සාමාන්‍ය පෙළ අසමත් දරුවන් මෝඩයන් යැයි සිතන කාටත් ලෙවී ස්ට්‍රවුස් ගෙන් ඔලුව හිල් වෙන ටොක්කක්

මෙවර ද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ සිසුන් අතරේ මෙන්ම ගුරු දෙගුරුන් අතරේ ද එම විභාග ප්‍රතිඵලය මුල් කොට පැන නඟින සුපුරුදු බරපතල මිථ්‍යාවම යළි පුබුදින්නට පටන් ගෙන තිබේ. මෙරට අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගයෙන් උසස් ලෙස සමත් දූ දරුවන් විශිෂ්ඨ ගණයේ බුද්ධිමතුන් ලෙස ගෞරවාදරයට ලක් කිරීමත් එම විභාගය අසමත් වන දූ දරුවන් මෝඩයන් ලෙස සෘජු හෝ අනියම් ලෙස අවමානයට ලක් කිරීමත් ඒ මිථ්‍යාව මත පදනම් වන අගතියකි.එය මුල් කොට ගත් බරපතල සමාජ අසාධාරණයක් මත පැන නැඟි අතිශය ඛේදනීය තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ හෝ වෙනයම් කුමන හෝ විභාගයක් මගින් දරුවකු ගේ බුද්ධි පරීක්ෂාවක් ලෙස ගත හැක්කේ ඉතා සීමිත ලෙසිනි. මේ වන විට එය ලෝක පිළිගැනීමකට ලක්ව ඇති සේම අප රටේ තවමත් පවත්නා යල් පැන ගිය විභාග ක්‍රමය ලෝකයෙන් අතු ගෑවී යන තත්ත්වයක් උදා වී තිබේ. අනෙකක් තබා පසුගිය කාලය තුළ බංග්ලාදේශය පවා මේ පැරණි වැදගැම්මක් නැති විභාග ක්‍රමය කුණු මුල්ලට ඇද දමා එහි අධ්‍යාපන ක්‍රමය නවීකරණය කොට තිබේ.එවන් පසුබිමක ජනතාවගේ බුද්ධිය අවදි කළ යුතු මාධ්‍යවේදය පවා අප රට තුළ මොන්ටිසෝරි මට්ටමට පත්වීම මත සාමාන්‍ය පෙළ විභාගයෙන් උසස් ලෙස සමත් සිසුන් ගේ ගුණ රුව වැයීම වත්මන් ලඳ බොළඳ මාධ්‍ය කරුවන් ගේ විලාසිතාවක් වී තිබේ.නූතන ජනප්‍රිය අව වහරකට අනුව කිවහොත් “ගොන් ආතල්” කියන්නේ ද මේවාටම විය යුතු ය.

දරුවන් ගේ බුද්ධි ඵලය විමැසීම සම්බන්ධයෙන් ලොව විවිධ නිර්නායක යොදා ගැනෙයි. ඒ අතුරින් ලොව වඩාත්ම පිළිගත් සම්භාවිත බුද්ධි න්‍යායක් ලෙස හැඳින්වෙනුයේ
හොවාඩ් ගාඩ්නර් විසින් ඉදිරියේ කරන ලද බහු විධ බුද්ධි න්‍යායයි.හොවාඩ් ගාඩ්නර් යනු ඇමරිකානු සංවර්ධන මනෝවිද්‍යාඥයෙකි. වන හාවඩ් විශ්ව විද්‍යාලයේ හාවඩ් උපාධි අධ්‍යාපන පාසලේ සංජානනය සහ අධ්‍යාපනය පිළිබඳ ජෝන් එච්. සහ එලිසබෙත් ඒ. හොබ්ස් පර්යේෂණ මහාචාර්යවරයෙකි.අදාල විෂය පථය මුල් කොට ගාඩ්නර් විසින් පර්යේෂණ ලිපි සිය ගණනක් ලියා ඇත.ඔහු ගේ කෘති භාෂා තිහකට වැඩි ගණනකට පරිවර්තනය වී තිබේ. ගාඩ්නර් වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඔහුගේ Frames of mind -The theory of multiple intelligence (1983) නම් කෘතිය මඟින් ඉදිරිපත් කොට ඇති බහු විධ බුද්ධිය පිළිබඳ න්‍යාය සඳහා ය.එමගින් දරුවකුගේ බුද්ධියේ සෑම පරාසයක්ම සියුම් ලෙස විමසා බැලෙයි. ඒ අනුව හොවාඩ් ගාඩිනර් ගේ බහු විධ බුද්ධි න්‍යාය පිළිබඳව ලොව පුරා පවතින පොදු පිළිගැනීමට අනුව එය දැනට පවත්නා හොඳම මනෝ සංවර්ධන න්‍යාය වේ.
එමඟින් හොවාඩ් ගාඩ්නර් දරුවන් තුළ පවත්නා බුද්ධිමය ක්ෂේත්‍ර නවයක් හඳුනාගෙන ඇත. වාචසික – භාෂාමය,සංගීතය – රිද්මයානුකූල, තාර්කික – ගණිතමය, දෘශ්‍ය – අවකාශමය, කායික – සංචලනමය පුද්ගල ඇතුලාන්ත මෙන්ම අන්තර් පුද්ගල හා ස්වභාව ධර්ම බුද්ධිය ලෙස ගාඩ්නර් මේවා අර්ථ දක්වා තිබේ. එහෙත්, නූතනයේ දරුවන් ගේ බුද්ධිය මැන බලන විභාග ක්‍රමය මඟින් මෙම බහුවිධ බුද්ධි න්‍යාය අවලංගු සාධකයක් බවට පත් කොට ඇත. වර්තමාන අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියුතු බොහෝ දෙනකු විෂයක් ලෙස හොවාඩ් ගාඩ්නර් බහුවිධ බුද්ධි න්‍යාය හදාරා ඇති බව මම නිසැක ලෙසම දනිමි. එහෙත් ඒ විෂයක් ලෙසින් පමණි.නමුදු බහුවිධ බුද්ධි න්‍යාය ප්‍රායෝගික භාවිතයට ගැනීමේ හැකියාවක් ඒ බොහෝ දෙනකු තුළ නැත. ඔවුන් සිතා සිටිනුයේ බහුවිධ බුද්ධි න්‍යාය ද විෂයක් වශයෙන් හැදෑරීම ළකුණු ගැනීම සහ වෘත්තීය සුදුසුකම් ලැබීම පිණිස වන තවත් එක් පාඩමක් බවකි.

 

ඉහත සඳහන් අවාසනාවන්ත තත්වය ඇති වීමට හේතුව කුමක්ද? යන්න විමසා බලන අධ්‍යාපන ක්ෂේත්‍රයේ සීමිත පිරිසක් දක්වන එක් මතයක් වනුයේ එසේ හොවාඩ් ගාඩ්නර් ගේ බහුවිධ න්‍යාය විෂයක් වශයෙන් දැන ඉගෙන හිඳින අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ට ද තමන් උගත් ඒ පැරණි අධ්‍යාපන ක්‍රමය මගින් අලුතින් සිතීමට ඇති හැකියාව අහිමි කොට තිබීම මත ඔවුනට හොවාඩ් ගාඩ්නර් බහුවිධ බුද්ධි න්‍යායේ ප්‍රායෝගික වැදගත්කම නොපෙනෙන බැවිනි.නොදන්නා දෙයක් තමන් දන්නා කරුණු මත විමසා බැලීම ඊට හේතුව වී තිබේ.
උගත්කම සහ බුද්ධිය යනු එකක් නොවේ. උගත් මෝඩයන් සේම නූගත් බුද්ධිමතුන් ද ලොව ඕනෑ තරම් සිටිය හැක. අප රටේ දේශපාලන ක්ෂේත්‍රය තුළ හිඳින ආචාර්ය,මහාචාර්ය වශයෙන් පට්ටම් ගසා ගෙන හිඳින්නවුන් ගේ බාල බොළඳ ප්‍රකාශ සහ ක්‍රියාවන් දකින සාමාන්‍ය ජනතාවට ඔවුන් උගත් මෝඩයන් බවත් උගත්කම සහ බුද්ධිය යනු එක් මංපෙතෙක ගමන් නොකරන බවත් මනාව වටහා ගත හැකිව තිබේ.
ලෙවී ස්ට්‍රවුස් යනු විසිවන සියවසේ මැද භාගයේ සිට මෙම සියවසේ මුල් භාගය තෙක් ලෝකයේ සමාජ මානව විද්‍යා විෂය පථයට විශිෂ්ඨ මෙහෙවරක් කළ ප්‍රංශ ජාතික විද්වතෙකි. එහෙත් වයස අවුරුදු සියය සම්පූර්ණ වී 2009 වසරේ මිය යන තුරු ඔහු සිදු කළ නවතම සොයා ගැනීම් සහ හෙළි කළ වැදගත් සමාජ යථාර්ථයන් බොහොමයක් යුරෝ කේන්ද්‍රවාදීන් විසින් මෙතෙක් යට ගසා තිබේ. ලොව තෝරා ගත් මානව විද්‍යා ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ගැඹුරු පර්යේෂණයන් හි යෙදූණු ලෙවී ස්ට්‍රවුස් සති, මාස ඇතැම් විට වසර ගණන් ලොව නොදියුණු ම්ලේච්ජ යැයි සම්මත වනචාරී ගෝත්‍රික සමාජ තුළට පිවිස ඔවුන් හා සහජීවනයෙන් දිවි ගෙවා තිබේ. ඉන් පසුව ඔහු විසින් ලොව හමුවේ අනාවරණය කරන ලද ඇතැම් තොරතුරු අදහා ගැනීමට පවා නොහැකි තරම් ය.
“එම ගෝත්‍රිකයන් සමඟ ජීවත් වීම ඇරඹූ මා පොතක් පතක් කියවන සෑම විටෙකම ඔවුන් ගේ කුඩා දරුවන් පමණක් නොව වැඩිහිටියන් හා මහළු පුද්ගලයන් පවාවිස්මයෙන් යුතුව මදෙස බලා සිටියහ. ඒ එම පොත දෙස දිගු වේලාවක් බලා හිඳින්නේ කුමක්ද? යන්න ඔවුනට කෙසේ වත් වටහා ගත නොහැකි වූ බැවිනි. ඒ ඔවුන් තුළ
සාක්ෂරතාව පිළිබඳ කිසිදු දැනුමක් නොමැති නිසා බව මට රහසක් නොවිණි. ඒ අනුව ඔවුන්ට සාක්ෂරතා පුහුණුව ලබා දීමට තබා සාක්ෂරතාව යනු කුමක් දැයි ඔවුන්ට වට හා දීමට පවා නොහැකි තත්ත්වයක පසුවන බව මට අවබෝධ විය.”
පළමුව එලෙස පවසන ලෙවී ස්ට්‍රවුස් ඉන් පසුව කරනුයේ මෙබඳු සඳහනකි.
“නමුත් ඒ ගෝත්‍රිකයන් තුළ සාක්ෂරතාව යනු කුමක්ද? යන මූලික දැනීමවත් නොතිබීම මත ඔවුන් නොදියුණු නූගත් මෝඩයන් සේ හැඳින්වීමට අපට අයිතියක් තිබේද?කෙසේ වත් නැත. යමකු ඔවුන් පිළිබඳව එසේ සිතනුයේ එසේ සිතන්නවුන් යුරෝ කේන්ද්‍රීය චින්තනය පමණක් හිස දරා ගත් මෝඩයන් නිසා ය.නමුදු යුරෝ කේන්ද්‍රීය චින්තනය යනු තමන්ටම පමණක් අදාල චින්තන රටාවක් බව ඔවුන් වටහා ගත යුතු ය.

සාක්ෂරතාව පිළිබඳ කිසිවක් නොදත් එම ගෝත්‍රික සමාජ තුළ තමන් ජීවත් වන්නවුන් තුළ එම පරිසරය සහ ඒ තුළින් ආරක්ෂාකාරී ලෙස තම දිවිපෙවෙත ගත කළ හැකි ආකාරය පිළිබඳ විස්මයානුකූල දැනුම් අවබෝධයන් රැසක් තිබේ. තමන් ජීවත් වන පරිසරයේ එක් එක් ගස් වලින් කොළ බිම හැලීම වැනි සුලබ දී සම්බන්ධයෙන් පවා එහි පරිනත වැඩිහිටියකු තුළ පවතින දැනුම ඔවුන් ගේ බුද්ධිමය ප්‍රභාව මැනැවින් ප්‍රකට කරවන්නකි. එමෙන්ම මෙම ජෛව ගෝලය සම්බන්ධයෙන් විද්‍යා තාක්ෂණික පසුබිමක් තුළ අප උකහා ගත් දැනුමට වඩා කෙසේවත් ලඝු නොවන සාම්ප්‍රදායික දැනුම් අවබෝධයන් සම්භාරයක් තිබේ. තමන් ජීවත් වන පරිසරයේ කාලගුණික සාධක සේම වෙසෙන ක්ෂීරපායි, පක්ෂි, උරග, මත්ස්‍ය, සමනළ යන සතුන් පිළිබඳව සේම එක් එක් කෘමි විශේෂය සම්බන්ධ පරතෙරට ගිය දැනුම් අවබෝධයන් ඔවුන් තුළ තිබේ. දොල පහරකින් ජලය ගලා යාමේ හඬ මුල් කොට පවා පැවැති වර්ෂාව පිළිබඳ ගණනයක් කිරීමේ සියුම් ශාස්ත්‍රයන් ඔවුන් සතු ය. තම දිවි පැවැත්ම උදෙසා පාරම්පරික විඥානය සහ අත්දැකීම් පරාසය සුසංයෝග කොට තම බුද්ධිය මුල් කොට එවන් දැනුම් අවබෝධයන් සම්භාරයක් ලබා ගෙන හිඳින ඔවුන් නූගත් මෝඩයන් සේ සැළකීම යුරෝ කේන්ද්‍රවාදී මෝඩයන් ගේ ක්‍රියාවක් බව නිසැකය.එමෙන්ම තමන් විසින් ගොඩනඟා ගත් යුරෝ කේන්ද්‍රීය චින්තනය මුල්කොට ගත් මතවාදී සමාජ මානව විද්‍යා නමින් හැඳින්වීමම ඔවුන් ගේ අවිද්‍යාත්මක චින්තනය හුවා දක්වන්නකි”.

ඉහත සඳහන් ප්‍රකාශ නිසා යුරෝ කේන්ද්‍රවාදීන් ගේ දැඩි අප්‍රසාදයට පත් මෙම සුවිශේෂ විද්වතා මේ වන විට මෙලොව නොමැති වුවද තව දශක කිහිපයක් තුළ දී පරිනාමය ව
මිනිස් බුද්ධි හමුවේ ඔහුගේ එම ඉගැන්වීම් වලට වඩාත් යහපත් සමාජමය පිළිගැනීමක් ලැබේයැයි අපේක්ෂා කෙරේ. එහෙත් ලෝකය තුළ එවැනි ස්වභාවික යුක්තිය මත පදනම් වන නව චින්තන නැඹුරුවක් ඇති වන අනාගතයේ දී හෝ අප රටේ විභාගයකින් ඉහළ ලකුණු ලබා ගන්නවුන් බුද්ධිමතුන් ලෙසත් සෙස්සන් මෝඩයන් ලෙසත් සළකන අඳ බාල සමාජ ආකල්පය පහව නොයනු ඇතැයි අපට සිතෙයි.ලෙවී ස්ට්‍රවුස් ගේ මෙම නිර්ණායකය යුරෝ කේන්ද්‍රවාදීන්ට සේම මෙරට අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගයෙන් උසස් ලෙස සමත් දූ දරුවන් විශිෂ්ඨ ගණයේ බුද්ධිමතුන් ලෙස ගෞරවාදරයට ලක් කරන එම විභාගය අසමත් වන දූ දරුවන් මෝඩයන් ලෙස සෘජු හෝ අනියම් ලෙස අවමානයට ලක් කරන නූතන සමාජයට “ඔලුව හිල් කරන ටොක්කක් ” බව මගේ විශ්වාසයයි.

හේමන්ත රන්බණ්ඩාර

එතෙර - මෙතෙර