනා පැවසූහ. මෙය සංකේතාත්මක සැසඳීමක් වුවද, ආලෝකාගේ කතාව ලොව පුරා මිනිසුන්ගේ හදවත්වලට කොතරම් සමීප වී ඇත්දැයි එයින් පැහැදිලි වේ.
බෞද්ධ හිමිවරුන් සමඟ ආලෝකා ගමන් කරන වීඩියෝ සහ ඡායාරූපවලට සමාජ මාධ්‍ය ජාලවලින් ලැබෙන්නේ ඉතා ඉහළ ප්රතිචාරයකි. පුවත්පත් වාර්තා මගින් ඔහු හඳුන්වා දී ඇත්තේ මිනිසුන්ගේ අසීමිත ආදරය දිනා ගැනීමට සමත් වූ විශේෂ සත්වයෙකු ලෙසයි. 2026 මුල් භාගයේදී, පා ගමන අතරතුර ඇති වූ කකුලේ ආබාධයක් සඳහා ආලෝකාට ශල්‍යකර්මයක් කිරීමට සිදු විය. ඔහු සුවය ලබන කාලය තුළ මාධ්‍ය මගින් ලැබුණු අවධානය වෙනත් කිසිදු සත්වයෙකුට නොලැබෙන තරම් එකක් විය. බකිංහැම් මාලිගයේ හෝ ධවල මන්දිරයේ සිටින රාජ්‍ය මට්ටමේ සුනඛයන්ට පවා නොලැබෙන අන්දමේ ඉහළම සැලකිල්ලක් සහ අවධානයක් ආලෝකාගේ සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන් ලැබෙන බව බොහෝ දෙනා පැවසූහ. මෙය සංකේතාත්මක සැසඳීමක් වුවද, ආලෝකාගේ කතාව ලොව පුරා මිනිසුන්ගේ හදවත්වලට කොතරම් සමීප වී ඇත්දැයි එයින් පැහැදිලි වේ.

පූජ්‍ය පඤ්ඤාකර හිමියන්ගේ සිවුරේ දක්නට ලැබෙන තවත් සුවිශේෂී දසුනක් වන්නේ එහි රඳවා ඇති කුඩා පදක්කම් සහ ලාංඡන කිහිපයකි. මේවා සාම්ප්‍රදායික බෞද්ධ භික්ෂුවකට අයත් දෑ හෝ ආගමික සැරසිලි නොවේ. මෙම සමරු පදක්කම් සහ ලාංඡන උන්වහන්සේට පිරිනමා ඇත්තේ මෙම “සාම පා ගමන” අතරතුරදී හමුවූ පොලිස් දෙපාර්තමේන්තු, ෂෙරිෆ් කාර්යාල, ගිනි නිවන සහ හදිසි සේවා අංශ මෙන්ම විවිධ නගරවල ප්‍රාදේශීය බලධාරීන් විසිනි.
භික්ෂූන් වහන්සේලා ලොවට ලබා දෙන සාමය, අවිහිංසාව සහ සමාජ සහජීවනය පිළිබඳ පණිවිඩය අගය කරමින්, එම ආයතන විසින් ප්‍රසිද්ධියේ මෙම උපහාර පිරිනමා ඇත. මෙම සමරු තිළිණ පෞද්ගලිකව සන්තකයේ තබා ගන්නවා වෙනුවට, පඤ්ඤාකර හිමියන් තීරණය කළේ ඒවා සිය සිවුරේ පැළඳගෙන චාරිකාවේ නිරත වීමටයි. ඒ හරහා විවිධ සංස්කෘතික සහ රාජ්‍ය ආයතනික පසුබිම්වලින් පැමිණි ජනතාව දක්වන සුහදතාව සහ මග දෙපසදී ඇති කරගත් මානුෂීය සබඳතා ලොවට විදහා දැක්වෙයි.

මෙම සාම පා ගමන සැලසුම් කර ඇත්තේ විරෝධතාවක් හෝ දේශපාලන ව්‍යාපාරයක් ලෙස නොව, කරුණාව, සතිමත්බව සහ එකමුතුකම ප්‍රායෝගිකව පෙන්වන ක්‍රියාවක් ලෙසිනි. ටෙක්සාස් සිට වොෂින්ටන් ඩී.සී. දක්වා සැතපුම් 2,300ක් පමණ දුරක් ගමන් කරන මෙම භික්ෂූන් වහන්සේලා, කුඩා නගර සහ විශාල නගර මැදින් ගමන් කරමින් සරල නමුත් ගැඹුරු පණිවිඩයක් ලොවට ලබා දෙති. එනම්, සාමය පුද්ගලයා තුළින් ආරම්භ වී සමාජය කරා පැතිරෙන බවයි. සෑම නැවතුමකදීම, සාම්ප්‍රදායික සිවුරු හැඳි භික්ෂූන් වහන්සේලා පිරිස පිරිත් සජ්ඣායනා කරමින් හෝ නිශ්ශබ්දව භාවනානුයෝගීව ඉතා සන්සුන්ව ගමන් කරනු දැකීමට ප්‍රදේශවාසීහු රැස් වෙති. මෙම දසුන මතවාද සහ ගැටුම් වෙනුවට මිනිසුන් තුළ තැන්පත් සිතුවිලි ඇති කිරීමට සමත් වෙයි.

පඤ්ඤාකර හිමියන් සමඟ මෙම ගමනට විවිධ රටවලින් පැමිණි ථේරවාදී භික්ෂූන් වහන්සේලා 18-19 දෙනෙකු පමණ සම්බන්ධ වී සිටිති. මෙම පිරිසට විවිධ බෞද්ධ ආයතන සහ විවිධ රටවලට සම්බන්ධ භික්ෂූන් වහන්සේලා ඇතුළත් වන අතර, පා ගමන ඒ ඒ ප්‍රදේශ හරහා ගමන් කරන විට ප්‍රාදේශීය භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙකුද තාවකාලිකව ගමනට එක්වී සිටිති. ඇතැම් භික්ෂූන් වහන්සේලා අවම නින්දක් සහ සරල ජීවිතයක් ගත කරමින් කැපවීම් කරති. තවත් පිරිසක් “විපස්සනා භාවනාව” පුහුණු කරමින්, තමන් තබන සෑම පියවරක් කෙරෙහිම අවධානය යොමු කරමින් ඉතා සන්සුන්ව ගමන් කරති. කූඩාරම් යට හෝ එළිමහනේ නිදාගනිමින්, සරල ආහාර අනුභව කරමින් ඕනෑම දේශගුණික තත්ත්වයක් යටතේ සිදුකරන මෙම ගමන ශාරීරික මෙන්ම ආධ්‍යාත්මික විනයෙහි උච්චතම අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකිය.
මෙහිදී පෞද්ගලික තොරතුරු මාධ්‍යයට වාර්තා වූ ස්වල්ප දෙනා අතර පූජ්‍ය ප්‍රා අජාන් මහා දම් පොම්මාසන් (Phra Ajarn Maha Dam Phommasan) හිමියන් ප්‍රධාන වේ. 2025 නොවැම්බර් මාසයේදී ටෙක්සාස්හි ඩේටන් (Dayton) නගරය අසලදී භික්ෂූන් වහන්සේලා සමඟ ගිය ආරක්ෂක රථය අනතුරකට ලක්වීමෙන් උන්වහන්සේ දැඩි ලෙස තුවාල ලැබූහ. එම තුවාල ඉතා බරපතළ වූ අතර අවසානයේ උන්වහන්සේට එක් පාදයක් අහිමි විය. සිය ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළ මෙම සිදුවීමෙන් පසුව පවා, උන්වහන්සේ ආධ්‍යාත්මිකව මෙම කණ්ඩායම සමඟ රැඳී සිටි අතර තවමත් මෙම වන්දනා ගමනේ සාමාජිකයෙකු ලෙස සලකනු ලබයි.
ගමන් මග පුරා සිටින ජනතාව මෙම භික්ෂූන් වහන්සේලා ඉතා උණුසුම් ලෙස පිළිගන්නා අතර, උන්වහන්සේලාගේ ඉවසිලිවන්ත ගමන මගින් මනුෂ්‍යත්වය සහ ඉවසීම පිළිබඳ සිහිපත් කිරීමක් සිදුවන බව ඔවුහු විශ්වාස කරති. නගරවලදී විවිධ ආගම්වල සහ විවිධ පසුබිම්වල ජනතාව ඔවුන්ව මුණගැසෙති. කෙටි දුරක් ඔවුන් සමඟ ගමන් කරති. ආහාර පාන පූජා කරති. නැතහොත් නිහඬව සිට ගෞරවය දක්වති. ඇතැම් ස්ථානවලදී අනෙකුත් ආගමික නායකයන්ද මෙම භික්ෂූන් වහන්සේලා මුණගැසී ආශිර්වාද කළ අතර, එයින් මෙම සාම පණිවිඩයේ ඇති පොදු බව තහවුරු වෙයි.
මෙම ගමන සිදුවන්නේ පුළුල් දේශපාලන පසුබිමක් තුළය. 2026 මුල් භාගය වන විට ඇමරිකා එක්සත් ජනපදය පාලනය වන්නේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේය. ඔහුගේ පාලන විලාසය, ආර්ථික සහ ආරක්ෂක ප්‍රතිපත්ති මෙන්ම ඔහුගේ දැඩි ආධාරකරුවන් පිරිස රටේ ප්‍රධාන මාතෘකාවක්ව පවතී. ට්‍රම්ප්ගේ පාලනයට පක්ෂව මෙන්ම විපක්ෂව ද විවිධ මත සමාජයේ ඇත. ඔහුගේ නායකත්වය ඇතැමුන් අත්‍යවශ්‍ය දෙයක් ලෙස දකින අතර, තවත් පිරිසක් එය රටේ බෙදීම්වලට හේතුවක් ලෙස දකිති. සාමයට එරෙහි ප්රතිපත්තියක සිටින ට්‍රම්ප් සහ මේ සාම පා ගමන එකිනෙක මතභේදාත්මක ගැටුමක් කරා වුව යම් අවස්ථාවක එළැඹිය හැකිය. එසේ වුවහොත් ජාත්‍යන්තරය එය දකින්නේ මේ සාම පා ගමනේ සංකේතය වන ආලෝකා සහ ට්‍රම්ප් අතර වන ගැටුමක් ලෙසිනි. එවන් ගැටුමක් වුවහොත් එය ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන දිශානතිය වෙනස් කිරීමට වුව ඉවහල් විය හැකිය.
සාමය උදෙසා ආලෝකා කෙතරම් සංකේතමත් වී ඇතිද කිවහොත්, සාමය සදහා වූ නොබෙල් ත්‍යාගය පිරිනැමිය යුත්තේ ට්‍රම්ප් ජනපතිවරයාට ද ආලෝකාට ද යනුවෙන් කතිකාවතක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනු ද දැකිය හැකිය.
මෙම “සාම පා ගමන” වැනි ව්‍යාපාර ට්‍රම්ප්ගේ දේශපාලනය සමඟ ඍජු සම්බන්ධයක් නැත. භික්ෂූන් වහන්සේලා දේශපාලන පක්ෂග්‍රාහීත්වයෙන් වැළකී සිටිති. නමුත් ලෝකය දැඩි දේශපාලන වාද විවාදවලින් පිරී පවතින මොහොතක, මෙම භික්ෂූන්ගේ නිහඬ සහ සාමකාමී පණිවිඩය මිනිසුන්ගේ සිත් ගත්තේය. දේශපාලනයට වඩා ඔබ්බට ගිය එකමුතුකමක් සහ සාමයක් ඇමරිකානුවන් සොයමින් සිටින බව මෙයින් පැහැදිලි වේ. ට්‍රම්ප්ගේ නායකත්වය දේශපාලනයට බලපෑම් කළත්, “සාම පා ගමන” සහ “ආලෝකා” කෙරෙහි ඇති ආදරය වැනි සංස්කෘතික සිදුවීම් තුළින් පෙනී යන්නේ පොදු මානුෂීය වටිනාකම්වලට ඇති බලයයි.
ඉදිරියටත් ඇමරිකානු සිවිල් ජීවිතය තුළ ට්‍රම්ප්ගේ බලපෑම පවතිනු ඇත. ඔහුගේ ප්‍රතිපත්ති සහ තීරණ මිලියන සංඛ්‍යාත ජනතාවකට වැදගත් වනු ඇත. එමෙන්ම, සාම පා ගමන පෙන්වා දෙන්නේ නිදහස් සමාජයක බලපෑම පවතින්නේ රජය සතුව පමණක් නොවන බවයි. කරුණාව, සතිමත්බව සහ මනුෂ්‍යත්වය මත පදනම් වූ ව්‍යාපාරවලට මිනිසුන් සිතන ආකාරය සහ රටක පොදු ගමන වෙනස් කළ හැකිය.
මෙම “සාම පා ගමන” යනු හුදෙක් දිගු පා ගමනක් පමණක් නොවේ. එය නොසන්සුන් ලෝකයක් තුළ සාමය සෙවීම පෙන්වන සජීවී උදාහරණයකි. පූජ්‍ය පඤ්ඤාකර හිමියන් සහ උන්වහන්සේගේ සගයන් මෙන්ම, ඉතා ගෞරවාන්විතව ගමන් කරන ආලෝකා නම් සුනඛයා තුළින් අපට මතක් කර දෙන්නේ සාමය සහ කරුණාව ඇති කර ගත හැක්කේ එක් පියවරක් පාසා, එක් හුස්මක් පාසා සහ බෙදාගන්නා සෑම මොහොතක් පාසාම බවයි. එමෙන්ම මෙහි දී සඳහන් කළ යුතු තවත් සුවිශේෂී කරුණක් ද තිබේ. එනම් බුදුන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ එන “පඤ්ඤා උදපාදි – ආලෝකෝ උදපාදි” (ප්‍රඥාව උදා විය – ආලෝකය උදා විය) යන උදාන වාක්‍යයේ එන ප්‍රඥාව හා ආලෝකය යන වදන් දෙකම මෙම පූජ්‍ය පඤ්ඤාකර හිමියන්ගේ සහ ආලෝකා සුනඛයාගේ නම්වල සඳහන් වීමය.

එබැවින්, මෙම “සාම පා ගමන” යනු හුදෙක් දිගු පා ගමනක් පමණක් නොවේ. එය නොසන්සුන් ලෝකයක් තුළ සාමය සෙවීම පෙන්වන සජීවී උදාහරණයකි. පූජ්‍ය පඤ්ඤාකර හිමියන් සහ උන්වහන්සේගේ සගයන් මෙන්ම, ඉතා ගෞරවාන්විතව ගමන් කරන ආලෝකා නම් සුනඛයා තුළින් අපට මතක් කර දෙන්නේ සාමය සහ කරුණාව ඇති කර ගත හැක්කේ එක් පියවරක් පාසා, එක් හුස්මක් පාසා සහ බෙදාගන්නා සෑම මොහොතක් පාසාම බවයි. එමෙන්ම මෙහි දී සඳහන් කළ යුතු තවත් සුවිශේෂී කරුණක් ද තිබේ. එනම් බුදුන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ එන “පඤ්ඤා උදපාදි – ආලෝකෝ උදපාදි” (ප්‍රඥාව උදා විය – ආලෝකය උදා විය) යන උදාන වාක්‍යයේ එන ප්‍රඥාව හා ආලෝකය යන වදන් දෙකම මෙම පූජ්‍ය පඤ්ඤාකර හිමියන්ගේ සහ ආලෝකා සුනඛයාගේ නම්වල සඳහන් වීමය.
නිරංජන් චාමින්ද කරුණාතිලක