හෙළ නිළි රැජින මාලිනීගේ පෞද්ගලික තොරතුරු මෙතරම් සමාජ ගත වන්නේ ඇයි?

ජනප්‍රිය හෝ ප්‍රසිද්ධ යම්කිසි කීර්තිමත් (Legend) පුද්ගලයකු මිය ගිය විට බොහෝ දෙනෙකුගේ පුරුද්ද වී ඇත්තේ එකී පුද්ගලයා අදාළ ක්ෂේත්‍රයට හෝ සමාජයට හෝ සිදු කළ මෙහෙය වෙනුවට ඔවුන්ගේ ජීවිතවල සැඟවුණු රහස්, මෙතෙක් හෙළි නොවූ ඕපාදූප වැනි දේ පිළිබඳ සොයා බලන්නටය. හෙළ සිනමාවේ නිළි රැජින වූ මාලිනී ෆොන්සේකා අප අතරින් වියෝ වූ අවස්ථාවේ සිට මේ දක්වාම මෙය පැහැදිලිව දකින්නට ලැබේ. එවන් පුද්ගලයකුගේ වියෝවෙන් අනතුරුව එවැනි ඕපාදූප සෙවීම සංස්කෘතිකමය කාරණයකටත් වඩා වැටෙන්නේ මනෝවිද්‍යාත්මක කාරණයක් දෙසටය.

නූතන ජනමාධ්‍ය, ජනප්‍රිය පුද්ගලයින් අප කිසිදා හමුවී නැතත්, ඔවුන් සමග මනෝ භාවමය (emotionally) වශයෙන් අප සම්බන්ධ යැයි හැඟෙන සේ කටයුතු කරයි. මෙය හඳුන්වනු ලබන්නේ ‘පාරසමාජයීය සම්බන්ධතාව’ (parasocial relationship) යනුවෙනි. එයින් කියවෙන්නේ අප යනුවෙන් යමෙක් ජීවත් වනවාද පවා නොදන්නා පුද්ගලයකු සමග අප පවත්වන මනෝවිද්‍යාත්මක බැඳීමය. මාලිනී ෆොන්සේකා අප අතරින් වියෝ වන විට, බොහෝ දෙනෙකුට හුදෙක් නිළියක් ම පමණක් නොව, තමා හොඳින් දැනහඳුනාගෙන සිටියේ යැයි හැඟුණු අයෙක් ද අහිමි වී ඇති බවක් සමාජයට හැඟී තිබිණ.

මිනිසාගේ පරිණාමය පිළිබඳ සලකා බැලීමේ දී පෙනී යන්නේ ඕපාදූප පිළිබඳ උනන්දුවක් දැක්වීම හුදෙක්ම තේරුමක් නොමැති ප්‍රලාප දෙඩවීමක් නොව එක්තරා ආකාරයක නොනැසී ජීවත්වීම සඳහා ප්‍රයෝජනයට ගන්නා මෙවලමක් (survival tool) බව ය.අන්‍යයන් පිළිබඳ තතු දැන ගැනීම තම පැවැත්ම තහවුරු කර ගැනීමේ මෙවලමක් ලෙස යොදා ගැනීම අතිශය ස්වාභාවික සංසිද්ධියකි.කොටින්ම අපගේ මොළය සහජයෙන්ම සැකසී ඇත්තේ අන්‍යයන්ගේ,තොරතුරු දැන ගැනීමට ය. එය නූතන සමාජය තුළ නළු නිළියන්, ගායක ගායිකාවන්, ක්‍රීඩකයන්,දේශපාලනඥයින් වැනි සමාජයේ ජනප්‍රිය සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ පුද්ගලික හෝ රහස් තොරතුරු පිළිබඳ උනන්දුව ඇති වීම තෙක් ව්‍යාප්තව තිබේ. සිංහල සිනමාව තුළින් දීර්ඝ කාලයක් තිස්සේ සුන්දර පෙම්වතියගේ චරිතය නිරූපණය කළ මාලිනිය සම්බන්ධයෙන් පෙර කී ආකාරයේ මානසික තත්ත්වයක් ඇති වීම ස්වාභාවික ය. අප බොහෝ දෙනෙක් ඇය සිනමාව වෙනුවෙන් දැක්වූ දායකත්වයට වඩා තිරයෙන් පිටුපස කතා අසන්නට රුචියක් දක්වන්නෙමු. මන්ද පුද්ගලික තොරතුරු වඩාත් මානුෂීය සහ අපගේ ජීවිතවලට ද විවිධාකාරයෙන් අදාළ වන බැවිනි.

නූතන ජනමාධ්‍ය, ජනප්‍රිය පුද්ගලයින් අප කිසිදා හමුවී නැතත්, ඔවුන් සමග මනෝ භාවමය (emotionally) වශයෙන් අප සම්බන්ධ යැයි හැඟෙන සේ කටයුතු කරයි. මෙය හඳුන්වනු ලබන්නේ ‘පාරසමාජයීය සම්බන්ධතාව’ (parasocial relationship) යනුවෙනි. එයින් කියවෙන්නේ අප යනුවෙන් යමෙක් ජීවත් වනවාද පවා නොදන්නා පුද්ගලයකු සමග අප පවත්වන මනෝවිද්‍යාත්මක බැඳීමය.

මාලිනී ෆොන්සේකා අප අතරින් වියෝ වන විට, බොහෝ දෙනෙකුට හුදෙක් නිළියක් ම පමණක් නොව, තමා හොඳින් දැනහඳුනාගෙන සිටියේ යැයි හැඟුණු අයෙක් ද අහිමි වී ඇති බවක් සමාජයට හැඟී තිබිණ.ඉන් ඇති වන ශෝකජනක තත්ත්වය තුළ, ඒ මනෝභාවමය හිස්තැන පුරවන්නට ඔවුන් කරන්නේ එකී පුද්ගලයාගේ ඉතා පෞද්ගලික කාරණාවන් ද සොයා බැලීම සඳහා යොමු වීමය. ඇගේ පවුල් පසුබිම, ප්‍රේමාන්විත ජීවිතය හෝ ජීවිතයේ අවසන් කාලය ගත වූයේ කෙසේද කියා මිනිසුන් සොයා බලන්නට යොමු වන්නේ මන්ද යන්න එයින් පැහැදිලි වේ. එයින් හැඟෙන්නේ ඒක පාර්ශ්වික සබඳතාවක් ඇතිව සිටි පුද්ගලයකුට තව තවත් ළංවන්නට දරනා උත්සාහයක් ආකාරයෙනි.

මනෝවිද්‍යාත්මකව ගතහොත් ඕපාදූප ක්‍රියාත්මක වන්නේ ප්‍රතිලාභ ලබා දෙන පද්ධතියක් වශයෙනි. අපට, අප කැමති ජනප්‍රිය පුද්ගලයකුගේ පෙම් සබඳතාවක්, පෙම් විරසකයක් හෝ බිඳී යාමක් හෝ පිළිබඳ සුළු හෝ තොරතුරක් ආරංචි වන විට මොළය මගින් ඩොපමයින් (Dopamine) නම් ජෛව රසායනිකය නිකුත් කරයි. ඩොපමයින් යනු සතුටින් සිටින බව පෙන්නුම් කරන ස්නායු සම්ප්‍රේෂකයයි. අප රස කැවිලි අනුභව කරද්දී, තරගයක් ජයග්‍රහණය කරද්දී ද මොළයෙන් වෑහෙන්නේ මේ රසායනිකයයි.

විද්‍යුත් ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය, ටැබ්ලොයිඩ් පුවත්පත් මඟින් මෙන්ම කට කතා පැතිරීම් මඟින් පෙන්නුම් කරනුයේ මේ තත්ත්වයයි. කීර්තිමත්, ජනප්‍රිය පුද්ගලයකුගේ ජීවිතයේ මනෝභාවමය දෑ අසන්නට ඇති ආශාවට ඇබ්බැහි වන්නේ මේ නිසාය. මාලිනියගේ ජීවිතයේ අතිශය පුද්ගලික කාරණා, මෙතෙක් හෙළි නොවූ රසවත්, ආන්දෝලනාත්මක කාරණා තවමත් සමාජ මාධ්‍යවල පැතිරෙමින් පවතින්නේ මේ නිසාය. ලෝක ප්‍රකට ඩයනා කුමරිය පසුපස පැපරාසින් හඹා යාම සිදුවූයේ ද මේ ආශාව සංසිඳුවීමට යාම නිසාය. ආමීර් ඛාන් සිය අලුත්ම පෙම්වතිය හඳුන්වා දීම පිළිබඳ ප්‍රවාත්තිවල පළ වන්නේ ද මේ නිසාය. ලෝකයේ ජනප්‍රිය ගායිකාවක් වන ජෙනිෆර් ලෝපෙස් තනිකඩ ජීවිතයෙන් තමා මහත් සැනසීමක් ලබන බවට කරන ලද ප්‍රකාශය අතිශය ජනප්‍රිය වූයේ ඒ ආකාරයෙන් සිතන්නන්ට එම ප්‍රකාශනයෙන් දිරිමත් බවක් ලැබුණු නිසාය. එවැනි කතා වෙනත් සාමාන්‍ය අයකු පවසනවාට වඩා එවැනි ජනප්‍රිය අයකු පැවසීම විශේෂ වන්නේ එබැවිනි. මයිකල් ජැක්සන්ගේ නෙවර්ලන්ඩ් උද්‍යානය බොහෝ කාලයක් ගතවන තුරු පුවත් මවන්නට හේතු වූයේ මිනිසුන් තුළ පවතින මේ ආසාව නිසාය.

ජනප්‍රිය, කීර්තිමත් පුද්ගලයින්ගේ අතිශය පෞද්ගලික කාරණා පසුපස හඹා යන්නට මිනිසුන් දක්වන කැමැත්තට තවත් හේතුවක් වන්නේ ඒවා තුළින් තමාව දකින්නට උත්සාහ කරන නිසාය. ‘අනේ එයත් මං වගේමයි’ යනුවෙන් පවසනු බොහෝ විට ඇසී ඇත්තේ මේ හේතුව නිසා ය. මාලිනියගේ ජීවිතයේ අවසන් සමය බොහෝ පෞද්ගලිකව ගෙවී ගිය බැවින් ඒ ජිවිතය සහ තමාගේ ජීවිතය අතර සමානකම් සෙවීමට බොහෝ දෙනෙක් උත්සාහ ගත් බව ඇය පිළිබඳ සමාජ මාධ්‍යවල පළ වූ පෝස්ට්වලට දමන ලද කොමෙන්ටු කියවද්දී තේරුම් ගත හැකි විය. ‘එයත් මං වගේ පරක්කු වෙලාද විවාහ වුණේ?, මං වගේම එයත් ජීවිතේ යම් පසුතැවිලිවලින් පීඩා වින්දද? එයා තනියමද ජීවත් වුණේ?’ මෙවැනි කාරණා පිළිබඳ දක්වන ලද දැඩි උනන්දුව ඒ කොමෙන්ටුවලින් පැහැදිලිව පිළිබිඹු විය.

මේ පරාවර්තනීය කුතුහලය තුළ ගෞරවනීය බව සමග සංසන්දනයක් ද පවතින බව පෙනෙන්නට තිබේ. ඕපාදූප යනු සෑම විටම විෂ සහිත දෙයක් වන්නේ නැත. එය ඇතැම් අවස්ථාවල දී තවත් අයකුගේ ජීවිතයක් ඇසුරින් තමාගේ ජීවිතය ගවේෂණය කරන්නට අවස්ථාවක් ද උදා කර දෙයි.

ඇතැම් ආන්තික අවස්ථාවන්වල දී ජනප්‍රිය, කීර්තිමත් පුද්ගලයින් පිළිබඳ වූ උන්මාදනීය තත්ත්වය ‘කීර්තිමත් පුද්ගලයින් වන්දනාමාන කිරීමේ සහලක්ෂණය’ (Celebrity Worship Syndrome – CWS) යන ස්වභාවයට පත් වන අවස්ථාවන් දක්නට ලැබේ. මේ මානසික තත්ත්වයට පත් වූ පුද්ගලයින් සිතන්නේ යම්කිසි ජනප්‍රිය, කීර්තිමත් පුද්ගලයකු සමග තමාට සැබෑ ලෙසම සබඳතාවක් පවතින බවය. එවිට අදාළ පුද්ගලයාගේ සෑම, අතිශය පෞද්ගලික කාරණාවක් පිළිබඳවම උනන්දුවක් දක්වන්නට පටන් ගනී. මාලිනියගේ අතිශය පෞද්ගලික කාරණා මතු කරමින් සමාජ මාධ්‍යවල පළවන කාරණා පසුපස මේ මානසික ස්වභාවය ද පවතින්නට ඉඩ තිබේ.

මාලිනී ෆොන්සේකා වැනි බහුතරයකගේ ආදරයට ලක් වූ ජනප්‍රිය චරිතයක් අප අතරින් වියෝ වූ පසු ඇය පිළිබඳ පැතිර යන විවිධ ඕපාදූප පිළිබඳ උනන්දුවක් දැක්වීම අසංවේදී කාරණාවක් යැයි සිතුන ද එය තුළ ඇත්තේ හුදෙක් කුතුහලය පමණක් නොව මිනිසාගේ පරිණාමීය, මනෝභාවයමය සහ ස්නායු ක්‍රියාවලීන්වල සම්මිශ්‍රණයක් බව සඳහන් කළ හැකිය.

පුද්ගලයින්ගේ රහස්, අරගල සහ දුක්ඛදෝමනස්සයන් විපරම් කිරීමේ දී අපි ඔවුන් සමග යම්කිසි සම්බන්ධයක් ගොඩ නගා ගන්නට, ඔවුන් තුළින් අප දකින්නට සහ ඔවුන් සහ අප තේරුම් ගැනීමට උත්සාහ දරන්නෙමු. මේ අරුතින් ඕපාදූප පිළිබඳ විමසා බලන විට එහි ඇත්තේ යම්කිසි පුද්ගලයකුගේ පෞද්ගලික කාරණා සෙවීමට දරනා අශෝභන උත්සාහයකට වඩා ඔවුන් පිළිබඳ ඇති සහකම්පනය, උන්මාදනීය බව සහ කීර්තිමත්, ජනප්‍රිය ලේබලයට යටින් ඇති මානුෂීය ස්වභාවය හඳුනා ගැනීමට දක්වන සහජ උත්සාහයයි.

එවැනි පුද්ගලයින්ගේ රහස්, අරගල සහ දුක්ඛදෝමනස්සයන් විපරම් කිරීමේ දී අපි ඔවුන් සමග යම්කිසි සම්බන්ධයක් ගොඩ නගා ගන්නට, ඔවුන් තුළින් අප දකින්නට සහ ඔවුන් සහ අප තේරුම් ගැනීමට උත්සාහ දරන්නෙමු. මේ අරුතින් ඕපාදූප පිළිබඳ විමසා බලන විට එහි ඇත්තේ යම්කිසි පුද්ගලයකුගේ පෞද්ගලික කාරණා සෙවීමට දරනා අශෝභන උත්සාහයකට වඩා ඔවුන් පිළිබඳ ඇති සහකම්පනය, උන්මාදනීය බව සහ කීර්තිමත්, ජනප්‍රිය ලේබලයට යටින් ඇති මානුෂීය ස්වභාවය හඳුනා ගැනීමට දක්වන සහජ උත්සාහයයි.

එබැවින් යළිත් කවදා හෝ දිනෙක මේ ආකාරයෙන්ම ජනප්‍රිය, කීර්තිමත් පුද්ගලයකුගේ ජීවිතය පිළිබඳ හාරා අවුස්සා බලන්නට උත්සාහ දරන්නේ නම්, ඒ අන් අයකු පිළිබඳව පමණක් නොව තමා පිළිබඳව ද සොයා බැලීමක් බව අප තේරුම් ගත යුතුය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර