ළඟදීම චිකන් කොත්තු ලක්ෂයේ පූජාවකුත් බලාපොරොත්තු වෙමුද? මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

vinivida.lk

ඖෂධයක් ලෙස සැලකෙන නාපිරිත්ත ශාකයේ මල් පූජා කිරීමෙන් විශේෂ ආනිසංස ලද හැකි බව පවසමින් බෞද්ධයන් ඒ සඳහා යොමු කරන උඩරට විහාරස්ථානයක භික්ෂුවක පිළිබඳව පසුගිය දිනයෙක අසන්නට ලැබිණ. ඒ සඳහා එම භික්ෂුව විසින් අපූරු නිදාන කතාවක් ද ප්‍රබන්ධය කරන ලදුව බොහෝ බෞද්ධයන් ඒ කෙරෙහි වසඟ වී ඇති බව ද දැන ගත හැකි විය. ඒ නිදාන කතාවට අනුව නාපිරිත්ත යනු මණිඅක්ඛිත නා රජුගේ ඇරැයුමින් බුදුන් වහන්සේ කැලණියට වැඩම කොට පිරිත් දෙසීමේ දී සතුටට පත් එහි නාගයන්ගේ දෙනෙත් වලින් ගලා ගිය සතුටු කඳුළු මත ඕපපාතිකව හට ගත් ශාඛයකි. එම ශාකය නාපිරිත්ත යනුවෙන් හැඳින්වෙනුයේ නාග සහ පිරිත් යන වදන් දෙක සුසංයෝග වීමෙනි. එමෙන්ම එම ශාකයේ කඳෙහි ඇති සිහින් බූව එම නාගයන් ගේ විෂ දළ සංකේතනය කරන අතර බුදුන් දෙසූ බලයෙන් ඒවායේ විෂ ගතිය ද හරණය වී තිබේ.ඒ අනුව මෙම නාපිරිත්ත මල් පූජා කිරීමෙන් ආයුෂ, වර්ණය, සැපය, බලය සහ ප්‍රඥාව නොමඳවම වර්ධනය වන බව ඒ භික්ෂුව විසින් පතුරුවා හරිමින් හිඳින බව ද අසන්නට ලැබිණ.අප සමාජයේ අතිශය ප්‍රචලිත ගැමි වහරට අනුවම කිවහොත් මෙය පට්ට පල් කෙබරයකි.
අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මය සංකේතය කෙරෙන මල් පූජාව අපගේ බෞද්ධ සංස්කෘතියේ ප්‍රධාන තැනක් ගන්නා පුද පිළිවෙතකි. එහි දී පූජා කිරීම පිණිස මල් තෝරා ගැනීමේ දී ඒවායේ වර්ණය සහ සුවඳ යන ගුණාංගයන් කෙරෙහි අවධානය යොමු විය යුතු බව ජන සම්ප්‍රදායේ එයි. එහෙත්, එම තත්වය මේ වන විට විවිධ සහ විෂම බවට පත් කරමින් එකම වර්ණය සහ සුවඳ සහිත එකම වර්ගයේ මල් අති විශාල ප්‍රමාණයක් පූජා කිරීම මේ වන විට සාමුහිකව ඉටු කරන ජනප්‍රිය සංස්කෘතිකාංගයක් බවට පත්ව තිබේ.

ඊට අමතරව සාම්ප්‍රදායික බෞද්ධ පුද පූජා පද්ධතිය මේ වන විට විස්මය ලෙස විස්තාරණය හා විවිධාංගීකරණයට ලක් කරමින් පවතින බව කිසිවකුටත් රහසක් නොවේ. අප මෙහි ඉහත දැක් වූ නාපිරිත්ත මල් පූජාව එම විස්තාරණය සහ විවිධාංගීකරණය සම්බන්ධ එක් නිදසුනක් පමණි.

“ඔහේ ඕනෑ කෙනෙක් ඕනෑ දෙයක් පූජා කර ගත්තාවේ. මොනවා පූජා කළත් ඉතින් පිනක් මිසක් පවක් සිද්ධ වෙන්නේ නෑනේ”ඒ සම්බන්ධයෙන් මතුපිටින් අදහස් පළ කරන බොහෝ දෙනෙකු අප සමඟ ද එසේ පවසා තිබේ.ඔවුන් අතර විද්වත්හු ද සිටිති.
නමුදු අප ජීවත් වන සමාජය තුළ වරින් වර හට ගන්නා එවන් ආකල්පමය විචල්‍යතාවයන් සම්බන්ධයෙන් නිරීක්ෂණය කොට ඒ සඳහා හේතු වන සමාජමය, ආර්ථික සාධක පිළිබඳව විද්‍යාත්මක සහ ශාස්ත්‍රීය විශ්ලේෂණ මඟින් ඒ සම්බන්ධ නිගමනයන් ඉදිරිපත් කිරීම මානව සමාජ විද්‍යා විෂය පථයේ නිපුණ වූවන්ගේ යුතුකමක් හා වගකීමකි.

වර්තමාන අධි පරිභෝජන සමාජය ලෞකික සම්පත් ග්‍රහණය කර ගැනීමේ දී බහුලත්වය, විවිධත්වය, නවතාවය, ආටෝපය, සුඛෝපභෝගීත්වය ආදී කරුණු කෙරෙහි වැඩිපුර එල්බ ගනු දක්නා ලැබේ. වර්තමාන බෞද්ධ සමාජයේ පුද පූජා සංස්කෘතිය තුළින් ද ඉහත සඳහන් බහුලත්වය විවිධත්වය නවීයත්වය ආටෝපය ආදි එලෙසින්ම නිරූපණය වන බව ඒ සම්බන්ධයෙන් සියුම් ලෙස විමැසීමේදී මනාව දැන ගත හැක. ආහාර පාන, ඖෂධ, පිරිකර, පළතුරු ආදී පූජාවන් ද්‍රව්‍යමය වශයෙන් ගත් කළ මහාපරිමානය තෙක් ඉහළ නැංවීමේ සම්භාවිතාවක් වර්තමානයේ දක්නට පුළුවන. මෙය නූතන සමාජයේ කාමභෝගීත්වය ප්‍රතිග්‍රහණය පිළිබඳ කදිම සංකේත නිරූපණයකි. වත්මන් අධිපරිභෝජන සමාජයේ ප්‍රධාන පුරුෂාර්ථ අතරට ගැනෙන නවතාවය සම්බන්ධයෙන් පවත්නා මධ්‍යම පාන්තික සමාජමය ආකර්ශනය බුදු සමය තුළින් ද විද්‍යාමාන කරවීමට වර්තමානයේ ඇතැම් භික්ෂුන් හා සංවිධානාත්මක කණ්ඩායම් යුහුසුළු වනු පෙනෙයි.නූතන ජනප්‍රිය පුද පූජා සංස්කෘතිය පිළිබඳව විමසා බැලීමේ දී එය මනාව දැක ගත හැකි වෙයි. ඉහත සඳහන් අධි පරිභෝජනවාදී පුරුෂාර්ථ මත සැකසෙන නවීන බෞද්ධ පූජා චාරිත්‍ර අතරට නූතන සමාජය තම උදර පෝෂණයට වඩා රස තෘෂ්ණාව සංතෘප්ත කර ගැනීම පිණිස යොදා ගන්නා මාංශ බහුල පූජාවන් ද එක්ව ඇති අයුරු පෙනෙයි.

මෙහිදී මරනු නොදුටු, මරනු නොඇසූ සහ තමන් උදෙසා මරනු නොලැබූ සතකුගේ මස් අනුභව කිරීමට බුදු සමයෙන් ලැබී ඇති සීමිත අවසරය දඩමීමා කර ගන්නා ඇතැම් භික්ෂුන් මෙලෙස මස් මාංශවලින් සපිරි රස මසවුළු පූජා සංස්කෘතිකයක් බිහි කරවීම කෙරෙහි මහත් සේ උනන්දුවනු පෙනෙයි.දාර්ශනික වශයෙන් ගත් විට බුදු දහම අහිංසාව පදනම් කර ගත් ශාස්ත දේශනාවකි.ඒ අනුව ඉන් උකහා ගැනෙන යම් යම් කොටස් පමණක් මෙලෙස අති ප්‍රාමාණික ලෙස උත්තේජන කිරීම ආගමික මූල්ධර්මවාදී ලක්ෂණයක් බව ද කිව යුතුම ය.එමෙන්ම බුද්ධ පූජා වශයෙන් ඔවුන් විසින් සංවිධානය කොට ඇති ඇතැම් භෝජනයන්හි මිල අධික බව විවිධත්වය සහ ප්‍රමාණයන්ගේ විශාලත්වය විමසා බලන විට එය දරිද්‍රතාවයෙන් පිරී ගත් සමාජයක් තුළ බුදුන් වහන්සේ ගේ ශ්‍රී නාමය බරපතල අවභාවිතා කිරීමක් බව ඒකාන්ත වශයෙන්ම කිව යුතු ය.
එමෙන්ම විවිධ මස් මාංශ සහ මාංශ නිෂ්පාදනය සහිත පුද පූජා සම්බන්ධ නව සංස්කෘතින් මගින් මාංශ පරිභෝජනය ඉහළ නැංවීම පිණිස ඇතැම් මහා පරිමාන මාංශ නිෂ්පාදන සමාගම් මෙම භික්ෂුන් අතට යටින් සංතෝසම් හිමිකර දෙන බවට නිර්මාංශාහාරිකයන් වෙතින් එල්ල චෝදනාව මුලුමනින් නිෂ්ප්‍රභා කිරීමට ද අපට නොපුළුවන. එමෙන්ම කිනම් හෝ ජන සමාජයක සංස්කෘතික පදනම ව්‍යවජේදනය කරවීම මගින් විවිධ බාහිර කණ්ඩායම් වලට ඊට පිවිසීමට ඇති පහසුව පිළිබඳවද අප නොතකා හැරිය යුතු නැත.

මේ තත්වය යටතේ දිනෙන් දින විවිධාංගීකරණයට සහ සවිස්තාරණය වන බෞද්ධ සමාජයේ අන්ධානුකරණ පුද පූජා අතරට නුදුරු දිනයකදීම චිකන් කොත්තු රොටී ලක්ෂයක බුද්ධ පූජාවක් එක්වුවහොත් එය ද පුදුමයට කරුණක් නොවනු ඇත. මේ අතර සාම්ප්‍රදායික බෞද්ධ සමාජයට අසන්නට ලැබෙන ධර්ම කොටස් වලට විකෘති අර්ථකථන දී ඒවාට නවතාවයක් දීම ඔස්සේ විශේෂ ජනතා ආකර්ශනයක් සහ අවධානයක් ලබා ගැනීම ද වර්තමානයේ සුලබව සිදු වන්නකි. සෝවාන් හෙවත් සෝතාපන්න ඵලය සම්බන්ධයෙන් එවන් බරපතල විකෘති අර්ථ කථනයන් දුන් ගිහි ධර්ම දේශකයකු ‘සෝත’ යනු කණට ඇසෙන දෙයක් බැවින් සෝතාපන්න ඵලය ලබන්නාගේ කණට ඉබේම ධර්මය ශ්‍රවණය වන බවක් පැවසීම මත පසුගිය කාලයේ ඔහු විශාල පිරිසකගේ අවධානයට යොමු විය. එහෙත්, මනෝ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ එසේ භෞතිකමය නොවන ශබ්ද ශ්‍රවණය වීම හෙවත් ශ්‍රව්‍ය භ්‍රාන්තීන් ඇති වීම භින්නෝන්මාදය නම් මානසික රෝගයේ ද ලක්ෂණයක් බවකි.

පුද පූජා යන්න බුදු සමයට පමණක් සීමා වූවක් නොවේ. ලොව සෑම ආගමකම පාහේ දැකිය හැකි මෙම තත්වය සමාජ මානව විද්‍යා ක්ෂේත්‍රය තුළ හැඳින්වනුයේ අභිචාර විධි ( Rituals) යනුවෙනි. ලොව ආගම් බිහිවීමට පෙර පැවැති ජීවාත්මවාදී ( Animistic) සමයේ දී මිනිසාගේ සහජතාවයන් මුල් කොට ගුප්ත ස්වයංආරක්ෂක ක්‍රියාදාමයක් ලෙස ඇරඹුණු ශ්වේතාභිචාර ( White Magic )ගණයට අයත් මෙම පුද පූජා මේ වන විට විවිධ ආගමික විශ්වාස මත පදනම්ව ව්‍යුහකරණය වී තිබේ. චිත්ත දමනය මුල් කොට ගත් සදාචාර මාර්ගයක් මත පදනම් වූ ඥානවිමංසාවක් ( Epistemology ) වන මූලික බුදු සමය තුළ ගුප්ත බලයන්හි පිහිටා රක්ෂාව පිණිස වන පුද පූජාවලට ප්‍රමුඛත්වයක් හිමි කොට නොමැති බව ඒ සම්බන්ධයෙන් කරනු ලබන ශාස්ත්‍රීය විමසුම්වලින් පෙනී යයි.ශ්‍රී ලාංකේය බෞද්ධයන් සේම සමාජ-මානව විද්‍යා ක්ෂේත්‍රයන්හි නියුතු විද්වතුන් ද බුදු සමයේ නාමයෙන් සමාජගත වන මෙවැනි ආටක නාටක බහුරූ කෝලම් කෙරෙහි වඩාත් සංවිභාගශීලී විය යුත්තේ එබැවිනි.

මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

එතෙර - මෙතෙර