සැබෑ චරිතවල හැසිරීම් විකෘති කරන Deepfake වලට ඩෙන්මාර්කයෙන් තහංචියක්

දේශපාලනඥයින්, නළු නිළියන්, ගායක ගායිකාවන් වැනි ජනප්‍රිය පුද්ගලයින් විසින් සිදුකරනු ලබන, ඇතැම්විට විශ්වාස කළ නොහැකි ආකාරයේ ක්‍රියාවන් සම්බන්ධ වීඩියෝ දර්ශන මෑතක සිට සමාජ මාධ්‍ය තුළ නිතර දක්නට ලැබීම සුලබ දෙයක් බවට පත්ව තිබේ. ඉතා හොඳින් බැලූ විට ඒවා යම්කිසි තාක්ෂණික ක්‍රමවේදයක් ඔස්සේ නිර්මාණය කළ ඒවා බව පෙනුන ද ඇතැම් ඒවා එසේ හඳුනා ගැනීමට පවා දුෂ්කර තත්ත්වයක පවතී. ඒ අතරේ පරිගණක ඇසුරින් සකස් කරන ලද ව්‍යාජ වීඩියෝ දර්ශන නිසා දුෂ්කරතාවන්ට පත් වූ පුද්ගලයින් පිළිබඳ ප්‍රවෘත්ති ද අසන්නට ලැබේ. මේවා මෙතරම් වේගයෙන් නිර්මාණය වීම පසුපස පවතින්නේ කෘත්‍රිම බුද්ධිය තුළින් ගොඩනැගුණු deepfake නම් තාක්ෂණයයි. මේ තාක්ෂණය අවභාවිත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඕනෑම කෙනෙකුගේ පෞද්ගලිකත්වයට හානි කරමින් දිනෙන් දින ලොව පුරා වර්ධනය වෙමින් පවතින බැවින් ලෝකයේ ඇතැම් රටවල් එයට එහෙිව විවිධ ක්‍රියාමාර්ග ගැනීමටය මේ වන විට කටයුතු යොදා තිබේ.

ඩෙන්මාර්ගය විසින් තහනම් කොට ඇති deepfake යනුවෙන් හඳුන්වනු ලබන්නේ deep learning නම් තාක්ෂණය ඔස්සේ කෘත්‍රිම බුද්ධිය මගින් ජනනය කරනු ලබන ව්‍යාජ ශබ්ද, වීඩියෝ හෝ ඡායාරූපයන්ය. deepfake නම් යෙදුම නිර්මාණය වී ඇත්තේ deep learning සහ ව්‍යාජත්වය හඳුන්වන fake නම් වදන් දෙක එක් කිරීමෙනි. මේ තාක්ෂණය තුළ ඇති යාන්ත්‍රික ඉගෙනීමේ ඇල්ගොරිදමය සහ ව්‍යාජත්වය එයින්ම පැහැදිලි වේ.

ට්‍රම්ප්ගේ රුව සහිතව නිර්මාණය කළ Deepfake වීඩියෝවක කොටස්

deepfake තාක්ෂණයට එරෙහිව දැඩි පියවරක් ගන්නට මේ වන ඩෙන්මාර්කය කටයුතු යොදා තිබේ. deepfake නම් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඔස්සේ අනවසරයෙන් සිදු කෙරෙන නිර්මාණයන් සඳහා තහංචි පැනවීමේ හැකියාව මේ තීරණයත් සමග ක්‍රියාත්මක වෙයි. ඩිජිටල් පුද්ගලාරූපණයන්වලට එරෙහිව සටන් වැදීමේ පුරෝගාමියා බවට මේ අනුව ඩෙන්මාර්කය පත්ව තිබේ. ඩෙන්මාර්ක් බුද්ධිමය දේපළ නීතියට සිදු කෙරුණු මේ නවතම සංශෝධනය යටතේ ප්‍රසිද්ධ හෝ ඕනෑම සාමාන්‍ය පුරවැසියකුට හෝ ස්වකීය මුහුණු ලක්ෂණ, කටහඬ සහ හැඩහුරුකම සම්බන්ධව නීතිමය හිමිකාරිත්වයක් ලැබෙයි. මෙය තවමත් මූලික අදියරයෙහි පවතින අතර 2025 වසර අගභාගය හෝ 2026 මුල් භාගය වන විට ක්‍රියාත්මක වන්නට නියමිතය. යථාර්ථය ඉතා විනාශකාරී ආකාරයෙන් නිර්මාණය කරන්නට කෘත්‍රිම බුද්ධියට හැකියාව ලැබෙමින් පවතින අවධියක ඩෙන්මාර්කය මේ තීරණාත්මක පියවර ගෙන තිබේ. වර්තමානය වන විට කෘත්‍රිම බුද්ධිය විනාශකාරී ලෙස භාවිත වනු ඕනෑ තරම් දක්නට තැබීම මෙවැනි තීරණයකට එරට යොමු වීමට හේතුව වන්නට ඇත. ඕනෑම පුද්ගලයකුගේ මුහුණුවර ඇසුරෙන් කිසිසේත්ම වෙන් කොට හඳුනාගත නොහැකි තරම් සජීවීව කෘත්‍රිම බුද්ධිය ඔස්සේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන නිර්මාණය කළ හැකි අතර එය විනාශකාරී ක්‍රියාවන් සඳහා පහසුවෙන් උපයෝගී කර ගත හැකිව තිබේ. අනෙක මේවා ඉතාමත් පහසුවෙන් නිර්මාණය කර ගැනිම සඳහා වෙබ් අඩවි ද ඕනෑ තරම් තිබේ.

ඩෙන්මාර්ගය විසින් තහනම් කොට ඇති deepfake යනුවෙන් හඳුන්වනු ලබන්නේ deep learning නම් තාක්ෂණය ඔස්සේ කෘත්‍රිම බුද්ධිය මගින් ජනනය කරනු ලබන ව්‍යාජ ශබ්ද, වීඩියෝ හෝ ඡායාරූපයන්ය. deepfake නම් යෙදුම නිර්මාණය වී ඇත්තේ deep learning සහ ව්‍යාජත්වය හඳුන්වන fake නම් වදන් දෙක එක් කිරීමෙනි. මේ තාක්ෂණය තුළ ඇති යාන්ත්‍රික ඉගෙනීමේ ඇල්ගොරිදමය සහ ව්‍යාජත්වය එයින්ම පැහැදිලි වේ.

යුක්රේන ජනපති සෙලෙන්ස්කිගේ රුව සහිත deepfake වීඩියෝවක කොටසක්

සැබෑ හඬ, වීඩියෝ සහ ඡායාරූප බොහෝ ගණනක් ස්නායුක ජාල පද්ධතිවලට (neural networks) පුහුණු කිරීමෙන් පසු, ඒවායේ සිටින සැබෑ පුද්ගලයින්ගේ මුහුණු ප්‍රකාශන, හඬ රටා සහ ශාරීරික චලනයන් අනුකරණය කිරීමට deepfake පද්ධතියකට හැකියාව ලැබේ. මේ ඔස්සේ සැබෑ පුද්ගලයින් හා සෑම අතින්ම සමාන හඬ සහ වීඩියෝ ඛණ්ඩ නිර්මාණය කිරීමට නිර්මාණකරුවන්ට හැකියාව ලැබෙන අතර සැබෑ පුද්ගලයින් සිය ජීවිතය තුළ කිසිදු සිදු නොකළ දෑ කරන්නා සේ නිර්මාණය කර පෙන්වන්නට ද හැකියාව ලැබේ.

මුල් කාලයේ කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ පර්යේෂණයන් සිදු කිරීමේ දී deepfake යනු හිංසාකාරී නොවන තාක්ෂණයක් ලෙස පෙනුණ ද, එය දෙපැත්ත කැපෙන අවියක් බවට පත් වන්නට වැඩි කාලයක් ගත වූයේ නැත. එය නිර්මාණශීලී කටයුතු සඳහා යොදා ගැනීමේ හැකියාව පමණක් නොව, වැරදි තොරතුරු සමාජය වෙත මුදා හැරෙන, අනන්‍යතාව සොරකම් කරන, තර්ජනයෙන් බිය වැද්දවීම් වැනි ක්‍රියාවන් සිදු කළ හැකි ප්‍රබල අවියක් බවට පත් විය.

deepfake තාක්ෂණයේ ඇති මහත් අනතුරුදායක කාරණය වන්නේ පුද්ගලයකුගේ පෞද්ගලිකත්වය විනාශ කිරීමට එයට ඇති හැකියාවය. විශේෂයෙන් කාන්තාවන්ගේ ඡායාරූප භාවිත කරමින් ඒවා අසැබි දර්ශන සඳහා යොදා ගැනීමට ඇති හැකියාව නිසා එය මානසික මෙන්ම සමාජමය වශයෙන් මහත් විනාශකාරී ප්‍රතිඵල අත් කර දෙන්නට හේතු වී තිබේ. දේශපාලනික සහ කීර්තිමත්, සුප්‍රකට චරිත ඔවුන් කිසිදා පෙනී නොසිටි ස්වභාවයෙන් වීඩියෝ දර්ශනවල පෙනි සිටිනු, කිසිදා නොකළ ආකාරයේ දේශන පවත්වනු සමාජ මාධ්‍යවල ඕනෑතරම් දකින්නට ලැබේ. මේ තත්ත්වය කීර්තිමත් චරිත සම්බන්ධයෙන් ව්‍යාකූලත්වයක් ඇති කරන්නට හේතු වී තිබේ.

කීර්තිමත්, සුප්‍රකට චරිත පමණක් නොව සාමාන්‍ය ජනතාව ද මේ නිසා අවදානමට ලක්ව සිටී. සමාජ මාධ්‍යවල ඇති ඡායාරූප කිහිපයක් හෝ කෙටි වීඩියෝ දර්ශන කිහිපයක් උපයෝගී කර ගනිමින් කෘත්‍රිම බුද්ධි ඇල්ගොරිතමයට ව්‍යාජ වීඩියෝ ජනනය කළ හැකි අතර ඒවා තර්ජන කිරීම් සඳහා, කීර්තිනාමය විනාශ කිරීම් සඳහා හෝ වෙනත් වංචා සහගත කටයුතු සඳහා පහසුවෙන්ම යොදා ගත හැකිය. එවැන්නක් සමාජ මාධ්‍ය තුළ අතිශය වේගයෙන් සංසරණය වුවහොත් අදාළ පුද්ගලයාට එමගින් ඇති වන මානසික පීඩනය යලි කිසිදා ආපසු හැරවිය නොහැකි අතර අවසානයේ ජීවිතයෙන් වුව වන්දි ගෙවන්නට සිදු වනු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය තුළ deepfake තාක්ෂණය මගින් මාධ්‍ය සහ ආයතනමය වශයෙන් මහජන විශ්වාසය තර්ජනයකට ලක් වෙයි. දේශපාලනඥයකුට, සමාජ ක්‍රියාකාරියකුට හෝ මාධ්‍යවේදියකුට එරෙහිව මහජනතාව තුළ බලපෑමක් ඇති කළ හැකි අන්දමේ ව්‍යාජ වීඩියෝ දර්ශනයක් නිසා සමාජය තුළ වෛරී සහගත ක්‍රියාවන් සිදු විය හැකි අතර ඇතැම් විට මැතිවරණ කෙරෙහි පවා දැඩි බලපෑම් එල්ල විය හැකිය.

deepfake තාක්ෂණය අවභාවිත වීම දිනෙන් දින වර්ධනය වන වටපිටාවක් තුළ මෙය වඩාත් යහපත් අරමුණු සඳහා ද භාවිත කිරීම පිළිබඳව ද සඳහන් කළ යුතුය. එය බොහෝ විට දකින්නට ලැබෙන්නේ වින්දනාත්මක ක්ෂේත්‍රය තුළිනි.

හොලිවුඩ් සිනමා ක්ෂේත්‍රය තුළ කලක් වැජඹුණු, මේ වන විට වයස් ගතව, අබල දුබලව සිටින ඇති ප්‍රබල පුද්ගල චරිත මේ තාක්ෂණය ඔස්සේ ඔවුන් කිසිදා අපේක්ෂා නොකළ අන්දමේ ක්‍රියාදාමයන් සිදු කළ හැකි තත්ත්වයට ගෙන එන්නට හැකියාව ලැබී තිබේ. නිදසුනක් ලෙස 2023 වසරේ තිරගත වූ Star Wars චිත්‍රපටය සඳහන් කළ හැකිය. මේ චිත්‍රපටය සඳහා කෘත්‍රිම බුද්ධිය පාදක කරගත් මුහුණු සහ සිරුරු සිතියම් ගත කිරීමේ තාක්ෂණයක් යොදා ගත් අතර වයස් ගත රංගන ශිල්පීන් නැවතත් ක්‍රියාශීලී තාරුණ්‍යය කරා රැගෙන එන්නට එහි දී හැකියාව ලැබිණි. Star Wars චිත්‍රපටය සඳහා ද මේ තාක්ෂණය යොදා ගනු ලැබිණි.

ඉන්දීය සිනමා කර්මාන්තය තුළ ද මේ තාක්ෂණය යොදා ගනු දක්නට ලැබේ. 2023 නිර්මාණය වූ ‘කෝලායි’ නම් දෙමළ චිත්‍රපටය තුළින් මෙය දැක ගත හැකි විය. එමෙන්ම ‘ලාල් සිං චද්ධා’ සහ ඕම් රාවුත්ගේ ‘අදිපුරුෂ්’ චිත්‍රපටය සඳහා මේ තාක්ෂණය යොදා ගෙන තිබේ. 2024 වසරේ ෂා රුක් ඛාන් පෙනි සිටී වෙළෙඳ දැන්වීම් නිර්මාණයක් සඳහා ද කෘත්‍රිම බුද්ධිය දැඩි ලෙස භාවිත කළ බව දක්නට හැකි විය.

deepfake තාක්ෂණය සදාචාරාත්මක වශයෙන් සංකීර්ණ තත්ත්වයක් ඇති කළ ද, වින්දනාත්මක කර්මාන්තය තුළ එය ඉතා නිර්මාණශීලී ආකාරයෙන් භාවිත කළ හැකි බව ඉහත නිදසුන් මගින් පැහැදිලි වේ.

ඩෙන්මාර්ක් රජය යෝජනා කර ඇති නීතිය වූ කලී deepfake තාක්ෂණය පාලනය කිරීම සඳහා මෙතෙක් ලොව ඕනෑම රටක් ගෙන ඇති නිර්භීතම තීරණය ලෙස සැලකිය හැකිය. මෙය යුරෝපා සංගමයේ රටවල් කෙරෙහි ද බලපෑමක් එල්ල කළ හැකි තිරණයක් විය හැකි අතර ලෝකයේ අනෙක් රටවල් ද මේ සම්බන්ධයෙන් යම් සැලකිල්ලක් දක්වන්නට මෙය හේතුවක් වනු ඇත.

ට්‍රම්ප්ගේ රුව සහිතව නිර්මාණය කළ Deepfake වීඩියෝවක කොටස්

ප්‍රංශය ද ලිංගික දර්ශන සහිත deepfake නිර්මාණ අපරාධයක් ලෙස නම් කොට ඇති අතර එවැන්නකට වරදකරු වුවහොත් වසර දෙකක සිර දඬුවමක් නියම කෙරේ. එක්සත් රාජධානිය ද කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කෙරෙන අසැබි ඡායාරූප සහ වීඩියෝ දර්ශනවලට එරෙහිව නීතිමය ප්‍රතිපාදන මේ වන විටත් සකස් කොට තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ කැලිපෝර්නියාව, ටෙක්සාස් සහ වර්ජිනියා වැනි ඇතැම් ප්‍රාන්තවල මැතිවරණ සහ අසැබි දර්ශන සඳහා deepfake තාක්ෂණය යොදා ගැනීම තහනම් කිරීමේ නීති සම්පාදනය කොට තිබේ.

මේ ප්‍රවණතාවයන්ගෙන් පෙනෙන්නේ ලෝකයේ තවත් රටවල් ද ඉදිරියේ දී ඩෙන්මාර්කය ගත් ක්‍රියාමාර්ගය ගැනීමට ඇති ඉඩකඩ ඉතා ඉහළ බවය. ඩිජිටල් වශයෙන් ඇති වන හානිය අවම කර ගනිමින් ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කර ගැනීම සඳහා ගෝලීය වශයෙන් නීති රෙගුලාසි ඇති කිරීම සඳහා නීති සම්පාදකයෝ කටයුතු යොදමින් සිටිති.

deepfake තාක්ෂණය සහමුලින්ම තහනම් කිරීම කළ හැකි හෝ සුදුසු දෙයක් නොවන්නට පුළුවන. කළ යුත්තේ එය වඩාත් විනිවිදභාවයෙන් සහ සදාචාරාත්මක ලෙස භාවිත කිරීම සඳහා නීති රෙගුලාසි ද සම්පාදනය කිරීමය. කෘත්‍රිම බුද්ධිය මාධ්‍ය නිර්මාණ තුළට වඩ වඩාත් ඒකාබද්ධ වීමේ දී, ඒ සමගම ඒවායේ සත්‍යබව තහවුරු කිරීමේ මෙවලම් සහ දිය සලකුණු පද්ධති (Water mark system) ද දියුණු විය යුතුය. මේ ආකාරයෙන් නිර්මාණය කළ දෑ සම්බන්ධයෙන් මහජනයා දැනුවත්කිරීමේ වැඩසටහන් සහ මාධ්‍ය සාක්ෂරතාව අත්‍යවශ්‍ය වේ.

කෘත්‍රිම බුද්ධිය වැරදි භාවිතයට එරෙහිව සමාජය කෙසේ ප්‍රතිචාර දක්වන්නේ ද යන්න පෙන්වීමේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස ඩෙන්මාර්කයේ නීති සම්පාදක අංශය විසින් ඉදිරිපත් කරන ලද නව නීතී රීතී හැඳින්විය හැකිය. සිය ඩිජිටල් අනන්‍යතාව යළි අත්පත් කරගැනීම සඳහා පුද්ගලයින් බල ගැන්වීමෙන් සදාචාරාත්මක කෘත්‍රිම බුද්ධි පාලනයක් සඳහා පූර්වාදර්ශයක් සකසයි. deepfake තාක්ෂණය තිබිය යුතුය. නමුත්, අප එය භාවිත කිරීම හෝ පාලනය කිරීම අප කළ යුත්තේ කෙසේද යන්න අප තෝරා ගන්නා ආකාරය අනුව එය නිර්මාණශීලිත්වයේ මෙවලමක් ද, එසේත් නැත්නම් සත්‍යයට සහ මානව ගරුත්වයට තර්ජනයක් ද යන්න තීරණය වනු ඇත.

ඊළඟ දශකය තුළ තිබිය යුතු වැදගත් අංගයන් කිහිපයකි. ඉන් එකක් වන්නේ නම් කළ කෘත්‍රිම බුද්ධි නිර්මාණයන්ය. එනම්, යමක් කෘත්‍රිම බුද්ධිය මගින් නිර්මාණය කරන ලද්දක් බව සවිස්තරව සඳහන් කොට තිබීමය. යම් පුද්ගලයකුගේ කැමැත්ත පරිදි ඔහුගේ මුහුණ පිටපත් කළ හැකිය. තාක්ෂණික සමාගම්, නීති සම්පාදකයින්, කලාකරුවන් සහ සිවිල් සමාජය මේ සමාජ ධර්මතා අර්ථ නිරූපණය කිරීම සඳහා අත්වැල් බැඳ ගත යුතුය.

කෘත්‍රිම බුද්ධිය වැරදි භාවිතයට එරෙහිව සමාජය කෙසේ ප්‍රතිචාර දක්වන්නේ ද යන්න පෙන්වීමේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස ඩෙන්මාර්කයේ නීති සම්පාදක අංශය විසින් ඉදිරිපත් කරන ලද නව නීතී රීතී හැඳින්විය හැකිය. සිය ඩිජිටල් අනන්‍යතාව යළි අත්පත් කරගැනීම සඳහා පුද්ගලයින් බල ගැන්වීමෙන් සදාචාරාත්මක කෘත්‍රිම බුද්ධි පාලනයක් සඳහා පූර්වාදර්ශයක් සකසයි. deepfake තාක්ෂණය තිබිය යුතුය. නමුත්, අප එය භාවිත කිරීම හෝ පාලනය කිරීම අප කළ යුත්තේ කෙසේද යන්න අප තෝරා ගන්නා ආකාරය අනුව එය නිර්මාණශීලිත්වයේ මෙවලමක් ද, එසේත් නැත්නම් සත්‍යයට සහ මානව ගරුත්වයට තර්ජනයක් ද යන්න තීරණය වනු ඇත.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර