සාමය ගැන නොදත් නමුත් ලොවටම සාමයේ ආලෝකය විහිදුවන ආලෝකා

අද වන විට මුළුමහත් ලෝකයම “සාමයේ සුනඛයා” ලෙස විරුදාවලිය ලත්, ආලෝකා නමැති ඉතා සුවිශේෂී සුනඛයා දෙස මහත් උනන්දුවෙන් බලා සිටියි. ආලෝකා මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය පුරා සිදු කෙරෙන අතිදැවැන්ත සාම පා ගමනින් තාවකාලිකව ඉවත්ව කෙටි විවේකයක් ගෙන සිටියි. එසේ කිරීමට හේතුව වූයේ මෑතකදී ඔහුගේ පාදයක සිදු කරන ලද සැත්කමකි. බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ පයින් ගමන් කරන අතරතුර ආලෝකාගේ පසුපස පාදයක අස්ථි බිඳීමක් සිදු වූ අතර, පශු වෛද්‍යවරුන් විසින් එම ආබාධය සාර්ථක ලෙස සුව කරන ලදී.

මෙම සැත්කම දකුණු කැරොලිනා ප්‍රාන්තයේ පිහිටි සුප්‍රකට Charleston Veterinary Referral Center පශු වෛද්‍ය රෝහලේ අනුග්‍රහයෙන් නොමිලේ සිදු කරන ලදී. ආලෝකා දැන් විවේක ගනිමින් සිටින අතර, ඔහු ක්‍රමයෙන් සුව අතට හැරෙමින් පසුවෙයි. සාමය සහ කරුණාව පිළිබඳ පණිවිඩය ලෝකයට බෙදා දෙමින් ටෙක්සාස් සිට වොෂින්ටන් ඩී.සී. දක්වා ගමන් කරන භික්ෂූන් වහන්සේලා සමඟ ඔහු ඉතා ඉක්මනින් නැවත එක් වනු ඇත. ආලෝකාට ලැබුණු උසස් ප්‍රතිකාර සහ සැලකිල්ල පිළිබඳව භික්ෂූන් වහන්සේලා සිය කෘතඥතාව පළ කර ඇති අතර ඔහු නැවත ඇවිදිනු දැකීමට මහත් උනන්දුවකින් පසුවෙති.

ඉන්දියාවේ වීදියක අසරණව සිටි සුනඛයෙකු වූ ආලෝකා, භික්ෂූන් වහන්සේලා සමඟ කිලෝමීටර් දහස් ගණනක් ඇවිද යන ආකාරය පිළිබඳ කතාව ලෝකයේ බොහෝ දෙනෙක් දැනටමත් දනිති. එහෙත් දැන් අලුතින්ම වාර්තා වන්නේ ඔහු සුවය ලබා නැවතත් ගමන ආරම්භ කිරීමට සූදානම් වන පුවතයි. මෙම අවස්ථාව වැදගත් කරුණක් ඉස්මතු කරයි: එනම් ආලෝකා සාමාන්‍ය සුනඛයෙකු වුවද, ඔහුගේ සුවදුක් ගැන මුළු ලෝකයම සැලකිලිමත් වීමයි. ලෝකයේ සෑම තැනකම සිටින මිනිසුන්, විශේෂයෙන් දරුවන් පවා ඔහු මෙතරම් විශේෂ වීමට හේතුව කුමක්දැයි දැන ගැනීමට මහත් කුතුහලයකින් පසුවෙති. සාමාන්‍ය සුනඛයෙකු සම්බන්ධයෙන් ලෝක අවධානය මෙතරම් යොමු වූ අවස්ථාවක් ලෝක ඉතිහාසයේ මින් පෙර නොතිබෙන්නට ද ඇත.

ඉන්දියාවේ වීදියක අසරණව සිටි සුනඛයෙකු වූ ආලෝකා, භික්ෂූන් වහන්සේලා සමඟ කිලෝමීටර් දහස් ගණනක් ඇවිද යන ආකාරය පිළිබඳ කතාව ලෝකයේ බොහෝ දෙනෙක් දැනටමත් දනිති. එහෙත් දැන් අලුතින්ම වාර්තා වන්නේ ඔහු සුවය ලබා නැවතත් ගමන ආරම්භ කිරීමට සූදානම් වන පුවතයි. මෙම අවස්ථාව වැදගත් කරුණක් ඉස්මතු කරයි: එනම් ආලෝකා සාමාන්‍ය සුනඛයෙකු වුවද, ඔහුගේ සුවදුක් ගැන මුළු ලෝකයම සැලකිලිමත් වීමයි. ලෝකයේ සෑම තැනකම සිටින මිනිසුන්, විශේෂයෙන් දරුවන් පවා ඔහු මෙතරම් විශේෂ වීමට හේතුව කුමක්දැයි දැන ගැනීමට මහත් කුතුහලයකින් පසුවෙති. සාමාන්‍ය සුනඛයෙකු සම්බන්ධයෙන් ලෝක අවධානය මෙතරම් යොමු වූ අවස්ථාවක් ලෝක ඉතිහාසයේ මින් පෙර නොතිබෙන්නට ද ඇත.

ආලෝකා මෙලෙස ඇවිදින්නේ හුදෙක් විනෝදය සඳහා නොවේ. ඔහු “සාමය සඳහා වූ පා ගමන” (Walk for Peace) නමැති දීර්ඝ වැඩසටහනක සාමාජිකයෙකි. මෙය සංවිධානය කර ඇත්තේ කරුණාව, සහජීවනය සහ ශාන්තිය පිළිබඳ පණිවිඩ ලොව පුරා පතුරුවාලීමට කැමති බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමූහයක් විසිනි. මෙම පා ගමන 2025 ඔක්තෝබර් මාසයේදී ටෙක්සාස් ප්‍රාන්තයෙන් ආරම්භ වූ අතර, මාර්ග, නගර සහ ගම්මාන පසු කරමින් කිලෝමීටර් 3,700 කට (සැතපුම් 2,300 කට) වඩා වැඩි දුරක් ගෙවා වොෂින්ටන් ඩී.සී. නගරයෙන් අවසන් කිරීමට නියමිතය. මෙම භික්ෂූන් වහන්සේලා පාවහන් රහිතව හෝ ඉතා සරල පාවහන් යුගලක් පමණක් පළඳිමින් ගමන් කරති. ඔවුහු මඟදී හමුවන මිනිසුන් සමඟ කුළුපග වෙමින් සහ සාමය ගැන කතා කරමින් ඉදිරියට යති.

ආලෝකා සෑම දිනකම ඔවුන් අසලින්ම ගමන් කරයි. ඇතැම් විට ඔහු ගමන් කරන්නේ කණ්ඩායමේ පෙරමුණේය. මිනිසුන්ගේ අවධානය මුලින්ම යොමු වන්නේ ද ඔහු වෙතටයි. ඔහු කිසිවක් කතා කරන්නේ හෝ පණිවිඩ සහිත පුවරු රැගෙන යන්නේ හෝ නැත. එහෙත් දිනෙන් දින ඉතා සන්සුන්ව භික්ෂූන් වහන්සේලා සමඟ ගමන් කරන ඔහුගේ පැවැත්ම තුළින්ම “සාමය” යනු සැබෑවක් බව මිනිසුන්ට හැඟෙන්නට පටන් ගනියි. ඒ අනුව ආලෝකා යනු මෙම සාම පා ගමනේ සැබෑම ආලෝකය බවට පත්ව තිබේ.

ආලෝකා පිළිබඳ පුවත ලොව පුරා පැතිර යත්ම බොහෝ පිරිසක්, විශේෂයෙන්ම දරුවන් නිතරම අසන ප්‍රශ්නයක් තිබේ; එනම් මිනිසුන්ට මෙන් ආලෝකාට ද සැබවින්ම සාමය ගැන වැටහෙනවාද යන්නයි. ඔවුන් කෘත්‍රිම බුද්ධියේ (AI) උපකාරයෙන් පවා මෙයට පිළිතුරු සොයනු දැකිය හැකිය. කෙසේ නමුත් මිනිසුන් සාමය ගැන සිතන ආකාරයට සුනඛයින් සිතන්නේ නැත. ඔවුන්ගේ මොළය සහ අත්දැකීම් මිනිසුන් වන අපට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ය. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ සුනඛයින්ට සතුට, බිය සහ ආදරය වැනි හැඟීම් දැනෙන බව වුවද, මිනිසුන්ට ඇති ආකාරයේ සංකීර්ණ අදහස් ඔවුන්ට නොමැති බව ය. සෙල්ලම් කරන විට සතුටක් හෝ තමන් ආදරය කරන අයගෙන් වෙන් වූ විට දුකක් සුනඛයෙකුට දැනිය හැකිය. එහෙත් “ලෝක සාමය” වැනි ගැඹුරු සංකල්ප ගැන සිතීමට හැක්කේ මිනිසුන්ට පමණි.

එසේ වුවද, අන් අයගේ හැඟීම් හඳුනා ගැනීමට සුනඛයෝ ඉතා දක්ෂ වෙති. පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ මිනිසුන්ගේ සිනහව, හැඬීම හෝ සිරුරේ හැසිරීම්වල වෙනස්කම් ගැන පවා සුනඛයින් සංවේදී වන බවයි. කෙනෙකු සන්සුන්ව, ප්‍රීතියෙන් හෝ කලබලයෙන් සිටින බව හඳුනා ගැනීමට ඔවුන්ට හැකියාව ඇත. ඇතැම් අධ්‍යයනවලින් පෙනී යන්නේ මිනිසුන් හැඟීම් ප්‍රකාශ කරන විට සුනඛයින්ගේ මොළයේ ද මිනිසුන්ට සමාන ප්‍රතිචාර ඇති වන බවයි.

එබැවින් ආලෝකා “මම සාමය පතුරුවනවා” යැයි නොසිතුවද, ඔහු තමා අවට ඇති සන්සුන් සහ සුහදශීලී ශක්තියට ප්‍රතිචාර දක්වයි. ඔහු ඉතා නිහඬව සහ ස්ථාවරව ගමන් කරන බැවින් ඔහු අසල සිටින මිනිසුන්ට ද සන්සුන් බවක් දැනෙයි. භික්ෂූන් වහන්සේලාගේ පණිවිඩයත්, ආලෝකාගේ මෙම සන්සුන් භාවයත් එකතු වූ විට මිනිසුන්ට සැබෑ සාමය අත්විඳීමට හැකි වෙයි.

විද්‍යාඥයන් වසර ගණනාවක් පුරා සුනඛයින්ගේ හැසිරීම් අධ්‍යයනය කර ඇත. ඔවුන් සොයාගත් කරුණු අතර මේවා ද වෙයි: එකක් වන්නේ සුනඛයින්ට සරල හැඟීම් දැනෙන බව ය. සතුට, බිය, උද්‍යෝගය සහ දුක වැනි හැඟීම් ඔවුන්ට දැනෙයි. උදාහරණයක් ලෙස, සතුටු වූ විට වලිගය වැනීම සහ එහේ මෙහේ දඟලමින්, පනිමින් හැසිරීමේ රටාවක් පෙන්වීමත්, බිය වූ විට හති දැමීම සහ සැඟවීමට උත්සාහ කිරීමත් දැක්විය හැකිය. අන් අයගේ හැඟීම්වලට ප්‍රතිචාර දක්වන්නට ද සුනඛයෝ දක්ෂ වෙති. තමන් හොඳින් හඳුනන අය දුකෙන් සිටින විට සුනඛයෝ ඔවුන් අසලට ගොස් සැනසීමට උත්සාහ කරති. නමුත් ඔවුන්ට ගැඹුරු ලෙස සිතීමට නොහැකිය. ආදරය සහ සතුට ඔවුන්ට දැනුණ ද, සාමය හෝ යුක්තිය වැනි සංකීර්ණ දේ ගැන සිතීමට තරම් ඔවුන්ගේ මනස දියුණු නැත.

ආලෝකා සම්බන්ධයෙන් විද්‍යාඥයන් පවසන්නේ, ඔහු තම පරිසරයට සහ මිතුරන්ට ප්‍රතිචාර දක්වන බවයි. ඔහු සාමය ගැන නොදන්නා මුත්, ඔහු දක්වන පක්ෂපාතීත්වය මිනිසුන්ට සාමය දැනීමට උපකාරී වෙයි.

බොහෝ විට සුනඛයෝ, විශේෂයෙන්ම වීදි සුනඛයෝ තමන්ට හුරුපුරුදු ප්‍රදේශයක පමණක් වාසය කරති. එම ප්‍රදේශය ඔවුන්ගේ “පාලන ප්‍රදේශය” (Territory) ලෙස හැඳින්වෙයි. එහිදී ඔවුන්ට අවශ්‍ය ආහාර, ජලය සහ ආරක්ෂාව ලැබේ. ඔවුන් සාමාන්‍යයෙන් මෙම ප්‍රදේශයෙන් පිටතට යෑමට අකමැති වන්නේ තම ආරක්ෂාව ගැන සිතන බැවිනි.

විද්‍යාත්මක අධ්‍යයනවලට අනුව සුනඛයෙකු සාමාන්‍යයෙන් සැරිසරන්නේ මීටර් කිහිපයක හෝ කිලෝමීටර් කිහිපයක සීමාවක පමණි. නමුත් ආලෝකා ඉතා අසාමාන්‍ය ලෙස අන් සුනඛයන්ට වඩා අතිවිශාල දුරක් ඇවිදියි. එමෙන්ම, ඔහු තමාට ආදරය කරන කණ්ඩායමක කොටස්කරුවෙකු ලෙස ගමන් කරයි. ආලෝකාට එක් ස්ථිර නිවසක් නැත; ඔහු යන ගමනම ඔහුගේ නිවස වී තිබේ.

ආලෝකා මෙතරම් දුරක් ඇවිදින්නේ එම භික්ෂූන් වහන්සේලා දක්වන අසීමාන්තික කරුණාව හා දයානුකම්පාව කෙරෙහි ඇති විශ්වාසය සහ බැඳීම නිසාවෙනි. ඔවුන් ඔහුට ආහාර, සැලකිල්ල සහ මිත්‍රත්වය ලබා දෙන බැවින් ඔහු ඔවුන් සමඟ රැඳී සිටියි.

සතුන් පිළිබඳ අධ්‍යයන විශේෂඥයෝ පවා ආලෝකාගේ මෙම කැපවීම දැක පුදුම වෙති. එයට හේතු කිහිපයක් තිබිය හැකිය. ඉන් එකක් වන්නේ භික්ෂූන් වහන්සේලා සමඟ ඇති බැඳීම ය. සුනඛයෝ සමාජශීලී සත්තු ය; ඔවුන් තමන්ට සලකන අය සමඟ සමීප සබඳතා ඇති කර ගනිති. ආලෝකා වසර ගණනාවක් තිස්සේ මෙම භික්ෂූන් වහන්සේලා සමඟ සිටින නිසා ඔහුට එම භික්ෂු පිරිස තම පවුල මෙනි. තවත් කාරණයක් විය හැක්කේ පුරුද්ද සහ ප්‍රතිලාභයයි. ආරක්ෂාව සහ ආහාර ලැබෙන ක්‍රියාවන් නැවත නැවත කිරීමට සත්තු කැමැත්තක් දක්වති. ඇවිදීම දැන් ආලෝකාගේ ජීවන රටාව බවට පත් වී තිබේ. සැලකිල්ල තවත් හේතුවකි; ගමන අතරතුර සැමවිටම ඔහුට අවශ්‍ය සැප පහසුකම් සහ වෛද්‍ය ආධාර පවා ලැබේ.

ලෝකයේ සෑම රටකම පාහේ බොහෝ දෙනෙක්, විශේෂයෙන් දරුවන් ආලෝකාගේ ගමන ගැන මහත් උනන්දුවකින් පසුවෙති. විවිධ වෙබ් අඩවිවල ඒ පිළිබඳ දැක්වෙන තොරතුරුවලට අනුව, සතුන්ටත් මිනිසුන්ට මෙන් හැඟීම් තිබෙනවාද, සුනඛයෙකුට මෙතරම් දුරක් ඇවිද යාමට හැකි වූයේ කෙසේද සහ ආලෝකා සාමයේ සලකුණක් වුණේ ඇයි වැනි කාරණා පිළිබඳ දරුවන් බොහෝ සෙයින් උනන්දු වනු දැකිය හැකිය.දරුවන් මෙම කාරණා තුළින් සතුන් සහ මිනිසුන් අතර ඇති සබඳතාව ගැන ගැඹුරින් සිතන්නට පෙළඹී ඇත. ආලෝකා අපට කියා දෙන වැදගත්ම පාඩම වන්නේ කරුණාව සහ විශ්වාසයයි. සුනඛයින්ට අප මෙන් සිතිය නොහැකි වුවද, ඔවුන්ගේ සන්සුන් හැසිරීම මිනිසුන් වන අපට එකිනෙකාට කරුණාව දැක්වීමේ වටිනාකම සිහිපත් කර දෙයි.

ලෝකයේ සෑම රටකම පාහේ බොහෝ දෙනෙක්, විශේෂයෙන් දරුවන් ආලෝකාගේ ගමන ගැන මහත් උනන්දුවකින් පසුවෙති. විවිධ වෙබ් අඩවිවල ඒ පිළිබඳ දැක්වෙන තොරතුරුවලට අනුව, සතුන්ටත් මිනිසුන්ට මෙන් හැඟීම් තිබෙනවාද, සුනඛයෙකුට මෙතරම් දුරක් ඇවිද යාමට හැකි වූයේ කෙසේද සහ ආලෝකා සාමයේ සලකුණක් වුණේ ඇයි වැනි කාරණා පිළිබඳ දරුවන් බොහෝ සෙයින් උනන්දු වනු දැකිය හැකිය.

දරුවන් මෙම කාරණා තුළින් සතුන් සහ මිනිසුන් අතර ඇති සබඳතාව ගැන ගැඹුරින් සිතන්නට පෙළඹී ඇත. ආලෝකා අපට කියා දෙන වැදගත්ම පාඩම වන්නේ කරුණාව සහ විශ්වාසයයි. සුනඛයින්ට අප මෙන් සිතිය නොහැකි වුවද, ඔවුන්ගේ සන්සුන් හැසිරීම මිනිසුන් වන අපට එකිනෙකාට කරුණාව දැක්වීමේ වටිනාකම සිහිපත් කර දෙයි.

ආලෝකා මිනිසුන් මෙන් ගැඹුරු දේ ගැන නොසිතුවද, සාමය සහ මිත්‍රත්වය යනු කුමක්දැයි සිතීමට ඔහු අපට උපකාර කරයි. පාදයේ සැත්කම නිසා අද ඔහුගේ ගමන තාවකාලිකව නතර වී තිබුණද, ලෝකයම ඔහු දෙස බලා ආදරය පතුරුවයි. සතුන් සහ මිනිසුන් අතර ඇති අපූර්ව වූ බැඳීම තුළින් ලෝකය වඩාත් යහපත් තැනක් කළ හැකි බව ආලෝකා සිය නිහඬ ගමනින් අපට පෙන්වා දෙයි. එමෙන්ම වෛද්‍ය උපදෙස් මත ගත කරන කෙටි විවේක කාලය නිම වූ සැනින්, ආලෝකා මෙම සාම පා ගමනට සිය දායකත්වය නැවත ලබා දෙනු ඇත.

නිරංජන් චාමින්ද කරුණාතිලක

සතුන්ටත් හිමි අපේ ලෝකය