“ෆාදර් ඇලෝයි” නම් වූ ප්‍රඥා ප්‍රදීපය නිවී යයි

"ෆාදර් ඇලෝයි" නම් වූ ප්‍රඥා ප්‍රදීපය නිවී යයි රීටා ජෙනට් පෙරේරා
ශ්‍රී ලාංකේය ශාස්ත්‍රාලෝකයේ ප්‍රදීපස්තම්භයක් බඳු වූ ද, අන්තර්ජාතික කීර්තියට පත් අග්‍රගණ්‍ය විද්වතෙකු වූ ද, මෙරට විද්වත් ප්‍රජාව අතර “ෆාදර් ඇලෝයි” යන ආදරණීය නාමයෙන් ප්‍රකටව සිටි ජේසු නිකායික මහාචාර්ය ඇලෝසියස් පීරිස් පියතුමාණෝ වයස අවුරුදු 91ක්ව සිටියදී ඉකුත් 22 වන දා ස්වර්ගස්ථ වූහ. කලක් රෝගාතුරව සිටි උන්වහන්සේගේ නික්මයාම මෙරට බුද්ධිමය හා ආගමික ක්ෂේත්‍රයට පිරවිය නොහැකි අඩුවක් ඉතිරි කර තිබේ. දේවධර්මාචාර්යවරයෙකු මෙන්ම බෞද්ධ දර්ශනය පිළිබඳ අතිමහත් විශාරදත්වයකින් හෙබි උන්වහන්සේ, කිතු දහමේ දාර්ශනික පදනම ආසියානු සංස්කෘතික අනන්‍යතාවන් සමඟ මුසු කරමින් නව මාවතක් ලොවට විවර කර දුන් යුග පුරුෂයෙකි.

මහාචාර්ය සුචරිත ගම්ලත් ශූරීන් වරක් පැවසූ පරිදි, “පීරිස් පියතුමාණන් ශ්‍රී ලාංකේය ශාස්ත්‍රාලෝකයේ ඥාන විද්වජ්ජන ප්‍රදීප මාලාවේ අවසන් සිළුවකි.” මගේ දැනුම අනුව උන්වහන්සේ වැනි විද්වත් ප්‍රසාදයක් ලත් කිතුනු පූජක උතුමකු මීට පෙර හමු වූයේ 1983 වසරේ ස්වර්ගස්ථ වූ අතිගරු එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමන් තුළිනි.

අධ්‍යාපනික ගමන්මඟ

1934 අප්‍රේල් 9 වන දින උපත ලැබූ ඇලෝසියස් පීරිස් පියතුමන් ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා, 1953 වසරේදී ජේසු නිකායට ඇතුළත් විය. උන්වහන්සේගේ අධ්‍යාපනික ගමන්මඟ අතිශය විස්මිත ය. ඉන්දියාවේ ෂෙම්බගනූර්හි දේවධර්ම පීඨය, නේපල්ස්හි පාප්තුමාගේ දේවධර්ම පීඨය සහ නෙදර්ලන්තයේ ටිල්බර්ග් විශ්වවිද්‍යාලයෙන් දේවධර්මය පිළිබඳ උපාධි ත්‍රිත්වයක් හිමිකර ගත් උන්වහන්සේ, ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් පාලි හා සංස්කෘත භාෂාව පිළිබඳ ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් ද ලබා ගත්හ. එපමණක් නොව, විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් (වර්තමාන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) බෞද්ධ දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබාගත් ප්‍රථම කිතුනු පූජකවරයා වන්නේ ද උන්වහන්සේ ය. උන්වහන්සේගේ දායකත්වය වෙනුවෙන් කැලණිය විශ්වවිද්‍යාලය මඟින් ‘සාහිත්‍ය චක්‍රවර්ති’ ගෞරව සම්මානය ද පිරිනමන ලදී.

ආසියානු විමුක්ති දේවධර්මය

ඇලෝසියස් පීරිස් පියතුමන් ලෝක ප්‍රකටව ඇත්තේ “ආසියානු විමුක්ති දේවධර්මයේ” (Asian Theology of Liberation) නිර්මාතෘවරයා ලෙසිනි. ආසියාවේ කිතු දහම මුල් බැසගත යුත්තේ බටහිර ආකෘතීන් මත නොව, ආසියානු දරිද්‍රතාව සහ ආගමික බහුත්වවාදය යන කරුණු දෙක මත පදනම්ව බව උන්වහන්සේ තර්ක කළහ. කතෝලික සභාව එලෙස දේශීය පදනමකට ගෙන ඒම සභාවට කරන නිගරුවක් සේ සැලකූ පිරිස් ඊට එකඟ නොවූ අතර ඇතැම් විට එරෙහි වූ බව ද රහසක් නොවේ. විශේෂයෙන් ශ්‍රී ලාංකික කතෝලික ප්‍රජාව තුළ ධනේෂ්වර ආකල්ප දරන්නවුන් ශු.බයිබලයේ.ලුක් 16 හි සඳහන් “ධනවතා සහ ලාසරුස් පුවත” ආදී තැන් වල සඳහන් දිළිඳුන් වෙනුවෙන් කැපවීමේ අප සතු පරම වගකීම දුටුවේ උන් වහන්සේ ගේ හිතුවක්කාර කමක් ලෙසිනි.ඒ අනුව උන් වහන්සේ එම කරුණ මුල් කොට කෙනෙහිලි,අවලාද සේම කොන් කිරීම් වලට ද ලක් වූහ. නමුදු ඒ මධ්‍යයේ වුව ද උන්වහන්සේ රචිත ‘The Genesis of an Asian Theology of Liberation’ වැනි කෘති සහ භාෂා 12කට වැඩි ගණනකින් පළ වූ ශාස්ත්‍රීය ලිපි 300කට අධික සංඛ්‍යාව ලෝක දේවධර්ම ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයන් විය. එනිසාම ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් සහ රෝමයේ ග්‍රෙගෝරියානු විශ්වවිද්‍යාලය ඇතුළු ලොව කීර්තිමත් ආයතන 20කට අධික ප්‍රමාණයක ආරාධිත මහාචාර්යවරයෙකු ලෙස සේවය කිරීමට උන්වහන්සේට අවස්ථාව ලැබිණි.

‘තුලන’ මධ්‍යස්ථානය සහ ආගමික සහජීවනය

ඇලෝසියස් පීරිස් පියතුමන්ගේ ජීවිතයේ අග්‍රගණ්‍ය නිර්මාණය වන්නේ 1974 දී කැලණිය, ගෝනවල ප්‍රදේශයේ ආරම්භ කළ ‘තුලන’ හමුවීම් සහ සංවාද සඳහා වූ පර්යේෂණ මධ්‍යස්ථානයයි. ‘විචාර බුද්ධිය’ යන අරුත ඇති සංස්කෘත වචනයකින් නම් ලද මෙම මධ්‍යස්ථානය, බෞද්ධ-ක්‍රිස්තියානි අන්තර් ආගමික සංවාදයේ කේන්ද්‍රස්ථානය බවට පත්විය. අග්ගමහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහනාහිමි, මහාචාර්ය වල්පොල රාහුල හිමි වැනි වියත් හිමිවරුන් සමඟ සුමිතුරන් සේ කටයුතු කරමින් උන්වහන්සේ ආගමික සහජීවනය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළහ. තුලන මධ්‍යස්ථානය සතු අතිවිශාල පෙරදිග පුස්තකාලය අදටත් දෙස් විදෙස් පර්යේෂකයන්ට මහඟු සම්පතකි.

කලාකාමීත්වය සහ සමාජ මෙහෙවර

උන්වහන්සේ හුදු ශාස්ත්‍රඥයෙකු පමණක් නොව, කලාකාමී සහ මානුෂීය ගුණයෙන් පිරි පුද්ගලයෙකු ද වූහ. සංගීතය, සිනමාව සහ මූර්ති කලාව කෙරෙහි දැක්වූ ලැදියාව හේතුවෙන් තුලන අසපුව කලාගාරයක් බඳු විය. යුද්ධය, මර්දනය සහ සමාජ අසාධාරණය කලා කෘති හරහා විග්‍රහ කිරීමට උන්වහන්සේ කලාකරුවන්ට මඟ පෙන්වූහ. එසේම ශ්‍රවණාබාධිත දරුවන් වෙනුවෙන් කැලණිය ශ්‍රවණ සහ කථන මධ්‍යස්ථානය ආරම්භ කරමින් සමාජයේ අසරණ වූවන් වෙනුවෙන් සිය හඬ අවදි කළහ. දේශීය කිතුනු ජනවන්දනා ක්‍රම තුළට සිංහල සංස්කෘතිකාංග සහ පෝරුවේ චාරිත්‍ර වැනි දෑ ඇතුළත් කරමින් කතෝලික දහමට දේශීය මුහුණුවරක් ලබාදීමට උන්වහන්සේ පුරෝගාමී වූහ.

‘තුලන’ හමුවීම් සහ සංවාද සඳහා වූ පර්යේෂණ මධ්‍යස්ථානය

පවත්නා ආගමික සංස්ථා ව්‍යුහය අතික්‍රමණය කිරීමට තරම් අතිමහත් ඥාන සම්භාරයක් හිමිව සිටි ස්වර්ගස්ථ ඇලෝසියස් පීරිස් පියතුමන්, කිසි විටෙකත් අප රටේ පක්ෂ දේශපාලනයට ආවඩන්නෙකු නොවීය. එහෙත් උන්වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසුව ද ඇතැම් දේශපාලනඥයන් විසින් උන්වහන්සේගේ උතුම් නාමය සිය දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගැනීමට උත්සාහ කිරීම, උන්වහන්සේගේ සමාජ දර්ශනය දත් පිරිස්වල දැඩි අප්‍රසාදයට හේතුවී තිබේ.

අවසන් කටයුතු

ස්වර්ගස්ථ වූ ඇලෝසියස් පීරිස් පියතුමන්ගේ දේහය අද (24) උදෑසන 10:30 දක්වා කැලණිය, පොල්හේන පාරේ පිහිටි දහම් සිසිල දෙව්සත්හලෙහි තැන්පත් කර තැබෙන අතර, අනතුරුව අවසන් දිව්‍ය පූජාව පැවැත්වේ. ඉන් පසුව දේහය කැලණිය, ගෝනවල තුලන පර්යේෂණ මධ්‍යස්ථානය වෙත රැගෙන එනු ලබන අතර, අවසන් කටයුතු අද පස්වරු 3:00ට එම මධ්‍යස්ථානයේදී සිදු කිරීමට නියමිතය.

ඇලෝසියස් පීරිස් පියතුමන් යනු කතෝලික පියවරුන් අතර සුවිශේෂ මෙන්ම අනර්ඝතම මාදිලියක් නියෝජනය කළ පැවිදි උතුමෙකි. උන්වහන්සේ මෙලොව හැර ගිය ද, උන්වහන්සේ වපුරන ලද බුද්ධිමය බීජ සහ ආගමික සහජීවනයේ පණිවිඩය මතු පරම්පරා ගණනාවක් පුරාවට ශ්‍රී ලාංකේය පොළොව මත සජීවීව පවතිනු ඇත.

රීටා ජෙනට් පෙරේරා

එතෙර - මෙතෙර