ළඟදීම එනවා!!! ආයුබෝ වේවා යුව රජාණෙනි

තායිලන්තයේ රැඳී සිටින හිටපු ජනාධිපතිවරයා නැවත රටට ගෙන්වා ගෙන ඔහුව යළි දේශපාලන කරලියට ගෙන ඒමට පොහොට්ටුවේ පිරිසක් උත්සාහ ගනිමින් සිටිති.

ජනාධිපතිවරයා ලංකාවට පැමිණෙද්දී ගුවන් තොටුපොලේ සිට පෙරහැරකින් කොළඹට ගෙන ඒමට පිරිසක් සුදානම් වෙති. එසේ පැමිණෙන ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනවිත් අගමැතිකම ලබාදීම ද මොවුන්ගේ අරමුණ වේ.”එය ආයු බෝ වේවා යුව රජාණෙනී;”තාලයේ වැඩසටහනක් වනු ඇතැයි රාජපක්ෂවාදී නොවන ශ්‍රී ලංකා පොදු පෙරමුණු සාමාජිකයෙක් අප හා කීය.

ඉන් නොනැවතී ඔහු යළි ජනාධිපතිධූරයට ගෙන ඒම ඔවුන්ගේ අරමුණ ය. මේ කණ්ඩායම පිටුපස සිටින්නේ හිටපු ජනාධිපතිවරයා අසාර්ථක ජනාධිපතිවරයෙකු ලෙස රටට පෙන්වාදීමට කටයුතු කළ වියත්මගේ පිරිසම බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

නාලක ගොඩහේවා වැනි අය මෙහි මූලිකත්වය ගෙන ඇති බවට ද දැනගන්නට තිබේ.එම කණ්ඩායමට මේ වන විට ඇමතිකම්, සභාපතිකම් අහිමිවූ වියත්මගේ සමාජිකයන් සිටින බවට ද ආරංචි මතුවේ. ජනාධිපතිවරයා රටට ගෙන්වා යළි දේශපාලනයට ගෙන ඒමේ සටන් පාඨය ලෙස ඔවුන් පෙන්වාදීමට උත්සාහ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහට වඩා හොඳ කෙනෙකු බව පෙන්වාදීමට ය.එනම් “අරගලකරුවන්ට ඔහු ගැහුවේ නෑ. වෙඩි තිබ්බේ නෑ. අරගලකරුවන්ගේ ඉල්ලීමට කන් දී ඔහු පසු බැස ගියා.“ යන පණිවුඩය රටට දී ඔහු හොඳ මිනිසෙකු බව පෙන්වා දී යළි ජනතාවගේ අනුකම්පාව දිනා ගැනීම මෙම පිරිසගේ අරමුණ වේ.

ඔහු අරගලකරුවන්ට පහර නොදුන්න ද අරගලයක් ඇතිවීමට හේතුව වූයේ ඔහුගේ නොමනා ක්‍රියාකලාපයන් ය. රසායනික පොහොර තහනම් කිරීම, ඉන්ධන හිඟයට හා ගෑස් හිඟයට පිළියම් නොමැතිවීම යනාදී ඔහු විසින් ඇති කළ ගැටළු ගණනාවක් අරගලයක් නිර්මාණය වීමට බලපෑවේය. ජනතාව පාරට බැස්සේ කුස්සියේ විලාපයක් අරගෙන ය. එය පසුව දේශපාලන පක්ෂ හා කණ්ඩායම් විසින් අත්පත් කර ගැනීම නිසා අරගලය විනාශයක් කරා රැගෙන ගියේය. එහෙත් සැබෑ ජනතා ප්‍රශ්නවලට පිළිතුරු නොදී පැන ගිය නායකයෙකු ගැන ජනතාව විශ්වාසය තබාවිද යන්න අනාගතයට බාර කාරණයකි.

අරගලයට පැමිණි සැබෑ සාමකාමී ජන කොටස් ඉල්ලා සිටියේ ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න කියාය.නො එසේ නම් බලයෙන් ඉවත් වන ලෙස ය. එහෙත්, ඔහු ගෙදර යනවා වෙනුවට පස්සා දොරෙන් රටින්ම පැන ගියේය. “ගෝඨා ගෝ හෝම්“ යනු ජනතාවගේ සටන් පාඨය විය. එසේම සෘජු තීරණ ගත නොහැකි නායකයෙකු බවට ඔහු එදා ඔප්පු කළේය.

තමන් ගන්නා තීන්දු ආපස්සට හැරවීම නිතර නිතර කිරීම නිසා ඔහුට ගැසට් රිවස් යැයි නමක් ද පට බැදුණි. රාජ්‍ය තන්ත්‍රය ඔහුගෙන් ඈත් වූවේ මේ තීරණයන් නිසාය. රාජ්‍ය නිලධාරීන් ඔහු සමඟ සාකච්ඡා කොට යම් ගැසට් පත්‍රයක් නිකුත් කළ පසු විරුද්ධ පක්ෂයෙන් මතු වන විරෝධය හමුවේ ඔහු එය හකුලා ගත්තේය. හදිසි නීතිය පනවා යළි එය හකුලා ගත්තේය.

මෙවැනි ක්‍රියාවන් නිසා ත්‍රිවිධ හමුදාව පොලිසිය තුළ මෙන්ම අනෙකුත් රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් තුළ ද ඔහු ගැන ඇති විශ්වාසය පළුදු වන්නට පටන් ගත්තේය. පනවන ගැසට් නැවත හකුලා ගන්නා නිසා ත්‍රිවිධ හමුදාව ඔහුගේ අණ පිළිපැදීමෙන් වැලකී සිටියේය.මන්ද පනවන ගැසට් පත අනුව වැඩ කරන්නට ගොස් එය හකුලාගත් පසු ඇති වන තත්ත්වයන්ට තමන්ට පෞද්ගලිකව මුහුණ දෙන්නට සිදුවන බව දන්නා නිසා ඔවුන් ජනාධිපතිගේ නියෝග ක්‍රියාත්මක කිරීම කල් මැරීය.ඒ සියල්ලටම හේතුව ජනාධිපතිවරයා වියත්මගේ සාමාජිකයන්ගේ උපදෙස් අනුව කටයුතු කිරීමට යාම ය. හිටපු ජනාධිපතිවරයා නැවත දේශපාලනයට ගෙන ඒමට උත්සාහ කරන්නේ ද මෙම කණ්ඩායම වීම හොදම දේශපාලන විහිළුව වනවාට කිසිදු සැකයක් නැත.

පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ වියත් මගේ සුළුතරයකි. බහුතරයක් සිටින්නේ ඔවුන්ට අකමැති කණ්ඩායම් නිසා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වියත්මගේ ඉල්ලීම කොයි ආකාරයෙන් පිළිගනිවිද? යන්න කිව නොහැකි ය. එහෙත්,ලැබෙන ආරංචි අනුව ඔහු සුදානම් වන්නේ දේශපාලනයෙන් ඈත්ව සිටීමට ය. මන්ද රාජපක්ෂ පවුල තුළ ද ඔහු සම්බන්ධයෙන් වන විශ්වාසය පළුදු වී තිබේ. පවුලේ ඥාතියෙකු වන උදයංග වීරතුංග කරන ප්‍රකාශවලින් ඒ බව මොනවට පැහැදිලි වේ.එම නිසා වියත්මඟ කොපමණ උත්සාහ කළත් පවුලේ ඥාතීන්ගේ සහයක් නැතුව ඔහුට දේශපාලනයට පැමිණීමට නොහැකිය.

නමුත් වියත්මඟ තමන්ගේ උත්සාහයත් අතහැර නොමැති බව පැහැදිලි වන්නේ රනිල්ට වඩා ගෝඨාභය හොඳ බව පෙන්වීමට සමාජමාධ්‍ය හරහා ගෙන යන ප්‍රචාරණය දුටුවිටදී ය. රනිල් ජනතා හඩ මර්දනය කරනවා. හැබැයි ගෝඨා එහෙම කළේ නෑ කියමින් ෆේස් බුක් සමාජයේ ප්‍රචාරණයන් ගෙන යමින් සිටිති. එහෙත් ඊට හොද ප්‍රතිචාරයක් තවම සමාජයෙන් පළ වන්නේ නැත. ප්‍රභාකරන් කියූ ලෙස සිංහල ජනතාවට බොහෝ දේ මතකයේ ඇත්තේ සතියක කාලයක් පමණකි. වියත්මඟ කණ්ඩායම ප්‍රයෝජනයට ගන්නේ ඒ ප්‍රකාශය ද කියන්නට අප දන්නේ නැත. නමුත් සියල්ල අනාගතය විසින් තීන්දු කරනු ඇති බව පමණක් කිව හැකිය.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර