සමහරුන් හිටිහැටියේ නියුමෝනියාවට ගොදුරු ඇයි?

මෑතකදී හදිසි අනතුරකට ලක් වූ පුද්ගලයකු රෝහල් ගත කරනු ලද අතර වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ අනතුර නිසා ඔහුගේ සුසුම්නාවට හානි සිදුවී ඇති බවයි. දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු සති දෙකක් වැනි කාලයක් තුළදී මිය ගියේය. මරණයට හේතුව නියුමෝනියාව වැළඳීම බව සනාථ විය.
අනතුර නිසා සුසුම්නාවට හානි සිදුවූ කෙනෙකු නියුමෝනියාවෙන් මරණයට පත් වන්නේ කෙසේද යන්න කතා කරන්නට පෙර අපි නියුමෝනියාව ගැන කතාකරමු.
පපුවේ සෙම නරක් වූ විට ඇතිවන තත්ත්වය නියුමෝනියා ලෙස ඉතා සරලව හැඳින්විය හැකිය. මෙහිදී කැස්ස, උණ, හුස්ම ගැනීම අපහසුව, කහින විට හෝ හුස්ම ගන්නා විට පපුවේ එක කොටසක් වේදනාවට ලක්වීම සිදුවේ. නියුමෝනියාව යන වචනය නොදන්නා කෙනෙක් නැති තරම් වුවද මෙහිදී සිදුවන දේ හරියටම දන්නා අය දුලබ ය.

නියුමෝනියාවේ දී සිදු වන්නේ පෙනහලුවල කොටසක් ඉදිමී ක්‍රියාවිරහිත වීමය. අප හුස්ම ගන්නේ පෙනහලුවලිනි. පෙනහලු දෙකක් පපුව දෙපැත්තේ පවතී. එක පෙනහල්ලක් අඩියක් පමණ උසය. විශාල ස්පොන්ච් එකක් ලෙස පිම්බී තිබේ. පපුව මැද හෘදය පිහිටන අතර පපුව දෙපැත්තේ සිට මුළු පිට ප්‍රදේශය පුරා පිරෙන්නට තිබෙන්නේ පෙනහලු යුවළයි.

නියුමෝනියාවේ දී සිදු වන්නේ පෙනහලුවල කොටසක් ඉදිමී ක්‍රියාවිරහිත වීමය. අප හුස්ම ගන්නේ පෙනහලුවලිනි. පෙනහලු දෙකක් පපුව දෙපැත්තේ පවතී. එක පෙනහල්ලක් අඩියක් පමණ උසය. විශාල ස්පොන්ච් එකක් ලෙස පිම්බී තිබේ. පපුව මැද හෘදය පිහිටන අතර පපුව දෙපැත්තේ සිට මුළු පිට ප්‍රදේශය පුරා පිරෙන්නට තිබෙන්නේ පෙනහලු යුවළයි.
මේ පෙනහලු තුළ අපේ පියවි ඇසට නොපෙනෙන ඉතාමත් ම කුඩා බැලුම් විශාල ප්‍රමාණයක් පිහිටයි. සංඛ්‍යාත්මකව එය මිලියන පන්සියයක් පමණ වේ. මෙම සෑම බැලුමක් ම සියුම් බටයකට වාතය මුදාහරී. එවැනි බට කිහිපයක් එකට එකතු වී ඊට වඩා ටිකක් ලොකු බටයකට ඇතුල් වේ. මේවා ද ඉන් පසු තව ප්‍රධාන බට තුළට එකතු වෙයි. අවසානයේදී ඇඟිල්ලක් තරම් ප්‍රමාණයේ බටයක් තුළට සියල්ල එකතුවෙයි. ප්‍රධාන බට දෙක දෙපැත්තෙන් එකතු වී ප්‍රධාන හුස්ම බටය සෑදේ . මෙය බෙල්ල දිගේ ඉහළට පැමිණ උගුරට එකතුවේ.

අප උගුරෙන් පහළට හුස්මක් අදින විට මේ බැලුම් සියල්ල ක්‍රමයෙන් පිම්බෙයි. හුස්ම පිට වන විට සියල්ල යළිත් යම් ප්‍රමාණයකට හැකිළේ.
හෘදයේ දකුණු පස කුටීරයේ පවතින ලේ, පෙනහලු තුළ ඇති මේ බැලුම් කරා ඇදෙන්නේ ලේ නහරවලට ඔක්සිජන් වාතය ලබා ගැනීමටය. එසේ ලබාගත් ලේ හදවතේ වම් පැත්තට නැවත පැමිණෙන්නේ හදවත ගැස්සෙන විට ශරීරය පුරා ගමන් කරවීමටය.
වම් පැත්තේ පෙනහල්ල කොටස් දෙකකට බෙදෙන අතර දකුණුපස පෙනහල්ල කොටස් තුනකට වෙන් වී පවතී. වාතය මෙසේ ඇතුළට අදින විට මේ බැලුන් කීපයකට කුමක් හෝ ගැටලුවක් නිසා විෂබීජ ඇතුළු විය හැකිය. එම විෂබීජ කල් ගතවන විට තමන්ගේ පැටව් බිහිකරන අතර එය තව තවත් විෂබීජ දස දහස් ගණනක් බවට පත්වෙයි.
අපේ ශරීරය තුළ ඇති සියුම් ආරක්ෂක සෛල පද්ධතිය මෙම විෂබීජ සමග සටනකට අවතීර්ණ වේ. මෙහිදී ඇති වන සටනේ ප්‍රතිඵලයක් ලෙස සැරව, ලේ, විවිධ දියර වර්ග එකතු වී බැලුන් එකින් එක පිරී යන විට ඒවා තුළට ඔක්සිජන්වත් වාතයවත් ඇතුල්වීමට ඉඩකඩ ලැබෙන්නේ නැත. ඉහත සඳහන් කළ පෙනහල්ලේ විවිධ කොටස් කිහිපයෙන් එක් කොටසක් සම්පූර්ණයෙන් ම සැරවවලින් පිරීයාම නියුමොනියාවේ දී සාමාන්‍යයෙන් සිදුවන දෙයයි. මෙය එක්ස්රේ පින්තූරයකින් හොඳින් දැකිය හැකිය.

පැයෙන් පැය, දශමයෙන් දශමය පෙනහල්ල ‍ක්‍රම‍ ක්‍රමයෙන් ක්‍රියා විරහිත වී යෑමේ දී ශරීරයට ඔක්සිජන් ලබාදීමට දැන් ඉදිරිපත් වන්නේ තවමත් නිරෝගී පෙනහලුවල ඉතුරු කොටස් ය. එම කොටස්වලට කරන්නට සිදුවන රාජකාරි ප්‍රමාණය වැඩි වන බව දැන් ඔබට වැටහෙනු ඇත. ඒ අනුව සිදු වන්නේ රෝගියා ලොකු කන්දක් නගිනවා සේ ඉක්මනින් ඉක්මනින් හුස්ම ගැනීමට යොමු වීමයි. නමුත් එයද කළ හැකි සීමාවක් තිබේ. මෙවැනි අවස්ථාවක වෛද්‍යවරුන් සිදු කරන්නේ රෝගියා සිරුර තුළට අදින වාතයට ඔක්සිජන් එකතු කිරීමයි. එයට හේතුව නම් අප අවට ඇති වාතයේ ඇත්තේ ඔක්සිජන් සියයට විස්සක් පමණක් වන අතර, අනෙක් සියයට අසූවක් පමණම ඇත්තේ වෙනත් වැඩකට නැති නයිට්‍රිජන් වැනි වායු කොටස් වීම ය.

මෙසේ බාහිරින් ඔක්සිජන් ලබාදීම තුළින් රෝගියා ඇතුළට අදින හුස්ම තුළ ඔක්සිජන් ප්‍රමාණය 20% සිට 40% , 60% දක්වා ඉහළට දැමීමට හැකියාව ලැබේ. මෙයින් රෝගියා යම් සහනයක් ලබයි. ඔක්සිජන් අවසාන වුණොත්, එසේ නොමැතිනම් පෙනහලු දැඩි ලෙස විනාශ වී ගියහොත්, රෝගියාගේ ලේවල ඔක්සිජන් ප්‍රමාණය කඩාගෙන බිම වැටෙන අතර ඕනෑම මොහොතක ජීවිතය නැවතීමට ඉඩ තිබේ. මේ වෙලාවේ රෝගියාගේ ශරීරය, විශේෂයෙන්ම දිව ප්‍රදේශය නිල් පැහැයට හැරී යනු ඇත. මේ හේතු නිසා රෝගියාගේ ඇඟිල්ලට සවි කළ ඔක්සිජන් මීටරයෙන් ලේවල ඔක්සිජන් ප්‍රමාණය නිරන්තරයෙන් මැන බැලීම සිදුවේ.
ශරීරයේ නිපදවෙන අපද්‍රව්‍ය වන කාබන්ඩයොක්සයිඩ් නමැති විෂ වායුව පිටකිරීම ද අපේ හුස්ම පිටකිරීම මගින් ඉටු කෙරෙන තවත් කර්තව්‍යයකි. මෙම විෂ වායුව පිට කරගන්නට අපොහොසත් වුණහොත් ක්‍රම ක්‍රමයෙන් රෝගියා දැඩි නින්දකට යන අතර හුස්ම ගැනීම ක්‍රමයෙන් හීන වීමට පටන් ගනී. මෙම අවස්ථාවේ දී කොතෙකුත් ඔක්සිජන් දුන්නත් රෝගියා හුස්ම ගන්නේ අඩුවෙන් නිසා ලබා දෙන ඔක්සිජන් පපුවට ඇතුළු වන්නේ නැත. මෙම තත්ත්වය හඳුනා ගැනීමට නම් හදවතට කෙළින්ම සම්බන්ධ අතේ හෝ කකුලේ බල නහරයකින් එනම් ධමනියකින් ලේ සාම්පලයක් ගත යුතුය. ලේ වල ගෑස් මැන බලන්නාවූ විශේෂිත යන්ත්‍රයකට එම ලේ සාම්පලය ඇතුළුකර ලේ වල ඇති විවිධ ගෑස් ප්‍රමාණයන් හි වාර්තාවක් ක්ෂණිකව ගත හැකිය. මෙවැනි යන්ත්‍ර සාමාන්‍යයෙන් ඇත්තේ දැඩිසත්කාර සහිත රෝහල්වල පමණි. ලේ වල ගෑස් මට්ටම අනුව රෝගියාට හුස්ම ගැනීමට තවදුරටත් හැකියාවක් නොමැති බව වෛද්‍යවරුන් ට වැටහුණහොත් එවිට වෛද්‍යවරුන් සිදු කරන්නේ පිටතින් විශේෂිත බටයක් පපුවේ හුස්ම බටය ඇතුළට උගුර හරහා ඇතුළු කිරීමයි. ඉන්පසු බැලුමක් මිරිකමින් වාතය සහ ඔක්සිජන් පපුව තුළට බලෙන් ඇතුළු කෙරේ. මේ සඳහා දැඩි සත්කාර ඒකකවල ස්වසන යන්ත්‍ර භාවිතා කරනු ලබයි. කොයි තරම් ඔක්සිජන් ප්‍රමාණයක් ඇතුළු වී ඇත්ද කොයි තරම් කාබන්ඩයොක්සයිඩ් විෂ වායු ශරීරයෙන් ඉවත් වී ඇත්ද යන්න ඉන්පසු සොයා බැලේ. ඖෂධ මගින් විෂබීජ විනාශ කර පෙනහලු බේරාගන්නා තුරු මෙම ප්‍රතිකාර ක්‍රමය නොකඩවා සිදු කෙරෙනු ඇත.

සාමාන්‍යයෙන් නිරෝගී ඕනෑම පුද්ගලයකුගේ ද උගුරේ සෙම තිබේ. මේවායින් අපට අපහසුවක් දැනෙන විට කැහීම තුළින් එය පිටතට යයි. නමුත් සුසුම්නාව අප්‍රාණික වූ රෝගියෙකුගේ පපුවේ මාංශ පේශීන් ක්‍රියා නොකරන නිසා කහින්නට නොහැකි වේ. සෙම පිට කිරීමට ක්‍රමයක් නොමැති වනවිට හුස්ම මාර්ගය ඇතුළට සෙම ගමන් කරයි. එවිට සිදුවන්නේ එහි විෂබීජ පිරීම ය. මේ තත්ත්වය නිසා රෝගියාට නියුමෝනියාව හට හටගත හැකිය. එයින් රෝගියා මියයාමට තිබෙන හැකියාව වැඩිය.

විෂබීජ විනාශ කර දැමීමට කුමන ඖෂධය සමත් වේද යන්න මුලින්ම ලබා ගන්නා ලේ සාම්පලයේ සහ සෙම සාම්පලයේ ක්ෂුද්‍රජීව විද්‍යාත්මක වාර්තාවෙහි සාමාන්‍යයෙන් සඳහන් වේ. හරියටම එම ඖෂධය රෝගියාට ලැබෙන විට රෝගියාගේ විෂබීජ විනාශ කර රෝගියා සුව අතට හැරවීමට වෛද්‍යවරුන් සමත් වනු ඇත.

දැන් අපි මෙහි මුලින්ම සඳහන් කළ හදිසි අනතුරට ලක් වූ රෝගියෙකු නියුමෝනියාවෙන් මිය යන්නේ කෙසේදැයි බලමු.

හදිසි අනතුර නිසා සුසුම්නාවට හානි සිදුවීම තුළින් එම රෝගියාගේ අත්පා ආදිය ක්‍රියා කිරීමට නොහැකි වනු ඇත. සිරුරේ මාංශපේශීන් ද එලෙස අප්‍රාණික වෙයි. සාමාන්‍යයෙන් නිරෝගී ඕනෑම පුද්ගලයකුගේ ද උගුරේ සෙම තිබේ. මේවායින් අපට අපහසුවක් දැනෙන විට කැහීම තුළින් එය පිටතට යයි. නමුත් සුසුම්නාව අප්‍රාණික වූ රෝගියෙකුගේ පපුවේ මාංශ පේශීන් ක්‍රියා නොකරන නිසා කහින්නට නොහැකි වේ. සෙම පිට කිරීමට ක්‍රමයක් නොමැති වනවිට හුස්ම මාර්ගය ඇතුළට සෙම ගමන් කරයි. එවිට සිදුවන්නේ එහි විෂබීජ පිරීම ය. මේ තත්ත්වය නිසා රෝගියාට නියුමෝනියාව හට හටගත හැකිය. එයින් රෝගියා මියයාමට තිබෙන හැකියාව වැඩිය.

කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

සැකසුම – ඉන්දු පෙරේරා

විනිවිද සායනය