මානව සංවර්ධනයේ සෙවණැල්ල යට ඉතා විශිෂ්ට ලෙස නමුත් නිහඬවම තවත් පරිණාමයක් සිදු වන බව පෙනෙන්නට තිබේ. ඒ අන් කිසිවක් නොව මිනිසාගේ ළඟම හිතවතා වන සුනඛයින් ය. මෑතක දී කරන ලද අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ සුනඛයින් සංජානනමය සහ චර්යාමය වශයෙන් ඉතා වේගයෙන් පරිණාමය වෙමින් පවතින බවය. ඔවුන් තවදුරටත් ගෘහාශ්‍රිත සත්ත්ව විශේෂයක් නොව, උසස් අනුවර්තනීය චර්යාවන්, මනෝභාවමය බුද්ධිමත්භාවයන් සහ සමාජ – සංස්කෘතික ඉගෙන ගැනීම් සහිත විශේෂයක් ලෙස දියුණුවෙමින් පවතින බව හෙළි වී තිබේ. මේ සංසිද්ධියෙහි වූ ඇඟවීම් හුදෙක් සුනඛ වර්ගයාගේ දියුණුව පිළිබඳ අවබෝධ කරගන්නට පමණක් නොව මානව – සත්ත්ව අන්තර් සබඳතාවන්හි ගතික විතැන්වීම සහ එහි පුළුල් මනෝවිද්‍යාත්මක සහ සමාජ බලපෑම් ගවේෂණය කරන්නටත් අවස්ථාව සලසා දෙයි.
පරිණාමය යනු සෑමවිටම මන්දගාමී, ඉබි ගමනින් යන ක්‍රියාවලියක් නොවේ. ඇතැම් තත්ත්වයන් තුළ දී, විශේෂයෙන් පාරිසරික හෝ සමාජ පීඩනය ඉතා දැඩිව පවතින අවස්ථාවල දී ඇතැම් සත්ත්ව විශේෂවලට යම් අනුවර්තනයන් ඇති කර ගනිමින් කෙටි කාලයක් තුළ පරිණාමය වන්නට හැකියාව තිබේ. සුනඛයින් සම්බන්ධයෙන් ද මෙය සත්‍යයකි. මිනිසා සමග ඔවුන්ගේ ඇති සමීපත්වය, ඔවුන්ව පරිණාමය තුළ වේගවත් ගමනක යෙදෙන්නට හේතු වී තිබේ.
පරිණාමය යනු සෑමවිටම මන්දගාමී, ඉබි ගමනින් යන ක්‍රියාවලියක් නොවේ. ඇතැම් තත්ත්වයන් තුළ දී, විශේෂයෙන් පාරිසරික හෝ සමාජ පීඩනය ඉතා දැඩිව පවතින අවස්ථාවල දී ඇතැම් සත්ත්ව විශේෂවලට යම් අනුවර්තනයන් ඇති කර ගනිමින් කෙටි කාලයක් තුළ පරිණාමය වන්නට හැකියාව තිබේ. සුනඛයින් සම්බන්ධයෙන් ද මෙය සත්‍යයකි. මිනිසා සමග ඔවුන්ගේ ඇති සමීපත්වය, ඔවුන්ව පරිණාමය තුළ වේගවත් ගමනක යෙදෙන්නට හේතු වී තිබේ.
සුනඛයින් සංජානනමය වශයෙන් නව මට්ටමක සිටින බව විද්‍යාත්මක අධ්‍යයනවල වාර්තාගතව තිබේ. නිදසුනක් වශයෙන්, ඇතැම් සුනඛයින්ට මිනිසුන්ගේ මුහුණේ ඇති ඉරියව් සහ ඔවුන් කතා කරන ශෛලියේ ඇති මනෝභාවමය හඬ තේරුම් ගන්නට හැකියාව තිබෙන බව නිරීක්ෂණය කොට තිබේ. ඔවුන්ගේ වනගතව සිටින මුතුන්මිත්තන් මෙන් නොව නූතන සුනඛයින්ට, යමක් පෙන්වීම, ඇස් එල්ල වී ඇති දිශාව හඳුනා ගැනීම හෝ ඇතැම්විට සියුම් ශාරීරික භාෂාව වැනි මානව සමාජ ඉඟිවලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තිබේ. මේ හැකියාවන් බොහෝ විට මිනිසාට හෝ ප්‍රයිමේටාවන්ට පමණක් සුවිශේෂ වූ ඒවා යැයි මෙයට පෙර සිතා සිටි දේවල්ය.
එයට අමතරව, ගෝලීය වශයෙන් නාගරික පරිසරයන් තුළ, විශේෂයෙන් රුසියාවේ, ඉන්දියාවේ සහ ජපානයේ ඇතැම් ස්ථානවල වීදිවල අයාලේ හැසිරෙන සුනඛයින්, කොළ පැහැ ආලෝකය දැල්වෙන තුරු බලා සිට පදික මාරු භාවිත කිරීම හෝ බස් රථවලට හෝ දුම්රියවලට නැගී තමා කැමති ස්ථානයකට ගමන් කරනු හෝ දැකිය හැකිය. මේ චර්යාවන්, පුහුණු කරන ලද හෝ උගන්වනු ලැබූ හෝ ඒවා නොවේ. ගැටලු විසඳීමේ හැකියාවක් සහ සමාජ බුද්ධිමත්භාවය ඔවුන්ගේ සහජ බුද්ධිය ඉක්මවා යන බව පෙනේ. විද්‍යාඥයින් මෙය හඳුන්වන්නේ, මිනිසා විසින් ගොඩනගන ලද පරිසරය සමග දෛනිකව ගැටීම නිසා හැඩගැන්වුණු ‘ශීඝ්‍ර සංජානන පරිණාමය’ (rapid cognitive evolution) වශයෙනි.
මනෝවිද්‍යාත්මකව මේ දෙස බැලුවහොත්, මේ පරිණාමය තුළින් පෙන්නුම් කරන්නේ අන්තර් විශේෂ මනෝභාවමය සන්නිවේදනය (interspecies emotional communication) පිළිබඳ අසාමාන්‍ය ආකෘතියකි. එනම් සත්ත්ව විශේෂ දෙකක් අතර මනෝභාවයන් හුවමාරු කරගැනීමේ හැකියාවක් පිළිබඳ කාරණාවකි. සුනඛයින් නොවන අනෙකුත් සතුන්ට වඩා, සුනඛයින්, මිනිස් මනෝභාවයන් සමග සුසර වන්නට ඇති හැකියාව වර්ධනය කරගෙන තිබේ. මෙයට හේතු වන්නට ඇත්තේ මිනිසුන් සමග එක්ව පරිණාමය වූ ඔවුන්ගේ දීර්ඝ ඉතිහාසය වන්නට ඇත. මේ ඉතිහාසය තුළ ඔවුන් පාක්ෂික බව, අවධානය සහ සහකම්පනය දැඩි ලෙස ග්‍රහණය කරගෙන ඇති බව පෙනෙන්නට තිබේ.
සත්ත්ව මනෝවිද්‍යාව පිළිබඳ කරන ලද පර්යේෂණ මගින් පැවසෙන්නේ, සුනඛයින්ට, මිනිස් චර්යාවන් අවබෝධ කරගන්නට පමණක් නොව, මනෝභාවයන් පාලනය කරන්නට ද හැකියාව තිබෙන බවය. නිදසුනක් ලෙස, විශේෂයෙන් දරුවන්, වැඩිහිටියන් සහ කම්පන තත්ත්වයන්ගෙන් දිවි ගලවා ගත් පුද්ගලයින් තුළ පවතින කාංසාව සහ විෂාදය වැනි පශ්චාත් කම්පන ආතති ආබාධ (Post-Traumatic Stress Disorder – PTSD) ඇති පුද්ගලයින්ට සහාය වීම සඳහා සුනඛයින්ගේ සහාය ලබා ගැනීම වැඩි වෙමින් පැවතීම සඳහන් කළ හැකිය. සුනඛයින් මේ දිශාවට දියුණු වීම අඛණ්ඩව සිදුවුවහොත්, මිනිස් මනෝවිද්‍යාත්මක සෞඛ්‍යය ඇති කර ගැනීම සඳහා මනෝභාවමය සහකරුවෙක් ලෙස මිනිසුන් නොවන සත්ත්ව විශේෂයක ඉස්මතු වීමක් අපට අනාගතයේ දී දැකිය හැකි වනු ඇත.
සමාජමය වශයෙන් ගතහොත්, බස් රථවල ගමන් යාම, නාගරික අපරව්‍යුහ පහසුකම් භාවිතය, මානව සමාජ නීතිවලට ප්‍රතිචාර දැක්වීම වැනි මිනිසාගේ පොදු ජීවිතය තුළට සුනඛයින්ගේ ඒකාබද්ධවීම තුළින්, සත්ත්ව විශේෂ අතර දුර්ලභ සහවාසයක් පිළිබඳ ආකෘතියක් ඉස්මතු වෙයි. ගෘහාශ්‍රිත සතුන්ගේ චර්යාවන් දීර්ඝ කාලයක් තිස්සේ මිනිසා විසින් හැඩ ගස්වනු ලැබුව ද, එයට විරුද්ධ බලපෑමක් මෙයට පෙර දකින්නට ලැබී නැත. සුනඛයින්, චර්යාවන් සහ සමාජ නීති සම්බන්ධ නම්‍යතාවක් පෙන්වමින්, මිනිසුන්ට පමණක් නොව මිනිසා විසින් ගොඩනගන ලද පද්ධතිවලට ද හැඩ ගැසෙමින් සිටී.
මේ සම-පරිණාමය (co-evolution) නාගරික සැලසුම්කරණයෙහි සහ මහජන ප්‍රතිපත්තිවල අනාගතය පිළිබඳ ගැටලු මතු කරයි. නාගරික අපරව්‍යුහ පහසුකම් බුද්ධිමත් වීදි සතුන්ට ගැළපෙන පරිදි සකස් කළ යුතු වේද? අප ගමන් කරන්නේ මිනිසා නොවන සත්ත්ව විශේෂයන්, මිනිසා සමග එක සමාන සිවිල් අයිතිවාසිකම් භුක්ති විඳින සමාජ ආකෘතියක් කරාද?
තවදුරටත්, සුනඛයින් මිනිස් ජීවිතය කරා අනුගත වෙද්දී, සත්ත්ව හිමිකම්, ස්වාධීනත්වය සහ සංජානන හැකියාවන් සම්බන්ධයෙන් නව අර්ථකතන ඇති කරන්නට සිදු වනු ඇත. උසස් ලෙස අනුගත වන සුනඛයින්ට නීතිමය වශයෙන් නව ස්වභාවයක ආරත්ෂාවක් හෝ පිළිගැනීමක් ඇති කළ යුතු වේද? සමාජය තුළ ඔවුනගේ භූමිකාව සදාචාරාත්මක වශයෙන් කළමනාකරණය කරන්නේ කෙසේද?
මිනිසා කේන්ද්‍ර කර ගත් දෘෂ්ටියකින් සුනඛ පරිණාමය දෙස බැලුවහොත්, මෙහිදී වාසි මෙන්ම අභියෝගයන් ද පවතින බව පෙනෙන්නට තිබේ. ධනාත්මකව සිතුවහොත්, සුනඛයින්ගේ බුද්ධිමත් බව සහ සමාජ ප්‍රතිචාරය දියුණු වන විට, සේවා සපයන, මනෝභාවමය සහයෝගයක් ලබා දෙන සතුන් ලෙස ඔවුන්ගේ භූමිකාවේ වර්ධනයක් සිදු වෙයි. මේ තත්ත්වය, දරුවන් තුළ සහකම්නය වර්ධනය කරන්නට, වැඩිහිටියන් තුළ හුදෙකලාබව අඩු කරන්නට සහ අධික ආතතියක් සහිත පරිසරයක් තුළ මානසික සෞඛ්‍යය සඳහා සහාය වන්නට වැඩි හැකියාවක් ලැබේ.
අනෙක් අතට තවත් පුළුල් දාර්ශනික ගැටලුවක් ද මෙහිදී ඉස්මතු වෙයි. සුනඛයින් වැනි සතකු මිනිසාගේ බලපෑම හේතුවෙන් ශීඝ්‍ර ලෙස පරිණාමය වන්නට පටන් ගතහොත්, ජෛවගෝලය මත අපගේ බලපෑම පිළිබඳ පැවසිය හැක්කේ කුමක්ද? අනෙකුත් සත්ත්ව වර්ගවලට ද සමීප වීම හේතුවෙන් අප නොදැනුවත්වම ඔවුන්ගේ පරිණාමය ද යළි හැඩගැස්වීමක් සිදු කරන්නේද? එය අනපේක්ෂිත පාරිසරික බලපෑමකට හේතුවනු ඇතිද?
කෙසේ නමුත් මේ ශීඝ්‍ර අනුගත වීම සංකීර්ණතා ඇති කරන්නට ද හේතු වේ. සුනඛයින් වඩාත් බුද්ධිමත් සහ ස්වාධීන වූ විට, සාම්ප්‍රදායික පුහුණු කිරීමේ ක්‍රම සහ ඔවුන්ව පාලනය කිරීමේ ක්‍රමවල ඵළදායිතාව අඩු වෙයි. බුද්ධිමත් සුනඛයකු යනු පාලනය කිරීම පහසු සතකු නොවන්නට ඉඩ තිබේ. ඒ සඳහා පෙරට වඩා කාර්යක්ෂම උත්තේජනයන්, සදාචාරාත්මක සබඳතා සහ නිදහස අවශ්‍ය වනු ඇත. එමෙන්ම මිනිසා මනෝභාවමය සහ සහයෝගීතාව සම්බන්ධයෙන් පමණ ඉක්මවා සුනඛයින් මත යැපෙන්නට වුවහොත්, මිනිසා තවත් මිනිසකු මත සිදුවන යැපීම කෙමෙන් අඩුවීමේ තත්ත්වයක් ඇති විය හැකිය. එනම් මිනිසෙක් තවත් මිනිසෙක් අතර වූ අන්තර් සබඳතාව අඩු වී යනු ඇත.
අනෙක් අතට තවත් පුළුල් දාර්ශනික ගැටලුවක් ද මෙහිදී ඉස්මතු වෙයි. සුනඛයින් වැනි සතකු මිනිසාගේ බලපෑම හේතුවෙන් ශීඝ්‍ර ලෙස පරිණාමය වන්නට පටන් ගතහොත්, ජෛවගෝලය මත අපගේ බලපෑම පිළිබඳ පැවසිය හැක්කේ කුමක්ද? අනෙකුත් සත්ත්ව වර්ගවලට ද සමීප වීම හේතුවෙන් අප නොදැනුවත්වම ඔවුන්ගේ පරිණාමය ද යළි හැඩගැස්වීමක් සිදු කරන්නේද? එය අනපේක්ෂිත පාරිසරික බලපෑමකට හේතුවනු ඇතිද?
මේ සියලු කාරණාවලින් පෙනී යන්නේ සුනඛයින්ගේ පරිණාමය වන බුද්ධිමත් බව සහ චර්යාව මිනිසුන් සහ සතුන් යන පාර්ශ්වයන් දෙකම නැවත හැඩගැස්වීමකට හේතුවන ආකාරයේ අඛණ්ඩ, ගැඹුරු සබඳතාවක් ඉස්මතු කරන බවය. එක් කලෙක මිනිසා වෙනුවෙන් සේවය කරන්නට පුහුණු කළ යුතු තත්ත්වයක පසු වූ සත්ත්ව විශේෂයක් වන සුනඛයින් දැන්, මිනිස් සමාජය තුළට අනුවර්තනය විය හැකි කොටස්කරුවන් බවට පත්වෙමින් සිටියි. ඔවුහු මනෝභවයන් කියවීම, රථ වාහනවල ගමන් බිමන් යාම සහ මානව පද්ධතිය තුළ දැනුවත්භාවය පිළිබිඹු කරන චර්යාමය තීරණයන් ගැනීම ආදී ක්‍රියාවන් සිදු කරති.
මේ වේගවත් පරිණාමය හුදෙක් ජීව විද්‍යාත්මක විස්මයක් පමණක් නොවේ. එය ස්වාභාවික ලෝකය සමග අපගේ අන්තර් සම්බන්ධතාව පිළිඹිබු කරන කැඩපතක් ද වේ. පරිණාමය වෙමින් සිටින සුනඛයින් නව වගකීම් සහ ආචාර විද්‍යාත්මක අභියෝගයන් රැගෙන එන අතර, එය ගැඹුරු සහකම්පනය, අන්‍යෝන්‍ය අවබෝධය සහ මේ මහපොළොව මත වූ ජීවය පිළිබඳ වඩාත් පරිපූර්ණ දැක්මක් ඇති කර ගැනීම සඳහා හැකියාවක් ද මිනිසා තුළ ඇති කරයි.
නිරංජන් චාමින්ද කරුණාතිලක