ෆිල්ම්ෆෙයාර් සිනමා සම්මාන උළෙල ඉන්දියානු චිත්‍රපට නරඹන සිනමාලෝලීන් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වන ජනප්‍රිය සම්මාන උළෙලක් බව රහසක් නොවේ.
වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන උළෙලේ 2025 උළෙල පසුගිය දා අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙවර සම්මාන උළෙල පැවැත්වුණේ ගුජරාත් ප්‍රාන්තයේ අහ්මදාබාද් නුවර EKA Arena නැමැති ක්‍රීඩාංගනයේ යි. බොලිවුඩ් සිනමාවේ සුපිරි තරු රැසක් සහභාගි වූ මෙම උළෙලේ නිවේදන කටයුතු සිදු කරන ලද්දේ ෂාරුක් ඛාන්, කරන් ජොහාර් සහ මනීෂ් පෝල් විසිනි. ප්‍රසාංගික අංග රැසකින් සම්මාන රාත්‍රිය වර්ණවත් වූ අතර කාජල්, ෂාරුක්, ආක්ෂේ, ක්‍රීති සැනන් වැනි නළු නිළියෝ එහි අලංකාර නර්තනාංග ඉදිරිපත් කළහ.
පසුගිය වසරේ සිනමාලෝලීන්ගේ අවධානයට පාත්‍ර වූ චිත්‍රපට රැසක් සහ ඒවායේ දස්කම් පෑ ශිල්පීහු රැසක් මෙහිදී සම්මානයට පාත්‍ර වූහ.
මෙවර උළෙලේ දී හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනා ගත්තේ බොහෝ දෙනා මහත් ඇළුම් කළ සිනමාපටයකි. ඒ, Laapataa Ladies චිත්‍රපටය යි. හොඳම චිත්‍රපටය සම්මානය ඇතුළුව සම්මාන 13 ක් දිනාගන්නට එය සමත් වීම විශේෂත්වයක් විය. එමෙන්ම ෆිල්ම්ෆෙයාර් ඉතිහාසයේ සම්මාන වැඩිම ගණනක් දිනාගත් චිත්‍රපටය ලෙස Gully Boy (2019) චිත්‍රපටය තබා සිටි වාර්තාව සම කිරීමට ද Laapataa Ladies සමත් වූයේය.
මෙම චිත්‍රපටය සම්මාන 24 ක් සඳහා නිර්දේශ වීම ද තවත් අපූරු කාරණයකි. ෆිල්ම්ෆෙයාර් ඉතිහාසය තුළ මින් පෙර කිසිදු චිත්‍රපටයක් මෙතරම් සම්මාන සංඛ්‍යාවක් සඳහා නිර්දේශ වී නැත.

Laapataa Ladies චිත්‍රපටය comedy drama ශානරයට අයත් නිර්මාණයකි. මෙයට ඇතුළත් වන්නේ අලුත විවාහ වූ මනාල ජෝඩු දෙකක් මංගල දිනයේම සිය ඥාතීන් බැලීමට රාත්‍රි දුම්රියකින් ගමන් කරමින් සිටිය දී මනාලියන් දෙදෙනා මාරු වීම නිසා සිදුවන අපූරු ජංජාලයක් ගැන කතාවකි.
මනාලියන් දෙදෙනෙකු මාරු වීම පිළිබඳ මේ සිද්ධිය හරහා ඉන්දියාවේ සමාජ සංස්කෘතික ගැටලු ගණනාවක් නිරාවරණය කර පෙන්වන කතාවක් ගොඩනගන්නට Laapataa Ladies සමත් වෙයි.
කාන්තාවන් දෙදෙනෙකු මුල් කරගත් මෙම සිනමාපටය අධ්‍යක්ෂණය කළේත් කාන්තාවක වීම තවත් විශේෂත්වයකි. ඇගේ නම කිරන් රාඕ ය. ඇය කලකට පෙර ආමීර් ඛාන් සමග විවාහ වී සිටි අතර මෙම චිත්‍රපටයේ නිශ්පාදකවරයකු ලෙස ආමීර් ද ඊට දායක විය.

මෙවර ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ දී හොඳම අධ්‍යක්ෂ සම්මානය හිමි වූයේ කිරන්ට යි. හොඳම තිරනාටකය, හොඳම සහය නළුවා, හොඳම සහය නිළිය, හොඳම සංගීතය ඇතුළු තවත් සම්මාන රැසකින් Laapataa Ladies පිදුම් ලැබුවේය.
පසුගිය වසරේ ප්‍රේක්ෂක ආකර්ශණය දිනාගත් තවත් චිත්‍රපට කිහිපයක්ම හොඳම චිත්‍රපටය සම්මානය සඳහා නිර්දේශ වී තිබිණි. ඒ, Bhool Bhulaiyaa 3, Kill, Article 370, Stree 2 යන සිනමාපට යි.

මෙවර හොඳම නළුවා සම්මානය නළුවන් දෙදෙනෙකු අතර බෙදී ගියේය. ඒ, අභිෂේක් බච්චන් සහ කාර්තික් ආර්යන් යන දෙදෙනා අතර යි. අභිෂේක්ට සම්මානය හිමි වූයේ I Want to Talk නැමැති චිත්‍රපටයේ අර්ජුන් සෙන් නැමැති චරිතය වෙනුවෙනි. Chandu Champion චිත්‍රපටයේ මුර්ලිකාන්ත් නැමැති චරිතය වෙනුවෙන් කාර්තික්ට සම්මානය හිමි විය.
හොඳම නිළිය සම්මානය මෙවරත් දිනාගනිමින් ආලියා භාත් ෆිල්ම්ෆෙයාර් සම්මාන ඉතිහාසයේ අලුත් වාර්තාවක් පිහිටුවන්නට සමත් වූවාය. ඒ හොඳම නිළිය සම්මාන වැඩිම ගණනක් දිනාගත් නිළිය ලෙසිනි. මේ වනවිට ඇය හොඳම නිළිය ලෙස හය වතාවක් ෆිල්ම්ෆෙයාර් සම්මාන දිනාගෙන තිබේ. මෙවර ඇය සම්මානය දිනාගත්තේ Jigra චිත්‍රපටයේ නිරූපනය කළ සත්‍යා නැමැති චරිතය වෙනුවෙනි.
ෆිල්ම්ෆෙයාර් ඉතිහාසයේ හොඳම නළුවා සම්මානය වැඩිම වාර ගණනක් දිනාගෙන ඇත්තේ දිලිප් කුමාර් සහ ෂාරුක් ඛාන් ය. ඔවුන් සම්මාන 8 බැගින් දිනාගෙන තිබේ.
මේ වසරේ හොඳම නළුවා සම්මානය සඳහා නිර්දේශ වී සිටි සෙසු නළුවන් වූයේ අජේ දෙව්ගන් (මයිදාන්), ආක්ෂේ කුමාර් (සර්ෆිරා), රිතික් රොෂාන් (Fighter), රාජ්කුමාර් රාඕ ( Stree 2) යන අය යි.
කරීනා කපූර් (Crew), ක්‍රිති සැනන් (Teri Baaton Mein Aisa Uljha Jiya ), ශ්‍රද්ධා කපූර් (Stree 2), තාබු (Crew), යාමි ගෞතම් (Article 370) යන නිළියෝ ද හොඳම නිළිය සම්මානය සඳහා නිර්දේශ වී සිටියහ.

මෙවර ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල පැවැත්වුණේ 70 වැනි වතාවටයි. පළමු සම්මාන උළෙල පැවැත්වුණේ 1954 වසරේ ය. එම උළෙලේ දී Do Bigha Zameen නැමැති සිනමාපටයක් හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනූ අතර හොඳම නළුවා සහ හොඳම නිළිය ලෙස පිලිවෙලින් දිලිප් කුමාර් සහ මීනා කුමාරි සම්මාන දිනා ගත්හ. හොඳම අධ්‍යක්ෂ සම්මානය හිමි වූයේ බිමල් රෝයිට යි. ඒ, ඉහත සඳහන් කළ Do Bigha Zameen චිත්‍රපටය වෙනුවෙනි.
එම පළමු සම්මාන උළෙලේ දී පිරිනමන ලද්දේ සම්මාන පහක් පමණි.
ඒ, හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂ, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම සංගීත අධ්‍යක්ෂ යන සම්මාන යි. හොඳම සංගීත අධ්‍යක්ෂ සම්මානය නෞෂාද් විසින් දිනාගන්නා ලදී. ඒ “බයිජු බව්රා” චිත්‍රපටය වෙනුවෙනි.
නිහාල් පීරිස්