අපගේ සරසවි ශිෂ්‍යාවක ද වන නවක සරසවි කථිකාචාර්යවරියක පසුගිය දිනයෙක මා හමුවේ ඉතා වැදගත් අදහසක් ප්‍රකාශ කළා ය. එනම්, තමන් පසුගිය කාලයේ කියැවූ සම්මානිත සාහිත්‍ය කෘතීන් බොහොමයක් පිළිබඳ කිසිදු පැහැදීමක් තමන් තුළ ඇති නොවූ බව ය. ඇතැම් නිර්මාණවල නිර්මාණාත්මක පරිකල්පනයන්හි සිට සන්දර්භය දක්වා වූ ව්‍යාකූලතා තමන්ට මනාව නිරීක්ෂණය වූ බව පැවසූ ඇය, ඇතැම් විට ඒවා විචාරකයන් රැවටීම පිණිස යොදනු ලබන සාවද්‍ය ආරෝපණයන් ද යන සැකය පවා තමන් තුළ ජනිත වන බව පවසා සිටියේ බරපතල රහසක් හෙළි කරන්නාක් මෙනි.
“කොහොම වුණත් ඒ අවුල තියෙන්නේ ඒ නිර්මාණවල ද නැත්නම් මගේ මොළේ ද කියලා හරියකට නොදන්න හින්දා මම ඒ ගැන කා එක්කවත් කතා කරන්න ගියේ නෑ. ඉඳලා හිටලා ළමයෙක් ඒ ගැන මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවත් කෙටි උත්තරයක් දීලා නිකම් ඉන්නවා,” ඇය කීවා ය. ඇය සම්බන්ධ විශේෂත්වයක් වනුයේ ඇය නිර්මාණාත්මක සන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධියක් ද හිමි සිංහල අධ්‍යයනාංශයක කථිකාචාර්යවරියක වීම ය. ඒ අනුව ඇය දැක්වූ එම අදහස සම්බන්ධ මගේ මතය විවෘත මට්ටමින් ගෙන හැර දැක්වීමට අදහස් කළේ, සමකාලීන කිසිදු නිර්මාණයකට හෝ නිර්මාණකරුවකුට අගතියක් හෝ අසාධාරණයක් සිදු නොවනු පිණිස ය.
මිනිසා යනු ස්වභාවයෙන්ම තමන්ට වටහා ගැනීමට අපහසු හෝ සංකීර්ණ දේවලට වැඩි වටිනාකමක් ලබා දීමට පෙළඹෙන සත්වයෙකි. මෙය ඊයේ පෙරේදා ඇති වූවක් නොව, මානව සන්තතියේ ආරම්භයත් සමඟම අපේ ජානවලට කා වැදුණු සහජ ගතියකි. ලොව ප්‍රාථමික ආගම් බිහිවීමට පදනම් වූ ජීවාත්මවාදය (Animism) වැනි මානව චින්තාවන් පවා පෝෂණය වූයේ ස්වභාවධර්මයේ අපැහැදිලි සහ සංකීර්ණ සංසිද්ධීන් දේවත්වයෙන් අදහන්නට මිනිසා තුළ තිබූ මේ ස්වාභාවික නැඹුරුව නිසා ය.
මිනිසා යනු ස්වභාවයෙන්ම තමන්ට වටහා ගැනීමට අපහසු හෝ සංකීර්ණ දේවලට වැඩි වටිනාකමක් ලබා දීමට පෙළඹෙන සත්වයෙකි. මෙය ඊයේ පෙරේදා ඇති වූවක් නොව, මානව සන්තතියේ ආරම්භයත් සමඟම අපේ ජානවලට කා වැදුණු සහජ ගතියකි. ලොව ප්‍රාථමික ආගම් බිහිවීමට පදනම් වූ ජීවාත්මවාදය (Animism) වැනි මානව චින්තාවන් පවා පෝෂණය වූයේ ස්වභාවධර්මයේ අපැහැදිලි සහ සංකීර්ණ සංසිද්ධීන් දේවත්වයෙන් අදහන්නට මිනිසා තුළ තිබූ මේ ස්වාභාවික නැඹුරුව නිසා ය.

මෙහි දී මූලිකවම ක්‍රියාත්මක වන්නේ “සංකීර්ණතා නැඹුරුව” හෙවත් අපැහැදිලි භාවය අගය කිරීමේ (Complexity Bias) ප්රවණතාවයි. සාමාන්‍ය ප්‍රඥාවට නතු නොවන දේ සඳහා සුවිශේෂී අගැයුමක් හිමි කිරීම මෙහි නියම ස්වභාවයයි. සරල විසඳුම්වලට වඩා සංකීර්ණ විසඳුම් කෙරෙහි මිනිස්සු වැඩි පක්ෂපාතීත්වයක් දක්වති. ඒ, මිනිස් මනැසට පහසුවෙන් දරා ගත නොහැකි සංකීර්ණත්වයට වැඩි අගැයුමක් හිමි කර දීමේ මිනිස් ස්වභාවය නිසා ය. යමක් තේරුම් ගැනීමට අපහසු වන තරමට, එහි යම් ගුප්ත බවක් ඇති තරමට, එතුළ ගැඹුරු විශ්වීය බුද්ධියක් හෝ සුවිශේෂී වටිනාකමක් ඇතැයි මිනිසා උපකල්පනය කරයි. සරල දෙයක් “ඕනෑම කෙනෙකුට තේරෙන නිසා” එහි වටිනාකමක් නැතැයි යන හැඟීම මිනිසා තුළ මුල් බැස තිබේ. “ඒක දෙකේ පන්තියේ ළමයකුට වුණත් තේරුම් ගන්න පුළුවන්නෙ” යනුවෙන් සමහරුන් පවසනුයේ යමක අගය අවතක්සේරු කරනු පිණිස ය.
කොළඹ යුගයේ කීර්තිමත්ම කවියකු වූ විමලරත්න කුමාරගමයන් විසින් 1940 දශකයේ මැද භාගයේ ලියන ලද බව පැවසෙන “අයියනායක” පද්‍ය රචනයේ එන “දෙවියකු නැත ද මෙහි බලයක් තිබෙනු දැනේ” යන කව් පේලියෙන්, නොපෙනෙන සහ වටහාගත නොහැකි බලවේගයන් කෙරෙහි මිනිසා දක්වන ගුප්ත ආකර්ෂණය (The Allure of Mystery) මනාව පැහැදිලි වේ. අප රටේ ජනප්‍රියත්වයෙන් ඉහළ මට්ටමක පවතින කලා කෘතීන් බොහෝ විට විචාරක පැසසුමට ලක් නොවන්නේ, ඒවායේ මෙම ස්වභාවය නොමැති නිසා ද විය හැකිය. එවැනි නිර්මාණ හැඳින්වීමට විචාරකයෝ විදග්ධ, ප්රබුද්ධ, ස්නිග්ධ, සුභාවිත, ප්රශස්ත වැනි බරසාර වදන් භාවිත කරති. මීට දශක කිහිපයකට පෙර මෙවැනි අවස්ථාවලදී ‘තාත්වික’ යන වදන ද බහුලව යොදා ගැනුණු බව අපට මතක ය. නමුත් ඒ සම්බන්ධයෙන් ඩබ්ලිව්. ඒ. ද සිල්වා, ටී. ජී. ඩබ්ලිව්. සිල්වා වැනි ප්‍රකට සාහිත්‍යධරයන් නිර්දය විවේචන එල්ල කොට තිබිණ.

හක්ගල්ලේ පී. කේ. ඩී. සෙනෙවිරත්නයන්ගේ තිර රචනයකට අනුව, හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කරන ලදුව 1966 වසරේ තිරගත වූ “පරසතු මල්” චිත්‍රපටයේ එක් ජවනිකාවක් මට මෙහිදී සිහිපත් වේ. එහි කතා නායක බොනී මහත්තයා, (ගාමිණී ෆොන්සේකා)තමන් සිතින් පෙම් කරන කමලා නම් ගැමි යුවතිය වෙනුවෙන් සිය හදවතේ නැගෙන හැඟීම් කවියට නගන ලෙස ගැමි කලාකරුවෙකුට පවසයි. එහි දී එම කලාකරුවා “තාත්වික” යන වචනය යොදනවාත් සමඟම කෝපයට පත්වන බොනී මහත්තයා පවසන්නේ, “මට තාත්තාගෙ බාසාව ඕනෑ නෑ!” යනුවෙනි. මෙය කලා නිර්මාණයක් සම්බන්ධයෙන් පොදු රසිකයා සහ විචාරකයා අතර පවතින බෙදීම මනාව විදහා දක්වන්නකි.
විදග්ධ හෝ ප්රබුද්ධ යැයි සම්මත නිර්මාණ ජනප්‍රිය නොවන්නේ මන්ද? ජනප්‍රිය කලා නිර්මාණ විදග්ධ හෝ ප්රබුද්ධ නොවන්නේ මන්ද? යනුවෙන් මීට දශක කිහිපයකට පෙර ප්රබුද්ධ ගීත කලාව ගැන ඇති වූ සංවාදයකදී, ජනකාන්ත ගායක එච්. ආර්. ජෝතිපාලයන් මාධ්‍යවේදියෙකුගෙන් ඇසූ අපූරු පැනයක් තිබේ. එනම්, “එයාලා ප්රබුද්ධ නම් අපි පීචං ද?” යන්න ය.
ජෝතිපාලයන්ගේ මෙම විමසුම පෞද්ගලික නැඹුරුවකට වඩා, ‘ප්රබුද්ධ’ යන වචනයේ විරුද්ධාර්ථය කුමක්ද යන්න විමසන ගැඹුරු සමාජ විද්‍යාත්මක ප්රශ්නයකි. ජෝතිපාලයන්ගේ අභාවයෙන් පසු, “බිඳ වැටුණු සංස්කෘතික බල කණුව” යනුවෙන් ආචාර්ය සරත් අමුණුගම සූරීන් විසින් ලියන ලදුව, ප්‍රේම් දිසානායකයන් සංස්කරණය කළ ‘විචිත්‍ර’ කලා පුවත් පතේ 1987 ජූලි 25 කලාපයේ පළ වූ ලිපියේ, ජෝතිපාලයන් සහ සංස්කෘතිය යන වදන් එකි’නෙකට සම්බන්ධ කොට දැක්වූ අදහස් නිසා එම සංස්කෘතිය යන වදනට පවා යම් “ජෝතිමත්” බවක් එක් විය. නමුත් එදා සිට මේ වන තෙක් කිසිදු පාර්ශ්වයකින් එය පැහැදිලි ලෙස යාවත්කාලීන කොට නැත.
මෙහි තවත් පැත්තක් වන්නේ ප්රජානන විසංවාදය හෙවත් සංජානන අසමඟියයි (Cognitive Dissonance). යම් විෂයක් තේරුම් ගැනීමට අප විශාල කාලයක් හෝ වෙහෙසක් වැය කරන්නේ නම්, එය “වැඩකට නැති දෙයක්” ලෙස පිළිගැනීමට අපේ මනස අකමැති වේ. එවිට අපේ මනස විසින්ම එම අපැහැදිලි කරුණ “ඉතා උසස් දෙයක්” ලෙස අර්ථකථනය කරමින්, අප වැය කළ වෙහෙස සාධාරණීකරණය කරයි. සංජානන අසමඟිය පිළිබඳ අදහස 1957 දී මනෝ විද්‍යාඥ ලියොන් ෆෙස්ටින්ගර් විසින් හඳුන්වා දුන් න්‍යායකි. ඔහුගේ එම න්‍යාය තුළින් පවසන්නේ, මිනිසුන් තම විශ්වාසයන් සහ ක්‍රියාවන් සමබර වනවාට කැමති බවයි. නමුත් යම් හෙයකින් ඒවා එකි’නෙක ගැටෙන විට, මොළය එය නිවැරදි කිරීමට ද උත්සාහ කරයි. ඒ නිසා හැසිරීම වෙනස් කිරීම, විශ්වාසය වෙනස් කිරීම හෝ නිදහසට කරුණු ඉදිරිපත් කිරීම වැනි දේවල් සිදු කරන බව ද ලියොන් ෆෙස්ටින්ගර් පවසා තිබේ.
එමෙන්ම, මෙය සමාජීය තත්ත්වය සහ බුද්ධිමත් බව පෙන්වීමේ (Social Signaling) මෙවලමක් ලෙස ද භාවිතා වේ. අන් අයට තේරුම් ගත නොහැකි දේ තමන් අගය කරන බව පෙන්වීම හරහා, තමන් විශේෂ අයෙකු බව පෙන්වීමට මිනිසා උත්සාහ කරයි. ඩෙන්මාර්ක් ජාතික ලේඛක හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් (1805-1875) ගේ “අධිරාජ්‍යයාගේ අලුත් ඇඳුම” (The Emperor’s New Clothes) කතාව මීට කදිම නිදසුනකි. අලුත් ඇඳුමක් ඇඳීමට රිසි වූ අධිරාජ්‍යයා සන්නාලියන් දෙදෙනකු විසින් බරපතල ලෙස නොමඟ යවන ලදී.ඒ අධිරාජ්‍යයා සඳහා සුවිශේෂ ඇඳුමක් මසා නිමවන බවක් අඟවමින් ඔහු නිරුවතින් තැබීමෙනි.එය ඥානවන්තයන්ට පමණක් පෙනෙන ඇඳුමක් බව ඔවුන් පවසා සිටි අතර අධිරාජ්‍යයා ඇඳුම් ඇඳ නැති බව පෙනුණත්, තමන් මෝඩයෙකු යැයි අන් අය සිතනු ඇතැයි බියෙන් සියල්ලෝම එම “නොපෙනෙන ඇඳුම” වර්ණනා කළහ. නමුත් එම සමාජ සංස්කෘතික පසුබිම හරි හැටි වටහා නොගත් කුඩා දරුවකුට මේ ව්‍යාජය හරි හැටි දක්නට ලැබී ඔහු එය කෑගසා කීය. මෙයට “සීතාම්බර කතාව” ලෙස දේශීය ආරෝපණයක් ලැබී තිබේ. නමුත් සීතාම්බර හෙවත් ‘සිසිල් සළුව’ යන්න අප ජන සංස්කෘතියෙහි ප්‍රකට වී ඇත්තේ පත්තිනි දේවිය සතු දිව්‍යමය සළුවක් ලෙසිනි. පසුකාලීන ජන වහරේදී ‘අම්බර’ යන වදන වස්ත්‍රය ලෙස හඳුන්වන හෙයින්, ‘සීතල වස්ත්‍රය’ යන්න නිරුවත් වීම හඟවන යෙදුමක් ලෙස ද එක් ව තිබේ.
අපට යමක් වටහා ගත නොහැකි වූ විට එය “අඥානකම” ලෙස හංවඩු ගැසීමට වඩා “ගැඹුරු දැනුම” ලෙස හැඳින්වීමට අපේ මනැස කැමති ය. මෙය පුද්ගල ස්වයං ආරක්ෂණ යාන්ත්‍රණයක් (Self-mechanism) මෙන්ම, අප විසින්ම අපව රවටා ගන්නා බුද්ධිමය උගුලකි. එමෙන්ම මෙය අද වන විට සමාජ ආර්ථික උගුලක් සේ ක්‍රියාත්මක වෙමින් පවතියි. නමුත් තමන් එවන් උගුලකට හසුව ඇති බව වටහා නොගන්නා විද්වත් බහුතරයක් අතරේ, ඊට යථාර්ථවාදී අර්ථ නිරූපණයක් ලබාදීමට තරම් සංතීක්ෂණ ප්‍රඥා මහිමයක් තිබූ එම සරසවි කථිකාචාර්යවරියට මගේ තුති පැසසුම් හිමි විය යුතුය.
ඉහත සඳහන් විස්තරය සංක්ෂිප්ත කොට ගතහොත්, අපට යමක් වටහා ගත නොහැකි වූ විට එය “අඥානකම” ලෙස හංවඩු ගැසීමට වඩා “ගැඹුරු දැනුම” ලෙස හැඳින්වීමට අපේ මනැස කැමති ය. මෙය පුද්ගල ස්වයං ආරක්ෂණ යාන්ත්‍රණයක් (Self-mechanism) මෙන්ම, අප විසින්ම අපව රවටා ගන්නා බුද්ධිමය උගුලකි. එමෙන්ම මෙය අද වන විට සමාජ ආර්ථික උගුලක් සේ ක්‍රියාත්මක වෙමින් පවතියි. නමුත් තමන් එවන් උගුලකට හසුව ඇති බව වටහා නොගන්නා විද්වත් බහුතරයක් අතරේ, ඊට යථාර්ථවාදී අර්ථ නිරූපණයක් ලබාදීමට තරම් සංතීක්ෂණ ප්‍රඥා මහිමයක් තිබූ එම සරසවි කථිකාචාර්යවරියට මගේ තුති පැසසුම් හිමි විය යුතුය.
ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය