සඳ මත සිදුවිය හැකි බිහිසුණු සිද්ධියකින් පෘථිවියේ අපටත් බලපෑම් ?


තව වසර කිහිපයකින් අපේ ආසන්නම අභ්‍යවකාශ අසල්වැසියා වන සඳ හෙවත් චන්ද්‍රයා මුහුණ දීමට ඉඩ ඇති බියජනක සිද්ධියක් ගැනත්, එයින් මහපොලොවේ ජීවත්වන අපටත් එල්ල විය හැකි තර්ජන ගැනත් මේ දිනවල විද්‍යා ක්ෂේත්‍රයේ කතාබහක් තිබේ. චන්ද්‍රයා මෙම සිද්ධියට මුහුණ දෙනු ඇත්තේ අභ්‍යවකාශය හරහා වේගයෙන් ඇදී එන ආකාශ වස්තුවක් එය මත ගැටීම නිසා ය.

මෙයට වසර මිලියන 65 කට පමණ පෙර මිහිමත ජීවත් වූ ඩයිනසෝරයන් වැනි දැවැන්තයින් වඳ වී ගියේත් මෙවැනි යෝධ ග්‍රහකයක් පෘථිවියෙහි ගැටීම නිසා ඇති වූ බලපෑම් නිසා යයි විශ්වාස කෙරේ. එවර පෘථිවිය හා ගැටුණු ග්‍රහකය කිලෝමීටර 10-12 අතර විශ්කම්භයකින් යුතු වූ යෝධ ග්‍රහකයක් බව පිලිගැනේ.

මෙම ආකාශ වස්තුව ග්‍රහකයකි. ග්‍රහක (Asteroids) යනුවෙන් හැඳින්වෙන්නේ ග්‍රහලෝක මෙන්ම සූර්ය ග්‍රහ මණ්ඩලය තුළ පාවෙමින් ඇති පාෂාණ, ලෝහ ආදියෙන් සැදි වස්තු විශේෂයකි. නමුත් මේවා පෘථිවිය වැනි ග්‍රහලෝක තරම් විශාල නැත. එහෙත් කිලෝමීටර ගණන් විශ්කම්භයෙන් යුතු ග්‍රහක මේ අතර තිබේ.

මෙයට වසර මිලියන 65 කට පමණ පෙර මිහිමත ජීවත් වූ ඩයිනසෝරයන් වැනි දැවැන්තයින් වඳ වී ගියේත් මෙවැනි යෝධ ග්‍රහකයක් පෘථිවියෙහි ගැටීම නිසා ඇති වූ බලපෑම් නිසා යයි විශ්වාස කෙරේ. එවර පෘථිවිය හා ගැටුණු ග්‍රහකය කිලෝමීටර 10-12 අතර විශ්කම්භයකින් යුතු වූ යෝධ ග්‍රහකයක් බව පිලිගැනේ.

තව වසර හතකින්, එනම් 2032 වසරේ සඳ මත ගැටෙන්නට ඉඩ ඇතැයි විද්‍යාඥයන් පවසන ග්‍රහකය ඉහත ග්‍රහකය තරම් විශාල එකක් නොවේ. මෙය ඔවුන් නම් කර තිබෙන්නේ 2024 YR4 යන නමිනි.

මෙය මුල්වරට තාරකා විද්‍යාඥයන්ගේ ඇස ගැටුණේ 2024 දෙසැම්බර් මාසයේ යි. එම අවස්ථාවේ ඔවුන් පළ කළ අනාවැකියක් ඇසූ පෘථිවිවාසීන් බොහෝ දෙනෙක් මහත් භීතියට පත් වූහ.

එකල ඔවුන් පැවසුවේ මෙම ග්‍රහකය මහපොලොවේ ගැටෙන්නට යම් ඉඩක් ඇති බවයි. 2032 දෙසැම්බර් 22 වැනි දින එය මේ ආකාරයෙන් පෘථිවියේ ගැටෙන්නට ඉඩක් ඇති බව ඔවුහු පැවසූහ. එය පෘථිවියේ ගැටුණහොත් එයින් විශාල ප්‍රදේශයක් මුළුමනින් විනාශයට පත් වීමේ අවදානමක් ඇති බවක් ද පැවසිණි.

කෙසේ හෝ වේවා, මෙම අනුමානය මත තාරකා විද්‍යාඥයෝ 2024 YR4 ග්‍රහකයේ ගමන් මාර්ගය ගැන දැඩි සෝදිසියෙන් පසුවීමට පටන් ගත් හ. ඒ, එය නිශ්චිතවම පෘථිවියේ ගැටෙනු ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා ය. මේ ආකාරයෙන් මෙම ග්‍රහකය ගැන අවධානයෙන් සිටි විද්‍යාඥයන්ට පසුගිය පෙබරවාරි මාසය වනවිට නිශ්චිත නිගමනයකට එළැඹෙන්නට හැකියාව ලැබිණි. එනම් 2024 YR4 පෘථිවියෙහි නොගැටෙන බවට යි.

මෙය පෘථිවියේ නොගැටුණත් 2032 දෙසැම්බර් 22 වැනි දින එය සඳෙ හි ගැටෙන්නට ඉඩක් ඇති බව මේ වනවිට තාරකා විද්‍යාඥයන්ගේ අදහස වී තිබේ.

2024 YR4 මේ ආකාරයෙන් සඳෙහි ගැටීමෙන් අප ජීවත්වන මහ පොලොවට සෘජු හානියක් සිදු නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. නමුත් එවැනි ගැටීමක් සිදුවුවහොත් එයින් අභ්‍යවකාශයට මුදා හැරෙන අතිවිශාල සුන්බුන් කන්දරාව නිසා එල්ල විය හැකි යම් තර්ජනයක් පිලිබඳව මේ වනවිට විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී තිබේ.

පෘථිවියේ අපට බලපාන ගැටලුවක් ඇති වන්නේ අභ්‍යවකාශයට විසි කරනු ලබන මෙම සුන්බුන් නිසා යි. මේවායින් යම් ප්‍රමාණයක් පෘථිවිය ආසන්නයට පැමිණීමට ඉඩ ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. මේ නිසා අලංකාර උල්කා වර්ෂා ඇතිවනු ඇති බව ද ඔවුහු සඳහන් කරති. නමුත් ගැටලුව මතුවන්නේ මෙම සුන්බුන් පෘථිවිය වටා ගමන් කරමින් ඇති චන්ද්‍රිකා සමග ගැටීමට ඉඩ තිබීම නිසා ය.

මෙම ග්‍රහකය සඳෙහි ගැටෙන්නේ නම් එසේ ගැටෙනු ඇත්තේ පැයට කි.මී. 50,000 ක පමණ අධික වේගයකිනි. මෙම ගැටීම නිසා කිලෝමීටරයක පමණ විශ්කම්භය ඇති ආවාටයක් සඳ මත ඇති වනු ඇතැයි ද විශ්වාස කෙරේ. ගැටීමෙහි ප්‍රතිඵලයක් ලෙස අති විශාල සුන්බුන් ප්‍රමාණයක් අභ්‍යවකාශයට මුදා හැරෙනු ඇති අතර එම සුන්බුන් කන්දරාවේ බර කිලෝග්‍රෑම් මිලියන 100 ක් පමණ වනු ඇතැයි අනුමාන කෙරේ.

පෘථිවියේ අපට බලපාන ගැටලුවක් ඇති වන්නේ අභ්‍යවකාශයට විසි කරනු ලබන මෙම සුන්බුන් නිසා යි. මේවායින් යම් ප්‍රමාණයක් පෘථිවිය ආසන්නයට පැමිණීමට ඉඩ ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. මේ නිසා අලංකාර උල්කා වර්ෂා ඇතිවනු ඇති බව ද ඔවුහු සඳහන් කරති. නමුත් ගැටලුව මතුවන්නේ මෙම සුන්බුන් පෘථිවිය වටා ගමන් කරමින් ඇති චන්ද්‍රිකා සමග ගැටීමට ඉඩ තිබීම නිසා ය.

මෙම චන්ද්‍රිකා පෘථිවියෙහි මිනිස් ජීවිත සමග මොන තරම් බැඳී තිබෙනවා ද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. අපගේ සන්නිවේදන කටයුතු, අන්තර්ජාල සම්බන්ධතා, කාලගුණ සහ දේශගුණ නිරීක්ෂණ කටයුතු, ආරක්ෂක කටයුතු, ආපදා කළමනාකරණ කටයුතු, මේ ආදී බොහෝ ක්‍රියාකාරකම් සඳහා මේ චන්ද්‍රිකා නැතුවම බැරි දෙයක් බව කව්රුත් දන්නා කාරණයකි. ඒ නිසා මෙවැනි චන්ද්‍රිකාවලට ඉහත කී සුන්බුන්වලින් යම් හානියක් සිදුවුවහොත් එයින් පෘථිවියේ ද විශාල අවුලක් ඇති වීමට ලොකු ඉඩක් තිබේ.

මේ කාරණය මේ වනවිට තාරකා විද්‍යාඥයින්ගේ විශාල අවධානයක් යොමු වී තිබෙන්නකි. මෙම ග්‍රහකය ස්ථිරවම සඳ මත ගැටෙන ගමන් මාර්ගයක එන බව තහවුරු වුවහොත් එය වැලැක්වීම සඳහා ගතහැකි පියවර විද්‍යාඥයන් සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ. මෙහිදී යොදා ගැනීමට ඉඩ ඇති එක් ක්‍රමයක් වන්නේ න්‍යෂ්ටික බෝම්බයක් වැනි යමක් මෙම ග්‍රහකය වෙත යවා එය ග්‍රහකය මත හෝ ඒ ආසන්නයේ හෝ පුපුරුවා හරිමින් එය විනාශ කිරීම යි.

ඒ අතර අභ්‍යවකාශ යානයක් 2024 YR 4 වෙත යවා එය එහි ගැටීමට සලස්වා ග්‍රහකයේ ගමන් මග වෙනස් කිරීම ද ගත හැකි තවත් ක්‍රියාමාර්ගයකි. නමුත් මෙය තරමක් අනතුරුදායක ක්‍රමයක් ලෙස සැලකේ. යම් හෙයකින් මෙහිදී වරදක් සිදු වුවහොත් ග්‍රහකය පෘථිවියේ ගැටෙන ගමන් මාර්ගයකට යොමු වීමට වුව ද ඉඩ ඇති බැවිනි.

කෙසේ වෙතත් 2024 YR 4 නිශ්චිතව සඳ මත ගැටෙනු ඇත්ද යන්න ගැන වඩාත් නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට හැකිවනු ඇත්තේ 2028 වසරේ බවක් ද සඳහන් වේ. ඒ මෙම ග්‍රහකය එම වසරේ පෘථිවියත්, චන්ද්‍රයාත් ආසන්නයෙන් ගමන් කිරීමට නියමිත බැවිනි. එහි දී මෙම ග්‍රහකය ගැන වඩාත් සමීප අවබෝධයක් ලබා ගැනීමට විද්‍යාඥයන්ට අවස්ථාව උදා වෙයි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර