සිංහලයන් දකුණු ඉන්දියානුවන්ගෙන් පැවත එන බව ඇත්තක්ද?

සිංහලයන් පැවත එන්නේ දකුණු ඉන්දියානුවන්ගෙන් යනුවෙන් පුවතක් ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පතේ පළ වූ ලිපිය මේ වන විට දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කොට තිබේ. විද්වත් ලිපි ප්‍රකාශයට පත් කෙරෙන ලොව පිළිගත් වෙබ් අඩවියක් වූ Current Biology හි පළ වූ Population histories of the Indigenous Adivasi and Sinhalese from Sri Lanka using whole genomes නම් පර්යේෂණ නිබන්ධනයේ සඳහන් කරුණු මේ ලිපිය සඳහා පාදක වී තිබේ. මේ පර්යේෂණ පත්‍රිකාවට අදාළ අධ්‍යයනයට අනුව සිංහලයන්ගේ සහ ආදිවාසී වැදි ජනතාවගේ ජානමය ව්‍යුහය දකුණු ඉන්දියානු ජනතාව සමග, විශේෂයෙන් ද්‍රවිඩ භාෂාව කතා කරන කණ්ඩායම් සමග සැලකිය යුතු සමානකම් පවතින බව පෙන්වා දී තිබේ. මේ අධ්‍යයනය සඳහා සිංහලයන් 35 දෙනෙකුගේ සහ වැදි ජනතාවගෙන් 19 කෙනෙකුගේ ජාන පරීක්ෂාවන් සිදු කොට තිබෙන අතර ඔවුන්ට පොදු දකුණු ඉන්දීය ප්‍රභවයක් ගැඹුරින් පවතින බව එයින් සොයා ගෙන ඇතැයි පැවසේ.

මුලින්ම බැලූ බැල්මට පෙනෙන්නේ මේ අධ්‍යයනයෙන් හෙළි වී තිබෙන තොරතුරුවලට අනුව, සිංහලයන් යනු ක්‍රි.පූ. 500 දී පමණ උතුරු ඉන්දියාවේ සිට පැමිණි ඉන්දු-ආර්ය සංක්‍රමණිකයන්ගෙන් පැවත එන්නන් බවට දිගු කලක් තිස්සේ පැවති මතයට පටහැනි බවය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැමුන් සිංහලයන්ගේ සාම්ප්‍රදායිකව පිළිගත් ආර්ය සම්භවය සහ සිංහල භාෂාවේ ඉන්දු-ආර්ය මූලයන් ප්‍රශ්න කිරීමට පටන් ගෙන තිබේ. කෙසේ වෙතත්, වඩාත් ගැඹුරින් හා වඩාත් සමබර විශ්ලේෂණයක් කිරීමේ දී පෙනී යන්නේ මේ කාරණයට ජානමය දත්තවලින් යම් වැදගත් තොරතුරක් එක් කරන්නේ වුවද, එය ආර්ය උරුමය ඉස්මතු කරවන ශක්තිමත් භාෂාමය, ඓතිහාසිකමය සහ සංස්කෘතිමය සාක්ෂි ප්‍රතික්ෂේප නොකරන බවය.

වර්තමාන ආදි වාසි පරපුර

සිංහල යනු දැවැන්ත ඉන්දු-යුරෝපීය පවුලක ශාඛාවක් වූ, ආර්ය භාෂාවක් ලෙස වර්ගීකරණය කොට තිබේ. එය පරිණාමය වී ඇත්තේ ප්‍රාකෘත භාෂාවේ මුල් ස්වරූපයක් වන ‘එළු’ (හෙළ) බසින් වන අතර එය පුරාණ උතුරු ඉන්දියාවේ කතා කළ ඉන්දු-ආර්ය උප භාෂාවකි. මේ කාරණය මුල් වරට සොයා ඉස්මතු කරවන ලද්දේ ගයිගර් පඬිවරයා විසිනි. සිංහල ව්‍යාකරණ, වාග්කෝෂය, ශබ්ද විද්‍යාව සහ වාක්‍ය රටා සංස්කෘත පාලි වැනි සම්භාව්‍ය ආර්ය භාෂා සමග ගැඹුරු ව්‍යුහාත්මක සමානකම් බෙදාහදා ගනී. මේවා හුදෙක් මතුපිටින් පමණක් පෙනෙන ලක්ෂණයන් පමණක් නොව, උතුරු ඉන්දියානු ආභාෂය ඔස්සේ සියවස් ගණනක් තිස්සේ පැවති භාෂාමය පරිණාමය ද පිළිබිඹු කරයි.

වර්තමාන සිංහල භාෂාවෙහි භාවිත වන අක්ෂර මාලාව බ්‍රාහ්මී අක්ෂරයන්ගේ ප්‍රභවය වූ ඒවා වන අතර, එය අශෝක අධිරාජයාගේ සමයෙහි පුරාණ ඉන්දියානු භාෂාවන්ට පාදක වූ අක්ෂර මාලාව වේ. අනෙක දෙමළ හෝ මලයාලම් වැනි ද්‍රාවිඩ භාෂාවන්ගෙන් සිංහල භාෂාව වෙන්ව පැවතීම තුලින්ම එහි ඇති අද්විතීය ආර්ය ලක්ෂණය මැනවින් ඉස්මතු කොට දක්වයි. සියවස් ගණනාවක් තිස්සේ ඇතැම් වචන මාලා දෙමළ භාෂාවෙන් සිංහලයට එක් වී ඇතත්, එයින් සිංහල භාෂාවෙහි ඇති මූලික ව්‍යුහය සහ උරුමය වෙනස් වන්නේ නැත.

‘මහාවංශය’ වැනි ඓතිහාසික වංශ කතා මූලාශ්‍රවල, වර්තමානයේ බෙංගාලය නමින් හැඳින්වෙන, අතීතයේ වංග දේශය නැමති ප්‍රදේශයෙන් පැමිණි විජය කුමරු සහ ඔහුගේ අනුගාමිකයන් පිළිබඳ විස්තර ඇතුලත්ය. ක්‍රි.පූ. 500 දී පමණ සිදු වූ මේ සංක්‍රමණය, සිංහල ශිෂ්ටාචාරයේ පදනම ලෙස සැලකේ. ක්‍රි.පූ. 3 වැනි සියවසට අයත් බ්‍රාහ්මී සෙල්ලිපි ඇතුළු පුරා විද්‍යා සාධක මෙය තහවුරු කරන අතර දිවයින මුළුල්ලේ ඉන්දු-ආර්ය භාෂාව සහ බුදු දහම ව්‍යාප්තව යාම එය තුළින් පිළිබිඹු කෙරේ.

මේ සංක්‍රමණයට ඉන්දු-ආර්ය කුඩා කණ්ඩායමක් සම්බන්ධ වූ නමුත් පසුව ඔවුහු ශ්‍රී ලංකාව තුළ සංස්කෘතිකමය වශයෙන් ආධිපත්‍යයක් පැතිරවීමට සමත් වූහ. කාලයත් සමග ඔවුහු දකුණු ආසියානු සංක්‍රමණිකයන් සහ ස්වදේශික කණ්ඩායම් සමග ඒකාබද්ධ වූහ. වර්තමාන සිංහලයන්ගේ ජාන තුළින් ප්‍රබල ලෙස දකුණු ඉන්දීය ලක්ෂණ පිළිබිඹු කරන්නට හේතු වී ඇත්තේ මේ ඒකාබද්ධ වීමය.

ආර්යයන් යුරෝපයේ සිට උතුරු ඉන්දියාව දක්වා ව්‍යාප්ත වූ ආකාරය

මෑතක දී සිදු කළ ජාන අධ්‍යයනය තුළින් මේ ඓතිහාසික සම්මිශ්‍රණය ඉස්මතු කරමින් සිංහලයන් සහ වැදි ජනතාව තුළ දකුණු ඉන්දීය ජානමය ලක්ෂණ ඉහළ අනුපාතිකයකින් පවතින බව පෙන්නුම් කරයි. කෙසේ නමුත් හුදෙක් මේ ජානමය කාරණය නිසා සිංහල සංස්කෘතික ඉතිහාසය තුළ පවතින ආර්ය මූලයන් යටපත් වන්නේ නැත. ආර්ය භාෂාව කතා කරන ජනතාව කිසි විටෙකත් අනෙකුත් ජාතීන්ගෙන් වෙන්ව හුදෙකලාව ජීවත් නොවූ අතර, ඔවුන් අනෙකුත් කණ්ඩායම් සමග ද ඒකාබද්ධ වී ජානමය වශයෙන් විවිධාකාර නමුත් භාෂාමය සහ සංස්කෘතිකමය වශයෙන් සුසංයෝගී ශිෂ්ටාචාරයක් නිර්මාණය කළ බවට පෙනී යයි.

අප වැඩිදුර නොසිතුවද, හදිසියේ සිදුවූ මේ ජානමය අධ්‍යයනයට යටින් අදාශ්‍යමානව යම් දේශපාලන ප්‍රවාහයක් ද පැවතිය හැකිය. සිංහලයන් උතුරු ඉන්දියාවෙන් පැවැත එන්නන් නොවන්නන් හෝ ආර්ය නොවන්නන් වශයෙන් සහ දකුණු ඉන්දියානුවන් ලෙස කොටු කිරීමෙන් ශ්‍රී ලාංකේය සිංහලයන්ගේ ස්වෛරීභාවය සහ අනන්‍යතාවය ඉස්මතු කරවන සංස්කෘතික සහ ඓතිහාසික ආඛ්‍යානය දුර්වල කිරීමේ උත්සාහයක් ද මෙය පසුපස පැවතිය හැකිය.

ජානමය අනන්‍යතාව සෑම විටම භාෂාමය හෝ සංස්කෘතිකමය අනන්‍යතාව සමග නොගැළපෙන බව මතක තබා ගැනීම වැදගත්ය. පැමිණෙන ජනගහනය සුළු වුව ද, ප්‍රභූ ආධිපත්‍යය, වෙළෙඳාම, ආගම සහ සංක්‍රමණය හරහා භාෂා පැතිර යා හැකිය. යුරෝපයේ රෝමානුකරණය, උතුරු අප්‍රිකාවේ අරාබිකරණය සහ ගෝලීය වශයෙන් ඉංග්‍රීසි භාෂාව ව්‍යාප්ත වීම යන සියල්ලම මහා පරිමාණ ජානමය වෙනස්වීම්වලින් වෙන්ව සිදුවන භාෂාමය විතැන්වීම සඳහා උදාහරණ ලෙස දැක්විය හැකිය.

අප වැඩිදුර නොසිතුවද, හදිසියේ සිදුවූ මේ ජානමය අධ්‍යයනයට යටින් අදාශ්‍යමානව යම් දේශපාලන ප්‍රවාහයක් ද පැවතිය හැකිය. සිංහලයන් උතුරු ඉන්දියාවෙන් පැවැත එන්නන් නොවන්නන් හෝ ආර්ය නොවන්නන් වශයෙන් සහ දකුණු ඉන්දියානුවන් ලෙස කොටු කිරීමෙන් ශ්‍රී ලාංකේය සිංහලයන්ගේ ස්වෛරීභාවය සහ අනන්‍යතාවය ඉස්මතු කරවන සංස්කෘතික සහ ඓතිහාසික ආඛ්‍යානය දුර්වල කිරීමේ උත්සාහයක් ද මෙය පසුපස පැවතිය හැකිය.

මේ කොටු කිරීම විශේෂයෙන් දෙමළ ජාතිවාදය හෝ ෆෙඩරල්වාදය නැවත ඇගයීමට ලක්වෙන සන්දර්භයක් තුළ, දකුණු ආසියානු භූදේශපාලනික ආඛ්‍යානය නැවත සකස් කිරීමට උනන්දුවක් දක්වන, බාහිර දේශපාලන ක්‍රියාකාරිකයන්ට වාසිදායක විය හැකිය. ජානමය වශයෙන් සිංහලයන් සහ දකුණු ඉන්දීය ජනයා මූලිකව සමාන බව දැක්වීම තුළින්, අනන්‍ය වූ ශිෂ්ටාචාරයක් සහ භාෂාවක් උදෙසා සිංහල ජනතාවගේ ඓතිහාසික හිමිකම්වල නීත්‍යනුකූල අයිතිය අඩපණ කිරීමේ අවදානමක් වුව මේ පසුපස තිබිය හැකිය. එවැනි සන්දර්භයක් තුළ විද්‍යාත්මක සොයා ගැනීම්, දෘෂ්ටිවාදීමය හෝ කලාපීය දේශපාලනික න්‍යායපත්‍රවලට වාසිදායක අන්දමින් වැරදි සහගත ලෙස අර්ථ දක්වන්නට ද ඉඩ තිබේ.

විජය කුමරුගේ පැමිණීම

විද්‍යාව දේශපාලනීකරණය අලුත් දෙයක් නොවේ. ඉතිහාසය මුළුල්ලේම ජාතිවාදී හෝ බෙදුම්වාදී මතවාදයන්ට සහාය දැක්වීම පිණිස ජාන විද්‍යාව සහ පුරා විද්‍යාව බොහෝ විට යොදාගෙන තිබේ. එබැවින් උපායමාර්ගික වැරදි අර්ථකථනවලින්, සැබෑ විද්‍යාත්මක අවබෝධයන් වෙන් කර ගැනීම ඉතා වැදගත්ය. අප විද්‍යාත්මක සොයා ගැනීම් පිළිගත යුතු නමුත්, සංස්කෘතික අනන්‍යතා නැවත අර්ථදැක්වීමට හෝ සියවස් ගණනාවක් පැරණි ඓතිහාසික සත්‍යයන්ට අභියෝග කිරීම සඳහා ඒවා අනිසි ලෙස භාවිත කරන ආඛ්‍යානවලින් ආරක්ෂා විය යුතුව ද තිබේ.

වැදගත්ම කාරණය වන්නේ සිංහලයන් යනු දිගු කලක් තිස්සේ සියලු දෙනා දන්නා පරිදි උතුරු ඉන්දියාව සහ ඔවුන් සිය නිවහන බවට පත් කර ගත් දිවයින් අතර, පුරාණ ශිෂ්ටාචාර හුවමාරුව තුළ මුල් බැස ගත් ආර්ය භාෂාමය සහ සංස්කෘතික උරුමයක හිමිකරුවන් වන බවය.

සිංහල අනන්‍යතාව යනු ඉන්දු-ආර්ය භාෂාව සහ සංස්කෘතිය, ස්වදේශික පෙළපත සහ දකුණු ඉන්දියානු ජානමය සබඳතා යන බහුවිධ නූල්වලින් වියන ලද ගෙත්තමකි. නව ජාන අධ්‍යයන මගින් සිදු කළ යුත්තේ සිංහලයන්ගේ ආර්ය මූලයන් යටපත් කිරීම නොව, ශ්‍රී ලාංකේය ශිෂ්ටාචාරය තුළ ඇති පිරිපුන් විවිධත්වය සහ අනුවර්තනය වීමේ හැකියාව ඉස්මතු කිරීමය. සිංහල භාෂාව ස්ථිර ලෙසම ඉන්දු-ආර්ය භාෂාවක් ලෙස පවතින අතර සිංහලයන් උතුරු ඉන්දියාව හා සම්බන්ධ බවට පුරාණ ලියකියවිලි සහ පුරා විද්‍යාත්මක සාධක ප්‍රබල සාක්ෂි සපයයි.

විද්‍යාත්මක සොයා ගැනීම් අඛණ්ඩව විකාශනය වන විට, ඒවා පුළුල් සන්දර්භයක් තුළ අර්ථ නිරූපණය කිරීම අත්‍යවශ්‍ය වේ. ජාන විද්‍යාව, භාෂාව, සංස්කෘතිය සහ ඉතිහාසය එකට කියවා ගත යුතු අතර එය හුදෙකලා කිරීම හෝ දේශපාලන අරමුණුවලට යොදා ගැනීමෙන් වැළකිය යුතුය. මෙහිදී කියවා ගත යුතු වැදගත්ම කාරණය වන්නේ සිංහලයන් යනු දිගු කලක් තිස්සේ සියලු දෙනා දන්නා පරිදි උතුරු ඉන්දියාව සහ ඔවුන් සිය නිවහන බවට පත් කර ගත් දිවයින් අතර, පුරාණ ශිෂ්ටාචාර හුවමාරුව තුළ මුල් බැස ගත් ආර්ය භාෂාමය සහ සංස්කෘතික උරුමයක හිමිකරුවන් වන බවය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර