2025 අල්ලස් නඩුවලින් රජයට ලක්ෂ 30 ක ආදායමක්

මෙම වසරේදී අල්ලස් නඩු පැවරීම් මගින් රජය රුපියල් ලක්ෂ 30 කට ආසන්න ආදායමක් උපයාගෙන ඇතැයි අල්ලස් කොමිසම සඳහන් කරයි.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙහි සහ කොළඹ මහාධිකරණයේ 2025 ජනවාරි 01 වැනිදා සිට නොවැම්බර් 30 වැනිදා දක්වා කාලසීමාවේදී පවරන ලද නඩුවලින් පමණක් රජයට ලැබී ඇති ආදායම රුපියල් විසිඅටලක්ෂ දහනවදහසක් (2,819,000) බව අල්ලස් කොමිසම පෙන්වාදෙයි.

එම අධිකරණ මගින් විත්තිකරුවන්ට එරෙහිව පනවන ලද දඩ මුදල්, වන්දි මුදල් සහ දණ්ඩන මුදල්වලින් එම ආදායම රජයට ලැබී තිබෙන බව අල්ලස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කරයි.

තවද මෙම වසරේ නොවැම්බර් මස 30 වැනිදා දක්වා අල්ලස් දූෂණ, අයුතු වත්කම් ඉපයීම්, මුදල් විශුද්ධිකරණ ආදී වරදවල් යටතේ විත්තිකරුවන් 126 දෙනකුට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු 95 ක් පවරා තිබෙන බවත් මේ වන විට මහාධිකරණ මහෙස්ත්‍රාත් අධිකරණය සහ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු 287 ක් විභාග වෙමින් පවතින බවත් අල්ලස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්